ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාලගුණය හදිසියේ වෙනස් වුණේ ඇයි? වැසි තත්ත්වය නිම වෙන්නේ කවදා ද?
- Author, බීබීසී සිංහල
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව ය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
සැප්තැම්බර් 25 පෙ.ව. 8:30 සිට සැප්තැම්බර් 26 දින පෙ.ව. 2:00 දක්වා කාලය තුළ වැඩි ම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයෙනි. මි.මී. 127.5ක් ලෙස එම අගය සටහන් වී ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ ම දෙනියාය සහ උඩුගම ප්‍රදේශවල වර්ෂාපතනය පිළිවෙළින් මි.මී. 100.5ක් සහ 97.5 ලෙස වාර්තා වී තිබේ.
අද දවසේ වැසි ඇති වන ප්‍රදේශ මොනවා ද?
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව ය.
උතුරු-මැද පළාතේත් මාතලේ, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇති විය හැකි අතර කාලගුණ විදුආ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තද සුළං මගින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ය.
හදිසියේ වැසි වැඩි වුණේ ඇයි?
බෙංගාල බොක්ක උතුරු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය සහ බටහිර පැසිෆික් සාගරයේ වර්ධනය වී ඇති කුණාටු කිහිපයක් හේතුවෙන් නිරිත දිග මෝසම සක්‍රිය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් බීබීසී සිංහල වෙත පැවසීය.
"අපි නිරිත දිග මෝසමේ අග භාගයේ ඉන්නේ. පොඩ්ඩක් නිරිත දිග මෝසම මේ දිනවල සක්‍රිය වෙලා තියෙනවා. ඒකට බලපාලා තියෙනවා ගොඩක් වෙලාවට බෙංගාල බොක්ක උතුරු ප්‍රදේශයේ දැනට වර්ධන වෙලා තියෙන අඩු පීඩන තත්ත්වය සහ ඒ වගේ ම බටහිර පැසිෆික් සාගරයේ වර්ධනය වෙලා තියෙන කුණාටු කිහිපය," ඔහු පදහිලි කළේ ය.
වැසි තත්ත්වය පහව යන්නේ කවදා ද?
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ඉදිරි පැය 24 තුළ වැසි අපේක්ෂා කළ හැකි බව ය.
කෙසේ වෙතත්, සති අන්තය අවසන් වන විට එම තත්ත්වය ක්‍රමයෙන් පහව යනු ඇති බව ඔහු පැවසීය.
"ඉදිරි පැය 24ත් මේ තත්ත්වය බොහෝදුරට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රමයෙන් අඩු වේවි. සැප්. 28 පමණ දක්වා මේ වැසි තත්ත්වය තියෙනවා. ඊට පස්සේ ක්‍රමයෙන් අඩු වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්," අධ්‍යක්ෂවරයා පැහැදිලි කළේ ය.
නාය යාමේ අනතුරු ඇඟවීම්
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදයක් නිකුත් කරනු ලැබ තිබේ.
ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට 2 වන මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.
ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, බද්දේගම, යක්කලමුල්ල කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මතුගම මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කලවාන සහ පැල්මඩුල්ල යන ප්‍රදේශවලට විමසිලිමත්ව පසුවන ලෙස 1 වන මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.