සිදුහත් කුමරු හැදී වැඩුණු ශුද්ධෝදන රජ මාලිගය පිහිටි කපිලවස්තුපුර ලෝක උරුම ලැයිස්තුවෙන් ප්‍රතික්ෂේප වුණේ ඇයි?

    • Author, සංජේ ධකාල්
    • Role, බීබීසී නේපාලි සේවය

ලෝක උරුම කමිටුවේ 47 වන සැසි වාරයේදී බටහිර නේපාලයේ තිලෝරකොට් නටබුන් පරිශ්‍රය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමේ යෝජනාව පිළිනොගැනීමෙන් පසු, නේපාලයේ දිගුකාලීන උත්සහය පසුබෑමකට ලක්ව ඇති බව විශේෂඥයෝ පවසති.

නේපාලය කියා සිටින්නේ එය පුරාණ ශාක්‍ය රාජධානියට අයත් වූ කපිලවස්තුපුර, බුදු වීමට ගිය සිද්ධාර්ථ ගෞතම ඔහුගේ ළමා කාලය සහ තරුණ කාලය ගත කළ, ඔහුගේ පියාණන් වූ ශුද්ධෝදන රජුගේ මාලිගාව ලෙස තහවුරු කිරීමට ප්‍රමාණවත් පුරාවිද්‍යාත්මක සාක්ෂි ඇති බව ය.

ප්‍රංශයේ අගනුවර වන පැරිස්හි පිහිටි යුනෙස්කෝ මූලස්ථානයේ පසුගිය සතියේ පැවති රැස්වීමේදී නේපාලය ඉදිරිපත් කළ සවිස්තරාත්මක යෝජනාව පිළිගත්තේ නැත.

ස්මාරක සහ උරුම ස්ථාන සම්බන්ධයෙන් යුනෙස්කෝවට උපදෙස් දෙන ජාත්‍යන්තර ස්මාරක සහ ස්ථාන කවුන්සිලය (ICOMOS) නේපාලයේ යෝජනාව සම්බන්ධයෙන් 'යෝජනා' තුනක් ලබා දුන් බව රැස්වීමට සහභාගී වූ නිලධාරීහු පැවසූහ.

නමුත් ඇතැම් විශේෂඥයින් පවසන්නේ, කමිටුවේ සාමාජික රටවලට තම ස්ථාවරය ඒත්තු ගැන්වීමට නේපාලය ගත් රාජ්‍ය තාන්ත්‍රික උත්සහයන් අසාර්ථක වීම ඊටත් වඩා ප්‍රබල හේතුවක් වන්නට ඇති බව ය.

'යෝජනා තුනක්' සහ ඔවුන්ගේ ප්‍රතිචාර

පැරිස් නගරයේ පැවති රැස්වීමට සහභාගි වූ නේපාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සෞභාග්‍යා ප්‍රධානාං විසින් සපයන ලද තොරතුරුවලට අනුව, නේපාලය තිලෝරකොට් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීම සඳහා විධිමත් 'නාම යෝජනා ලේඛනයක්' වසර දෙකකට පෙර යවා තිබිණි.

"පසුගිය වසර 10-12 තුළ එක්සත් රාජධානියේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් සහ අපගේ විශේෂඥයින් කරපු පර්යේෂණ මත පදනම්ව විද්‍යාත්මක කාල නිර්ණ පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව, අපි ඒ ස්ථානය 'කපිල්වස්තු-තිලෝරකොට්: පුරාණ ශාක්‍ය රාජධානියේ ජනාවාස' ලෙස අපි යෝජනා කළා. මේක පුරාණ කපිලවස්තුපුර බව අපි යෝජනා කළා," ඇය බීබීසීයට පැවසුවා ය.

ICOMOS විසින් නේපාලය ඉදිරිපත් කළ ලේඛනයට 'යෝජනා' තුනක් ඇතුළත් කර ඇති බව ප්‍රධානං පැවසීය.

