ශ්‍රී ලංකාවේ වතුකර කාන්තාවන් වන්ද්‍යාකරණයට ලක්කිරීම ගැන ඇමෙරිකානු මානව හිමිකම් වාර්තාවකින් අනාවරණයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් ගබ්සා කිරීම් පිළිබඳ වාර්තා නොවන නමුත් ස්වේච්ඡාවෙන් සිදුවන වන්ධ්‍යාකරණයන් පිළිබඳ සිවිල් සංවිධාන මගින් වාර්තා කර ඇතැයි, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තෙම්න්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර සිටියේ, ලොවපුරා රටවල මානව හිමිකම් භාවිතයන් පිළිබඳ 2024 වාර්තාව නිකුත් කරමිනි.
ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන උපුටා දක්වමින් මෙම වාර්තාව සඳහන් කර ඇත්තේ, ස්වේච්ඡාවෙන් සිදු කරන ලද වන්ධ්‍යාකරණය දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන සමහර ආන්තික ප්‍රජාවන්ට, විශේෂයෙන් දෙමළ වතු කම්කරුවන්ට බලපා ඇති බව යි.
රජයේ රෝහල්වල රජයේ වෛද්‍යවරු ළදරුවන් ප්‍රසූත කිරීමේදී සිසේරියන් සැත්කම් තෝරා ගන්නා අවස්ථාවේදී ම වන්ධ්‍යාකරණය සිදු කරන බවත් ඒ සඳහා අදාළ කාන්තාවගේ සැමියාගේ කැමැත්ත පමණක් ලබා ගන්නා බවත් වාර්තාවේ සඳහන් වෙයි.
මෙම වෛද්‍යවරුන් බොහෝ විට කාන්තාවගේ කැමැත්ත ලබා නොගන්නා බවට ද ඔවුන් වාර්තා කර ඇතැයි මානව හිමිකම් භාවිතයන් පිළිබඳ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවේ සඳහන් සඳහන් කර තිබේ.
අනීතික ඝාතන
2024 වසර තුළ රජය හෝ එහි නියෝජිතයන් විසින් අත්තනෝමතික හෝ නීති විරෝධී ඝාතන සිදු කළ බවට වාර්තා කිහිපයක් පැවති බව ද වාර්තාව අනාවරණය කරයි. පොලිස් අත්අඩංගුවේ සිටියදී මරණ කිහිපයක් සිදුව ඇත. බොහෝ මරණ සිදුවී ඇත්තේ පොලිසිය විමර්ශනයක කොටසක් ලෙස සැකකරුවන් අපරාධ ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේදී හෝ ප්‍රශ්න කිරීම් අතරතුර සැකකරුවන් පොලිස් නිලධාරීන්ට පහර දුන් බව පවසමින් හෝ පැන යාමට උත්සාහ කිරීමේදී බව ද වාර්තාවේ දැක්වෙයි.
2024 ජනවාරි සහ අගෝස්තු අතර කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී සිදු වූ මරණ 7ක් පිළිබඳ සැප්තැම්බර් මාසයේදී, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) වාර්තා කර ඇතැයි ද එහි දැක්වේ.
2024දී ඉලක්කගත වෙඩි තැබීම් 103 ක් ගැන පොලිසිය වාර්තා කර ඇති බව ත් එය 2023 දී වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධි 120ට සාපේක්ෂව එය අඩුවීමක් බවත් වාර්තාවේ දැක්වෙයි.
ශාරීරික පහරදීම්, සිරගත කිරීම් සහ පීඩනයට ලක්කිරීම්
සංවේදී මාතෘකා ආවරණය කරන මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම සහ බිය ගැන්වීම් පිළිබඳ ද වාර්තා වී ඇත.
පුරවැසි මාධ්‍යවේදීන් ඇතුළු උතුරු සහ නැගෙනහිර පළාත්වල සමහර මාධ්‍යවේදීන්, විශේෂයෙන් සිවිල් යුද්ධයට හෝ ඊට අදාළ මාතෘකා ගැන සහ අතුරුදහන් වූවන් පිළිබඳ වාර්තා කිරීමේදී ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් හිරිහැර, තර්ජන, බිය ගැන්වීම් සහ මැදිහත් වීම් පිළිබඳ වාර්තා කර ඇතැයි ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තෙම්න්තු වාර්තාවේ සඳහන් වෙයි.
අතුරුදහන් වීම් සහ පැහැර ගැනීම්
2024 වර්ෂය තුළ රජයේ බලධාරීන් විසින් හෝ ඔවුන් වෙනුවෙන් සිදුකරන ලද බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ වාර්තා වී නොමැති බව ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ලොව පුරා රටවල මානව හිමිකම් භාවිතයන් පිළිබඳ වාර්තාවේ සඳහන් වෙයි.
