ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය: ලාංකිකයින්ගේ වාර්ෂික සහල් පරිභෝජන අවශ්‍යතාවට ප්‍රමාණවත් ද?

වියළි කාලගුණය හේතුවෙන් දිවයින පුරා කුඹුරු අක්කර 50,000 කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති පසුබිමක මෙරට සහල් නිෂ්පාදනය ශ්‍රී ලාංකිකයින්ගේ වාර්ෂික සහල් පරිභෝජන අවශ්‍යතාවට ප්‍රමාණවත් ද යන්න විමසා බැලිය යුතු කාරණයකි.

ආර්ථික අර්බුදය හා පොහොර අර්බුදය හමුවේ පසුගිය වසරේ, මෙරට සහල් අවශ්‍යතාව වැඩි වශයෙන් ආනයනය මගින් සපුරා ගත් අතර ඉන් 90%ක්ම පමණම ආනයනය කර තිබුණේ අසල්වැසි ඉන්දියාවෙනි.

ජුලි 20 වැනිදා, රට තුළ සහල් මිල ඉහළයෑම පාලනය කිරීමේ ප්‍රයත්නයක් ලෙස ඉන්දියාව බාස්මතී නොවන සුදු සහල් වර්ග අපනයනයට තහනමක් පැනවීය. ඉන් තැතිගත් ජනයා සහල් වැඩි වැඩියෙන් මිලට ගනිමින්, කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඉන්දියානු සිල්ලර වෙළඳසැල්වල රාක්ක හිස්කරනු දැක්වෙන විඩියෝ සහ වාර්තාවන් සංසරණයවූ අතර, මේ නිසා එම රටවල්වලද සහල් මිල ඉහළ ගියේ ය.

මේ අතර මේ දිනවල පවතින වියළි කාලගුණය සහ ඉන්දියාව සහල් අපනයනය තහනමට ගත් තීරණයෙන් ශ්‍රී ලංකාවේ සහල් සැපයුමට යම් බලපෑමක් ඇතිවේද? යන්න නිරන්තර කථා බහට ලක්වන්නකි.

ඒ අනුව දැනට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන සහල් නිෂ්පාදනය පිලිබඳ සොයා බැලීමට අපි කටයුතු කළෙමු.

ශ්‍රී ලංකාව තුළ වැඩියෙන්ම වගා කරන වී ප්‍රභේද මොනවද?

මෙරට තුළ ප්‍රධාන වශයෙන් වගා කරනු ලබන වී වර්ග අතරින් සියයට 99ක්ම වැඩි දියුණු කරන ලද වී ප්‍රභේද වන අතර දේශීය වී ප්‍රභේද වගා කෙරෙන්නේ සීයයට එකකටත් අඩු ප්‍රමාණයක් වේ.

"2021 වර්ෂයේ දත්ත බැලුවොත් ලංකාවේ සම්ප්‍රදායික වී වර්ග 0.46%ක් පමණයි වගා කර තිබෙන්නේ. නව වැඩිදියුණු කරන ලද වී ප්‍රභේද සීයයට 0.73%ක් පමණයි වගා කිරීම සිදුකරන්නේ. ඉතිරි 98.5%ක් පමණ වී වගාව සිදුකරන්නේ වැඩි දියුණු කරන ලද වී ප්‍රභේදයන්." බතලේගොඩ පිහිටි වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය සඳහන් කරයි.

වී අස්වැන්න ලබා ගැනීමට යන කාල සීමාව කොපමණද?

මෙරට තුළ වගා කරන විවිධ ප්‍රභේද අනුව අස්වැන්න ලැබීමේ කාල සීමාවන් හි වෙනසක් පවතින බව වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය ජයන්ත සේනානායක බීබීසි සිංහල සේවයට සඳහන් කළේය.

"ලංකාවේ වගා කරන වී ප්‍රභේද වලින් 75%ක්ම මාස තුනහමාරේ ප්‍රභේද. ඊළඟට 19%ක් වෙන්නේ මාස තුනේ ප්‍රභේද. 4%ක් පමණ අයත් වෙන්නේ මාස හතරේ ප්‍රභේද. මාස දෙකහමාරේ ප්‍රභේද අයත් වෙන්නේ සියයට 1.2ක් විතරයි. මාස පහේ කියලා ප්‍රභේදයක් තියෙනවා ඒක 0.04%ක් වගේ අඩු ප්‍රමාණයක්."

