සිය දිවි ගමනට සමු දුන් 'සමනල වන්නමෙන්' ලොව ම හඳුනාගත් නර්තන ශිල්පී පීටර් සූරසේන

Peter Surasena

ඡායාරූප මූලාශ්‍රය, Provided by Family

ශ්‍රී ලංකාවේ අවසන් ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වූ සෝල්බරි සාමිවරයා ඉදිරියේදී ද සිය නර්තන ශිල්පය විදහා දැක්වීමට අවස්ථාව හිමිකරගත්, උඩරට නර්තන සම්ප්‍රදායේ පාරම්පරික නර්තන ශිල්පියෙකු වූ ජ්‍යෙෂ්ඨ නර්තන ශිල්පී පීටර් සූරසේන පසුගිය පෙබරවාරි 25 වන දා දිවි ගමනට සමු දුන්නේ ය.

සමනල වන්නමෙන් "බටෆ්ලයි ඩාන්සර්" ලෙස ලොවක් හඳුනාගත් ඔහු මිය යන විට 85 වන වියේ පසුවිය.

අමුණුගම සුරඹා ගුරුන්නාන්සේ යටතේ ශිල්පය හැදෑරීම

1940 ජනවාරි 13 වැනිදා මහනුවර අරුප්පල දී උපන් පීටර් සූරසේන වයස අවුරුදු හතේ දී නර්තන ශිල්පය හැදෑරීම ආරම්භ කර තිබේ.

ඒ 1947 වසරේ දී වසරේදී අමුණුගම සුරඹා ගුරුන්නාන්සේ යටතේ ය.

හඟුරන්කෙත හා කොත්මලේ බලි ඇදුරු පරම්පරාවලින් පැවතගෙන ආ ඔහු හත් හැවිරිදි වියේ දී නර්තනය හැදෑරීමට යොමු ව දොළොස් වසකට පසු දෙගල්දොරුව රජ මහා විහාරස්ථානයේ දී නැකතට වෙස් බැඳ තිබේ.

නර්තන ශිල්පී පීටර් සූරසේන මිය යාමට පෙර මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා සමග සිදුකළ සුහඳ කතාබහකදී ඔහු නර්තන ශිල්පය හැදෑරු ආකාරය පිළිබඳ ව පවසා ඇත්තේ මෙසේ ය.

"අපේ පරම්පරාවම නර්තන කලාවට, බලි යාතු කර්මවලට කැප වෙච්ච, පේ වෙච්ච උදවිය. හීන්බබා ධර්මසිරි මගේ අයියාත් ඒ වෙද්දි බොහෝම ප්‍රසිද්ධ රට රාජ්ජවල හිටං ගිහිල්ල නැටුම් පෙන්වන ශිල්පියෙක්. ඉතිං ඔය කාලෙ මටත් හිතුණා නැටුම් ඉගෙන ගත්ත නම් නරකක් නෑ කියලා. අනික මට දැන් හිතෙනවා ඒ කැමැත්ත මගේ පපුවේ ලේවල තියෙන්න ඇති කියලා. අපේ තාත්තගේ පැත්ත පොල්වත්තෙ ගෙදර, අම්මගෙ පැත්ත මුඩාදෙණියෙ ගෙදර මේ දෙගොල්ලම කලා පරම්පරාවල. මං තාත්තට කිව්ව මටත් නැටුම් සාස්තරේ හදාරන්න වුවමනයි කියලා. තාත්තා කිව්වා හා එහෙනම් යමු කියලා. ඒ අමුණුගම සුරඹා කියන ලෝක පූජිත උත්තම නැටුම් ශිල්පියා ගාවට. එතුමා තමයි මගේ ගුරුන්නාන්සේ," ඔහු පවසා තිබේ.

එකල පැවති චාරිත්‍රවලට අනුව පළමුවරට සුරඹා ගුරුන්නාන්සේ හමුවට කැවුම් කිරිබත් ද සාදාගෙන ගිය ආකාරය ඔහු මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා හට මෙලෙස පවසා තිබේ.

"ඉතිං එහෙම තමයි ඒ කාලෙ ගුරුන් දකින්න යන්නෙ. මේ කියන්නේ 1947 දී නේ. හැබැයි කැවුම් කිරිබත් උයාගෙන ආවා කියලා නෑ. නැටුම් පුරුදු කරන්න ගන්නෙ දේහ ලක්ෂණ බලලා. තමන්ගේ දරුවටවත් වෙස් බඳින්නේ නැහැ දේහ ලක්ෂණ ගැලපෙන්නේ නැත්නම්. තාත්තයි මායි ගියාම එදා අමුණුගම සුරඹා ගුරුන්නාන්සේ කැමති වුණා මට මේ උතුම් නැටුම් කලාව උගන්වන්න."

