ජනාධිපතිවරණය 2024: ශ්‍රී ලංකාවේ අනාගතය කලාපීය බලවතුන් අතර දෝලනය වෙයි ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි
    • Author, දිනුක් හේවාවිතාරණ
    • Role, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 8

මෑත ඉතිහාසය පුරා චීනය, ඉන්දියාව සහ ඇමෙරිකාව යන ලෝකයේ ප්‍රබල රටවල් ශ්‍රී ලංකාව තුළ සිය න්‍යාය පත්‍ර මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන බවට මැතිවරණ වේදිකාවලදී මෙරට ජනතාවට නිරන්තරයෙන් ඇසෙන ජනප්‍රිය කතාවක් වී තිබේ.

බිඳ වැටුණු මෙරට ආර්ථිකය නැවත ගොඩනැගීමට පසුගිය දෙවසර තුළ රජය ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන්, රට ඉදිරියට ගෙන යාමේ ගමනට ඉන්දියාව, ජපානය ඇතුළු සියලු මිත්‍රශීලි රටවල සහය හිමිව තිබෙන බව මීට දින කිහිපයකට පෙර කන්තලේ ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

2019 වසරේ පැවති ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේදී මැතිවරණ වේදිකාව උණුසුම් කළ මාතෘකාවක් බවට පත්වූයේ මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් හෙවත් MCC ගිවිසුමයි.

2019 ජනාධිපතිවරණයට බලපෑ ඇමෙරිකානු - ජපාන ගිවිසුම්

2019 වසරේ පැවති ජනාධිපතිවරණයට පෙර MCC ගිවිසුමට අනිවාර්යයෙන්ම අත්සන් තබන බවට සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේකෂකයා ලෙස තරග වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අවධාරණය කළේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය සඳහා තරග කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කළේ, එම ගිවිසුම "ඇමෙරිකානු මර උගුලක්" වන අතර ඒ හරහා ඇමෙරිකාවට ශ්‍රී ලංකාවේ ඉඩම් "කුණු කොල්ලයට" විකිණෙන බවටයි.

මෙම ගිවිසුම හරහා මෙරට තුළ ඇමෙරිකාවට ඔවුන්ගේ හමුදා කඳවුරු පිහිටුවීමට අවසර හිමිවන බවට එම කාලසීමාවේදී විපක්ෂයේ දේශපාලන පක්ෂ නිරතුරුවම මැතිවරණ වේදිකාවේදී සිදුකළ ප්‍රකාශයක් විය.

මේ අතර 2020 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් හෙවත් MCC ගිවිසුම ක්‍රියාත්මක කරනු ලබන අමෙරිකානු සමාගම යෝජිත වැඩසටහනෙන් ඉවත්වීමට තීරණය කරන ලදී.

මීට අමතරව කොළඹ නගරය තුළ පවතින රථ වාහන තදබදය අවම කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ජපාන සහනදායි ණය ක්‍රමයකින් නිමකිරීමට සැලසුම් කල කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (එල්ආර්ටී) ව්‍යාපෘතිය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළේය.

මෙම ගිවිසුම අහෝසි වූයේ චීනයේ බලපෑමක් හේතුවෙන් බවට ගෝඨාභය රාජපක්ෂ රජයට විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් චෝදනා එල්ල කරන ලදී.

මෙවන් පසුබිමක මෙවර ජනාධිපතිවරණය සහ ඉන් පසුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අසල්වැසි ඉන්දියාව පමණක් නොව ලෝක බලවත් රාජ්‍යයන් වන ඇමෙරිකාව, චීනය සහ ජපානයේ භූමිකාව කුමක් වේද? ඒ පිළිබඳව අද වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

චීන ආයෝජන මත ඉදිකෙරෙන වරාය නගරයේ සිට කොළඹ නගරය දිස්වන ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චීනයේ ආයෝජන මත ඉදිකෙරෙන වරාය නගරයේ සිට කොළඹ නගරය දිස්වන ආකාරය

ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරය ඉන්දියාවට වැදගත් ඇයි?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

දකුණු ආසියාවේ බලවත්ම රාජ්‍යය වන ඉන්දියාවට සමීපව පිහිටා තිබෙන රට ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව ඔවුහු බලවත් අවධානයෙන් පසුවෙති.

