කිළිටි ඇඳුම් අඳින්නන්ගේ වර්ධනයක්

Alamy

ඡායාරූප මූලාශ්‍රය, Alamy

අඩුවෙන් ඇඳුම් සෝදන - නැතහොත් කිසිසේත්ම ඇඳුම් සේදීම ගැන විශ්වාස නොකරන්නන්ගේ එකතුවක් මේ වන විට වර්ධනය වෙමින් තිබේ. එවැනි 'අඩුවෙන් ඇඳුම් සෝදන' සහ 'ඇඳුම් සේදීමක් නොකරන' අදහස් ඇති පිරිසක් සමග මැටිල්ඩා වෙලින් කතාබහක නිරත වූවා ය.

භාවිත කර 'පට්ට ගැසූ' ඇඳුම්වල ඡායාරූප පිරික්සමින් බ්‍රයන් සාබෝ සහ ඔහුගේ කණ්ඩායම පැය ගණනක් කාලය ගත කර තිබේ. බ්ලීච් දැමීම නිසා අවපැහැ ගැන්වුණු, දණහිස් පෙදෙසේ මී වදයක හැඩයට නූල් ගැලවුණු සහ ඉකිලි ප්‍රදේශයේ නූල් ඉලිප්පුණු ඇඳුම් ඒ අතර විය.වැඩියෙන් ම අවපැහැ ගැන් වී ඇති ඇඳුම් වර්ණනා කරන්නට ඔවුහු ඔන්ලයින් ඔස්සේ එකතු වී කථා බහ කරති.

"මේ ඇඳුමේ සියුම් කොන් හොඳටම නැවත හදලා තියෙනවා !" "හොයාගන්න බැරි තරම් සියුම්ව...විචිත්‍ර විදියට අවපැහැ ගැන්වුණු නිල් පැහැයවල් (tones) එක්ක නියම ගැලපීමක් කරලා තියෙනවා" මේ අන්තිම කෙනා තමයි ජයග්‍රහකයා.

මේ තරග විනිශ්චයට ලක්වීම සදහා ලොව පුරා සිටින වසරක් පුරා සේදීමක් නොකළ අමු ඩෙනිම් අඳින්නන් 'the Indigo Invitational' සමග එකතු වේ. නමුත් මේ තරගකරුවන් ලෝකයේ ඉහළම 'ජීන්ස් ෆේඩර්ලා' පමණක් නොවේ. ඔවුන්ට වෙනත් ශූරත්වයක් ද තිබේ. එනම් ඩෙනිම් අඩුවෙන්ම සේදීමයි.

තෙමු විට සහ සබන් ගෑ විට ඩෙනිම් මෘදු වන බැවින්, ඩෙනිමේ හොඳ එකිනෙකට වෙනස් රටා මවා ගැනීමට හැකි හොඳම ක්‍රමය නම් ඒවා සේදීමෙන් වැළකී සිටීමයි. මෙම උපාය මාර්ගය 'නෝ වොෂ් ක්ලබ්' එකක සාමාජිකයින්ගේ සිට ලෙවීස් (Levi's )හි ප්‍රධාන විධායක නිලධාරියා දක්වා වන සියලු දෙනාම අනුගමනය කරයි.

ලිහිල් අවමවාදයේ නැගීම

සාබෝ පවසන පරිදි, අඩුවෙන් සෝදන පුරුද්ද ආරම්භ වූයේ 2010 වසරේදී ඔහු පළමු වරට ඩෙනිම් කලිසමක් මිල දී ගත් පසු ය. ඔහුගේ උපන් රටවන කැනඩාවේ සිට යුරෝපය දක්වා මාස 6ක කාලයක් ගත වූ සංචාරය සඳහා ඔහු සිය ඩෙනිම් කලිසම රැගෙන ගියේ ය. "ඒ ගඳ ගහන ඩෙනිම මගේ ළඟ තියා ගන්න එක මට විකාරයක් වුණා," ඔහු BBC Culture වෙත පැවසීය. "ඒකෙ ගඳ ඉවසන්න බැරි තරම් වුණා." බුඩාපේස්ට්හිදී ඔහුට සිය අනාගත බිරිඳ මුණ ගැසුණු අතර ඔවුන්ගේ සම්බන්ධතාවය තුළ ඩෙනිම් කලිසම් ද චරිතයක් බවට පත්ව තිබිණි. "මගේ කලිසම් ඇඳ කෙළවර ගොඩ ගහලා තිබුණේ," ඔහු මතකය අවදි කළේ ය. "මගේ කාමරයට එන කෙනෙකුට ඒ ගඳ දැනෙනවා... මගේ බිරිඳ එයා ගැන වගේ ම මං ගැන ත් උනන්දු වුණ නිසා මම වාසනාවන්ත වුණා."