පීටර් සූරසේන කලාකරුවා හට අමුණුගම නැටුම් පරම්පරාව මෙන්ම, නර්තන කලාවේ ප්‍රමුඛයන් වූ තිත්තපජ්ජල, නිත්තවෙල හා රන්ගම යන නැටුම් පරම්පරා ත්‍රිත්වයෙ හි නර්තන සම්ප්‍රදායන් ද හැදෑරීමට අවස්ථාව හිමි ව තිබේ.

Peter Surasena

ඡායාරූප මූලාශ්‍රය, Provided by Family

ඡායාරූප ශීර්ෂ වැකිය, 'එතුමාගේ පෙනුම සහ ඔහුගේ තිබුණු ගාම්භීරත්වය මම තවමත් වෙනත් නර්තන ශිල්පියෙකුගෙන් දැකලා නෑ'

තිස් පස් වසරක් දළඳා පෙරහැරේ හොඳම උඩරට නැට්ටුවා

පීටර් සූරසේන කලාකරුවා ශිෂ්‍යයෙකු ලෙස සිටි සමයේ දී ඔහු අමුණුගම සුරඹා ගුරුන්නාන්සේගේ උඩැක්කි පංගුව යටතේ දළඳා පෙරහැරේ උඩරට නර්තන ශිල්පියෙකු ලෙස නර්තනය කිරීම ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් කැපීපෙනෙන සංස්කෘතික උත්සවයන් වන වාර්ෂිකව පැවැත්වෙන දළඳා පෙරහැරේ වසර ගණනාවක් නර්තනයේ යෙදී ඇති ඔහු දළඳා පෙරහැරේ විශිෂ්ට ම වෙස් නැටුම් ශිල්පියා ලෙස වසර 35ක් ජනාධිපති සම්මානයට පාත්‍ර වී තිබේ.

පීටර් සූරසේන කලාකරුවාගේ සොහොයුරු හීන්බබා ධර්මසිරි නර්තන ශිල්පියා එකල කොළඹ ප්‍රභූ සමාජයේ දූ පුතුන්ට නර්තනය ඉගැන්වූ ආචාර්යවරයෙකු වූ අතර, ඔහුගේ හදිසි අභාවයෙන් පසුව එම අඩුව පිරවීමට පීටර් සූරසේන හට අවස්ථාව හිමි ව තිබේ.

පසුකලෙක නර්තන ආචාර්යවරයෙකු ලෙස පාසල් කිහිපයක සේවය කළ පීටර් සූරසේන ගුරු දිවියට සමු දුන්නේ 1993 වසරේදී ය.

'මම පොඩි කාලේ දැකලා තිබුණු ලස්සන ම නැටුම් ශිල්පියා තමයි පීටර් සූරසේන'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පීටර් සූරසේන නර්තනාචාර්යවරයාගේ සමකාලීන නර්තන ශිල්පියෙකු වූ පණීභාරතයන්ගේ දියණිය වන නර්තන ශිල්පිනී උපුලී පණීභාරත පැවසුවේ උඩරට වෙස් නැටුම් ඇඳුමට වඩාත් ගැලපෙන ආකාරයේ ශරීර ලක්ෂණ ඔහුට තිබු බව ය.

"මම පොඩි කාලේ දැකලා තිබුණු ලස්සන ම නැටුම් ශිල්පියා තමයි පීටර් සූරසේන කියලා කියන්නේ. මගේ පියා එතුමාව ඉතා ම ළඟින් ආශ්‍රය කළා. සංදර්ශනවල, වේදිකාවේ එයාලා නැටුවා. එතුමා පෙරහැරේ නටකොට අඳින වෙස් නැටුම් කට්ටලය මම දැකලා නෑ ඒ තරම් ලස්සනට වෙන කෙනෙක් අඳිනවා," ඇය පැවසුවා ය.

පීටර් සූරසේන කලාකරුවාට ආවේණික වූ නර්තන ශෛලියක් තිබූ බව උපුලී පණීභාරත පැවසුවා ය.

