ලොව ධනවත් ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට අලුතින් එක්වූ ප්‍රකෝටිපතියන් කවුද?

ධනවත් පුද්ගලයින් සම්බන්ධයෙන් නිකුත් කෙරුණු නවතම ලැයිස්තුවකට අනුව, ටේලර් ස්විෆ්ට් ලොව ධනවත් ම පුද්ගලයින් අතරට පැමිණෙමින් ඊලෝන් මස්ක් සමග එක් වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ධනවත් පුද්ගලයින් සම්බන්ධයෙන් නිකුත් කෙරුණු නවතම ලැයිස්තුවකට අනුව, ටේලර් ස්විෆ්ට් ලොව ධනවත් ම පුද්ගලයින් අතරට පැමිණෙමින් ඊලෝන් මස්ක් සමග එක් වී තිබේ.

ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක වත්කම් සමගින් Forbes World's Billionaires ලැයිස්තුවට මෙම ඇමෙරිකානු පොප් තාරකාව පළමු වරට ඇතුළු වූයේ, කෘත්‍රිම බුද්ධි චැට්බොට් එකක් වන ChatGPT නිර්මාතෘ ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක වත්කම් ඇති සෑම් ඕල්ට්මන් ද සමග ය.

ප්‍රංශ සුඛෝපබෝගී භාණ්ඩ නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන LVMH හිමිකරු බර්නාඩ් ආර්නෝ සහ ඔහුගේ පවුල ඇමෙරිකානු ඩොලර් බිලියන 233ක ඇස්තමේන්තුගත වත්කම් සමගින් ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානයේ පසුවෙයි.

ෆෝබ්ස් පැවසුවේ, 2024 වර්ෂයේ 2,781 දෙනෙකු බිලියනපතියන් ලෙස සටහන් කර ඇති බව ය.

එම අගය පසුගිය වසරට වඩා 141කින් වැඩි වූ අතර 2021 වසරේ පැවති ගණනට වඩා 26කින් වැඩි විය. ෆෝබ්ස් තවදුරටත් පැවසුවේ, මෙම ප්‍රභූ පිරිස වෙන කවරදාටත් වඩා ධනවත්ව සිටි බව ත් එකතුවක් ලෙස ගත් කල ඔවුන්ගේ සමස්ත ධනය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 14.2 ඉක්මවූ බව ත් ය.

පසුගිය වසර සමග සංසන්දනය කිරීමේදී මස්ක් සතු ධනයේ 8%ක වැඩි වීමක් පෙන්නුම් කළ ද ඔහුගේ ශුද්ධ වත්කම්වල වටිනාකම 2021 වසරේ නොවැම්බර් මාසයේ පැවති අගයට වඩා අඩු අගයක් ගනී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසර සමග සංසන්දනය කිරීමේදී ඊලෝන් මස්ක් සතු ධනයේ 8%ක වැඩි වීමක් පෙන්නුම් කළ ද ඔහුගේ ශුද්ධ වත්කම්වල වටිනාකම 2021 වසරේ නොවැම්බර් මාසයේ පැවති අගයට වඩා අඩු අගයක් ගනී

ගායිකාවක, ගේය පද රචිකාවියක වන ස්විෆ්ට් මෙම ධනවත් පුද්ගලයින්ගේ ලැයිස්තුවට ඇතුළු වූයේ, සංගීත ක්ෂේත්‍රයේ අතිශයින් ම ජනප්‍රිය තාරකාවක් (megastar) බවට පත්වීමෙන් අනතුරුව ය. වසරේ ඇල්බමය සඳහා සිව් වතාවක් ත්‍යාගය දිනාගත් පළමු ගායන ශිල්පිනිය බවට පත් වෙමින් ඇය මෙම වසරේ ග්‍රැමී සම්මාන උළෙල තමන් සතු කර ගත්තා ය.

ඇගේ 1989 (Taylor's Version) ගීත ඇල්බමය පසුගිය වසරේ වැඩියෙන් ම අලෙවි වූ වයිනයිල් තැටිය ද විය.

ස්විෆ්ට්ගේ සාර්ථකත්වය සංගීත ලෝකයට පමණක් සීමා වූවක් නොවේ. ඇගේ පෙම්වතා වන ට්‍රැවිස් කෙල්සී ක්‍රීඩා කරන අයුරු නැරඹීමට ඇය ඇමෙරිකානු පාපන්දු තරගවලට පැමිණීමෙන් NFL නරඹන ප්‍රේක්ෂකයින් ගණන ඉහළ යාමේ ගෞරවය ද ඇයට හිමි වේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ලොව ධනවත් ම පුද්ගලයන් 10 දෙනා සම්බන්ධයෙන් ගත් කල, ලැයිස්තුවේ සිටින අට දෙනෙකු එක්සත් ජනපද පුරවැසියෝ වෙති. ඔවුන්ගෙන් හය දෙනෙකු මුදල් උපයා ඇත්තේ තාක්‍ෂණ කර්මාන්තවලිනි.

ප්‍රංශ ජාතික ආර්නෝ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පසුව, ටෙස්ලා සහ එක්ස්හි හිමිකරු (මීට පෙර ට්විටර්) මස්ක් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ, ඇමෙරිකානු ඩොලර් බිලියන 195ක ඇස්තමේන්තුගත ශුද්ධ වත්කමක් සමගිනි.