"රුධිරය ජලයට වඩා ඝන" බැවින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම ස්වාභාවික බව ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්දයෙන් අදහස් දක්වමින් ඉකුත් වසරේ මාර්තු මාසයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ප්‍රකාශ කළේ‍ය.

"රුධිරය ජලයට වඩා ඝනයි. මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට ඉන්දියාවට කළ හැක්කේ කුමක්දැයි ඉන්දියාව දැකීම ස්වාභාවිකය," එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී පැවසීය.

විශේෂයෙන් ඉන්දීය සාගරයේ බලය පෙන්වීම වෙනුවෙන් ඉන්දියාව සහ චීනය අතර පවතින අරගලය ඊට කදිම නිදසුනක් වේ.

ඉන්දියාව සිය අසල්වැසි පාකිස්ථානය සමග දිර්ඝකාලීනව පවතින දේශපාලනික සහ යුදමය තත්ත්වය සහ චීනය පාකිස්ථානය තුළ ක්‍රියාත්මක කොට ඇති සංවර්ධන වැඩසටහන්වලට අමතරව මාලදිවයින ද චීනයේ ආධිපත්‍යයට නතුවීම හේතුවෙන් ඉන්දියාව මේ වන විට ඉන්දීය සාගරයේ බලය රැක ගැනීම උදෙසා ප්‍රබල සටනක නිරත වෙමින් සිටියි.

කලාපයේ පවතින වත්මන් තත්ත්වයත් සමග ශ්‍රී ලංකාව තුළ ස්ථාවර දේශපාලන භූමිකාවක් පැවතීම ඉන්දියාවට අත්‍යාවශ්‍ය කරුණක් වී ඇති බව ජාත්‍යන්තර සබඳතා පර්යේෂක සහ උපදේශක ආචාර්ය හසිත් කන්දඋඩහේවා බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

"පෙර මැතිවරණවලට වඩා මෙවර මැතිවරණයේදී ඉන්දියාවේ භූමිකාව ඉතාමත් කැපීපෙනෙන ලෙස දක්නට ලැබුණා."

"විශේෂයෙන් ඉන්දියාවේ ආරක්ෂක උපදේශකවරුන්, නිල නොවන මට්ටමේ දූත කණ්ඩායම් රාශියක් මෙවර මැතිවරණය ප්‍රකාශ කරන්න ආසන්නයේ සහ ඉන් පසුව සංචාරයන් සිද්ධ වුණා."

"ඉන්දියාව ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම බංග්ලාදේශයේ සිදුවූ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයෙන් පස්සේ එම රටේ ඇතිවුණු ආර්ථික අස්ථාවරය සහ බිඳ වැටීම තුළ ඉන්දියාව ඉතා ම දැඩි සැලකිල්ලක් දක්වනවා ශ්‍රී ලංකාවේ ස්ථාවර දේශපාලන තත්ත්වයක් පවත්වාගෙන යාමට." ඔහු පැවසීය.

නිහඬ ක්‍රියාශීලී භූමිකාවක් ගෙන යන බලවත් රටවල් 3

ශ්‍රී ලංකාවේ මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඇමෙරිකාව, චීනය සහ ජපානය නිහඬ නමුත් ක්‍රියාශීලි වැඩපිළිවෙළක නිරත වන බවක් දක්නට ලැබෙන බව ආචාර්ය හසිත් කන්දඋඩහේවා පැවසුවේය.

යුරෝපා සංගමය ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාව තුළ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්විය යුතු බවට අවධාරණය කර ඇති බව ඔහු සඳහන් කළේය.

"ඇමෙරිකාව, චීනය සහ ජපානය මෙවර ශ්‍රී ලංකා මැතිවරණයේදී ගෙන යන්නේ බොහොම නිහඬ නමුත් ක්‍රියාශීලි පිළිවෙතක්."

