ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාස්කු ඉරිදා ප්‍රහාරය: "සටන මෙතනින් නතර වෙන්නේ නැහැ”
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර වළක්වාගැනීමට ක්‍රියා නොකිරීම හේතුවෙන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු වගඋත්තරකරුවන් පස්දෙනෙකු මානව හිමිකම් උල්ලංඝනයකර ඇති බව තීරණය කරමින්, අදාළ වින්දිතයින්ට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකරුවන්ට ජනවාරි 12 (නියෝග කළේ ය.
නමුත් පෙත්සම්කරුවෙකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේ සටන මෙතනින් නතර නොවන බව ය.
ප්‍රහාරය පිටුපස සිටින මහ මොළකරුවන් කවුරුන්දැ යි දැනගැනීමට අවශ්‍ය බව ද පියතුමා අවධාරණය කළේ ය.
“අපි හිතනවා මේකෙන් බලවතුන්, අපේ පාලකයින් යම් පාඩමක් ගනියි කියලා. මොකද පාලකයෝ හිතනවා හුඟක් වෙලාවට, නැත්නම් සැමවිටම වගේ හිතන්නේ ඒගොල්ලෝ නීතියට උඩින් ඉන්නවා කියලා. ඉතින් මේ සිද්ධියේ දී මේ පාලකයෝ වගකීම මඟහැර යෑම පිළිබඳව හෝ ඔවුන් කළ වරද නීතිය ඉදිරිපිටට ගෙනල්ලා යම් දඬුවමක් ඒගොල්ලන්ට ලැබීම ගැන සංතෝෂ වෙනවා. නමුත් අපි මෙතනින් නතර වෙන්නේ නැහැ. අපිට මහ මොළකරු සොයාගැනීම අවශ්‍ය යි,” ඉද්දමල්ගොඩ පියතුමා පැවසීය.
“දඬුවම් නියම කිරීමෙන් යම් සාධාරණයක් වුණා. නමුත් මේක සර්වසම්පූර්ණ නැහැ. මේ නඩු තීන්දුවෙන් අපිට මේකේ මහ මොළකරු හොයාගන්න ඉඩකඩක් හැදෙන්නේ නැහැ.”
“අපි සංතෝෂ වෙනවා අඩුගණනේ වගකිවයුත්තන් යම් ප්‍රමාණයකට හෝ නීතිය ඉදිරිපිටට ගෙනල්ලා ඒගොල්ලන්ගේ වරද පිළිගන්න සැලැස්වීම ගැන,” පියතුමා කියා සිටියේ ය.
“අපි බලාපොරොත්තු වෙනවා මින් එහාට අපේ නීතිඥවරුන් සමග නැවත සාකච්ඡා කරලා, මින්පස්සේ ගතයුතු ක්‍රියාමාර්ග මොනව ද කියලා තීන්දුවක් ගන්න. මේ අය පැහැරහැරපු වගකීම් පිළිබඳ යම් දඬුවම් මීට වඩා ගන්න පුළුවන් නම් අපි ඒක ගන්න නීතිඥයින් සමග සාකච්ඡා කරනවා,” සරත් ඉද්දමල්ගොඩ පියතුමා පැවසීය.
“මේ සම්පූර්ණ වන්දි මුදල ගෙව්වා කියලා ඔවුන්ගේ වගකීම සම්පූර්ණයෙන්ම ඉටුවෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මේක යම් පියවරක්. යම් ප්‍රමාණයකට අපිට සංතෝෂ වෙන්න පුළුවන්. වන්දියෙන් පමණක් සාධාරණය ඉෂ්ට වෙන්නේ නැහැ. මහ මොළකරුවන් පිළිබඳවත්, මේ වගකීම පැහැර හැරීම පිළිබඳ වන්දියෙන් පමණක් සතුටු වෙන්න පුළුවන් ද කියලාත් අපි බලනවා.”
රටේ පවතින ආර්ථික අර්බුදය මැද දිවිගෙවන පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දියක් ලැබීම පිළිබඳව සතුටු වන නමුත්, සිදුවූ අපරාධය මුදලට පමණක් සීමා කළ නොහැකි බව බීබීසීය සමග අදහස් දක්වමින් ඉද්දමල්ගොඩ පියතුමා අවධාරණය කළේ ය.
ප්‍රහාරයේ වින්දිතයෙකු වන සමන් නන්දන සිරිමාන්න මෙසේ පැවසුවේ ය: “මින් ඉදිරියට මේ වගේ වැඩ නොවෙන්න මේක ජයග්‍රහණයක් වෙයි. මට නම් කිසිසේත්ම එහෙම එකක් නෙමෙයි.”
“මගේ ළමයි දෙන්නා මට කවදාවත් හම්බවෙන්නේ නැහැ,” ඔහු හැඬු කඳුළින් කියා සිටියේ ය.