"මුලින් ම, මෑතකදී එහි සොයා ගන්නා ලද 'දේවාලයක' නටබුන් ඉදිරිපත් කරන්න කියලා ඔවුන් අපෙන් ඉල්ලා සිටියා. ඒත් ඒ දේවාලය සොයා ගත්තේ ලේඛන යැව්වට පස්සේ."

"ඒ පන්සල සාරානාත්වලින් හමුවුණ දේවාලයකට සමාන බව කියනවා. ඒත් ඒක මෑතකදී සොයා ගත්තේ. තවත් ගොඩක් හේතු තියෙනවා කළ යුතුව ඇත."

දෙවනුව, ICOMOS විසින් ලුම්බිණියේ මායිම් වෙනස් කර ලුම්බිණි සහ කපිලවස්තු යන දෙක ම ඇතුළත් තනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට යෝජනා කළ බව ඇය පැවසුවා ය.

"නමුත් අපි ඔවුන්ට කිව්වා මේවා වෙන ම ස්ථාන දෙකක් නිසා, වෙන වෙන ම තිබිය යුතු බව."

තෙවනුව, ශාක්‍ය රාජධානියට අදාළ කාලානුක්‍රමය පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීමක් ICOMOS ආයතනය ඉල්ලා තිබිණි.

"දීර්ඝ කාලීන ඉතිහාසයේ සම්බන්ධතා ගැන අපි ඔවුන්ට දැනුම් දී තිබෙනවා," ප්‍රධානාංග පැවසීය.

"කෙසේ වෙතත්, ලෝක උරුම කමිටුවේ සාමාජික රටවල් 21න් කිසිවක් අපගේ ලේඛනය සාකච්ඡාවට ගන්නා ලෙස යෝජනා නොකළ නිසා, මෙම වසරේ රැස්වීමේදී ඒක නතර වුණා," ඇය පැවසුවා ය.

අවම වශයෙන් එක් සාමාජික රටක් එවැනි යෝජනාවක් ඉදිරිපත් කර සාකච්ඡා ආරම්භ කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බව නේපාල නිලධාරීහු පවසති.

"යෝජනාවක් ඉදිරිපත් වුවහොත් අපට පක්ෂව කතා කරන බව බොහෝ රටවල් පවසා තිබුණත් කිසිවෙකු යෝජනාවක් ඉදිරිපත් කළේ නැහැ," ඇය පැවසුවා ය.

මෙයට හේතු පිළිබඳව නේපාල නිලධාරීන් ප්‍රසිද්ධියේ කතා නොකළ ද, විශේෂඥයින් එය රාජ්‍ය තාන්ත්‍රික කුසලතා නොමැතිකමක් ලෙස අර්ථකථනය කර ඇත.

"නමුත් අපට සෑහීමකට පත්විය හැකි දෙයක් නම් කපිලවස්තු පිළිබඳ ගැටලුව (යෝජනාව) ඉවත් කිරීමට අපි එකඟ නොවීම යි. එය ලැයිස්තුවට ඇතුළත් කළත් නැතත්, කපිලවස්තු අපේ යි. අපි ලබන වසරේදීත් මෙම (යෝජනාව) නැවත ගෙන එනවා," ඇය පැවසුවා ය.

තිලෝරකොට් යනු කුමක් ද?

පුරාණ කපිලවස්තුපුර යනු සිද්ධාර්ථ ගෞතම කුමරු බුද්ධත්වයට පත්වීමට පෙර වසර 29ක් ගත කළ ඔහුගේ පියා වන සුද්ධෝදන රජුගේ මාලිගාව පිහිටා තිබූ ස්ථානය බවට විශ්වාස කෙරේ.

නැවත ඉපදීමේ චක්‍රයෙන් මිදීමට උත්සහ කරන විට ඔහු තම පවුල සහ රාජධානිය මෙතැන් සිට අත්හැර දැමූ බව විශ්වාස කෙරේ.