Indigo Invitational තරගයට හොඳින් අඳින ලද ජීන්ස් වල පින්තූර ඇතුළත් කෙරෙන අතර, ඊට එක්වන තරගකරුවන් වසරක් සඳහා ඩෙනිම් යුගලයක් පළඳියි.

ඡායාරූප මූලාශ්‍රය, Indigo Invitational

ඡායාරූප ශීර්ෂ වැකිය, Indigo Invitational තරගයට හොඳින් අඳින ලද ජීන්ස් වල පින්තූර ඇතුළත් කෙරෙන අතර, ඊට එක්වන තරගකරුවන් වසරක් සඳහා ඩෙනිම් යුගලයක් පළඳියි.

ලබන ජනවාරියේදී සිව් වන වසර සමරන Indigo Invitational හි තරගකරුවන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුට වඩා ඔවුන්ගේ කලිසම් පළමු වරට සෝදා ඇත්තේ, 150 හෝ 200 වතාවක් ඇඳීමෙන් පසුව බවට සාබෝ ඇස්තමේන්තු කරයි. "සමහර කලිසම් අවුරුද්දෙ අවසානයේදී ලැබෙන නිසා මම ඒවා ළඟට කරලා බලන්නේ නෑ" ඔහු පවසයි. "ඒවායින් දුගඳක් එන්න ඉඩ තියෙනවා." ඔහුගේ ඇතැම් ඩෙනිම් අඳින මිතුරන් ඊට ත් වඩා කාලයක් ඩෙනිම් කලිසම් නොසෝදා අඳින අතර ඔහු එය හඳුන්වන්නේ, "නෙවර් වොෂ් ෆිලොසොෆි" (never-wash philosophy) ලෙසය.

"එයාලගෙන් එක් කෙනෙක් ලිෆ්ට් එක්ක වගේ වැහිච්ච තැනක එහෙම කලිසමක් ඇඳගෙන හිටියොත් යම් ගඳක් දැනෙයි," ඔහු පවසයි. "එයාගේ හොඳට ම ෆේඩ් වුණ කලිසම් කිහිපයක් වෙළෙඳ ප්‍රදර්ශනවල ප්‍රදර්ශනය කරනවා. ඒකෙන් ගඳක් එනවා... ඒක අප්‍රසන්න දුඟදක් නෙවෙයි, ඒත් ඒක ගඳක්"

රෙදි සෝදන යන්ත්‍ර වෙත යොමු වීම වෙනුවට ඩෙනිම් කලිසම් අඳින්නෝ, පාරජම්බුල කිරණවලට නිරාවරණය කිරීම (" මන් ඒකට කියන්නේ සන් බාත් කියලා ," සාබෝ කියයි) හෝ වාතයට නිරාවරණය කර තැබීම ආදී වෙනත් ක්‍රම අත්හදා බලති. සාබෝ රෙදි සෝදන යන්ත්‍රය ද භාවිත කරයි. "මගේ බිරිඳට මගේ ඩෙනිම්වල ගඳ දැනෙන්න පටන් ගත්ත ගමන් එයා මට කියනවා, කෙලින් ම ඒවා වොෂ්රූම් එකට තමා කියලා."