"මේ වන විටත් මේ රටවල් මැතිවරණ නිරීක්ෂකයින් එවා තිබෙනවා. ඒ වගේම තානාපති කාර්යාල මට්ටමින් දැනුම් දීලා තියෙනවා මැතිවරණය තුළ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් ඇතිවීම වළක්වමින් කටයුතු කරන්න කියලා සියලු දේශපාලන පක්ෂ සහ පාක්ෂිකයින්ට දැනුම් දීලා තියෙනවා."

"ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර රටවල් සහ යුරෝපා සංගමය බොහෝ අවධානයෙන් පසුවනවා මැතිවරණයෙන් පස්සේ පශ්චාත් මැතිවරණ සමයේදී ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඇතිවීම වැළැක්වීම සහ මැතිවරණයේ අවසාන පැය 72ක කාලය ඇතුලත දී ඇතිවිය හැකි ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධී අයුරින් යම් සිදුවීම් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනවා කියලා එම තානාපති කාර්යාල දැනටමත් දැනුම් දීලා තියෙනවා."

"ප්‍රජාතන්ත්‍රවාදීව ජනාධිපතිවරණයෙන් බලයට පත්වන ඕනෑම අයෙකු සමග සහයෝගයෙන් කටයුතු කරනවා කියලා මෙම රටවල් දැනටමත් තීරණය කර තිබෙනවා කියලා පසුගිය කාලයේදී එම රටවල් සිදුකර තිබෙන ප්‍රකාශ සමග පෙනී යන කරුණක්." ඔහු පැවසීය.

අනුර දිනුවොත් ඉන්දියාව කුමක් කරයි ද?

ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් නව දිල්ලියේදී හමුවූ අවස්ථාවේදී

ඡායාරූප මූලාශ්‍රය, DR. S. JAISHANKAR | X

ඡායාරූප ශීර්ෂ වැකිය, ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් නව දිල්ලියේදී හමුවූ අවස්ථාවේදී

වාමාංශික දේශපාලනයට සමීපව කටයුතු කරන ජාතික ජන බලවේගය පක්ෂය නායක සහ මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වන අනුර කුමාර දිසානායක යම් හෙයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් අසල්වැසි ඉන්දියාව ඔහු සමග කටයුතු කරන ආකාරය පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කර සිටියි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ආචාර්ය හසිත් කන්දඋඩහේවා පැවසුවේ ශ්‍රී ලංකාවේ දේශපාලන බල පෙරළියක් පිළිබඳව ඉන්දියාව කල් තියා අවධානයෙන් පසුවූ බවත් ඒ හේතුවෙන් ඔවුන් අනුර කුමාර දිසානායකට මීට මාස කිහිපයකට පෙර රාජතාන්ත්‍රික සංචාරයක් සඳහා ඇරයුම් සිදුකළ බවය.

"අපි දන්නවා සාමාන්‍යයෙන් අනුර කුමාර දිසානායක වාමාංශික දේශපාලනයක් අනුගමනය කරන්නේ කියලා. චීනයේ අනුග්‍රහයක් තිබුණා ඔවුන්ට."

"රටේ ඇතිවූ අරගලයෙන් පස්සේ විශේෂයෙන් ඉන්දියාව ඔහු කෙරෙහි දැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා. මේ නිසා මීට මාස කිහිපයකට ඉහතදී ඉන්දියාව රාජතාන්ත්‍රික වශයෙන් නිල ආරාධනාවක් සිදුකරනවා අනුර කුමාර දිසානායකට ඉන්දියාවට එන්න කියලා."

"එහිදී ඔහු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වගේම එරට වැදගත් තීරණ ගන්නා නිලධාරීන් සමග ඍජුව මුහුණට මුහුණලා සාකච්ඡා කරන්න."

"මොකද ඉන්දියාව බලාපොරොත්තු වුණා ලංකාවේ යම් දේශපාලන බල පෙරලියක් ඇතිවෙන්න තිබෙන තත්ත්වය ඉහළයි කියලා. ඒ නිසා ඔවුන් කල්පනා කළා එහෙම වුනොත් ඔවුන් කොයි ආකාරයෙන් ද කටයුතු කරන්න ඕන කියලා."