"එතුමාට තිබුණා එතුමාට ම අනන්‍ය වූ නර්තන ශෛලියක්. එතුමාගේ පෙනුම සහ ඔහුගේ තිබුණු ගාම්භීරත්වය මම තවමත් වෙනත් නර්තන ශිල්පියෙකුගෙන් දැකලා නෑ. වෙස් ඇඳුම පුදුම ලස්සනකට අඳිනවා. එතුමා අඳින තරම් ලස්සනට වෙන කෙනෙක් ඒ වෙස් ඇඳුම අඳින්නේ නෑ"

වර්තමානයේ එම සම්ප්‍රදාය පීටර් සූරසේන කලාකරුවාගේ පුතුන් දෙදෙනා දිගට ම පවත්වාගෙන යන බව ඇය සිහි කළා ය.

පීටර් සූරසේන කලාකරුවා වඩාත් ප්‍රසිද්ධියට පත් "සමනල වන්නම" සම්බන්ධයෙන් ද ඇය පැවසුවා ය.

"වෙස් ඇඳුමේ නරු දෙක සමනලයෙක් වගේ පේන්න අල්ලාගෙන හරිම ලස්සනට නටනවා. ඒක හරි ම ලස්සන එයාට ම ආවේණික ස්ටයිල් එකක්."

Peter Surasena

ඡායාරූප මූලාශ්‍රය, Provided by Family

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුකලෙක නර්තන ආචාර්යවරයෙකු ලෙස පාසල් කිහිපයක සේවය කළ පීටර් සූරසේන ගුරු දිවියට සමු දුන්නේ 1993 වසරේදී ය

'ඔහු පාරම්පරික නර්තනය ප්‍රාසාංගික ව වෙනස් කර ගත් අයෙක්'

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර විමලසිරිගෙන් බීබීසී සිංහල සිදුකළ විමසීමක දී ඔහු පැවසුවේ සම්ප්‍රදායික නර්තනය වේදිකාවට ගැලපෙන ආකාරයට ප්‍රසාංගික ව වෙනස් කරගැනීම පීටර් සූරසේන කලාකරුවාගේ ඇති විශේෂත්වය බව ය.

"ඔහු පාරම්පරික නර්තන ශිල්පය පිරිපහදු කරලා ප්‍රසාංගික ව සකස්කරගත්ත ශිල්පියෙක්. ඇතැම් ශිල්පීන් සම්ප්‍රදායට කොටුවෙලා සම්ප්‍රදායේ පමණක් ඉන්නවා. නමුත් මෙතුමා පෙරහැර සම්ප්‍රදායටත්, 'සමනල වන්නම' වගේ විශේෂ වන්නම්වලටත් ප්‍රකට නර්තන ශිල්පියෙක්," ඔහු පවසයි.

"වෙස් නැට්ටුවෙකුගේ තිබිය යුතු ජවය, තාල අවබෝධය, පද පෑගීම, හමාර මේ සියල්ලක් ම පිළිබඳ ඉතාම විශිෂ්ට කුසලතා දක්වපු ශිල්පියෙක්."

"ඔහු රටවල් ගණනාවක තමන්ගේ නර්තනය ඉදිරිපත් කරලා තියෙනවා. ඔහුගේ නර්තන සම්ප්‍රදාය විදේශිකයන් පවා අගය කළා."

පීටර් සූරසේන කලාකරුවා සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයාට ඇති මතකය ඔහු මෙලෙස විස්තර කළේ ය.

"මගේ පරම්පරාවේ ඇත්තෝ කොයිතරම් හිටියත් මම වැඩියෙන් ම බලන්න කැමති එතුමා දිහා. මම වෙස් නැටුම් ඇඳුම ඇඳලා ඉන්න අවස්ථාවේදී පවා මම එතුමා දිහා බලාගෙන ඉඳලා තියෙනවා."

ඔහු පවසන්නේ පීටර් සූරසේන කලාකරුවාගේ අභාවය නර්තන කලාවට සිදු වූ මහත් පාඩුවක් බවට ය.

"ප්‍රමිතිගත නර්තන සම්ප්‍රදායක් ගොඩනගන්න උත්සාහ කළ එතුමා වැනි කෙනෙක්ගේ අඩුව පුරවන්න තවත් සෑහෙන්න කාලයකට බැරි වෙයි කියලා මම හිතනවා."

මාධ්‍යවේදී ලසන්ත ද සිල්වාට තොරතුරු සම්පිණ්ඩනය සඳහා මූලාශ්‍ර සැපයීම වෙනුවෙන් විශේෂ ස්තූතිය පිරිනැමේ.