"පිරිසුදු කරන්න තරම් ලොකු දෙයක් නැත්නම් පිරිසුදු කරන්න එපා"

රෙදි සේදීම අඩු කර ඇති අය අතර සිටින්නේ, ඩෙනිම් අඳින්නන් පමණක් නොවේ.

2019 වසරේදී මෝස්තර නිර්මාණ ශිල්පිනියක වන ස්ටෙලා මැකාර්ති ඇගේ යට ඇඳුම් පිරිසුදු කරන ආකාරය පිළිබඳව කළ විස්තරයක් නිසා පුවත් සිරස්තල මැවිණි. ඇය ගාඩියන් පුවත්පතට පැවසුවේ: "මූලිකව, ජීවිතයේ ඇති රීතියක් තමයි, පිරිසුදු කරන්න තරම් ලොකු දෙයක් නැත්නම් පිරිසුදු කරන්න එපා. මම දවස ගාණේ මගේ තනපටය මාරු කරන්නේ නෑ. ඒ වගේ ම ඇඳුමක් ඇන්ද පලියට මම වොෂිං මැෂින් එකට විසි කරන්නෙ නෑ. මම මගේ සනීපාරක්ෂාව උපරිමයෙන් තියා ගන්න කෙනෙක්. ඒත්, මම ඩ්‍රයි ක්ලීන් හෝ වෙනත් පිරිසුදු කිරීම් ගැන උනන්දුවක් දක්වන කෙනෙක් නෙවෙයි."

මෝස්තර නිර්මාණ ශිල්පිනී ස්ටෙලා මැකාර්ති නිතර ඇඳුම් සේදීමේ රසිකයෙක් නොවන නමුත්, ඇයට "ඇදහිය නොහැකි තරම් සනීපාරක්ෂාව" ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෝස්තර නිර්මාණ ශිල්පිනී ස්ටෙලා මැකාර්ති නිතර ඇඳුම් සේදීමේ රසිකයෙක් නොවන නමුත්, ඇයට "ඇදහිය නොහැකි තරම් සනීපාරක්ෂාව" ඇත.

ඇමෙරිකාවේ කනෙක්ටිකට්හි චෙල්සී හැරී Wool& පාරිභෝගිකයෙකි. "මම හැදී වැඩුණේ එක් වරක් භාවිත කිරීමෙන් පසු සියල්ල සෝදන නිවසක," ඇය BBC Culture වෙත පවසයි.

"තුවාය, පිජාමා එක එක පාරක් පාවිච්චි කළත් හේදුවා." එක් ග්‍රීෂ්ම ඍතුවක, හැරී සිය මිත්තණිය සමග වාසය කළ අතර, උදෑසන ඇගේ පිජාමා ඇඳුම කොට්ටය යට තබා යළි එය ඊළඟ රාත්‍රියේ ඇඳීමට මිත්තණිය ඉගැන්වූවා ය.

පසුව, ඇයට සිය සැමියා මුණ ගැසුණු අතර ඇය පවසන පරිදි, ඔහු "ඇඳුමක් හෝදන්නේ ඉඳහිට ය."

ඉන්පසු, කොවිඩ් වසංගත සමයේ, හැරී දුර ගමන් ඇවිදීමට පටන් ගත්තා ය. බොහෝ දේ වෙනස් වූයේ, මෙයින් පසුව ය.

"දවස පුරා ම ඇවිද්දාට පස්සේ ඒ වගේ ම වැල් ඇඳක නිදා ගන්නකොට ඇත්තට ම නාන්න අමාරු යි," ඇය පවසයි. ඇවිදින්නන්ගේ ප්‍රජාව නියෝජනය සෙසු පුද්ගලයින් නිර්දේශ කරන්නේ, දින කිහිපයක් ඇඳිය හැකි සහ ඉක්මනින් වියළෙනසුලු Ex Officio යට ඇඳුම් අඳින ලෙස ය. ඒවා භාවිත කිරීමෙන් දින කිහිපයක් පහසුවෙන් ඇවිදීමේ නිරත විය හැකි බව හැරී වටහා ගත්තේ ය. "එතකොට, මට හිතුණා ඇයි මට මේක මගේ එදිනෙදා ජීවිතයේ කරන්න බැරි? කියලා," ඇය පැවසීය.