මෙරට තුළ වැඩි වශයෙන් නිෂ්පාදනය කරනු ලබන සහල් වර්ග මොනවාද ?

මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන සහල් වර්ග අතරින් වැඩි ප්‍රමාණයක් නාඩු සහල් වේ.

සාමාන්‍යයෙන් සුදු දිග සහල් කියලා හඳුන්වන නාඩු සහල් වර්ගය මෙරට තුළ 52%ක් පමණ නිෂ්පාදනය කරනු ලබන අතර සුදු කොට සහල් නමින් හඳුන්වනු ලබන සම්බා වර්ගය 6%ක් නිෂ්පාදනය කරනු ලබයි.

2022 වසරේ දත්ත අනුව ඉහත වර්ග දෙකම 48%ක් වගා කර ඇත.

පොදුවේ ගත් කළ වැඩි වශයෙන් ගොවීන් වගා කරන්නේ සුදු දිගැටි කියලා හඳුන්වන නාඩු සහල් විශේෂය බව කෘෂි විශේෂඥයින් පවසයි. සුදු කොට නමින් හඳුන්වන සම්බා සහල් 26% ක් පමණ වගා කරනු ලබන අතර රතු කෙටි සහල් 21%ක් පමණ වගා කෙරේ. එමෙන්ම රතු සම්බා සහල් වගා කරනු ලබන්නේ 1%ක් පමණයි.

මීට අමතරව වසරින් වසර කන්නයෙන් කන්නයට වගා කරන සහල් වර්ග ගොවින් විසින් වෙනස් කරනු ලබයි.

වී සම්බන්ධයෙන් මෙරට කරන පර්යේෂණ මොනවද?

සෑම විටම වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී ප්‍රභේද සොයා ගැනීම සඳහා නිරන්තරයෙන්ම පර්යේෂණ කරන බව වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය ජයන්ත සේනානායක පවසයි.

"අපි හැම වෙලාවෙම පර්යේෂණ කරනවා විශේෂයෙන් වැඩි අස්වැන්නට, ඒ වගේම ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් බාස්මතී වැනි සහල් නිෂ්පාදනය සම්බන්ධයෙන් පර්යේෂණ කරනවා."

"ඒ වගේම නියඟයට ඔරොත්තු දෙන වී වර්ග හදන්න, තාපයට ඔරොත්තු දෙන වී හදන්න, විශේෂයෙන්ම කර්මාන්ත සඳහා ( බිස්කට් නිෂ්පාදනයට) අවශ්‍ය වී හදන්න සහ ඉහළ පෝෂණ ගුණාත්මකභාවයෙන් යුත් වී හදන්න පර්යේෂණ කරනවා."

"පොදුවේ අපි වී හදද්දී ලෙඩ රෝග වලටත් ( රෝග සහ පලිබෝධ) ඔරොත්තු දෙන විදිහේ වී තමයි හදන්නේ. "

"ඒ වගේම කීටයින්ට ඔරොත්තු දෙන වී ප්‍රභේද නිපදවන්න නිරන්තරයෙන් කටයුතු කරනවා. "

"එමෙන්ම අඩු පොහොරෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වී වර්ග සම්බන්ධයෙන් නිරන්ත පර්යේෂණ කරනවා."

"ඒ වගේම ජලය අඩුවෙන් යොදා ගෙන වගා කළ හැකි වී වර්ග සම්බන්ධයෙන් සොයා ගැනීම සඳහා පර්යේෂණ ගණනාවක් මේ වන විට සිදුකරනවා. "

"වී වගාවට යොදන පොහොර වලින් වැඩි ප්‍රතිචාරයක් දක්වන වී වර්ග සොයා ගන්න, වල් පැලෑටි සමග තරග කරන්න හැකි වී වර්ග සොයා ගන්න විශාල පර්යේෂණ රැසක් සිදුකරනවා."

