තෙයියම්: පිරිමින් දෙවිවරුන් බවට පත්වන ඉන්දීය ශාන්තිකර්මය

ඡායාරූප මූලාශ්‍රය, Tim Bird
හින්දු ධර්මයට ත් පෙර සිට පැවත එන, තෙයියම් යනු පුරාණ හා අද්භූත ජන චාරිත්‍රයක් මෙන් ම දකුණු ඉන්දියාවේ වඩාත් ම සිත් වශී කරවන අත්දැකීමකි.
අලුයම 4:30ට විහඟුන්ගේ හිමිදිරි කිචිබිචිය මැඩපවත්වමින් ගස් අතරින් එකිනෙක පරයන බෙර වාදනය මට ඇසෙන්නට විය. කෝවිල කරා දිවෙන පියගැටපෙළ බසිමින්, මම නිරුවත් දෙපයින් තමන්ගේ හොඳ ම සාරිවලින් සැරසී සිටි කුඩා කාන්තා සමූහයක් වෙත පිය නැගුවෙමි. මද වේලාවකට පසු, තැඹිලි පැහැති සංකීර්ණ රටා මුහුණ මත ආලේප කර තිබූ, එම්බ්‍රොයිඩර් කරන ලද රතු පැහැති ඇඳුමකින් සැරසුණු නිරූපණ ශිල්පියෙක් කෝවිල පිටුපසින් මතු විය. තද රක්ත වර්ණයෙන් යුතු ඔහුගේ හිසේ 'මඩි' නමින් හඳුන්වන රිදී ආලේපිත ඔටුන්නක් තැබූ අවස්ථාවේ, මනුෂ්‍යයෙකු ලෙස සිට දෙවියෙකු බවට පරිවර්තනය වීම ආරම්භ කරමින් කුඩා දරුවෙකු මෙන් නැටීමට පටන් ගත්තේ ය.
බිලියන 1.5 කට ආසන්න ජනගහනයක් සහ හින්දු දෙවිවරුන් මිලියන 330ක් සිටින ඉන්දියාවේ ආගමික උත්සව සහ සංදර්ශනවලින් අඩුවක් නැත. එසේ වුව ද, වඩා ත් පැරණි හා සිත් වසඟයට පත් කරවන ආගමික උත්සවයක් වන්නේ, කේරළ ප්‍රාන්තයේ සහ අසල්වැසි කර්නාටක ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක පැවැත්වෙන තෙයියම් ය. "දෙවියන්" හෝ "දෙවියන් වහන්සේගේ ආත්මය" යන අර්ථය ඇති, තෙයියම් යනු හින්දු ධර්මයට පෙර පැවති නමුත් හින්දු පුරාවෘත්ත ඇතුළත් නාට්‍ය, අභිරූපණ සහ නමස්කාරය ඒකාබද්ධ කරන පුරාණ ජන චාරිත්‍රයකි. එය ගෝත්‍රික සජීවීත්වය උත්තරීතර වූ කාලයකට ආපසු හැරී යන අතර දීප්තිමත් වර්ණවලින් සරසා ඇති, විස්තීර්ණ හිස් පළඳනාවලින් සැරසුණු නිරූපණ ශිල්පීහු (කෝලම්) ඔවුන් නිරූපණය කරන දෙවිවරුන් ලෙස පෙනී සිටීමට උත්සහ කරන විට මෝහනයට සමාන තත්වයකට පරිවර්තනය වෙති.
වර්තමානයේ, උතුරු කේරළය සහ කර්ණාටක ප්‍රාන්තය ආශ්‍රිතව තෙයියම් ප්‍රභේද 400කට අධික සංඛ්‍යාවක් පවතී. මෙම සංදර්ශන ඔක්තෝබර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා බොහෝ රාත්‍රිවල ඇඳිරිය වැටීම ඇරඹෙන වේලාව සහ පසු දා හිරු උදාව සිදුවන වේලාව අතර කාලයේ පවත්වන අතර, මලයාලම් දින දර්ශනය භාවිත කරමින් සුබ දිනයන් හඳුනා ගන්නා ජ්‍යෝතිශ්‍යවේදීන් සමග සාකච්ඡා කර ඒ සඳහා වේලාව තීරණය කෙරේ. සෑම දර්ශනයක් ම නොමිලේ සහ මහජනයාට විවෘත වන අතර, තෙයියම් යනු සංචාරකයින් පිනවීම සඳහා පවත්වන්නක් නොවන අතර, ඉතිහාසය සහ ඇදහිල්ල පිළිබඳ පූජනීයත්වයක් සහ ගැඹුරක් ජානනය කරන්නකි.

