සිහින වියන පිලිපීන දූපත් වැසියෝ

ඡායාරූප මූලාශ්‍රය, Kan Zhang
වසර 300කට අධික කාලයක් පුරා, නිලෙන් නැහැවුණු වැවක් වටා වාසය කරන කාන්තාවන් පිරිසක් සිහිනයෙන් පැමිණ දේවතාවියක විසින් දායාද කරන ලද බව කියන සංකල්පනා යොදා ගනිමින් රෙදි වියා තිබේ.
"මින්දනාඕවල ඉන්න සමහර කාන්තාවන් එයාල දකින හීන රෙදිපිළි වියද්දි යොදා ගන්නවා. එයාලා සිහින-වියන්නන්," යැයි පිලිපීනයේ ඉලොයිලෝ නගරයේ පිලිපීන ආර්ථික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ සිටින ස්වේච්ඡා සේවකයා පැවසීය. ඔහු කළු පසුබිමක වියන ලද සුදු සහ රතු වර්ණවලින් හැඩ ගැන්වුණු රේඛීය රටා සතිත පින්තූරයක් පෙන්වීය. සිත තුළ ඇති වූ කුතුහලය හේතුවෙන් මා ඔහුගෙන් වැඩි විස්තර පවසන්නැයි ඉල්ලා සිටිය ද ඔහු මට පැවසූ එක ම දේ වූයේ, මෙම කාන්තාවන් සෙබූ වැව අසල ජීවත් වන බව ය.
පිලිපීනයේ දෙවන විශාලතම දූපත වන මින්දනාඕ, කලක් ළඟා වීමට අපහසු වූ ගමනාන්තයක් විය. ගෙවුණු දශකය තුළ වසර ගණනාවක් පුරා පැවති සන්නද්ධ ගැටුම් හේතුවෙන් රටේ දකුණු දෙසින් පිහිටි මෙම දූපත බොහෝ සංචාරකයින්ගේ අවධානයෙන් ලක් නොවිණි. නමුත් 2020 වසරේදී හමුදා නීතිය ඉවත් කිරීමෙන් පසු, ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ එහි දොරටු විවෘත කර ඇත්තේ, ආසියාවේ වඩාත් ම ආකර්ෂණීය සම්ප්‍රදායක් වන 'සිහින වියමන් කිරීම' සියැසින් ම දැක ගැනීම සඳහා රජයේ විසින් නිකුත් කරනු ලැබ ඇති අනතුරු ඇඟවීම්වලට එඩිතරව මුහුණ දීමට කැමැත්තක් දක්වන සංචාරකයින්ට එහි පැමිණීමට ඉඩ සලසමිනි.
අවම වශයෙන් ශතවර්ෂ තුනක් තිස්සේ, ස්වදේශික ටි'බොලි (T'boli) ජනයා, දකුණු මින්දනාඕහි සශ්‍රීක කඳුකරයට මැදිව පිහිටි නිලෙන් නැහැවුණු වැවක් වන සෙබූ වැව අවට ඇති පිටිසර ගම්මානය තුළ 'සිහින වියමන් කිරීම' එසේ ත් නැති නම් ටි'නාලක් (T'nalak) කලාව පිළිබඳ දැනුම පරම්පරාවෙන් පරම්පරාවට බෙදා දී තිබේ. මෙම රෙදිපිළි කෙසෙල් වැනි ශාකයක් වන ඇබකා ශාකයේ කඳෙන් ලබා ගන්නා ස්වභාවික කෙඳිවලින් නිර්මාණය කරයි. ගැමියන් විශ්වාස කරන්නේ, 'ෆූ දලූ' (Fu Dalu) [ඇබකාහි ආත්මය] නමැති දේවතාවිය ඔවුන්ගේ සිහිනවලට සත්වයෙකුගේ හෝ මිනිස් ස්වරූපයකින් පැමිණ කාන්තාවන් සමග සන්නිවේදනය කරන බව ය. සිහින විවීම මනා සේ ප්‍රගුණ කළ පිරිස් පසුව, සිහිනෙන් දුටු මෙම දර්ශන හොඳින් අවබෝධ කර ගෙන ඒවා රටා බවට පරිවර්තනය කරති. සාමාන්‍යයෙන් ඒවා විවීමට මාස තුනක් හෝ හතරක් පමණ ගත වේ. මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගෙන දෑතින් සිදු කරනු ලබන අතර, එය ප්‍රධාන එසේ ත් නැතිනම් ප්‍රවීණ වියන්නෙකු විසින් මෙහෙයවනු ලබයි. එය දේවතාවියට සිදු කෙරෙන පූජනීය උපහාරයක් ලෙස සැලකෙන ප්‍රජාවගේ සාමූහික ප්‍රයත්නයකි.

