ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් රංජන් රිමාන්ඩ්: අධිකරණයේදී හෙළි වූ මුදල් විශුද්ධිකරණ චෝදනා

- Author, බීබීසී සිංහල
ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාස භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, වර්තමාන පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ (පාලන) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් රංජන් හියාරේ ගමගේ මුදල් විශුද්ධිකරණ චෝදනා මත (අගෝස්තු 14 වැනිදා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කොමිෂන් සභාව සඳහන් කළේ, සැකකරු වෙනත් පුද්ගලයෙකුගේ නමින් පෞද්ගලික බැංකු තුනක ගිණුම් 3ක් විවෘත කර එම ගිණුම්වලට සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන්, පොලිසියට පැමිණ සේවා ලබාගන්නන්ගෙන් හා අනෙකුත් අපරාධකරුවන්ගෙන් අල්ලස් ලෙස රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් ලබා ගැනීම සහ එම මුදල් විශුද්ධිකරණය කිරීම යන චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගත් බව ය.
ඒ අනුව, සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කොළඹ මහේස්ත්‍රාධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී අධිකරණය සැකකරු අගෝස්තු 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේ ය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මෙම නියෝගය නිකුත් කළා ය.
අධිකරණයේදී අනාවරණය වුණු කරුණු
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, ගාල්ල සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ මෙම සැකකරු දූෂණ විරෝධී පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අගෝස්තු 14 පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දුලාජ් තරංග නමැති පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරුගේ වට්ස්ඇප් අංකය හමුවී ඇති අතර එහි නානායක්කාර නමැති පුද්ගලයෙකුගේ බැංකු ගිණුම් විස්තර තිබී හමු වී තිබෙන බව එම නිලධාරීහු සඳහන් කළහ.
අනුර නානායක්කාර නමැති මෙම සැකකරු කලක පටන් හඳුනන පුද්ගලයෙකුගේ නමින් බැංකු ගිණුම් තුනක් විවෘත කර ඇති අතර එම බැංකු ගිණුම් විවෘත කර තිබෙන්නේ මෙම සැකකරුගේ දැනුම් දීම අනුව බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව ද ඔවුහු පෙන්වා දුන්හ.
එම විමර්ශනවලදී දූෂණ චෝදනා පිළිබඳ කරුණු අනාවරණය වීම හේතුවෙන් අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අල්ලස් කොමිසම වෙත යොමු කෙරුණු බව ද ඔවුහු පැවසූහ.

අපරාධකරුවන්ගේ මුදල්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නානායක්කාර නමැති පුද්ගලයාගේ නමින් බැංකු ගිණුම් තුනක් විවෘත කර ඇති අතර එම බැංකු ගිණුම්වලට අදාළ ඒ.ටී.එම්. පත් මෙම සැකකරු ලබා ගෙන ඒවා ඔහු විසින් පාවිච්චි කරනු ලැබ ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබේ.
එම ගිණුම්වලට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, යුක්තිය ඉටුකර ගැනීම සඳහා පොලිසිය වෙත පැමිණෙන මහජනතාව සහ සැකකරු සේවය කළ ප්‍රදේශවල සිටි සංවිධානාත්මක සහ වෙනත් අපරාධකරුවන් අල්ලස් වශයෙන් ලබාදුන් මුදල් තැන්පත් කර ඇති බවට ද අනාවරණය වී ඇත.
මේ වන විට විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු එම ගිණුම්වලට අවස්ථා තුනකදී මුදල් තැන්පත් කර ඇති බවට ද අනාවරණය වී ඇති අතර තවත් ජාවාරම්කරුවෙකු බව කියන අමිල පරණවිතාන නමැත්තා ද මුදල් තැන්පත් කර ඇති බවට අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම අධිකරණය හමුවේ පැවසීය.
ඊට අමතරව මෙම සැකකරුගේ ආරක්ෂකයා විසින් අදාළ බැංකු ගිණුම්වලට අවස්ථා සිය ගණනකදී මුදල් තැන්පත් කර ඇති අතර රියැදුරු විසින් අවස්ථා පනස් ගණනකදී මුදල් තැන්පත් කර ඇති බවට ද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔවුන් දෙදෙනා විසින් තැන්පත් කරනු ලැබ ඇති මුදල්වල වටිනාකම රුපියල් 1,483,000කට ආසන්න බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ගිණුම්වල එක් කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක්
ඒ අනුව, සැකකරුගේ මෙම ගිණුම්වලට මාස 8ක් තුළ රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් තැන්පත් වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර ඉන් රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුත් මුදල් සහිත ගිණුමක් මේ වනවිට කොළඹ මහාධිකරණයේ නියෝග මත තහනමට ලක් කර ඇති බව ද අල්ලස් කොමිසමේ නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.
