ශ්‍රී ලංකාවේ යාචකයෝ: දැන් ක්‍රියාත්මක වන්නේ යාචක ව්‍යාපාරයක් ද?

ඔබ බස් රථයක දිනපතා ගමන් කරන පුද්ගලයෙකු නම් ඔබ බස් රථයට ගොඩ වූ මොහොතේ සිට ගමනාන්තයට ළඟා වන තෙක් විවිධ හේතු ඉදිරිපත් කරමින් ඔබගෙන් මුදල් අයැද සිටින යාචකයන් හා විවිධාකාරයේ පුද්ගලයන් ඔබට හමුවනු ඇත. එමෙන් ම ඔබ වාහනක ගමන් කරවිට මාර්ග සංඥා පද්ධති ඇති මංසන්ධි අසළ නවත්වාගෙන සිටීමේ දී ද බොහෝ විට වාහනයට අත පාමින් මුදල් ඉල්ලා සිටින යාචකයන් මෙන්ම ඇතැම් විට එම යාචකයන්ගේ බැනවැදීම් සම්බන්ධ අත්දැකීම් ද ඔබට ලැබී තිබිය හැකිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඔබ බස් රථයක දිනපතා ගමන් කරන පුද්ගලයෙකු නම් ඔබ බස් රථයට ගොඩ වූ මොහොතේ සිට ගමනාන්තයට ළඟා වන තෙක් විවිධ හේතු ඉදිරිපත් කරමින් ඔබගෙන් මුදල් අයැද සිටින යාචකයන් හා විවිධාකාරයේ පුද්ගලයන් ඔබට හමුවනු ඇත. එමෙන් ම ඔබ වාහනක ගමන් කරවිට මාර්ග සංඥා පද්ධති ඇති මංසන්ධි අසළ නවත්වාගෙන සිටීමේ දී ද බොහෝ විට වාහනයට අත පාමින් මුදල් ඉල්ලා සිටින යාචකයන් මෙන්ම ඇතැම් විට එම යාචකයන්ගේ බැනවැදීම් සම්බන්ධ අත්දැකීම් ද ඔබට ලැබී තිබිය හැකිය.

ශ්‍රී ලංකාවේ යාචකයන් යනු කලින් කලට විවිධ ප්‍රවෘත්ති මවන කොටසකි. ඔවුන්ගේ දිනක ආදායම්, යාචකයන් යොදාගෙන සිදු කරන ජාවාරම් වැනි දෑ සම්බන්ධයෙන් නිරන්තරයෙන් තොරතුරු හෙළිදරවු වේ. වරක් එවැනි වීදි යාචකයන් ඝාතනය කිරීමේ රැල්ලක් ද පැවතුණි. මෑතකදී යාචකයෙකු යැයි සිතා පොලිසිය විසින් නුගේගොඩ දී අත්අඩංගුවට ගනු ලැබූ පෙදරේරුවෙකු මිය යාම සම්බන්ධයෙන් ද සමාජය තුළ සාකච්ඡාවක් නිර්මාණය විය.

මංසන්ධි අසළ නවත්වාගෙන සිටීමේ දී ද බොහෝ විට වාහනයට අත පාමින් මුදල් ඉල්ලා සිටින යාචකයන්
ඡායාරූප ශීර්ෂ වැකිය, මංසන්ධි අසළ නවත්වාගෙන සිටීමේ දී ද බොහෝ විට වාහනයට අත පාමින් මුදල් ඉල්ලා සිටින යාචකයන් දැකිය හැකිය

ශ්‍රී ලංකාවේ යාචකයන්ගේ ස්වභාවය

යාචකයන් සම්බන්ධයෙන් සිදු කළ පළමු විධිමත් අධ්‍යනය ලෙස සැලකෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වූ මහාචාර්ය නන්දිසේන රත්නපාල විසින් සිදු කළ අධ්‍යනයන් ය. මහාචාර්වරයා යාචකයෙකු සේ වෙස්වලාගෙන යාචක සමාජය තුළ සැරිසරමින් සහභාගීත්ව පරීක්ෂණයක් සිදු කර ඇති අතර, එහි දී යාචකයන්ගේ චර්යාවන් හා ස්වභාවය සම්බන්ධයෙන් ලබා ගත් දැනුම එකතු කර ඔහු ග්‍රන්ථයක් ලියා පළ කර තිබේ. එහි නම "ශ්‍රී ලංකාවේ යාචකයා" ය.

මෑතක දී යාචකයන් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය මයුර සමරකෝන් සහ එම අධ්‍යනාංශයේ ශිෂ්‍ය කණ්ඩායමක් කළ පරීක්ෂණයක දී සොයා ගත් තොරතුරු පිළිබඳ සමාජයේ විශාල අවධානයක් යොමු විය. එම පරීක්ෂණයේ දී අනාවරණය කරගත් කරුණු සම්බන්ධයෙන් මහාචාර්ය මයුර සමරකෝන් විසින් බීබීසී සිංහල වෙත අදහස් දක්වනු ලැබුවේය.