“ඒගොල්ලෝ කොහොමහරි ඔය දඩය ගෙවලා දායි. ඒගොල්ලෝ ළඟ තියෙනවා සල්ලි. බොහොම පිං, ඉදිරියටවත් අපේ රටේ මේ වගේ දේවල් නොවෙන්න වග බලා ගන්න ඕනේ.”
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ශ්‍රේෂ්ඨ තීන්දුවක්...!
මව්ලවි අෂ්ෂේක් මසූක් සජීර් (උස්වි, බින්නූරි) මව්ලවිතුමා බීබීසී සිංහල සේවය සමග පැවසුවේ මෙය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ශ්‍රේෂ්ඨ තීන්දුවක් බවයි. “ශ්‍රී ලංකා ඉතිහාසයේ මෑත යුගයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් ශ්‍රේෂ්ඨ තීන්දුවක් කියලා තමයි මං පෞද්ගලිකව හිතන්නේ. අපේ රටේ මූලික නීතිය ගැන නොදන්න අයට මේක හොඳ පාඩමක්. අනිත් එක වගකීම කාටහරි පැවරුණොත්, එහෙම නැතිනම් අපි ඒගොල්ලන්ට වගකීම පැවරුවොත් එගොල්ලන්ගේ වගකීම හරියට ඉටු කරන්නේ නැතිව ඕනේ නැති වැඩ කරන අයට ලබා දුන්න හොඳම දඬුවමක් හැටියට තමා මම දකින්නේ.” මව්ලවිතුමා සඳහන් කළේය.
එහෙත් මෙම දඬුවමෙන් සෑහීමකට පත්විය නොහැකි බවද ඔහු අවධාරණය කළේය.
“දෙවියන් වහන්සේව අදහන්න පල්ලියට ගියපු අහිංසක ජීවිත 270ක් අපිට අහිමි වුණා. 600කට අධික පිරිසක් තුවාල ලැබුවා. අදටත් ඒකෙන් ඔවුන් දුක්විඳිනවා. මේ අයට වන්දි මුලක් දුන්නා කියන පලියට ඒගොල්ලන්ට යුක්තිය ඉටු වුණා කියලා අපිට සෑහිමකට පත්වෙන්න බැහැ.”
මව්ලවිතුමා සඳහන් කළේ, “මීට පස්සේ ලංකාවේ මේ වගේ අත්තනෝමතික ක්‍රියාවක්, මේවගේ දෙයක් ඇතිවෙන්න නරකයි කියලා ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණය හිතනවා නම්, සත් පුද්ගල විනිසුරුතුමන්ලා එක හෙලා කියනවා නම් මේ ඔක්කොම වැරදිකරුවන් කියලා අනිවාර්යෙන්ම ඒගොල්ලන් සියලු දෙනාටම තරාතිරම නොබලා මරණීය දණ්ඩනය ලබා දෙන්න ඕනේ කියන එක තමා මගේ මතය. මේ ගොල්ලන්ට වන්දි මුදලක් දුන්නා කියලා යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ කියන එකන එක තමා මගේ මතය.”
"යුක්තිය ඉටුවන තුරු බලා සිටිනවා"
අෂ්ෂේක් මසූක් සජීර් මව්ලවි තුමා පැවසුවේ මුස්ලිම් ප්‍රජාවද යුක්තිය ඉටුවන තුරු බලා සිටින බවය.
“සමහර අය කියනවා මේක බලය ලබා ගන්න කරපු කූට උපක්‍රමයක් කියලා. සමහර අය කියනවා මේක බලය ඉන්න කට්ටිය බලයේ ඉන්න කරපු නාඩගමක් කියලා. කොහොම වුණාත් ඇත්ත කතන්දරය අදටත් අපිට හොයාගන්න බැරි තත්ත්වයක තමයි තියෙන්නේ.” ඔහු පැවසීය.
“ඇත්තටම මේක නාමික මුස්ලිම්. සම්ප්‍රදායීක හෝ සත්‍ය මුස්ලිම් ගැන නෙමේ මම කතා කරන්නේ. නාමික මුස්ලිම්වරු 10ක් හෝ 11 ක් නොමගියා. අංක එක ඒගොල්ලෝ නොමඟ ගියා නිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ගොල්ලෝ ඒක කළා.”