ඡායාරූප මූලාශ්‍රය, Tim Bird
තෙයියම් මුහුණු පින්තාරු කලාව
මගේ පළමු තෙයියම් නැරඹීම සිදුවූයේ කන්නූර් වරාය නගරයේ සිට කිලෝමීටර් 20ක් පමණ ගොඩබිම දෙසින් පිහිටි ග්‍රාමීය කෝවිලක් වන පනාචික්කාව්හිදී ය. මම වේලාසනින් ම එම ස්ථානයට පැමිණි අතර එක් එක් නිරූපණ ශිල්පියෙකු සඳහා සංකීර්ණ ජ්‍යාමිතික මුහුණු රටා සහ මෝස්තර නිර්මාණය කිරීමට (මෙම ක්‍රියාවලියට පැය කිහිපයක් ගත විය හැකි ය,) අතිශය සිහින් පින්සල් භාවිත කරන කලාකරුවන් දුටුවෙමි.
තෙයියම් මුහුණු දෙකක් එකිනෙකට සමාන නොවන අතර චිත්‍ර ඇඳීම, ඇඳුම් පැළඳුම් සහ ආභරණ චරිතයෙන් චරිතයට වෙනස් වන අතර, ඒ සඳහා යම් යම් මාර්ගෝපදේශ තිබේ. තෙයියම් විශේෂඥ පී.එස්. කූරියන් පවසන පරිදි සාම්ප්‍රදායික සායම් වර්ග සැකසීම සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිත කරන බව ය. සුදු වර්ණය සැකසීම සඳහා බත් යොදා ගැනෙන අතර, කහ වර්ණය සඳහා කහ යොදා ගැනේ. තෙයියම් සංදර්ශනවල ප්‍රමුඛ වර්ණය රතු පැහැය වන අතර එය ක්‍රියාකාරීභාවය සහ ශක්තිය පමණක් නොව කෝපය ද සංකේතවත් කරයි. එය කහ සහ හුණුගල් මිශ්‍රණයකින් සකසා ගැනේ. කළු වර්ණය සකසා ගැනෙන්නේ, පිළිස්සූ දහයියා සහ පොල් තෙල් මිශ්‍ර කිරීමෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Tim Bird
අවස්ථානුකූල වස්ත්‍ර භාවිතය
නිරූපණ ශිල්පීන්ට ඇඳුම් ඇන්දවීම ද ඉතා සූක්ෂම ක්‍රියාවලියක් වන අතර සාමාන්‍යයෙන් කෝවිලෙන් බැහැර පෞද්ගලික කූඩාරමක හෝ කුටියක එය සිදු කෙරේ. විචිත්‍රවත් මඩි ඔටුන්න නිර්මාණය කර ඇත්තේ, පුවක්, පොල්, මොනර පිහාටු සහ සිප්පි කටු වැනි සැහැල්ලු ද්‍රව්‍ය භාවිත කරමිනි.
සෑම තෙයියම් නිරූපණ ශිල්පියෙක් ම චරිතයට ආවේශ වීමට පෙර, මත්පැන් පානයෙන් වැළකීම, නිරාහාරව සිටීම, යාච්ඤා කිරීම සහ හුදෙකලා භාවනාවක යෙදීම ආදී ක්‍රියා අනුගමනය කරති. ඔවුන්ගේ අරමුණ වන්නේ, සිය චරිතයෙන් නිරූපිත දෙවියන් බවට අනුවර්තනය වීම පමණක් නොව, මනුෂ්‍යත්වය සහ දේවත්වය අතර සීමා අවම කරමින්, ප්‍රේක්ෂකයින් ඔවුන්ගේ දෙවිවරුන් වෙත සමීප කරවීම යි.

ඡායාරූප මූලාශ්‍රය, Tim Bird
ඓතිහාසිකව "පහත්" කුලයක් සඳහා ගෞරවණීය භූමිකාවක්
සෑම තෙයියම් දර්ශනයකදී ම කෝලම් ලෙස හැඳින්වෙන නිරූපණ ශිල්පියා බෙර වාදනයට අනුව පැද්දෙමින් සහ කැරකෙමින් සිටි ආකාරය මම දුටුවෙමි. නිරූපණ ශිල්පියාගේ මුහුණේ අභිනය සහ අඩව් සඳහා පවත්වාගත යුතු වේගය, බෙර වාදකයන්ගේ ඩෙංකුටු හඬ සහ හොරණෑ ශබ්ද සමග අනුගත වී තිබිණි.