මහාචාර්යවරයා හඳුනාගෙන ඇති ආකාරයට මේවන විට මෙරට යාචකයන්ගේ ස්වභාවය කෙසේදැයි බීබීසී සිංහල වසින් ඔහුගෙන් විමසන ලදි. "ශ්‍රී ලංකාවේ යාචකයන් වර්ග කීපයන් හඳුනාගන්න පුළුවන්. දීර්ඝකාලීනව රෝගාබාධවලට ලක් වෙලා පවුල් වලින් අතහැර දාපු අය, රැකවරණයක් නොමැති වයස්ගත පුද්ගලයන්, ආබාධිත පුද්ගලයන් සිටිනවා මෙවැනි පුද්ගලයන්ව යොදාගෙන කරනු ලබන යාචක ව්‍යාපාරයක් තමයි වර්තමානයේ ශ්‍රී ලංකාවේ තියෙන්නෙ," මාහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

යාචකයන් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය මයුර සමරකෝන් සහ එම අධ්‍යනාංශයේ ශිෂ්‍ය කණ්ඩායමක් කළ පරීක්ෂණයක දී සොයා ගත් තොරතුරු පිළිබඳ සමාජයේ විශාල අවධානයක් යොමු විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යාචකයන් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය මයුර සමරකෝන් සහ එම අධ්‍යනාංශයේ ශිෂ්‍ය කණ්ඩායමක් කළ පරීක්ෂණයක දී සොයා ගත් තොරතුරු පිළිබඳ සමාජයේ විශාල අවධානයක් යොමු විය.

ඔහු පවසන්නේ මෙම තත්ත්වය නගරාසන්නයේ බහුලව නිරීක්ෂණය කළ හැකි බවයි. "මේ යාචකයන්ව රැකබලාගන්න අදාල ක්‍රමවේදයන් නැති නිසා, විවිධ පුද්ගලයන් මේ අයව රැකබලාගන්නවා කියලා පෙන්වමින් ඔවුන්ව යාචක වෘත්තියේ යෙදවීමක් තමයි සිදුවන්නේ. මේ ව්‍යාපාරවලට හිමි කරුවෙක් ඉන්නවා. ඔහු මේ මුදල් ලබාගෙන යාචකයන්ට යම් කොමිස් මුදලක් ලබා දෙනවා. මේ තත්ත්වය තමයි වර්තමානයේ යාචක සමාජයේ තිබෙන පොදු සංස්කෘතිය වෙන්නේ."

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ තනිව යාචක වෘත්තියට එළඹීම අපහසු නිසා බහුතරයක් යාචකයන් මෙවැනි කල්ලි කණ්ඩායම් සමඟ එක්ව වැඩ කරන බවයි.

"කතරගමදී යාචක වෙස් ගත් ශිෂ්‍යයන්ට බලපෑම් සිදුවුණා"

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෑතක දී මහාචාර්ය මයුර සමරකෝන් සහ ඔහුගේ ශිෂ්‍ය කණ්ඩායමක් කතරගම පූජා නගරය ආසන්නයේ සිදු කළ සහභාගීත්ව පරීක්ෂණයේ දී එලෙස වෙස් වලාගත් සිසුන්ට යාචකයන්ගේ යම් යම් බලපෑම් සිදු වූ බව මහාචාර්යවරයා පැවසුවේ ය.

"කතරගම කිරිවෙහෙර ආසන්නයේ කියලා කියන්නේ ප්‍රසිද්ධ සහ විශාල පිරිසක් එකතුවෙන පූජා භූමියක් නිසා සෘජුවම තර්ජන ආවේ නෑ. නමුත් ආබාධිත යාචකයෙක් විදිහට වෙස්වලාගෙන හිටපු ශිෂ්‍යයා ළඟින් ඇවිද යන ගමන් ම ඇතැම් යාචකයන් එතනින් වහාම යන්න කියලා තර්ජනය කරලා තිබුණා. ඒ වගේම සමහර යාචකයන් ළඟ ඉන්න දරුවන් යොදාගෙන උසුළු විසුළු කිරීම් සිදු කරන තිබුණා," මහාචාර්යවරයා විස්තර කළේය.

"අපේ එක් ශිෂ්‍යයෙක් වෙස්වලාගෙන සිටියේ අන්ධ යාචකයෙකු විදිහට. එතැන දී එක් වයස්ගත කාන්තාවක් ඔහුට හරියට උදවු කරලා තිබුණා. තනියම ඉන්නේ නැතිව ඔවුන්ගේ කණ්ඩායමට එකතුවෙන්න කියලා පොළඹවාගන්නත් උත්සහ කර තිබුණා. ඒ වගේම ඒ කාන්තාව මව ලෙසත් ශිෂ්‍යයා දරුවා ලෙසත් පෙනී සිටිමු'යැයි ඒ කාන්තාව යෝජනාවකුත් කර තිබුණා."