ඡායාරූප මූලාශ්‍රය, Kan Zhang
ටි'බොංග් (T'Bong) ගම්මානයේ පිහිටා ඇති වැවට කිලෝමීටර් 3ක් නැගෙනහිර දෙසින් ඇති, දැව වලින් සාදන ලද දිගු ටි'බොලි නිවහනේ (ගෝනෝ බොංග්) පිහිටි ලංග් දුලයි ටි'නාලක් රෙදි විවීමේ මධ්‍යස්ථානය (Lang Dulay T'nalak Wewing Center) යනු, ටි'නාලක් කලාව සංරක්ෂණය කෙරෙන ප්‍රධාන කේන්ද්‍රස්ථානවලින් එකකි. එම මධ්‍යස්ථානය නම් කර ඇත්තේ, ටි'බොලිහි කුමරිය ලෙස විරුදාවලිය ලත්, වඩා ත් ගෞරවාදයට පාත්‍ර වූ සිහින වියන්නියක වන නැසී ගිය ප්‍රධාන රෙදි විවීමේ ශිල්පිනියක වූ ලංග් දූලයිට ගෞරව පිණිස ය. අද, එහි වත්මන් ප්‍රධාන රෙදි විවීමේ ශිල්පිනිය ලෙස කටයුතු කරන්නේ, වසර 60කට අධික කාලයක් එම කලාවෙහි නිරත ලංග්ගේ ලේලිය වන සෙබුලන් දූලයි ය.
මා ඊට ඇතුළු වත් ම සෙබුලන් නැගිට, ගොංග් නම් වාද්‍ය භාණ්ඩයෙන් තනුවක් වාදනය කරමින් මට ආචාර කළේ, ඇගේ පුතු චාලි ඇයට සහය දැක්වීමට බෙරයක් වාදනය කරන අතරතුරදී ය. "ඒක තමයි අපි අමුත්තන් පිළිගන්න විධිය," ඇය සිනහබර මුහුණකින් යුතුව පැවසුවා ය. සෙබුලන් යළි රෙදි විවීමේ කටයුතුවලට යොමුවද්දී එම මධ්‍යස්ථානය පවත්වාගෙන යන චාලි සිහින වියමන් කිරීම සිදු වන ආකාරය පිළිබඳව පැහැදිලි කළේ ය.
සිහින, රටා බවට පරිවර්තනය කිරීමේ හැකියාව සැඟවුණු හා සුවිශේෂී කුසලතාවක් ලෙස සලකනු ලැබේ. එබැවින් සෑම කෙනෙකු ම සිහින දුටුව ද සිහින වියන්නන් බවට පත්වීමට අවස්ථාව හිමි වන්නේ, තෝරාගත් කාන්තාවන් කිහිප දෙනෙකුට පමණි. චාලිට අනුව, මෙම කුසලතාව සෑම විටම 'ෆූ දලු' දේවතාවියගේ මගපෙන්වීම යටතේ ලබා ගන්නා අතර ඒ සඳහා වසර ගණනාවක් පුහුණුවීම අවශ්‍ය වේ.
බොහෝ තරුණ රෙදි වියන්නන්ට ඉගෙන ගැනීමට මෙන් ම විවීමට අවස්ථාව ලැබෙන්නේ ප්‍රධාන සිහින වියන්නන්, විශේෂයෙන් ම ලංග් දුලයි විසින් "දකිනු ලබන" සිහින පමණි. නැසී ගිය ප්‍රධාන රෙදි විවීමේ ශිල්පිනිය දළ වශයෙන් සුවිශේෂී ටි'නාලක් රටා 100ක් පමණ දායාද කර ඇති අතර ඒ සෑම එකක් සඳහා ම වෙන් වූ නමක් සහ කතාවක් තිබේ. ඒවා 'ජෙමයෝ ලෝජී' (Gemayaw Logi) නමැති ටි'බොලිහි පුරාවෘතවල සඳහන් කුමරුගේ සිට සෙබූ වැවේ සිටි 'සෝබෝබන්' (Sobobun) නමැති කුඩා මැඩියෙකු පිළිබඳව කියැවෙන කතාන්දර දක්වා විහිද යයි.