"අනෙක් සුවිශේෂී කරුණ තමයි අපි වී වර්ග හදනවා ලවණතාවයට ඔරොත්තු දෙන සහ ජලයෙන් යටවීමට ඔරොත්තු දෙන වගේම යකඩ විෂවීම වැනි අහිතකර පාරිසරික සාධක වලට ඔරොත්තු දෙන වී වර්ගත් සාදනු ලබනවා."

"ඊට අමතරව දෙමුහුන් වී ප්‍රභේද සෑදීමට වී පර්යේෂණ ආයතනය කටයුතු කරමින් සිටිනවා." ඔහු සඳහන් කළේය.

ලංකාවේ වැඩියෙන්ම සහල් නිෂ්පාදනය කරන දිස්ත්‍රික්ක මොනවා ද ?

ලංකාවේ වැඩිම සහල් නිෂ්පාදනයක් සිදුවන්නේ අම්පාර, මඩකලපුව, පොලොන්නරුව, කුරුණෑගල, අනුරාධපුර දිස්ත්‍රික්කවලය. වැඩි අස්වැන්නක් ලබනුයේ මහවැලි උඩවලව කලාපයෙන් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වේ.

2018 සිට 2020 යන කාලය ගත්විට වැඩිම අස්වැන්නක් ලැබී ඇත්තේ තෙත් කලාපයෙන් වන අතර මෙට්ට්‍රික් ටොන් 04 කට වැඩි වී අස්වැන්නක් කෑගල්ල, නුවර, නුවරඑලිය සහ රත්නපුරය දිස්ත්‍රික්ක වලින් ලැබී ඇත.

මෙයට අමතරව කුරුණෑගල, මොණරාගල, බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්ක වලින් මෙට්ට්‍රික් ටොන් 4.5 කට වැඩි වී අස්වැන්නක් ලැබි ඇත.

වව්නියාව, මන්නාරම, අම්පාර, අනුරාධපුර, පොලොන්නරුව, හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් මෙට්‍රික් ටොන් පහකට වැඩි අස්වැන්නක් ලැබි තිබේ.

විශේෂයෙන් අඩු අස්වැන්නක් ලැබෙන දිස්ත්‍රික්ක ලෙස ගාල්ල, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක ලෙස හැඳින්විය හැක.

වී වගාවේ අස්වැන්න තීරණය වීමට බලපාන ප්‍රධාන කරුණ ලෙස පසේ ගුණාංග සලකනු ලැබේ. වපුරන වී ප්‍රභේදය, කාලගුණ තත්ත්වය, ලෙඩ රෝගවලට ඔරොත්තු දීම හැකියාව වී අස්වැන්නට බලපානු ලබන ප්‍රධාන සාධක ලෙස සඳහන් කළ හැකිය.

වැඩි වී අස්වැන්නක් ලැබෙන්නේ කුමන කන්නයේ ද ?

"සාමාන්‍යයෙන් යල කන්නයට ලැබෙන අස්වැන්න වැඩියි. එයට හේතුව ලැබෙන සුර්යාලෝකය යි. යල කන්නයේදී වගා කෙරෙන කුඹුරු හෙක්ටයාර් එකෙන් ලැබෙන වී ප්‍රමාණය වැඩියි." වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයා පැවසීය.

"නමුත් මහ කන්නයේදී වගා කෙරෙන කුඹුරු හෙක්ටයාර එකකින් ලැබෙන වී අස්වැන්න අඩුයි. මොකද මේ කාලයේදී ගොඩක් වෙලාවට අහස වලාකුළු වලින් බරව තියෙන්නේ. වී වර්ග ප්‍රභාසංස්ලේෂණය කරන්න ඕන. එතකොට මහ කන්නයේ දී ලැබෙන අස්වැන්න අඩුයි."

"ඒ වගේම පොදුවේ ගත්තම මහ කන්නයේදී හෙක්ටයාර අට ලක්ෂයක් හෝ අට ලක්ෂ පනස්දහසක් පමණ වගා කරනවා. යල කන්නයේදී සාමාන්‍යයෙන් අපි වගා කරන්නේ හෙක්ටයාර හාර ලක්ෂයක් හෝ හාර ලක්ෂ පනස්දහසක් වගේ ප්‍රමාණයක්."

'එතකොට සම්පුර්ණ නිෂ්පාදනය අතින් ගත්තම මහ කන්නයේ නිෂ්පාදනය වැඩියි, යල කන්නයේ නිෂ්පාදනය අඩුයි." ආචාර්ය ජයන්ත සේනානායක පැවසුවේය.