එහි දැක්වෙන්නේ, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) වාර්තා කර ඇති පරිදි 2024 වසර තුළ ඔවුන්ට අතුරුදහන් වූවන් හෝ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ කිසිදු නව පැමිණිල්ලක් ලැබී නොමැති බව යි.
2008 සහ 2009 දී කොළඹ දී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සම්බන්ධ "Navy 11" නඩුවේ කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබුණු බව ද වාර්තාවේ සඳහන් ය.
ශ්‍රී ලංකාවෙන් සමූහ මිනී වළවල් 15ක් පිළිබඳ වාර්තා වී ඇති අතර ඒවා තවමත් විමර්ශන මට්ටමේ ඇතැයි එහි සඳහන් වේ.
ඉන් වැඩි ප්‍රමාණයක් උතුරු සහ නැගෙනහිර පළාත්වලින් වාර්තා වී ඇත.
චෝදනා නොමැතිව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම නීති මගින් තහනම් කරන ලද අතර ඕනෑම පුද්ගලයෙකුට තමන් අත්අඩංගුවට ගැනීමේ හෝ රඳවා තබා ගැනීමේ නීත්‍යානුකූලභාවය ගැන අභියෝග කිරීමේ අයිතිය ලබා දෙන ලදී. රජය සාමාන්‍යයෙන් මෙම අවශ්‍යතා පිළි පදින්නේ නොමැති බව ද වාර්තාවේ දැක්වෙයි.
ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ මාධ්‍යවේදීන් සහ දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම් ඇතුළුව අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හෝ රඳවා තබා ගැනීම් පිළිබඳ පැමිණිලි 838 ක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව(HRCSL) වෙත ලැබී ඇත. එම කොමිසමට අනුව, 2023 ජනවාරි සිට 2024 මාර්තු දක්වා කාලය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් 46 ක් පිළිබඳව බලධාරීන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.
2022 සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය සම්බන්ධයෙන් නිල නොලත් තහනමක් පවත්වාගෙන යාමේ රජයේ ස්ථාවරය නොතකා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අවම වශයෙන් අත්අඩංගුවට ගැනීම් 10 ක් වාර්තා වී ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.
පෙබරවාරි 8 වන දින වන විට, මියගිය එල්ටීටීඊ සාමාජිකයින් සැමරීමේ වාර්ෂික උත්සවයක් වන එල්ටීටීඊ මහා වීර දිනයට සහභාගී වීමේදී එල්ටීටීඊ සංකේත හෝ රූප භාවිතා කළ බවට චෝදනා එල්ල වූ 2023 නොවැම්බර් මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 13 දෙනාම අධිකරණය විසින් නිදහස් කර ඇතැයිද වාර්තාවේ සඳහන් වේ.
සිවිල් සමාජ ආරංචි මාර්ගවලට අනුව, වසර තුළ අවම වශයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි සිරකරුවන් තිදෙනෙකු අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇති අතර, ඔවුන්ට එරෙහි චෝදනා ඉවත් කර ඇති අතර නැතහොත් නිදොස් කොට නිදහස් කර තිබේ.
සැප්තැම්බර් වන විට, සිවිල් සමාජ කණ්ඩායම් ඇස්තමේන්තු කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගතව සිටි පිරිසට එල්ටීටීඊයට සම්බන්ධ වැරදි සඳහා දෙමළ ජාතිකයින් 14 දෙනෙකු සහ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මුස්ලිම් ජාතිකයින් 28 දෙනෙකු ඇතුළුව වරදකරුවන් වූ සහ නඩු විභාගයට පෙර රඳවා තබා ගත් රැඳවියන් 42 දෙනෙකු සිටින බව යි.
2023 ජනවාරි සිට 2024 මාර්තු දක්වා කාලය තුළ, මානව හිමිකම් කොමිසම විසින් වධහිංසා පැමිණවීම් 2,845 ක් සහ අමානුෂික සැලකීම් පිළිබඳ පැමිණිලි 675 ක් ලේඛනගත කර ඇතැයි ද වාර්තාවේ දැක්වෙයි.
දඬුවම් නොලැබීම සැලකිය යුතු ගැටලුවක් වි තිබේ. රජයේ නිලධාරීන්, හමුදා, අතුරු හමුදා, පොලීසිය සහ අනෙකුත් ආරක්ෂක අංශ නිලධාරීන් මෙම සිද්ධි සඳහා වගවීමට ලක්කර නොමැත.
මානව හිමිකම් උල්ලංඝනය කළ නිලධාරීන් හඳුනාගෙන දඬුවම් කිරීමට රජය ගෙන ඇත්තේ අවම පියවරක් බව ද මෙම මානවහිමිකම් වාර්තාවේ සඳහන් වේ.








