ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයට කුමක් වෙයි ද? කාලගුණ වෙනස බලපාන ප්‍රදේශ මොනවා ද?'
නොවැම්බර් මාසය අවසානයේදී අන්දමන් දූපත් ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ, එම අඩු පීඩන තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන් නිරන්තර අවධානයෙන් පසුවන බව ය.
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය කාලගුණ විද්‍යා පුරෝකථනයන්ට අනුව අන්දමන් දූපත් ආශ්‍රිතව ඇති වන එම අඩු පීඩන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (නොවැම්බර් 25) දැනුම් දීමක් කර තිබිණි.
'ගමන් මාර්ගය ගැන නිශ්චිතව කියන්න බැහැ'
බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ, අන්දමන් දූපත් ආශ්‍රිතව වර්ධනය වන අඩු පීඩන තත්ත්වය පසුව බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු කලාපයේදී පීඩන අවපාතයක් බවට පත් වීමට හැකියාවක් ඇති බව ය.
"නොවැම්බර් 30 වැනිදා වෙන විට අන්දමන් දූපත් ආසන්නයේ වර්ධනය වෙන අඩු පීඩන කලාපය බෙංගාල බොක්ක මුහුදු කලාපයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් කියලා අපි දැනට බලාපොරොත්තු වෙනවා.
මේ පද්ධතියේ ගමන් මාර්ගය ගැන නිශ්චිතව කියන්න අමාරුයි දැනට. සමහර ආකෘති දැනට පෙන්වන විදිහට මේ තත්ත්වය ඉන්දියාව පැත්තට ගමන් කරනවා කියලා කියනවා. ඒ වගේ ම සමහර ආකෘතිවලින් පෙන්නුම් කරනවා මේ තත්ත්වය ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගමන් කරනවා කියලා. ඒ නිසා අපි මේ තත්ත්වය ගැන අඛණ්ඩව නිරීක්ෂණය කරමින් ඉන්නවා," ඔහු කියා සිටියේ ය.
ළඟ ළඟ සුළි කුණාටු ඇති වීමට හේතුව කුමක් ද?
බෙංගාල බොක්ක සහ අන්දමන් දූපත් ආශ්‍රිතව ඉතා මෑත කාලසීමාව තුළදී සුළි කුණාටු 03ක් ඇති වීමට හේතුව කුමක්දැයි බීබීසී සිංහල කළ විමසීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂවරයා මෙලෙස කරුණු පැහැදිලි කළේ ය.
"මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න බලපාන හේතු කිහිපයක් තියෙනවා. මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න මුහුදේ තියෙන තාප ශක්තිය ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපානවා. ඒකෙන් කියවෙන දේ තමයි බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය උණුසුම් කියන එක. සාගර උණුසුම වැඩි වෙන්න මේ වගේ පද්ධති වර්ධනය වෙන්න තියෙන අවස්ථාව වැඩි යි.
ඒකට අමතරව බලපාන තවත් සාධකයක් තමයි සමකය ආසන්නයේ තියෙනවා වායුගෝලයේ දෝලනයක්. අපි මේකට Madden-Julian Oscillation (MJO) සහ Rossby waves වැනි වායුගෝලීය දෝලන මඟින් ඉන්දියන් සාගර කලාපයේ මෙවැනි කාලගුණ පද්ධති වර්ධනය වීමට සුදුසු පසුබිමක් නිර්මාණය කරනවා.
සාමාන්‍යයෙන් ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් කියන කාල සීමාව බෙංගාල බොක්ක ආශ්‍රිතව ඉන්දියන් සාගරයේ සුළි කුණාටු ඇති වෙන්න තියෙන අවස්ථා වැඩි යි. මේ අවුරුද්දේ ඉදිරියේදී තවත් පද්ධති ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා," ඔහු සඳහන් කර සිටියේ ය.
ක්ෂණික වැසි සහ ගංවතුර ගැන අවධානයෙන් ඉන්න
මේ දිනවල දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් වැසි තත්ත්වය සහ නැගෙනහිර දෙසින් හමා එන ජල වාෂ්ප සහිත වලාකුළු පද්ධතිය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය බලාපොරොත්තු වන බව ද අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් කියා සිටියේ ය.
"තවමත් අපි ඉන්නේ අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය යටතේ. මේ හින්ද යි හවස් කාලයේදී වැසි ඇති වෙන්නේ. දිවයින අභ්‍යන්තරයේ වලාකුළු වර්ධනය වෙලා මේ වැසි තත්ත්වය ඇති වෙනවා. ඒ එක්ක ම නැගෙනහිරින් එන හොඳ ජල වාෂ්ප සහිත සුළං ප්‍රවාහයක්. ඒ නිසා දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට දවස පුරාවට කඩින් කඩ වැසි ඇති වෙනවා.
ඊයේ (නොවැම්බර් 25) අපි දැක්කා අකුරණ ප්‍රදේශයේ ඇති වුණ ක්ෂණික වැස්සත් එක්ක ගංවතුර තත්ත්වයක් ඇති වෙනවා. එවැනි තත්ත්වයන් මේ දවස්වල තියෙන වැසි තත්ත්වයත් එක්ක අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් කෙටි කාලයක් තුළදී දැඩි තීව්‍රතාවයකින් යුත් තද වැසි ඇති වීම නිසා අපේ නගර ආශ්‍රිතව තියෙන ජලාපවහන පද්ධති ප්‍රමාණවත් නැහැ ඒ තත්ත්වය පාලනය කරන්න. මේ නිසා ක්ෂණික ගංවතුර තත්ත්වයන් අපේක්ෂා කරන්න පුළුවන් ජනාකීර්ණ ප්‍රදේශවල.
ඒ වගේ ම අපි දැනුම් දෙන්න අවශ්‍ය වෙනවා ජනතාවට හවස් කාලයේදී ඇති වෙන මේ වැසි තත්ත්වය නිසා ඇළදොළ සහ ගංගා භාවිතයේදී මහජනතාව වැඩි අවධානයෙන් ඉන්න කියලා. මොක ද ක්ෂණිකව වැසි තත්ත්වයත් එක්ක ජල මට්ටම් ඉහළ යන්න පුළුවන් නිසා."
මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පැවසුවේ, පසුගිය දින කිහිපය තුළ පැවති අධික වර්ෂාපතනයත් සමග මහනුවර, කෑගල්ල, කළුතර, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක වෙත නිකුත් කරන ලද නිවේදනයන් ඉදිරි පැය 24ක කාලය සඳහා බලාත්මක බව ය.