ඡායාරූප මූලාශ්‍රය, Kan Zhang
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
තමන් දකින සිහින විවීමට අවසර ඇත්තේ, සෙබුලන් වැනි ජ්‍යෙෂ්ඨ රෙදි වියන්නන්ට පමණි. මා එහි පැමිණෙන විට ඇයගේ නවතම නිර්මාණය ජපන් පාරිභෝගිකයෙකු විසින් ඇණවුම් කරනු ලැබ තිබිණි. එහි සමමිතික ඍජුකෝණාස්‍රාකාර හිස් දෙකක් සහ දිගු කළ පියාපත් යුගළයක් සහිත රතු දියමන්ති හැඩැති වාටියකට මැදි වී සිටින සුදු පැහැති කුරුල්ලෙකු (හාෆක් බුල් බ්ලීලා නමින් හැඳින් වේ) පියාසර කරනවාක් මෙන් දිස්වන රූපයක් අන්තර්ගත විය. විදේශීය ගැනුම්කරුවන්ට අමතරව, සෙබුලන්ගේ කෘති මැනිලාහි තොග වෙළෙන්දන් විසින් ද මිලට ගනු ලබයි. එවැනි නිර්මාණයක මීටරයක් පිලිපීන පෙසෝ 1,500ක් (පවුම් 22.83) පමණ වේ.
නිර්මාණ ක්‍රියාවලිය සැඟවුණු පියවර රැසකින් පිරී ඇති නමුත් විවීමේ ක්‍රියාවලිය ග්‍රහණය කර ගැනීමට පහසු ය. ඇබකා ශාකයේ දැඩි කඳ නූල් බවට පරිවර්තනය කිරීම දුෂ්කර කාර්යයකි. පළමුව, කඳ ඇතුළත ඇති මාංසමය ද්‍රව්‍ය වෙන් කර, වියළා, අතුල්ලමින්, මෘදු, ශක්තිමත් කෙඳි නිපදවීම සඳහා පීරනු ලැබේ. චාලි මට එවැනි කෙඳි මිටියක් පෙන්වූ අතර, ඒ සෑම එකක් ම මීටර් 2ක් පමණ දිගැති සහ වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ සුදු හිසකෙස්වලට සමාන විය. එම කෙඳි මිටියේ දළ වශයෙන් නූල් 1,400ක් පමණ අඩංගු වූ අතර, ඉන් අවම වශයෙන් මීටර් 6ක් පමණ දිගින් යුතු ටි'නාලක් නිපදවිය හැකි ය.
කෙඳි එකතු කර ගැනීමෙන් පසු ඒවා විවීම සඳහා යොදා ගන්න අතර පසුව ඒවා සායම් යොදා හැඩ ගන්වයි. යන්ත්‍රයක් වැනි වේගයකින් සහ මහත් සංයමයකින්, දිග හරින ලද ඇබකා කෙඳි මිටි වටා සෙබුලන් කළු නූල් ඔතන අයුරු දෙස මම බලා සිටියෙමි. ටි'නාලක් වර්ණ තුනකින් සමන්විත වේ: සුදු පැහැයෙන් පාරිශුද්ධත්වය ද, රතු පැහැයෙන් රුධිරය ද කළු පැහැයෙන් පස ද සංකේතවත් කරයි. සුදු පැහැති ඇබකාවලට අමතරව, අනෙකුත් වර්ණ දෙක ලබා ගන්නේ ද එම ප්‍රදේශයට අවේණික ශාකවලිනි. රතු පැහැය ලබා ගන්නේ, ලෝකො නමැති ගස්වල ඇති දුඹුරු-රතු පැහැති මුල්වලින් වන අතර කළු පැහැය ලබා ගන්නේ, නාලම් නමැති ගස්වල හරිත වර්ණයෙන් යුතු කොළ දින හතක් තම්බා ගැනීමෙනි. ඒවා තීන්ත වැනි අඳුරු පැහැයක් ගනියි.
