ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ ආහාර මිල ගණන් ඉහළ යෑමට හේතුව ඉන්දියාවේ භාණ්ඩ මිල ඉහළ යෑම ද?
සියවසකට වැඩි කාලයකින් උදාවූ වියළි ම අගෝස්තු මාසය ද ඇතුළු අක්‍රමවත් දේශගුණික තත්ත්වයන් නිසා, ගෝලීය කෘෂි වෙළෙඳාමේ ප්‍රධාන දායකයෙකු වන ඉන්දියාවේ ආහාර මිල 11%ට වඩා ඉහළගොස් තිබේ.
දේශීය වෙළඳපොළේ තක්කාලි මිල පහත වැටීමට පටන් ගත්ත ද, ජූනි මාසයේ සිට ළූණු මිල 25%කින් ඉහළගොස් තිබේ. ඉන්දියාවේ ප්‍රධාන ආහාරයක් වන පරිප්පු හොදි සැකසීමට යොදා ගන්නා ධාන්‍යවල (තෝර පරිප්පු, මුං පරිප්පු, මසූර් පරිප්පු, උඳු පරිප්පු ආදිය) මිල මේ වසර ආරම්භයට වඩා 20%කින් පමණ ඉහළගොස් තිබේ.
ජූලි මාසයේ දී පමණක් සාමාන්‍ය නිර්මාංශ ආහාර වේලක මිල තුනෙන් එකකින් ඉහළගොස් ඇති හෙයින්, ඉන්දියාව තුළ "වෑංජන ගැටලුවක්" උද්ගතවී ඇති බව ඇතැම් ආර්ථික විද්‍යාඥයෝ පවසති.
මෙම වසරේ ඇතැම් ප්‍රධාන ප්‍රාන්ත මැතිවරණ කිහිපයක් සහ එළඹෙන ගිම්හානයේ දී දැවැන්ත මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙන අතරේ, ආහාර උද්ධමනය පාලනය කිරීමට ඉන්දීය රජය පියවර ගණනාවක් ක්‍රියාවට නංවා තිබේ.
2022 මැයි මාසයේ දී තිරිඟු අපනයනය තහනම් කිරීමෙන් පසු, ජුලි මාසයේ දී, බාස්මතී නොවන සුදු සහල් අපනයනය හදිසියේ ම නතර කරන බව ඉන්දියාව නිවේදනය කළේ ය. ඉතාමත් මෑතක දී, අපනයන අධෛර්යවත් කිරීම සහ දේශීය සැපයුම් වැඩි කිරීමේ අරමුණින් මුදල් අමාත්‍යංශය ළූණු සඳහා 40%ක බද්දක් පැනවීය.
CareEdge Group ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥවරිය වන රාජ්නි සිංහා පවසන පරිදි, මේ වසරේ දී සීනි නිෂ්පාදනය පහළ යාමක් අපේක්ෂා කරන හෙයින්, "සීනි අපනයනයට තහනමක් පැනවීමේ සම්භාවිතාව ද ඉහළ ගොස් තිබේ."
ඉන්දියාව දැනටමත් පසුගිය වසරට සාපේක්ෂව මෙවසරේ සීනි අපනයනය සීමාකර තිබේ.
ඉදිරි ක්‍රියාමාර්ග අනුව, රජය එහි ප්‍රතිචාරය වේගවත් කළ හැකිබව විශ්ලේෂකයෝ පවසති. උදාහරණයක් වශයෙන්, සහල් සඳහා අඛණ්ඩව පනවා ඇති අපනයන සීමා මඟින් තවමත් දේශීය සහල් මිල උද්ධමනය අඩු වී නොමැති හෙයින්, "රජය වඩාත් පුළුල් තහනමක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න පුළුවන්," ගෝලීය තැරැව්කාර සමාගමක වන Nomura මෑත සටහනක ප්‍රකාශ කළේ ය.
එහෙයින්, ඉන්දියාව එහි ආක්‍රමණශීලී ලෙස දේශීය මිල ගණන් ආරක්ෂා කිරීම හරහා ආහාර උද්ධමනය ලෝකයට අපනයනය කිරීමේ අවදානමක් පවතියි ද?
විශේෂයෙන් සහල්, සීනි සහ ළූණු සම්බන්ධයෙන් එය එසේ වනු ඇති බව, ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය (IFPRI) විශ්වාස කරයි. පසුගිය දශකය පුරා ඉන්දියාව ලොව විශාලතම සහල් අපනයනකරු ලෙස පෙරට පැමිණියේ ය. ලෝක වෙළෙඳපොළේ සහල් අපනයනයෙන් 40%ක කොටසක් හිමිව ඇත්තේ ඉන්දියාවට ය. එමෙන් ම, සීනි සහ ළූණු අපනයනය අතින් ලෝකයේ දෙවන විශාලතමයා ඉන්දියාව යි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහල් මිල දර්ශකය ජූලි මාසයේ දී 2.8% කින් ඉහළ ගිය අතර (2011 සැප්තැම්බර් මාසයෙන් පසු එය වැඩියෙන්ම ඉහළ ගියේ එවර ය), ඉන්දියාව අපනයනය තහනම් කරන ලද ඉන්ඩිකා සහල් ප්‍රභේදයේ මිල වැඩිවීම ඊට වැඩි වශයෙන් බලපෑවේ ය. මෙය සෙසු කලාපවලින් පැමිණෙන සහල්වල මිල ගණන්වලත් "උඩුකුරු පීඩනය" වැඩි කර ඇති බව FAO පවසයි.