මෙම බැංකු ගිණුම් තුන අතුරින් එක් ගිණුමක් සම්බන්ධයෙන් මේ දක්වා විමර්ශනයක් ආරම්භ කර නොමැති බව සඳහන් කළ එම නිලධාරීහු මෙම ගිණුම් පවතින අනුර නානායක්කාර නමැති පුද්ගලයාට මෙම සැකකරු විසින් සාක්ෂි ලබා නොදෙන ලෙස බලපෑම් කරනු ලැබ ඇති බව ත් ඒ සම්බන්ධයෙන් ඔහු අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක් ලබා දී තිබෙන බව ත් පැවසූහ.
ඒ අනුව, සැකකරු ඇප මත මුදා හැරියහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
සැකකරු තර්ජනය කළ බව කියන නානායක්කාර නමැති පුද්ගලයා මෙම දිවුරුම් ප්‍රකාශය ලබා දී තිබෙන්නේ කවදා දැයි ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රශ්න කළේ ය.
ඊට ප්‍රතිචාර දක්වමින් අල්ලස් කොමිසම නිලධාරීන් සඳහන් කළේ, මෙම දිවුරුම් ප්‍රකාශය ලබා දුන්නේ අගෝස්තු මස 5 වන දා බව ය.
සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙර සාක්ෂිකරුවන්ගෙන් මේ ආකාරයෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ සැකකරුගේ නීතිඥවරයා මෙම විමර්ශනය ආරම්භ කළේ, 2024 වසරේ බවත් එය අල්ලස් කොමිසම විසින් අධිකරණයට වසන් කළ බව ත් සඳහන් කළේ ය.
තම සේවා දායකයා නානායක්කාර නමැති පුද්ගලයාට තර්ජනය කළ බව අල්ලස් කොමිසම ප්‍රකාශ කළත් එවැනි තර්ජනයක් ගැන අදාළ පුද්ගලයා පොලිසියට පැමිණිල්ලක් කර තිබේදැයි ප්‍රශ්න කළ නීතිඥවරයා එවැනි පැමිණිල්ලක් මේ දක්වා ඉදිරිපත් වී නොමැති බව ද සඳහන් කළේ ය.
සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කිරීමේ ආයුධයක් ලෙස අල්ලස් කොමිසම දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීම සිදුකරන බව ත් මෙවැනි දිවුරුම් ප්‍රකාශවල අඩංගු කරුණුවල සත්‍යය අසත්‍යතාව තහවුරු කර ගැනීමකින් තොරව පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ කෙසේදැයි නීතිඥවරයා ප්‍රශ්න කළේ ය.
මෙවැනි දිවුරුම් ප්‍රකාශ ඕනෑ තරම් ලබා ගැනීමට අල්ලස් කොමිසමට හැකියාව තිබෙන බව ත් අල්ලස් කොමිසම ඉදිරිපත් කරන සාහිත්‍යමය කරුණු සහ ප්‍රවාදක කරුණු පදනම් කරගෙන සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේ ය.
ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි
තම සේවාදායකයා අවුරුදු 59ක් වයසැති රෝගාබාධවලින් පෙළෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු වන අතර ඔහු ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසුවේ, අනුර නානායක්කාර නමැත්තා මෙම විමර්ශන ආරම්භයේදී සත්‍ය ප්‍රකාශ නොකළ බව ත් ඔහුගේ බිරිඳගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇය විසින් සත්‍ය කරුණු හෙළි කරන ලද බව ත් ය.
මෙම සැකකරුගෙන් එල්ල වී තිබෙන බලපෑම් නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වූ බවත් ඔවුහු පැවසූහ.
ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීහු අවසන් වශයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ, සැකකරුගේ තරාතිරම කෙසේ වුවද විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් මෙම අවස්ථාවේදී ඇප ඉල්ලීම සලකා බැලිය නොහැකි බව ය.
ඒ අනුව, ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියම කළා ය.