සෙබුලන් එම කාර්යයේ නිරතවද්දී, නව යොවුන් වියේ පසුවන ගැහැණු දරුවෙකු කෙඳිවල මෘදු බව සහ කල්පැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා සහ ඒවා රෙදි විවීම සඳහා සූදානම් කිරීම සඳහා පැටලී ඇති ඇබකා කෙඳි මිටි පීරීම සිදු කළා ය. ඇය අසල සිටි තව ත් කාන්තාවක සිටියේ, මෙම රෙදිපිළිවල ඇති සංකීර්ණ රටාව ඉස්මතු කෙරෙන, රෙදි වියන යන්ත්‍රය මත වූ සිරස් අතට ඇති සායම් කළ නූල් අතරට හරස් අතට නූල් යොදමින් එය වියමිනි.

ඡායාරූප මූලාශ්‍රය, lisyl/Alamy
ටි'නාලක් විවීමේ ක්‍රියාවලියේදී නොකළ යුතු ක්‍රියා කිහිපයක් ද තිබේ. නිදසුනක් වශයෙන්, ෆූ දලූට ගෞරවය දැක්වීමක් ලෙස, රෙදි වියන කාලය තුළ කාන්තා රෙදි වියන්නන්ට සහ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ට ලිංගිකව හැසිරීම තහනම් වේ. සිහින වියන්නන් වීමට ඉඩ ඇත්තේ, කාන්තාවන්ට පමණක් වන නමුත් පිරිමි පාර්ශවය ද ඊට සම්බන්ධ වේ.
ඇබකා ගස් සිටුවීම සහ ඒවා උදුරා දැමීම මෙන් ම අලුතින් වියන ලද රෙදි තුනී කිරීම වැනි කටයුතු සඳහා පිරිමින් බොහෝ විට වගකිව යුතු ය. ඒ සඳහා, ඔවුහු ඇබකා ගසේ කඳෙන් සාදා ගනු ලබන රිටක එක් කෙළවරක කවඩියක් සවි කර අනෙක් කෙළවර වහලයට සරනේරුවක් ලෙස සම්බන්ධ කරති. පසුව කවඩිය සමග රෙදි මත පීඩනය යෙදීම සඳහා රිට තල්ලු කිරීම සිදු කරයි.
ටි'බොංග් ගම්මානයේ දළ වශයෙන් නිවෙස් 70ක් පමණ පවතින අතර, චාලි මට පැවසුවේ, ඒවායේ අවම වශයෙන් දක්ෂ වියන්නන් 25 දෙනෙකු සහ ආධුනිකයින් 12 දෙනෙකු පමණ සිටින බව ය. පිලිපීන ආර්ථික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ ඇති තොරතුරුවලට අනුව, සිහින රෙදි විවීම සෙබූ වැව අවට බහුලව පැතිරී තිබී ඇත. වැව අවට පිහිටා ඇති තව ත් ගම්මාන කිහිපයක් ගවේෂණය කළ නමුත්, තවමත් රෙදි විවීමේ නිරත එකදු පවුලක් හෝ මට හමු නොවිණි. එයින් ඇඟවෙන්නේ මෙම ඓතිහාසික වශයෙන් වැදගත්කමක් ඇති මෙම සම්ප්‍රදාය වියැකී යන බව ය.
මින්දනාඕ නැවත විවෘත කිරීම ආරම්භ කර ඇති හෙයින්, වැව දිගේ නිවාඩු නිකේතන මතු වීමට පටන් ගෙන තිබේ. ඒවායින් බොහොමයක් ටි'බොලි සහ ටි'නාලක් ආශ්‍රිත සැරසිලිවලින් සරසා ඇති නමුත් නිවාඩු නිකේතන තුනක කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් ඒවා සම්බන්ධයෙන් විමසූ විට ඒ පිටුපස ඇති කතා පිළිබඳව ඔවුන් කිසිවෙකුත් දැන සිටියේ නැත. සංචාරකයන්ට ටි'නාලක් අලෙවි කරන වැව අද්දර පිහිටා ඇති සාප්පුවක සිටි එම ප්‍රදේශයේ ම දිවි ගෙවන කාන්තාවකට ද ඇය අලෙවි කළ නිර්මාණ කිසිවක් නම් කළ නොහැකි විය.