"පහුගිය මාසේ අගදී අපනයන තහනම පැනෙව්වාට පස්සේ, තායි සහල් මිල ගණන් 20%කින් වැඩි වෙලා තියෙනවා," IFPRI ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ජෝසෆ් ඩබ්ලිව්. ග්ලෝබර් බීබීසී පුවත් සේවයට පැවසීය.
ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන විසින් හඳුනාගනු ලැබ ඇති "කුසගින්න දැඩිව පවතින රටවල්" 18ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පිරිහී යාමත් සමග, විශේෂයෙන් ලෝකයේ දිළිඳු ප්‍රජාවට මෙයින් ඇති වන බලපෑම විනාශකාරී විය හැකි ය.
සහල්, ආසියාව සහ අප්‍රිකාව පුරා මිලියන ගණනකගේ ප්‍රධාන ආහාර වේලෙහි අංගයක් වන අතර එය ඔවුන්ගේ කැලරි පරිභෝජනයෙන් ද විශාල කොටසක් සපුරයි. මෙම වෙළෙඳපොළ සඳහා ප්‍රධාන සපයන්නෙකු වන්නේ ඉන්දියාව යි.
ආසියාවේ සහ උප-සහරා කලාපීය අප්‍රිකාවේ රටවල් 42ක් ඔවුන්ගේ මුළු සහල් ආනයනයෙන් 50%ක් ඉන්දියාවෙන් ගෙන්වන අතර, IFPRIට අනුව, ඇතැම් රටවල එම ප්‍රතිශතය 80% දක්වා ඉහළ යයි. එබැවින් එය "විශාල වශයෙන් අපනයනවල නිරත වන වියට්නාමය, තායිලන්තය සහ පකිස්ථානය ආදී වෙනත් රටවලින් කෙරෙන ආනයන සමග පහසුවෙන් ආදේශ" කිරීමට නොහැකි ය.
ගෝලීය ආහාර මිල ඉහළ යාම නිසා මෙම රටවලට වෙනත් බලපෑම් ද ඇතිවිය හැකි ය. ආහාර ආනයන වියදම් ඉහළ මට්ටමක පැවතීම හා වටිනා විදේශ විනිමය වැය කිරීමට සිදුවීම නිසා "ගෙවුම් ශේෂයේ පවතින ගැටලු නරක අතට හැරීම සහ එය උද්ධමනයට දායකවීම" සිදුවිය හැකි බව FAOහි වෙළෙඳපොළ සහ වෙළෙඳ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ උපාලි ගල්කැටි ආරච්චිලගේ පවසයි.
නමුත්, ගෝලීය ආහාර මිල ඉහළ යාම ඉන්දියාවේ ක්‍රියාකාරකම්වලට පමණක් බැරකළ නොහැකි ය. රුසියාව යුක්රේනය ආක්‍රමණය කරනු ලැබීම, ලෝකය පුරා ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වයන්, හා කළු මුහුදේ ධාන්‍ය ක්‍රියාන්විතය (Black Sea Grain Initiative) නතරවීම ද මෙම ගැටලුවට බලපෑ ප්‍රධාන කරුණු වේ.
කෙසේ වෙතත්, මෙම වෙළෙඳපොළ විපර්යාසයන් එකට සිදුවීම "පසුගිය වසරේ මැදභාගයේ සිට දක්නට ලැබුණු ජාත්‍යන්තර ආහාර මිල ගණන් පහත වැටීමේ ප්‍රවණතාව ආපසු හැරවීමට" හේතු වී ඇති බව ආර්ථික විද්‍යාඥ උපාලි බීබීසීයට පැවසීය.
චීනය වැනි ඇතැම් ප්‍රදේශවල ආහාර මිල ඉහළයාම මන්දගාමී තත්ත්වයක පැවතිය ද, ගෝලීය ආහාර මිල ගණන් ඓතිහාසික වශයෙන් ඉහළම මට්ටමක පවතියි. එවැනි රටවලින් ලැබෙන ඉල්ලීම අඩුවීම ජාත්‍යන්තර ආහාර මිල ගණන් කෙරෙහි බලපා තිබේ.
ඉන්ධන සහ ධාන්‍ය මිල පහළ යාම හේතුවෙන් ලෝක බැංකුව සිය ආහාර මිල දර්ශකය 2022 හා සසඳන විට 2023 වසරේ දී සාමාන්‍ය අඩු මට්ටමක පවතිනු ඇතැ යි අපේක්ෂා කරයි. එහෙත් විශ්ලේෂකයින් පවසන්නේ, අනාගත මිලෙහි ගමන් පථය එල් නිනෝ කාලගුණ තත්ත්වයේ බලපෑම මත රඳා පවතිනු ඇති බව ය - එය දුරදිග යා හැකි බලපෑම් ඇති කළ හැකි අතර ආහාර වෙළෙඳපොළවල් මත තවදුරටත් පීඩනය ඇති කරනු ඇත.