"ආබාධිතයෙකු විදිහට වෙස්වලාගෙන හිටිය ශිෂ්‍යයා පැය දෙකක පමණ කාලයක දී රුපියල් හාරදහසකට වැඩි මුදලක් ඉපැයුවා."

'යාචක සමාජය ඉතා සංවිධානාත්මකයි'

කතරගම දී යාචක සමාජය සම්බන්ධයෙන් සිදු කළ නිරීක්ෂණයක් මහාචාර්යවරයා විස්තර කළේ මෙලෙසින් ය.

"කතරගම යාචක සමාජය ඉතා සංවිධානාත්මක බව අපට හොඳින් නිරීක්ෂණය කරන්න හැකි වුණා. උදේම යාචකයන්ව මිනිස්සු ගැවසෙන තැන් බලලා ස්ථානගත කරනවා. ඊට පස්සෙ ඔවුන්ට අවශ්‍ය ආහාරපාන වරින්වර ලබාදෙනවා. යාචකයන්ට දානයක් දෙනවා වගේ තමයි කෑම බෙදන්නේ. නොදන්නා කෙනෙක් දැක්කොත් කවුරු හරි දානයක් දෙනවා කියලා හිතන්නෙ. නමුත් අපි සති ගාණක් නිරික්ෂණය කළ නිසා මේ තත්ත්වය හඳුනාගන්න හැකිවුණා. දවස අවසානයේ දී මේ අයව එකතු කරගෙන යනවා. මේ දේවල් බොහොම සූක්ෂමව නිරීක්ෂණය කළොත් විතරයි හඳුනාගන්න පුළුවන්."

දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ නිරීක්ෂණයන් අවසානයේ අවසන් පියවර වශයෙන් යාචකයන් සේ වෙස්වලාගෙන සහභාගීත්ව පරීක්ෂණය සිදු කළ බව මහාචාර්ය මයුර පෙන්වා දුන්නේ ය.

මාහාචාර්ය මයුර පෙන්වා දෙන්නේ යාචකයන් සම්බන්ධයෙන් රජයට නිසි වැඩපිළිවෙලක් නොමැති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මාහාචාර්ය මයුර පෙන්වා දෙන්නේ යාචකයන් සම්බන්ධයෙන් රජයට නිසි වැඩපිළිවෙලක් නොමැති බවයි

දරුවන් යොදාගෙන සිඟමන් යැදීම

එමෙන් ම නුගේගොඩ සහ කොළඹ ආශ්‍රිත ප්‍රධාන නගර ආසන්නයේ තමන්ගේ නොවන දරුවන් තමන්ගේ ලෙස පෙන්වමින් සිදු කරන යාචක ජාවාරමක් ද පවතින බව ඔහු පෙන්වා දුන්නේ ය. "නුගේගොඩ හා කොළඹ නගර ආශ්‍රිතව මේ ජාවාරම පැහැදිලිව ම හඳුනාගන්න පුළුවන්. දරුවන් යොදාගෙන මේ අය සිඟමන් යදිනවා. නමුත් මේ දරුවන් ඔවුන්ගේ අය නොවෙයි. මේ දරුවන් දවසේ කොයිවෙලෙත් නිදාගෙන ඉන්නේ. ඒ ගැනත් සොයා බැලිය යුතුයි," මහාචාර්යවරයා පවසයි.

එලෙස දරුවන් සමඟ සිඟමන් යැදීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසයි. " දරුවන් සිඟමනේ යෙදවීම දඬුවම් ලැබිය හැකි වරදක්. අපට තොරතුරක් ආව ගමන් අපි ඒ අය අත්අඩංගුවට අරගෙන දරුවන්ව පරිවාස භාරයට යවනවා. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනවා."

දරුවන් කෲරත්වයට ලක් කිරීම යටතේ ද මේ වරදට චෝදනා ගොනු කරන බව ඔහු පෙන්වා දුන්නේ ය.