ඡායාරූප මූලාශ්‍රය, Kan Zhang
කෙසේ වෙත ත්, ටි'බොලි සම්ප්‍රදායන් ජීවමානව තබා ගැනීමට කැපවී සිටින ප්‍රදේශවාසීහු සිටිති. 1995 වසරේ සිට, ටි'බොලිහි සංස්කෘතික තානාපතිවරියක වන මාරියා ටෝඩි, වැව අද්දර පිහිටා ඇති දිගු නිවසක, 'ජීවන සම්ප්‍රදායන් පිළිබඳව වන ලේක් සෙබූ පාසල' පවත්වාගෙන යයි. වෙනත් ප්‍රවීණ රෙදි වියන්නෙකු විසින් උගන්වනු ලබන රෙදි විවීමේ විෂයට අමතරව ඇය ප්‍රදේශයේ දරුවන්ට ටි'බොලි සංගීතය සහ නර්තන කලාව උගන්වයි.
මරියා ටෝඩි ද ටි'නාලක් ඇතුළු ටි'බොලිහි ඇති විවිධ සංස්කෘතික සම්ප්‍රදායන් ලේඛනගත කර ඇත. ඇගේ පාසලේදී යෙදුණු සංවාදයකදී ඇය අපට පැහැදිලි කළේ, මෙම වටිනා රෙදිපිළි වරක් මුදල් ලෙස භාවිත කළ බව ත්, ඒවා විවාහ මංගල්‍යවලදී දෑවැදි ලෙස ලබා දෙන එළදෙනුන් හෝ මී හරක් වෙනුවට ආදේශ කිරීමට හැකි වූ බවත් ය. ටි'බොලි ජනයා නූතන සමාජයට ඉතා වේගයෙන් අනුගත වීම ත් සමග අනෙකුත් බොහෝ සම්ප්‍රදායන් මෙන් ටි'නාලක් ද එහි ප්‍රායෝගික වටිනාකම නැති වී ගොස් මතකයෙන් ගිලිහී යාමේ අවදානමට ලක්ව ඇති හුදෙක් සංස්කෘතික සංකේතයක් බවට පත් වෙමින් ඇති බව ඇය පැවසුවා ය.
"අපි ජීවන සම්ප්‍රදායන් පිළිබඳ පාසල පිහිටුවීමට හේතුව [තමයි] අපේ සංස්කෘතිය නැති වෙලා, අපි ත් නැති කාලෙක ඒවාට පුනර්ජීවයක් ලබා දෙන්න සහ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න විධියක් හදන එක," ඇය පැවසුවා ය.

ඡායාරූප මූලාශ්‍රය, Kan Zhang
මාරියා ටෝඩි පවසන පරිදි, ටි'බොලි සංස්කෘතිය සංචාරකයින්ට ඉදිරිපත් කිරීමට පමණක් යොදා නොගත යුතු අතර එය නිවසේදී ම ප්‍රගුණ කළ යුතු කලාවකි. "ඉස්සර, මගේ ළමයි සමහර අවස්ථාවලදී මුදල් හොයන්න නිවාඩු නිකේතනවල ප්‍රසංග කළා. හැබැයි මං තවදුරට ත් ඒකට ඉඩ දෙන්නේ නෑ," ඇය පැහැදිලි කළා ය. "සංචාරකයෝ කරන්නේ, කන ගමන් ඒ දිහා බලන් ඉන්න එක. ඒකෙන් ඒ අයට කිසි ම දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නෑ."
මේ කනස්සල්ල ටි'නාලක් දක්වා ද විහිදේ. එහි ආරම්භය නොදන්නා අයට එය රෙදි කැබැල්ලකට වඩා වැඩි දෙයක් නොවේ. නමුත් ශතවර්ෂ ගණනාවක් පුරා ටි'බොලි කාන්තාවන් ඔවුන් දකින සිහින තුළින් ගොඩනගා ගන්නා සංකල්පනා සටහන් කිරීමට උත්සහ කර ඇති ආකාරය ගැන දන්නා අයට, ඓතිහාසික වටිනාකමකින් යුතු මෙම රෙදිපිළි, භෞතික ලෝකය සහ අධ්‍යාත්මික ලෝකය වෙනස් ලෙස දැකීමට මිනිසුන්ට සහ සංස්කෘතියකට කල්පවත්නා සාක්ෂියක් ලෙස පවතියි.
BBC Travel වෙත කන් ජන්ග් විසින් සම්පාදනය කරන ලද්දකි.