මෙරට වගා කරන දේශීය සහල් වර්ග මොනවාද ?

මෙරට තුල දේශීය සහල් ප්‍රභේද වගා කිරීමට කැමති ගොවීන් සඳහා බතලේගොඩ වී පර්යේෂණ මධ්‍යස්ථානය විසින් වී වර්ග කිහිපයක බිත්තර වී ලබා දෙනු ලබයි.

ඒ, සුවඳැල්, කළු හීනැටි, සුදු හීනැටි, පොක්කාලි, පච්චපෙරුමාල්, මඩතවාලු, සුඳුරු සම්බා, හේරත් බණ්ඩා, බෙහෙත් හීනැටි, කුරුළු තුඩ සහ සත්දැල් වේ.

වී වගාවේ දී මුහුණ දෙන ප්‍රධාන අභියෝග මොනවාද ?

පාරිසරික වෙනස්වීම් සහ වී මිල ඇතුළු කරුණු කිහිපයක් වී වගාවේදී මුහුණ පෑමට සිදුව ඇති ප්‍රධාන අභියෝග ලෙස හැඳින්විය හැක.

"එමෙන්ම වී වගාවේ තියෙන ප්‍රධානම අභියෝගය තමයි අහිතකර කාලගුණ තත්ත්වය. හිටි හැටියේ දැඩි නියඟයක් ආවොත්, එහෙම නැත්නම් දැඩි වර්ෂාවක් ආවොත් වී වගාවට පාරිසරික සාධක වෙනස්වීම දැඩි ලෙස බලපෑම් එල්ල කරනු ලබනවා."

"එයට අමතරව විශේෂයෙන් පළිබෝධ හානිකර තත්ත්වය වී වගාවට බලපෑම් එල්ල කරනු ලබනවා. දුඹුරු පැල කීඩෑවන්ගෙන් වන හානිය වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. මේ නිසා වී වගාවට හානිවන අවස්ථා ගොඩක් වාර්තා වුණා." අචාර්ය සේනානායක පැවසුවේ ය.

ඉදිරියේදී හඳුන්වා දීමට යන නව වී ප්‍රභේද මොනවා ද ?

"පසුගිය වසරේදී අපි අලුත් වී ප්‍රභේද හතරක් සහ ඊට පෙර වසරේදී අලුත් වී ප්‍රභේද තුනක් නිදහස් කළා. "

"අපේ වී පර්යේෂණ කරන මධ්‍යස්ථාන තුනක් තියනවා. ඒවායින් වාර්ෂිකව ගත්තම වී ප්‍රභේද රැසක් තියෙනවා නිදහස් කරන්න. නමුත් අපි නිදහස් කරන්නේ ඊට පෙර අපි නිදහස් කර තිබෙන වී ප්‍රභේදයන්ට සාපේක්ෂව වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බවට තහවුරු කළ හැකි වී ප්‍රභේදයක් පමණයි."

"ළඟදිම බාස්මතී වී ප්‍රභේද ඇතුළු තවත් නව වී ප්‍රභේද කිහිපයක් ගොවීන්ට නිකුත් කරන්න හැකියාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තුව සිටිනවා." යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

කාබනික පොහොර නිසා වී වගාවට සිදුවූ බලපෑම කුමක්ද?

2021 සහ 2022 යන වසර වලදී මෙරට තුළ ක්‍රියාත්මක කෙරෙනු කාබනික පොහොර හඳුන්වා දීම හේතුවෙන් වී අස්වැන්න ලැබීමේ යම් අඩුවක් වූ බව බතලේගොඩ පිහිටි වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂකවරයා පැවසීය.

"ඇත්තටම මට මතක විදිහට මුලින්ම හෙක්ටයාර එකකට මෙට්‍රික් ටොන් 2.8 කට වගේ ආසන්න අස්වැන්නක් ලැබුණා පළමුවෙන්ම. ඊට පස්සේ හෙක්ටයාර එකකට මෙට්ට්‍රික් ටොන් 2.6 කට වගේ අස්වැන්නකට ගියා. ඊට පස්සේ එය හෙක්ටයාර එකකට මෙට්ට්‍රික් ටොන් 3.6 කට අස්වැන්නකට ගියා."