"ඉන්දියාව විශේෂයෙන්ම ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් වන 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක සමග නිල නොවන එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා කියලා."

"යම් කිසි විදිහකින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීම, උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් තියෙන ඉන්දියාවේ තිබෙන ගිවිසුම්වලට ගරු කිරීම පිළිබඳව එකඟතාවයක් තියෙනවා."

"මේකෙන් මම කියන්නේ නැහැ චීනයේ බලපෑම නැහැ කියලා. නමුත් යම් කිසි විදිහකින් අනුර කුමාර දිසානායක බලයට පත්වුණොත් ඉන්දියාව ශ්‍රී ලංකාව සමග ඉතා සමිපව කටයුතු කරයි යම් කිසි කාලයක් යන තුරු ඉන්දියාවට ඇතිවිය හැකි කලාපීය ප්‍රතිරෝධය අවම කරන්න."

"උදාහරණයක් විදිහට ඉන්දියාව උත්සාහ කරයි ලංකාව සමාජවාදී මාවතකට වඩා පවත්නාවූ ව්‍යවස්ථානුකූල සහ ආණ්ඩුක්‍රම ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යන්න."

"විශේෂයෙන් ඉන්දු - ලංකා ගිවිසුම සහ ත්‍රිකුණාමලය වරාය සමබන්ධයෙන් අඛණ්ඩව කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම ඉන්දියාවේ මූලික ඉලක්කයන් වෙයි."

"මම දන්නා තරමින් කුමන අයෙකු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළත් ඔහුගේ පළමු විදෙස් සංචාරය ඉන්දියාව තෝරා ගන්න තිබෙන අවස්ථාව ඉහළයි. මොකද කලාපයේ ප්‍රබලයා සමග සහයෝගයෙන් කටයුතු කරන්න ඕන. එහෙම නොවුණොත් ඒක ලංකාවේ ආර්ථික ක්‍රියාවලියට විශාල බලපෑමක් එල්ල කරන්න පුළුවන්. ඒක අනුර කුමාර දිසානායක පවා දන්නා කරුණක්," ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකාව ගැන චීනයේ භූමිකාව

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ චීන සංචාරය අතරතුර බීජිං අගනුවර ශ්‍රී ලංකාවේ සහ චීනයේ ජාතික ධජ ප්‍රදර්ශනය කර තිබූ අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ චීන සංචාරය අතරතුර බීජිං අගනුවර ශ්‍රී ලංකාවේ සහ චීනයේ ජාතික ධජ ප්‍රදර්ශනය කර තිබූ අයුරු

2005 වසරේදී ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂගේ ධූර කාලයේ සිට මෙරට විවිධ සංවර්ධන ක්‍රියාවලියන් සඳහා චීනය සෘජු ආයෝජනයන් සිදු කර ඇත.

එම කාල සීමාවේදී චීනයේ එක්සිම් බැංකුව මෙරට ආයෝජන සඳහා ප්‍රබල ලෙස මූල්‍ය ‍දායකත්වය ලබා දුන්නේ ය.

එසේ වුව ද මෑත කාලයේ සිට ඉන්දියාවේ මැදිහත්වීම වැඩිවීමත් සමග චීනය, ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව වූ භූමිකාවෙන් ඈත්වේදැයි ආචාර්ය හසිත් කන්දඋඩහේවා ගෙන් බීබීසී සිංහල සේවය විමසීමක් කළේය.

"නැහැ මම හිතන්නේ නැහැ ඈත් වෙයි කියලා. අපි බැලුවොත් අවසාන අවුරුදු 2-3 තුළ විශේෂයෙන්ම 2021 ඉඳන් ලංකාවේ අභ්‍යන්තර දේශපාලනය ගැන චීනය සිදුකරන මැදිහත්වීම ටිකක් අඩු වුණා. ඒ වගේම ඔවුන්ට ඒ සඳහා තිබූ හැකියාවේ අවම වීමක් සිද්ධ වුණා. විශේෂයෙන් 2022 වසරෙන් පස්සේ."