ඔහු මාලිගාවෙන් පිටව ගිය මහාභිනිෂ්ක්‍රමණ දොරටුව මෙහි පිහිටා ඇති බව විශ්වාස කෙරේ. අශෝක රජුගේ සෙල්ලිපිවලින් සොයාගෙන ඇති පරිදි, මෙම ප්‍රදේශය කකුසඳ ඇතුළු පෙර බුදුවරුන් දෙදෙනෙකුගේ උපන් ස්ථානය ද විය.

ශාක්‍යමුණි බුදුන් වහන්සේ මෙම ස්ථානයට බොහෝ වාරයක් වැඩම කළ බව විශ්වාස කෙරේ.

නේපාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, "ක්‍රි.ව. පළමු සහස්‍රයේදී නගරය අත්හැර දැමීමෙන් පසු, එහි පිහිටීම සහ බුදුන්ගේ ජීවිතය හා සම්බන්ධ තවත් බොහෝ ස්ථාන ක්‍රමයෙන් විනාශ වී ගොස් තිබේ."

1899 දී ඉන්දියානු පුරාවිද්‍යාත්මක මැනුම් ආයතනයේ මිනින්දෝරුවරයෙකු වූ පී.සී. මුඛර්ජි විසින් මෙම ස්ථානය නැවත සොයා ගන්නා ලදී. විසි වන සියවසේදී එය කිහිප වතාවක් විමර්ශනය කරන ලදී.

"ඉන්දීය පුරාවිද්‍යා මිනුම් ආයතනයේ දෙබාලා මිත්‍රා 1962 දී උතුරු බැම්ම හරහා කැණීම් කළ අතර, නේපාල පුරාවිද්‍යාඥයින් වන බී.කේ. රිජාල් සහ ටී.එන්. මිශ්‍රා නගරයේ වැඩි කොටසක් නිරාවරණය කර ගැනීම ආරම්භ කළහ," රජයේ තොරතුරු සඳහන් කරයි.

2014 දී, යුනෙස්කෝව 'යුනෙස්කෝ භාර අරමුදල' හරහා ජපාන රජයේ මූල්‍ය සහය සහ අනෙකුත් පරිත්‍යාගශීලීන්ගේ සහය ඇතිව කපිල්වස්තු-තිලෝරකොට් පුරාවිද්‍යාත්මක විමර්ශනය කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා බහුවිධ ව්‍යාපෘතියක් දියත් කළේ ය.

එය නේපාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ලුම්බිණි සංවර්ධන භාරය, ඩර්හැම් විශ්වවිද්‍යාලයේ යුනෙස්කෝ ඒකකය, ස්ටර්ලිං විශ්වවිද්‍යාලය, ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය සහ ට්‍රිබුවන් විශ්වවිද්‍යාලය ඒකාබද්ධ වී ක්‍රියාත්මක කරන ලදී.

මෙම ව්‍යාපෘතිය මගින් නගරයේ පැරණි වීදි ජාලය අනාවරණය වූ අතර, අනාවරණය කර ගත් අනෙකුත් ඒවා අතර, මාලිගාවේ බිත්ති සහිත සංකීර්ණයේ නටබුන්, ගඩොල් ජල ටැංකියක් සහ ආරාම සංකීර්ණ සොයා ගන්නා ලදී.

"කැණීම් කරන ලද අඟුරු සාම්පලවල විකිරණ කාබන් කාල නිර්ණය සහ පස් සාම්පලවල දෘශ්‍ය දීප්තතා කාල නිර්ණය මගින් මෙම ස්ථානයේ මූලාරම්භය ක්‍රි.පූ. 800 දක්වා දිවෙන බව සනාථ වන," බව රජයේ නිවේදනයේ සඳහන් වේ.

'අනපේක්ෂිත ප්‍රතික්ෂේප වීම'

කැණීම් සහ සංරක්ෂණ කටයුතු දැනට සිදුවෙමින් පවතින තිලෝරකොට්, බුදුන් වහන්සේගේ උපන් ස්ථානය වන ලුම්බිණියට කිලෝමීටර් 30ක් පමණ බටහිරින් පිහිටි තවුලිහාවා අසල පිහිටා ඇත.