‘රජයට වැඩපිළිවෙලක් නෑ’

මාහාචාර්ය මයුර පෙන්වා දෙන්නේ යාචකයන් සම්බන්ධයෙන් රජයට නිසි වැඩපිළිවෙලක් නොමැති බවයි. "ප්‍රධාන නගර ආශ්‍රිතව තියෙන හැම වර්ණ සංඥා පද්ධතියක්ම ළඟ වගේ මේ අය සිඟමන් යදිනවා. වර්තමානයේ යාචකයන් වගේ වැරහැළි ඇදලා ඉන්නෙ නැතිව, විවිධ දානමානවලට, ඉගෙන ගන්න වගේ විවිධ හේතු ඉදිරිපත් කරමින් සිඟමන් යැදීමේ ප්‍රවණතාවයකුත් තිබෙනවා. නමුත් යාචකයන් සම්බන්ධයෙන් වැඩ කරන රජයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ පොලිසියට මේ සම්බන්ධ නිශ්චිත වැඩපිළිවෙලක් නෑ. රිදියගම පුනරුත්ථාපන හා සමාජ සවිබල ගැන්වීමේ කඳවුරක් තියෙනවා. හරියට වැඩපිළිවෙලක් තිබුණා නම් කොළඹ ඇතුළු ප්‍රධාන නගර ආශ්‍රිතව සිටින යාචකයන් ප්‍රමාණය අඩු කරගන්න හැකියාවක් තිබෙනවා."

‘රිදියගම ඉඩකඩ නෑ’

රිදියගම යාචකයන් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයේ වර්තමානය වන විට ඉඩකඩ සම්බන්ධයෙන් ද ගැටළුකාරී තත්වයක් පැනනැගී ඇති බව බීබීසී සිංහල කළ විමසීමක දී සමාජ සේවා දෙපාර්තමේන්තුවේ යාචකයන් සම්බන්ධ සංගණන නිලධාරී චම්පා ජානකී පැවසුවා ය.

ඇය පෙන්වා දුන්නේ එම මධ්‍යස්ථානයේ රඳවා තැබිය හැක්කේ 450ක පමණ පිරිසක් වුවත් වර්තමානය වන විට 518 දෙනෙකු රඳවා ඇති බවයි.

"මේ ජනවාරි මාසයේ දී අපි නාගරික ප්‍රදේශවල ජීවත් වන යාචකයන් සම්බන්ධයෙන් සංගණනනයක් කරලා අවුරුදු 18ට අඩු සිඟමන් යදින දරුවන් ගැන පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් සිදු කළා. මේ සංගණනයේ වාර්තාව ඉදිරි සතියක දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි," ඇය පැවසුවා ය.

යාචකයන් රඳවා තබන මධ්‍යස්ථානයේ දී වැඩ කිරීමට හැකියාවක් පවතින යාචකයන් හට වෘත්තීය පුහුණු ලබා දීමට කටයුතු කරන බව නිලධාරිනිය පවසයි. "අධිකරණයෙන් මධ්‍යස්ථානය වෙත එන යාචකයන් අතරින් පවුලේ අය ජීවත්ව සිටින යාචකයන් ව නැවත එම පවුල් හා එක්ව ජීවත් වීට අදාලව සමාජගත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒ වගේ ම වැඩ කිරීමට හැකියාව ඇති අයට කෘෂිකර්මය, පිරිසිදු කිරීම් වැනි පුහුණු ලබා දීලා රැකියාවලට යොමු කරන්න කටයුතු කරනවා."

පූර්ණ ආබාධිත හෝ වයස්ගත යාචකයන් හට මෙම මධ්‍යස්ථානයේ දිගටම රැඳී සිටීමට හැකියාව තිබෙන බව ඇය පෙන්වා දෙයි. "පවුලේ කිසිවෙක් හොයාගන්න බැරි වයස්ගත අයව අපි වැඩිහිටි නිවාස වෙත යොමු කරන්න උත්සහ කරනවා. එහෙම බැරිවුණ අයටත් පූර්ණ ආබාධිතයන්ටත් මධ්‍යස්ථානයේ ම ජීවත් වෙන්න පුළුවන්. නමුත් වර්තමානයේ ප්‍රතිපාදන සීමිත වීම සමඟ එය තරමක් දුෂ්කර වී තිබෙනවා."

'කඳවුරුවල ඉඩ නැති නිසා අත්අඩංගුවට ගන්නේ අඩුවෙන්'

පාදඩ ආඥා පනත යටතේ පොලිසියට යාචකයන් අත්අඩංගුවට ගැනීමට බලය ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. එහි දී අප විමසා සිටියේ දිනකට කෙතරම් පිරිසක් එලෙස අත්අඩංගුවට ගන්නේ ද යන්නයි. එයට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි. "පාදඩ ආඥා පනත යටතේ අපට අත්අඩංගුවට ගන්න පුළුවන් වුණාට දවසකට එහෙම ලොකු සංඛ්‍යාවක් අත්අඩංගුවට ගන්න බෑ. මේ අයව උසාවියට ඉදිරිපත් කළාට පස්සේ පුහුණු කඳවුරු වලට යවනවා. ඒවාගෙ ඉඩ නෑ. එහෙම අත්අඩංගුවට අරගෙන තියාගන්න බෑ විශාල පිරිසක්. ඒ නිසා දවසකට පොඩි සංඛ්‍යාවක් තමයි අත්අඩංගුවට ගන්නේ."