කුරියන් පැහැදිලි කළ පරිදි, තෙයියම් යනු ස්වාභාවික වස්තු අදහනු ලැබූ, පූර්ව-හින්දු යුගයට දිවෙන, හින්දු ආගමේ මූලික අංගයක් මෙමගින් අවධාරණය කරයි: ඒ, කුලය පදනම් වූ සමාජ ක්‍රමය යි. "තෙයියම් සංදර්ශනවලට පෙනී සිටින්න පුළුවන් වෙන්නේ, දාලිත් කුලයට අයත් ජන කොටස් 15කින් තෝරා ගැනෙන සාමාජිකයින් වන (ඉන්දියාවේ දාලිත් ජන කොටස් සිය ගණනක් ඇත) පිරිමින්ට පමණ යි," ඔහු පැවසීය. "ඒ බෙර වාදකයින් දාලිත් ඉතා පහත් කුලයට අයත් වූවන්." ප්‍රචලිත සමාජ සම්මතයේ ප්‍රතිලෝමයක් ලෙස, දාලිත් නිරූපණ ශිල්පීන්ට ඉහළ කුලවලට අයත් නරඹන්නෝ දුර්ලභ, පූජනීය ගෞරවයකින් සලකති.

ඡායාරූප මූලාශ්‍රය, Tim Bird
පිරිමින් සහ කාන්තාවන් වෙනුවෙන් පූජනීය චාරිත්‍රයක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඇතැම් තෙයියම් සංදර්ශන වෙනත් ඒවාට වඩා බෙහෙවින් දීර්ඝ වේ. දීර්ඝතම සංදර්ශන ඇඳිරිය වැටෙද්දී ආරම්භ වන අතර පසු දා අලුයම් කාලය තෙක් අඛණ්ඩව පැවැත්වේ. එක් උදෑසනක අරුණෝදයට පෙර, මම කන්නූර් අසල වෙනත් කෝවිලකදී, සුදු මුහුණු සහිත ගුලිකන් චරිත දෙකක්, එනම් මරණය සහ යුක්තිය පිළිබඳ හින්දු දෙවියා වන යමගේ නිවුන් අවතාර දෙස බලා, නටමින්, ආවේශයකට පත් වූවෙමි.
තෙයියම් පුරුෂාධිපත්‍යයට නතුවූ කටයුත්තක් වන හෙයින්, ස්ත්‍රී දේවතාවන් පවා නිරූපණය කරනුයේ පිරිමි චරිත වේ. එහෙත්, කුරියන් මට පැවසූ පරිදි එය වෙනස් වන එක් ස්ථානයක් ඇත: ඒ, ඇලප්පි නගරයට නුදුරින් පිහිටි සර්ප කෝවිලකි. එහි වසර දෙකකට වරක් කාන්තාවෝ තෙයියම් චාරිත්‍රය පවත්වති. එසේ නොමැති නම්, කාන්තාවන් කරනුයේ, නිරූපණයෙන් පසු ආශිර්වාද ලබා ගැනීමට ත්, දේව නිරූපණ ශිල්පියාගෙන් උපදෙස් ලබා ගැනීමට ත් තම හොඳ ම සාරිවලින් සැරසී දැඩි උනන්දුවකින් තෙයියම් පවත්වන ස්ථානයට පැමිණීම පමණි. සාම්ප්‍රදායිකව, නිරූපණ ශිල්පීහු, තෙයියම් ශිල්පය සහ එහි ආධ්‍යාත්මික වැදගත්කම, සියවස් ගණනාවක් තිස්සේ පවුල් සම්ප්‍රදායක් තුළ තම පියවරුන්ගෙන් ඉගෙන ගනිති.