කපිලවස්තුපුර කැණීම් සහ සංරක්ෂණ කටයුතු අධීක්ෂණය කරන ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රධානියා වන මාධව් ආචාර්යා වසර ගණනාවක් එහි සේවය කරයි.

"පුරාණ කපිලවස්තු නටබුන් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයන් සහ භූගත 'ස්කෑනිං' ද මෙතන කරල තියෙනවා. මේ ස්ථානය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් නොකිරීමට ගත් තීරණය මට පෞද්ගලිකව පමණක් නොව, පළාත්, පළාත් පාලන මට්ටමේ බලධාරීන්ට සහ මෙහි සිටින ප්‍රදේශවාසීන්ට ද සම්පූර්ණයෙන් ම අනපේක්ෂිත සිද්ධියක්," ඔහු පැවසීය.

"මේක සනාථ කරන සාක්ෂි තියෙන නිසා, ඒක ඉක්මනින් හරි පසු කාලයක හරි හඳුනා ගනියි කියල අපි විශ්වාස කරනවා. යුනෙස්කෝව ම යි මේ කැණීම් සහ සංරක්ෂණය මෙහෙයවන්නේ. ජපාන රජයක් ඒකට සහය දක්වනවා."

ලුම්බිණියට කල් දෙයි

මේ අතර, ලෝක උරුම කමිටුවේ 47 වන සැසිවාරයේදී ලුම්බිණියේ තත්ත්වය සම්බන්ධයෙන් යම් ධනාත්මක තීරණ ගෙන ඇති බව නේපාල නිලධාරීන් පවසා තිබේ.

පසුගිය වසරේ කමිටු රැස්වීමේදී, මායාදේවි දේවාලයේ කාන්දුවීම් ගැටලු ඇතුළු විවිධ හේතු මත ලුම්බිණිය අවදානම් තත්ත්වයක පවතින ලෝක උරුම ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. කෙසේ වෙතත්, ඉන්දියාව ඇතුළු සාමාජික රටවල් 21න් බොහොමයක් එසේ කිරීම සුදුසු නොවන බවට තම මතය ප්‍රකාශ කිරීමෙන් පසුව, එය නිසි ලෙස රැකබලා ගැනීමට සහ ආරක්ෂා කිරීමට නේපාලයට වැඩි කාලයක් ලබා දෙන ලදී.

"ඒ අනුව, පෙබරවාරි මාසයේදී, අපි කළ කාර්යය සඳහන් කරමින්, සංරක්ෂණ තත්ත්වය පිළිබඳ වාර්තාවක් යැව්වා. ඒ නිසා, මේ වසරේ කමිටුව එය 'අවදානමට ලක්ව ඇති උරුමයන්' ලැයිස්තුවට ඇතුළත් කිරීම ගැන සාකච්ඡා කළේ නැහැ, ඒ වෙනුවට මාස කිහිපයකට පසු ලුම්බිණියේ අපගේ සංරක්ෂණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රතික්‍රියාශීලී අධීක්ෂණ මෙහෙයුමක් යැවීමට තීරණය කළා," පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සෞභාග්‍යා ප්‍රධානං පැවසීය.

"ඒ මෙහෙයුමේ වාර්තාව මත පදනම්ව කමිටුව ඉදිරියේදි තීරණ ගනීවි."

නේපාලයේ ලුම්බිණි සහ කත්මණ්ඩු නිම්නය යන සංස්කෘතික ලෝක උරුම ස්ථාන දෙකක් සහ සාගර්මාතා ජාතික වනෝද්‍යානය සහ චිත්වාන් ජාතික වනෝද්‍යානය යන ස්වාභාවික ලෝක උරුම ස්ථාන දෙකක් ඇත.

ඊට අමතරව, කපිලවස්තු-තිලෝරකොට් ඇතුළු තවත් ස්ථාන 15ක් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කළ යුතු බව නේපාලය පවසයි.