මෙම අවිනිශ්චිතභාවය මධ්‍යයේ, ප්‍රධාන භාණ්ඩ අපනයනය සඳහා ඉන්දියාව පනවා ඇති තහනම ආපසු හැරවිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් ලැබී තිබේ.
ගෝලීය ආහාර උද්ධමනයට දායකවීමට අමතරව, "අපනයන තහනම් කිරීම් නිසා, විශ්වාසදායක සැපයුම්කරුවෙකු ලෙස ඉන්දියාව ලබා ඇති කීර්ති නාමයට හානිවීම සහ ගොවීන්ට ගෝලීය වශයෙන් ලාභදායී මිල ගණන්වලින් ලාභ ලැබීමට නොහැකිවීම වැනි වෙනත් ඍණාත්මක බාහිර කරුණු ද ඇතැ"යි Nomuraහි විශ්ලේෂකයෝ පවසති.
"වෙළඳ සීමා කිරීම් ද උච්චාවචනය වන මිල චක්‍රවල විකෘති තත්ත්වයන්ට හේතු විය හැකි ය. උදාහරණයක් ලෙස, 2015-16 කාලයේ දී ධාන්‍ය වර්ගවල පැවති ඉහළ උද්ධමනය නිසා ආනයනය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට ඉන්දියාවට සිදු විය. එහෙත්, පසු වසරවල සාමාන්‍ය මෝසම් තත්ත්වයන් සහ ශක්තිමත් දේශීය නිෂ්පාදනය විසින් සැපයුම් අතිරික්තයකට තුඩු දුන් අතර, ඒවායේ මිල ගණන් 2017-18 දක්වා අවධමනකාරී තත්ත්වයකට කඩා වැටිණි," ආයතනය පවසයි.
ග්ලෝබර් වැනි තවත් අය අනතුරු අඟවන්නේ, "සැපයුම්කරුවන් මාරුකිරීමේ ප්‍රතිලාභයන් මිල සලකා බැලීම්වලට වඩා ඉහළ වන්නේ නම්, ආනයනකරුවන් වෙනත් විශ්වාසදායක හවුල්කරුවන් සොයාගනු ඇති," බව ය.
එහෙත්, ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව, වඩාත් ම සැලකිය යුතු තර්ජනය පැමිණෙන්නේ තවත් රටවල් අපනයන සීමා කිරීම්වලට යොමුවීමේ සම්භාවිතාව මත වන අතර, එය "ගෝලීය වෙළෙඳ පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය අඩපණ කරනු" ඇත.
කෙසේ වෙතත්, ප්‍රායෝගික දේශපාලනය (Realpolitik) සහ ආහාර ස්වයංපෝෂිතභාවය ඉහළ නැංවීමට දෙන විසඳුම, ඉන්දියාව තුළ - විශේෂයෙන්ම දේශපාලනික වශයෙන් සංවේදී කාලපරිච්ඡේදයක් තුළ - මෙම අනෙකුත් සලකාබැලීම් අභිබවා යන බව ඇතැමුන් පවසයි.
අතීතයේ ළූණු වැනි බෝගවල ඉහළ මිල ගණන් ඉන්දියාවේ මැතිවරණ පරාජයන්ට හේතු වූ අතර, දැනටමත් පරිභෝජනයේ දුර්වල ප්‍රතිසාධනයක් එයට එක් වෙමින් තිබේ.
ආහාරවල ඉහළ මිල ගණන් සඳහා සාමාන්‍ය ඉන්දියානුවෙකුගේ වියදම්වලින් විශාල කොටසක් වැයවන අතර, අඩු වෙමින් පවතින ආදායම් හේතුවෙන් එළඹෙන උත්සව සමයට පෙර මෙම යථාතත්ත්වයට පත්වීම තවදුරටත් අඩාළ කරයි.
ඉන්දියාවේ මහ බැංකුව දැනටමත් හයවරක් පොළී අනුපාත ඉහළ නංවා ඇති නමුත්, සැපයුම් පාර්ශවයේ ගැටලුවක් වන ආහාර උද්ධමනය පාලනය කිරීමට එයට කළ හැකි දෙයක් නොමැති තරම් ය.
එබැවින්, වෙළෙඳ සීමා පැනවීම හැර රජයට වෙනත් විකල්පයක් ඉතිරි වී නැත.
"මේ මොහොතේ සෑම රටක් ම ඔවුන්ගේ ආර්ථිකයන්හි උද්ධමනය පාලනය කරන එක ගැන අවධානය යොමු කරලා තියෙනවා. ගෝලීය උද්ධමනය ගැන කනස්සල්ලට පත්වෙන්න කලින් ඉන්දියාවත් තමන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් විය යුතු බව මම කියන්න කැමති යි," සිංහා පවසයි.