ඔහු පසුපසින් තුන්වන ස්ථානයේ සිටින්නේ, ඇමසෝන් හිමිකරු ජෙෆ් බෙසොස් ය.

පසුගිය වසර සමග සංසන්දනය කිරීමේදී මස්ක් සතු ධනයේ 8%ක වැඩි වීමක් පෙන්නුම් කළ ද ඔහුගේ ශුද්ධ වත්කම්වල වටිනාකම 2021 වසරේ නොවැම්බර් මාසයේ පැවති අගයට වඩා අඩු අගයක් ගනී. 2021 නොවැම්බරයේදී ඔහු ඇමෙරිකානු ඩොලර් බිලියන 300ක ශුද්ධ වත්කම් ඇති පළමු පුද්ගලයා බවට පත් විය.

ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ධනයකට හිමිකම් කියන පැසිපන්දු ලෝකයේ විශිෂ්ඨයෙකු වන මැජික් ජොන්සන් සහ එක්සත් ජනපදයේ Law and Order සහ Chicago PD යන රූපවාහිනී කතා මාලා පිටුපසින් සිටින රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදක ඩික් වොල්ෆ් ද ඩොලර් බිලියන 1.2ක වත්කම් සමගින් ෆෝබ්ස් ලැයිස්තුවට එකතු වේ.

ෆෝබ්ස් සඟරාවේ ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කර්තෘ චේස් පීටර්සන්-විතෝර්න් පැවසුවේ, එය ලොව ධනවත් ම පුද්ගලයන්ට "පුදුමාකාර" වසරක් වූ බව ය.

"වාර්තාගත ලෙස ඉලක්කම් 12ක ධනයක් තියෙන බිලියනපතියන් 14 දෙනෙක් ඉන්නවා. බොහෝ දෙනෙකුට මූල්‍යමය වශයෙන් අවිනිශ්චිත කාලවලදී පවා, මේ සුපිරි ධනවතුන් නොනවත්වා දියුණු වෙනවා," ඔහු තවදුරටත් පැවසීය.

ෆෝබ්ස් පැවසුවේ, 2024 වසරේදී මෙම බිලියනපතියන්ගේ සාමූහික ධනය දශකයකට පෙර හා සසඳන විට 255%කින් ඉහළ ගොස් ඇති බව ය. එනම් එය සමස්තයක් ලෙස ගත් කල ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2ක් වන අතර ඉන් අදහස් වන්නේ ලෝකයේ බිලියනපතියන් 2,781න් 0.5%ක් පමණක් මුළු බිලියනපතියන්ගේ ධනයෙන් 14%ක් දරන බව ය.

ඩොලර් බිලියන 100 සමාජය

ෆෝබ්ස් පැවසුවේ, 2024 වසරේදී මෙම බිලියනපතියන්ගේ සාමූහික ධනය දශකයකට පෙර හා සසඳන විට 255%කින් ඉහළ ගොස් ඇති බව ය. එනම් එය සමස්තයක් ලෙස ගත් කල ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2ක් වන අතර ඉන් අදහස් වන්නේ ලෝකයේ බිලියනපතියන් 2,781න් 0.5%ක් පමණක් මුළු බිලියනපතියන්ගේ ධනයෙන් 14%ක් දරන බව ය.

භූගෝලීය වශයෙන්, අනෙක් රටවලට වඩා වැඩි ම බිලියනපතියන් ගණනක් තවමත් සිටින්නේ එක්සත් ජනපදයට ය. මෙම ලයිස්තුවේ අන්තර්ගත එරට බිලියනපතියන් ගණන 813කි. චීනය දෙවන ස්ථානයේ පසුවන අතර ඉන්දියාව සිටින්නේ ඊට පසුව ය.

එක්සත් රාජධානියේ ධනවත් ම පුද්ගලයා හෙජ් අරමුදල් කළමනාකරුවෙකු වන මයිකල් ප්ලැට් වන අතර, ඔහුට පසුව මැන්චෙස්ටර් යුනයිටඩ්හි කොටස් හිමිකරු ශ්‍රීමත් ජිම් රැට්ක්ලිෆ් සහ නව නිපැයුම්කරුවෙකු වන ශ්‍රීමත් ජේම්ස් ඩයිසන් සිටියි.

ෆෝබ්ස් පැවසුවේ, භාණ්ඩ හා සේවා මිලට ගැනීම සඳහා පාරිභෝගිකයින් අඩු වශයෙන් මුදල් වැය කිරීම සහ දේපළ වෙළෙඳපොළ කඩා වැටීමත් සමග බිලියන ගණනින් ධනය අහිමි වූ චීනයේ 129 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 189 දෙනෙකු ලැයිස්තුවෙන් ඉවත් වී ඇති බව ය.

ඊජිප්තු ධනපතියෙකු වන මොහොමඩ් අල්-ෆයඩ්, හිටපු ඉතාලි අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි, චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනේරා සහ Margaritaville ගායක ජිමී බෆට් ඇතුළු තවත් ප්‍රකෝටිපතියන් 32 දෙනෙකු මිය ගොස් ඇත.