"අපේ සාමාන්‍යයෙන් 2021 වෙද්දී තිබුනේ හෙක්ටයාර් එකකට වී අස්වැන්න මෙට්‍රික් ටොන් 4.75ක් වගේ. මේක කලාපයේ වැඩිම අස්වැන්නක් බංග්ලාදේශය ළඟට."

"එතකොට ඒක අර පොහොර නොයෙදීම සහ නුසුදුසු කාබනික පොහොර යෙදීම නිසා මේ අස්වැන්න භාගයකට වඩා අඩුවුණා පළමු අවස්ථාවේදී. ඊට පස්සේ මේ අස්වැන්න අඩු වුණා. නමුත් මේ කන්නයේදී අපි බලාපොරොත්තු වෙනවා හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 4ක් ලැබෙයි කියලා." ඔහු පැවසීය.

මෙරට වාර්ෂික සහල් පරිභෝජන අවශ්‍යතාව කොපමණ ද ?

මෙරට වාර්ෂික සහල් පරිභෝජන අවශ්‍යතාවය හෙක්ටයාර් එකකට මෙට්ට්‍රික් ටොන් 2.4ක් වේ.

"වී කොටද්දී මෙහෙම දෙයක් තියෙනවා සාමාන්‍යයෙන්. හොඳටම පොලිෂ් කලොත් වී කිලෝ 100 කට හාල් ලැබෙන්නේ කිලෝග්‍රෑම් 60ක ප්‍රමාණයක්."

"වාර්ෂිකව මෙරට වගා කරන කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 12 -13 කට ආසන්න වෙනවා. එතකොට එහිදී සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාර් එකකට මෙට්ට්‍රික් ටොන් 4.5 කියලා ගත්තත් ඇත්තටම ලංකාවේ අතිරික්ත සහල් නිෂ්පාදනයක් එනවා හැම කන්නයකදිම."

"නමුත් පසුගිය කාල සීමාවේදී එහි අඩුවක් වුණා කාබනික පොහොර යොදා ගැනීම නිසා."

"2021 වසරේ ගත්ත දත්ත අනුව බැලුවම රටේ සහල් නිෂ්පාදනයේ අතිරික්තයක් තිබුණා මිලියන මෙට්‍රික් ටොන් 0.8ක වගේ. ඒ කියන්නේ අවශ්‍යතාවයට වැඩිය සහල් තිබෙනවා අපිට." බතලේගොඩ පිහිටි වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂකවරයා පෙන්වා දුන්නේ ය.

ඉදිරියේදී සහල් හිඟයක් ඇති වෙයිද ?

පවතින වියලි කාලගුණික තත්ත්වය මත ඉදිරියේදී රටේ වී අස්වැන්නේ අඩුවීමක් හෝ සහල් හිඟයක් ඇතිවීමේ හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය ආචාර්ය ජයන්ත සේනානායක ගෙන් විමසුවේ ය.

"ඇත්තටම දැනට තියෙන දත්ත මත අපගේ ආර්ථික විශ්ලේෂකයින් සමග ඒ ගැන විශ්ලේෂණය කළා. ගිය මහ කන්නයෙන් සහ මෙවර යල කන්නයෙන් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන අස්වැන්න ගත්තොත් අපිට ඇත්තටම මාස 13 කට අවශ්‍ය සහල් තියනවා."

"ඒ වගේම අපි ළඟ දත්ත නැහැ. නමුත් ප්‍රධාන පෙළේ මෝල් හිමියන් සහ සුළු පරිමාණ මෝල් හිමියන් සතුවත් වී තොග ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා දැනට වහාම සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ."

"මේ නියං තත්ත්වය බලපාලා තියෙන්නේ හම්බන්තොට ප්‍රදේශයට. නමුත් අගෝස්තු මස 10 වෙනිදා එහෙට වතුර දීලා තියෙනවා. එහෙම වුනොත් එහෙට හානියක් ඇතිවෙන්නේ නැහැ."