තෙයියම් ඉදිරිපත් කිරීම් දෙකක් අතරතුර, කන්නූර්හි කාවූ ලෙස හැඳින්වෙන කුඩා කෝවිල් පරිශ්‍රය නිවහන කර ගත් මාතෘ පාරම්පරාවෙන් පැවත එන කල්ලික්කෝඩන් පවුල මුණ ගැසීමට මම ගියෙමි. "තයියම් පවත්වන වෙලාවට කාන්තාවන් ඉතාමත් භක්තියෙන් සහ වැදගත් ආකාරයට කෝවිලේදී පේ වෙනවා," නන්දන රාජේෂ් පැහැදිලි කළේ ඇගේ මව වන සධ්‍යා සහ ආච්චි වන සුජානා, පූජකවරයාට සහ ඔහුගේ සහයකයන්ට අවශ්‍ය විවිධ ද්‍රව්‍ය සපයන බව ය. "සාම්ප්‍රදායිකව, තෙයියම් නිරූපණය කරන්නේ පිරිමින් පමණක් කියලා අපි දන්නවා, ඒ වගේ ම ඒක අපි පිළිගන්නවා. ඒක තමයි සම්ප්‍රදාය."
"අපට නම් තෙයියම් කියන්නේ නිකම් චාරිත්‍රයක් විතරක් නෙවෙයි; ඒක අපට විශාල ශක්තියක් ලැබෙන, ඒ වගේ ම දෙවියන්ගේ ආශීර්වාදය හිමි වන බලවත් කලාංගයක්," කේරළ ප්‍රාන්තයේ වැසියෙකු වන වී.එස්. සිමී පැවසීය. "කේරළයේ ශ්‍රේෂ්ඨ කතා බොහෝ විට තෙයියම් ඇතුළු කලා ආකෘති භාවිතයෙන් නැවත කියනවා," තව ත් කේරළය නිජබිම වූ කාන්තාවක වන ලක්ෂ්මී විජයන් පැවසීය. "අපේ පැරණි පුරාවෘත්තයන් ඇත්තට ම ජීවමාන වෙන්නේ එහෙම යි."

ඡායාරූප මූලාශ්‍රය, Tim Bird
බියකරු තද රතු පැහැති අවතාරය
සාම්ප්‍රදායිකව, ප්‍රධාන කෝලම් චරිතවලට අමතරව, සෑම කෝවිලක් ම විවිධ දෙවිවරුන් සහ චරිත සම්බන්ධ කරගෙන සුවිශේෂී තෙයියම් ප්‍රභේදයක් වෙනුවෙන් කැප කර තිබේ. සෑම ශාන්තිකර්මයක ම අද්භූත සහ හින්දු කතාන්තර බොහෝවිට මිශ්‍ර වී පවතින අතර, හින්දු චරිත සහ කතාන්තරලට බොහෝවිට ප්‍රධාන තැනක් හිමි වේ. එම චරිතවලට හනුමාන් (වානර දෙවියන්) හෝ ගුලිකන් ස්වරූපයෙන් නියෝජනය වන ශිව (සශ්‍රීකත්වය සහ විනාශයට අධිපති හින්දු දෙවියන්) අයත් වන අතර, එම චරිත හඳුනා ගත හැක්කේ, සුදු පැහැති වෙස් මුහුණ සහ පුවක් හෝ තල් අතුවලින් සකසන ලද හිස් ආවරණවලිනි.
එහෙත්, වඩාත් නාට්‍යරූපී සහ සුවිශේෂී චරිත වන්නේ, පුළුල් වළලු සහිත සායකින් සැරසී දැවැන්ත, ආකර්ෂණීය මුඩි ඔටුනු පැළඳ සිටින කෝලම්වලට අයත්, නළල රැලි ගන්වන, ආධිපත්‍යය පතුරවන තද රතු පැහැති අවතාර වේ.

ඡායාරූප මූලාශ්‍රය, Tim Bird
ආත්මික පූජාවක්
ආධ්‍යාත්මයට පිවිසෙන බිහිදොරක් මෙන් ම පවිත්‍රකාරක ද්‍රව්‍යයක් සංකේතවත් කරන ගින්දර, තෙයියම්වල විශාල කාර්යභාරයක් ඉටු කරයි. තෙයියම් ශාන්තිකර්මයකදී, ගින්දර මත ඇවිදීම හෝ ගින්නට පැනීම හින්දු පුරාණෝක්ති ප්‍රතිනිර්මාණය කිරීමක් විය හැකි ය. දිනෙක කූරියන් සහ මම කන්නූර්හි තෙයියම් නර්තන ශිල්පියෙකු වන ෂායිදු මුණගැසීමට ගියෙමු. ඔහුගේ නාසය සහ කම්මුල මත පිළිස්සුම් තුවාල තිබෙනු, ඔහු අපට දොර විවර කරන අවස්ථාවේදී මම දුටුවෙමි. මෙම කැළැල් තෙයියම් ශාන්තිකර්මයේ 'තී චාමුණ්ඩි' (Thee Chamundi) චරිතය නිරූපණය කරද්දී ඇති වූ බව ඔහු පැහැදිලි කළේ ය. එම කෝලම, පොල් කොළ සායකින් සැරසී කළ, එක් රංගනයකදී රතු ගිනි අඟුරු ගොඩක් කිහිප වරක් ම මුහුණෙහි ගෑවීමෙන් එය සිදුවී තිබිණි. විෂ්ණු දෙවියන්ගේ බැතිමතෙකු වන ප්‍රහ්ලාද් නමැත්තාව, පළිගන්නා යක්ෂයෙකු විසින් නැවත නැවතත් ගින්නට ඇද දමන ආකාරය තී චාමුණ්ඩි චරිතය මගින් නිරූපණය කරයි.