"මෑතකදී ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කළා ලංකා ආණ්ඩුව වෙනත් විදෙස් මිතුරන්ගේ අවශ්‍යතාවන්ට අනුව චීනයේ පර්යේෂණ නෞකාවන්ට මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් තමන් දැඩි කණගාටුවට පත්වනවා කියලා."

"මේ වගේ ප්‍රකාශයන් ගෙන් පෙන්නේ චීනය උත්සාහ කරනවා තවදුරටත් ලංකාව තමන්ගේ පරිචය තුළ රඳවා ගනිමින් කටයුතු කරන්න."

"ඒ නිසා කවුරු බලයට පත්වුණත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කටයුතු කිරීමේදී චීනය කොන්දේසි විරහිතව පෙනී සිටියි කියන එකයි මගේ මතය."

"ඍජු කොන්දේසි වලින් තොරව පෙනී සිටියි. නමුත් ඒකෙ අර්ථය තමයි ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන් වෙනුවෙන් චීනය තවදුරටත් ඉන්නවා වගේම මෙරට සිදුවන ඇතැම් ඉන්දියාවේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකාරකම් අවම කිරීමටත් චීනය උත්සාහ කරනවා."

"චීනය කවදාවත් ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිකාවෙන් ඉවත් නොවෙයි කියන එකයි මගේ මතය වෙන්නේ."

'ඇමෙරිකාව - ජපානය ඉල්ලන්නේ එකම දෙයයි'

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ දේශපාලන භූමිකාව සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ජපානය යන රටවල් දෙක වසර ගණනාවක් පුරාවට සහය දක්වන රටවල් දෙකක් ලෙස සැලකෙයි.

විශේෂයෙන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීමේදී මෙම රටවල් දෙක ද සැලකිය යුතු මැදිහත් වීමක් සිදුකළේය.

එවන් පසුබිමක මෙරට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කවුරු ජයග්‍රහණය කළ ද ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන පුද්ගලයාගෙන් ඇමෙරිකාව සහ ජපානය බලාපොරොත්තු වන්නේ එකම ඉල්ලීමක් බව ආචාර්ය හසිත් කන්දඋඩහේවා පැවසුවේය.

" ඇමෙරිකාව මේ වෙනකොටත් ප්‍රකාශ කරලා තිබෙනවා ඔවුන්ගේ මූලික අභිප්‍රාය තමයි ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ජනතා පාලනයක් අති කිරීම කියන එක."

"ඇමෙරිකාව දැනටමත් ඉඟි පළකරලා තියෙනවා ජනතා ඡන්දයෙන් තේරී පත්වන ඕනෑම ජනාධිපතිවරයෙකු සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඔහු සූදානම් බව."

"ඔවුන් සඳහන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුවක් සිදුවිය යුතුයි කියලා. ඒ වගේමයි ඔවුන්ගේ අභිප්‍රායන්ට සහ විශේෂයෙන් ඉන්දු - පැසිෆික් සහයෝගිතාවය ඇතුළු ගිවිසුම්වලට කිසිදු බලපෑමක් එල්ල නොවිය යුතුයි කියන එක ඇමෙරිකාවේ මූලික අරමුණ වෙලා තියෙනවා."

"සාම ක්‍රියාවලිය හැරෙන්න ජපානය මෙරට දේශපාලනය ගැන මැදිහත්වීමක් තිබුණේ ඉතා අවම මට්ටමක. නමුත් ඔවුන් විමර්ශනය කරනවා කුමන තත්ත්වයක් ඇතිවේ ද කියලා."

"විශේෂයෙන්ම මේ රටවල් දෙකම ප්‍රධාන වශයෙන් අවධාරණය කරන දේ තමයි IMF සහ ජාත්‍යන්තර මූල්‍ය පද්ධතීන් සමග ඇතිකර ගත් එකඟතාවයන් ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුයි කියලා කුමන නායකයා බලයට පත්වුණත්," ඔහු වැඩිදුරටත් පැවසුවේය.