සුගන්ධය සහ සංවේදීතාව

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

හැරී දුගන්ධය පිළිබඳව තැකීමක් නොකර යි. "මම මගේ නහය විශ්වාස කරනවා," ඇය පවසයි. ඇගේ අනෙකුත් ඇඳුම් ඇන්ද විට කිසි විටෙක සිදු නොවන ආකාරයෙන් වෙනස් ලොම් මිශ්‍රණයක් සහිත නව ඇඳුමකින් සැරසී සිටින විට ඇයට තමාගේ ම සුවඳ විඳ ගත හැකි ය. සාබෝ මෙන්, ඇය ද රෙදි සේදීමෙන් සම්පූර්ණයෙන් වැළකීම සඳහා ඇඳුම් රැයක් පුරා සුළඟට නිරාවරණය කර තැබීම, විනාකිරි හෝ වොඩ්කා ඉසීම වැනි විවිධ උපක්‍රම භාවිත කර යි. "දවස අවසානයේදී මගේ වූල් ඇඳුම, වූල් ලෙගින්ස් සහ වූල් මේස් එල්ලා තබන්න මම ගොඩක් කැමති යි," ඇය පවසයි. "මම කරන්නෙ එච්චර යි. මම ඒවා ජනේලය ළඟ එල්ලනවා. වේලගන්නවා, මට තියෙනවා Ex Officio යට ඇඳුමක්. පහුව දා උදේ ඒ ඔක්කොම ඇඳ ගන්නවා."

"ඇඳුමක් පාවිච්චි කරන්න පුළුවන් කාලය අඩු කරන්න තියෙන නරක ම දෙය තමයි, ඒක හෝදන එක," එලෙස පැවසුවේ, ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ තිරසර ඇඳුම් මෝස්තර පිළිබඳ කථිකාචාර්ය මාර්ක් සම්නර් ය.

ඇඳුම් සේදීමේදී එය ඉරී යාමට, හැකිලීමට හෝ අවපැහැ වීමට හැකි බව ඔහු පවසයි. ගෘහස්ත රෙදි සේදීම් සමුද්‍ර සතුන්ගෙන් අවසන් වන්නේ කෙසේ ද? යන්න පිළිබඳව මාර්ක් සම්නර් ඔහුගේ සගයා වන මාර්ක් ටේලර් සමග එක්ව අධ්‍යයනයක නිරත වෙයි. රෙදි සෝදන වාර ගණන අඩු කිරීම පරිසරය සම්බන්ධයෙන් නිවැරදි තේරීමක් බව ඔහු පවසන නමුත්, සම්පූර්ණ රෙදි සෝදන යන්ත්‍ර තහනම් කිරීමක් වෙනුවෙන් ඔහු පෙනී සිටින්නේ නැත.

"මිනිස්සුන්ට හෝදන්න බෑ කියලා පොලොඹවන්න අපට අවශ්‍යතාවක් නෑ. ඔවුන් අපේ පෘථිවිය විනාශ කරමින් සිටිනවා," සම්නර් BBC Culture වෙත පැවසීය.

"මේක සමබරව කළ යුතු දෙයක්." ඔහු පැවසුවේ, වෛද්‍ය සහ සනීපාරක්ෂක හේතු මත ඇඳුම් සේදීම වැදගත් බව ය. නිදසුනක් වශයෙන්, කුෂ්ඨ රෝගයකින් පෙළෙන්නන්ගේ සමේ බැක්ටීරියා ඇඳුම් තුළින් ව්‍යාප්ත විය හැකි ය. එමෙන් ම, ආත්මාභිමානය රැක ගැනීම සඳහා "අපිරිසුදු හෝ දුර්ගන්ධයක් ඇඳුම්වලින් වහනය නොවී ලජ්ජාවට පත් නොවී සිටීමට ද," ඇඳුම් සේදීම වැදගත්."