"මම තෙයියම් රස්සාව පටන් ගත්තේ අවුරුදු පහේදී," ෂායිදු එසේ පැවසුවේ, කෝලම් නිරූපකයෙකු බවට පත්වීමට ඔහු සිය පියාගෙන් ඉගෙන ගත් බව පැහැදිලි කරමිනි. ත්‍යාගලාභී බොක්සිං ක්‍රීඩකයෙකු මෙන් ඔහු මා නිවස තුළට ගෙන ගියේ ඔහුගේ රාක්කවල තබා තිබූ තෙයියම් පළිහ සහ කුසලාන පෙන්වීමට ය. "මගේ පළමු රංගනය වුණේ, කේරළයේ සියලු ම ආගම් සහ සියලු ම සමාජ පන්ති විසින් සමරනු ලබන ඕනම් අස්වැන්න මංගල්‍යයේදී ළාබාල පිරිමි ළමයින් ඉදිරිපත් කරන ආදිවේදන් නම් තෙයියම් ශාන්තිකර්මය. මට දැන් චරිත 12ක් නිරූපණය කරන්න පුළුවන්. අසීකෝඩේ නිහෙසූර් කෝවිලේ තී චාමුණ්ඩි චරිතය නිරූපණය කළාට පස්සේ මට ගෞරවයක් ලැබුණා. මට අයිති වඩා ත් පූජනීය වස්තුව කියලා මම සලකන මගේ පෞද්ගලික පූජා (යාච්ඤා) කාමරයේ තියලා තියෙන රන් වළල්ල සහ රතු සේද රෙද්ද ඒ වෙලාවේ මට පිරිනැමුවා."

ඡායාරූප මූලාශ්‍රය, Tim Bird
ගින්නට පැනීම
ෂායිදු මුණගැසීමෙන් දින කිහිපයකට පසු, මම තව ත් තී චාමුණ්ඩි රංගනයක් දැක ගැනීමට වෙනත් කෝවිලක් වෙත ගියෙමි. කෝවිල ඉදිරිපිට බුර බරා නැගෙන ගිනිගොඩක් විය. පූජකවරු සහ උපස්ථායකයෝ ගිනි අඟුරුවලට පවන් ගසමින් මෙන් ම, ගින්න පාලනය කිරීමට සහ එය පැතිරීම වැළැක්වීම සඳහා වටපිටාවට ජලය ඉසිමින් සිටියහ. කොළ පැහැති පොල් කොළ ඇඳුමකින් සැරසුණු කෝලම් චරිතය කරළියට ගෙන යන ලදී. ඔහු මුහුණට මුහුණ ලා ගිනි අඟුරු මතට වේගයෙන් දිව යන විට, ගිනි පුපුරු විසිරෙන්නට විය, දුම් පිට විය, සමූහයා කෑගසමින් ඔහුට සහය පළ කළහ. සහායකයෝ ඉක්මනින් ම ඔහුව ඇදගෙන ගියහ, ඔහුගේ පොල් කොළ සාය පිළිස්සී දුම් දමන්නට විය. එහෙත්, මිනිත්තුවකට පමණ පසු නැවත නැවත ත් ඔහු ගිනි ගොඩට පැන්නේ ය.
විස්මයට පත්ව, හැඟීම් සමුදායක ගිලී තරමක් දුරට ප්‍රීතියෙන් ඉපිල ගොස් සිටි මම, ඝෝෂාකාරී භේරී නාදය මැකී යද්දී දැවෙන හිරු උදාවක යළි ත් මගේ නවාතැන වෙත පිය මැන්නෙමි.
BBC travel වෙත ටිම් බර්ඩ් විසින් සම්පාදනය කරන ලද්දකි