"ඒ වගේම මේ වෙද්දී මොණරාගල දිස්ත්‍රික්කයේ ගොයම් කැපෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමහරක් පැතිවල ගොයම් කැපෙමින් තියෙනවා. ඒ වගේම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ගොයම් කැපිලා අවසන් කියලයි ආරංචි වෙන්නේ."

"එතකොට මේ නියඟ තත්ත්වය නිසා වර්ෂාව ඉදිරියේදී අඩු වුනොත් මම හිතන්නේ නැහැ ඒකෙන් ගොඩක් ලොකු හානියක් ඇතිවෙයි කියලා." ඔහු පැවසුවේය.

ඉන්දියාවේ තීරණය ලංකාවට බලපෑමක් එල්ල කරයිද ?

ඉන්දියාව සහල් අපනයනය තහනමට ගත් තීරණයෙන් ශ්‍රී ලංකාවට යම් බලපෑමක් ඇතිවේද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයෙන් විමසුවෙමු.

එහිදී ඊට පිළිතුරු දෙමින් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න පැවසුවේ මෙරටට පසුගිය වසරේ දී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරිමට කටයුතු කළ බවත්, ඉන් සියයට 95ක ප්‍රමාණයක් ආනයනය කරනු ලැබුවේ ඉන්දියාවෙන් බවයි.

"මේ වෙනකොට ලංකාවට සහල් ආනයනය කිරීම තහනම් කරලා තිබෙන්නේ. මේ වෙද්දී රටේ සහල් තොග තිබෙනවා ඉදිරි පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට. නමුත් සහල් අතිරික්තයක් නැහැ."

"පවතින නියං තත්ත්වය හෝ යම් වගා හානියක් සිදුවුවහොත් තමයි සහල් ආනයනය කරන්න වෙන්නේ. නමුත් දැනට එවැනි තත්ත්වයක් උදාවෙලා නැහැ."

"ඉන්දියාව සහල් අපනයනය සීමා කිරීමට ගත් තීරණය නිසා අපට සහල් අවශ්‍ය වුවොත් පාකිස්ථානය, බුරුමය හෝ වියට්නාමය වැනි රටවලට යන්න වෙනවා."

"නමුත් ඉන්දියාව එක්ස්පෝර්ට් බෑන් කළාට පස්සේ වියට්නාමයත් සහල් අපනයනය තහනම් කළා කියලයි මම හිතන්නේ." ඔහු පැවසුවේය.

මේ අතර, ඉන්දියාව පනවා ඇති සහල් අපනයන තහනම හේතුවෙන් මෙරටට අවශ්‍ය කරනු ලබන බාස්මතී වැනි සහල් වර්ග ආනයනය කිරීමේ යම් ගැටලුවක් පැන නැගිය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ ය.

ඒ හැර ජනතාව විසින් එදිනෙදා ‍පාරිභෝජනයට ගනු ලබන නාඩු සහ සම්බා සහල් වර්ග රට තුළ පවතින බැවින් ඒවා ආනයනය කිරිමට අවශ්‍ය නොවන බව ද ඔහු පැවසීය.

කුඹුරු අක්කර 50,000කට හානි

දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේවන විට කුඹුරු අක්කර 50,000කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ පැවසුවේ ය.

අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ, පවතින වියළි කාලගුණය හේතුවෙන් වැඩිම කුඹුරු ඉඩම් ප්‍රමාණයක් හානියට පත්ව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බවයි. එමෙන්ම හම්බන්තොට, පොලොන්නරුව, අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවලද කුඹුරු ඉඩම් හානියට පත්ව ඇති බවට නිරීක්ෂණය කර ඇති බව ඔහු පැවසුවේය.

දැනට පවතින තත්ත්වය මත යල කන්නයේ වී අස්වැන්නේ 10%ක් පමණ අඩුවක් සිදුවනු ඇති බව ද අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

පවතින තත්ත්වය මත ශ්‍රී ලංකාවට ඉදිරි මාස 10කට අවශ්‍ය සහල් තොග පවතින බව පැවසූ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා පවතින සහල් තොග සම්බන්ධයෙන් නිවැරදි දත්ත ලබා දීමට නොහැකිව ඇත්තේ ඇතැම් මහා පරිමාණ වී මෝල් හිමියන් ඊට අදාළ තොරතුරු ලබා නොදීම නිසා බව ද පවසා සිටියේ ය.