“ඔබේ රෙදි සේදීම අඩු කිරීම පෘථීවියට වඩාත් හොඳයි - එමෙන්ම කාලය ඉතිරි කරයි”, අඩු සේදීමේ ක්‍රියාවලියක් පිළිබඳ උනන්දුවක් දක්වන්නෝ පවසති.

ඡායාරූප මූලාශ්‍රය, Alamy

ඡායාරූප ශීර්ෂ වැකිය, “ඔබේ රෙදි සේදීම අඩු කිරීම පෘථීවියට වඩාත් හොඳයි - එමෙන්ම කාලය ඉතිරි කරයි”, අඩු සේදීමේ ක්‍රියාවලියක් පිළිබඳ උනන්දුවක් දක්වන්නෝ පවසති.

ඔබේ රෙදි සෝදන යන්ත්‍රය කොපමණ වාරයක් පිරවිය යුතු ද යන්න පිළිබඳව නැවත වරක් සිතා බැලිය යුතුව තිබේ.

රෙදි සේදීමේ පුරුද්දක් ඇති වූ පසු, ඒවා සෝදන වාර ගණන පිළිබඳව ඇස්තමේන්තු කළ නොහැකි බව සම්නර් සහ ටේලර් පවසති: අපි විවිධ සේදුම් උෂ්ණත්වයන්, සේදුම් චක්‍ර සහ වර්ණ - රෙදි වර්ග සංයෝජන භාවිත කරන්නෙමු. විද්‍යාඥයෝ ද අප මුහුණ දෙන ගැටලුවට මුහුණ දෙති‍. "මම අවුරුදු 30ක් තිස්සේ ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැළිලා ඉන්නවා. ඒ නිසා කෘත්‍රිම රෙදි වෙනුවට කොට්න් තෝරා ගන්න ත්, වර්ණ රෙදි වෙනුවට සුදු ඇඳුම් තෝරා ගන්න ත් මම දැන ගත යුතු යි.... ඒත් ඇත්තට ම මට ඒකට වෙලාවක් තිබුණෙ නෑ."

හොඳ ම ප්‍රවේශය වන්නේ, නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ය. "ඔබේ ඇඳුම්වලින් දුර්ගන්ධයක් එන්නෙ නැත්නම් ඒවා හෝදන්න මහන්සි වෙන්න එපා," සම්නර් උපදෙස් දුන්නේ ය.

"ඔබ ඇඳුම් හෝදන්න යද්දී ඒවා පිරිසුදු කර ගන්න වඩා ත් ඵලදායී ක්‍රමයක් අනුගමනය කරන්න." ඔහු යෝජනා කරන්නේ, අඩු උෂ්ණත්වයක් යටතේ ඇඳුම් සෝදන ලෙස ය. එසේ නැතහොත් සේදුම් කුඩු භාවිතයෙන් තොරව කෙටි චක්‍රයක් හරහා ඇඳුම් සෝදා ගැනීම කළ හැකි බවට ද ඔහු යෝජනා කරයි.

ඊට අමතරව, බොහෝ විට ඇඳුම් සේදීම හරහා ඔබේ ජීවිතයේ පැය ගණනක් ඔබට අහිමි විය හැකි යි.

"කාට ද වෙලාවක් තියෙන්නේ? තිරසරභාවයට, පරිසරයට සහ ස්වාභාවික සම්පත් කළමනාකරණයට මම ඇත්තට ම උනන්දු යි," හැරී පවසයි.

"ඒත්, මම මගේ කාලය ගැන ත් සැලකිලිමත් වෙනවා."

සාබෝ ද තිරසරභාවය පිළිබඳව සැලකිලිමත් වන නමුත්, ඕනෑවට වඩා පිරිසිදු කිරීමේ පුරුදුවලින් ඉවත් වීමට ඔහුට වෙනත් හේතු තිබේ.

"මට කරන්න තව වැඩ තියෙනවා," ඔහු පවසයි. "මට බල්ලාව ඇවිද්දවන්න ත් තියෙනවා."

මැටිල්ඩා වෙලින් - BBC Culture වෙනුවෙනි.