මව්ලවිතුමා පෙන්වා දුන්නේ “මුස්ලිම් මනුස්සයෙක් මිය ගියාට පස්සේ අනිවාර්යෙන් ඔහුව භූමිදානය කරන වගකීම අපි සියලු දෙනාටම තියෙනවා. ඒ නිසා කොරෝනා සමයේ මළ සිරුරු භූමි දානය කිරීම සඳහා විශාල කථිකාවක් අපි ගොඩ නැඟුවා. නමුත් ඒකත් ජාතිවාද පැත්තකට ඇදලා අමු අමුවේ මුස්ලිම් මිනිස්සුන්ගේ දේහයන් පුලුස්සලා දැම්මා. ඒකේ සාපය වගේම පාස්කු ප්‍රහාරයේ සාපය තමා අපි අද භූක්ති විදිමින් තියෙන්නේ.”
“කාදිනල් හිමිපාණන් කිව්වා එදා කිව්වා ප්‍රචණ්ඩත්වයෙන් සියලු දෙනාම වැළකී සිටින්න කියලා. කාදිනල් හිමිපාණන් ගත්ත ඒ එඩිතර තීන්දුව නිසා ලංකාවේ සිදුවෙන්න ගිය විශාල ලේ විලක් නතර වුණා.” මෞලවීතුමා පෙන්වා දුන්නේය.
“අදටත් අපි මුස්ලිම්වරු වන අපි ඔක්කොම කාදිනල් හිමිපානන්ට ණය ගැතියි.”
“උන්වහන්සේ වගේ එඩිතර නායකයෙක් එදා නොහිටින්න අද පාස්කු ප්‍රහාරයටත් වැඩිය විශාල ලේ විලක් ලංකා ඉතිහාසයේ ඇති වෙනවා කියන එක නොඅනුමානයි.”
අෂ්ෂේක් මසූක් සජීර් මව්ලවි තුමා බීබීසීය වෙත කියා සිටියේ “අපිත් බලන් ඉන්නේ. සහරාන් ඇතුලු කණ්ඩායම එක් ත්‍රස්ත්‍ර ක්‍රියාවක් නිසා මුළු මහත් මුස්ලිම් සමාජයම ලක්ෂ 20කටත් අධික ලංකාවේ සුළුතරයක් හැටියට ජීවත් වෙන අපිට ඔළුව පාත් කරන්න සිද්ධ වුණා. අපිට එළියට බහින්න බැරිවුණා. බුර්කාව අඳින්න බැරිවුණා. අපිට තොප්පිය දාගෙන, ජුබ්බා එක දාගෙන අපේ ගැහැණු ළමයි එක්ක පාරේ එළියට යන්න බැරිවුණා. ඒතරමටම අපි අන්ත අසරණ වුණා. ඒ නිසා ක්‍රිස්තියානි ජනතාව යුක්තිය බලාපොරොත්තු වෙනවාට වැඩිය මුස්ලිම් ජනතාව වන අපි මේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්.”
“මේ දේ කළේ මහ මොළකරු කවුද ? බලය ලබා ගැනීමටද කළේ ?, බලය පවත්වා ගෙන යාමටද මේ දේ කළේ ? කියන එක ගැන අපි ඉතාමත් ම විමසිල්ලෙන් ඉන්නවා කියන එක කියන්න කැමතියි.” අෂ්ෂේක් මසූක් සජීර් මව්ලවි තුමා අවධාරණය කළේය.
සාධාරණය ඉෂ්ටවන්නේ කවදා ද?
2019 වසරේ අප්‍රේල් 21 වැනිදා එල්ලවූ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට 2023 අප්‍රේල් මාසයට වසර හතරක් සපිරෙයි. ප්‍රහාරයට වගකිවයුත්තන්ට දඬුවම් පැමිණවීමට තව කොපමණ කලක් ගතවෙයි ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මෙසේ පැවසුවේ ය: “මේක මේ කාලසීමාවේ වෙයි, මෙන්න මේ වකවානුවේ වෙයි කියලා කියන්න බැහැ. මොකද අධිකරණයේ කාර්යභාරය ගරු අධිකරණය විසින් තමයි ඉෂ්ට කරන්නේ. නමුත් විමර්ශන නිලධාරීන්ගේ කාර්යභාරය ගත්තොත් පොලිසිය විදිහට අපේ කාර්යභාරය කඩිනමින් ඉෂ්ට කරනවා.”
“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපි මේ වන විට විශාල විමර්ශන සංඛ්‍යාවක් එක්ක ඉන්නේ. මොකද මෙයත් එක කොටසක් විතරයි. මේ සියල්ල කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ නිලධාරීන්. අපි විමර්ශන රාශියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරනවා. මේ කාරණයට හැබැ යි ප්‍රමුඛතාව දීලා තමයි කටයුතු කරන්නේ,” ඔහු කියා සිටියේ ය.
ඉදිරි කටයුතු සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණු විගස නඩු පැවරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.
මේ අතර හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබීය.
ඒ අනුව අදාළ නියෝගය පොලිස් මූලස්ථානය වෙත ලැබීමෙන් අනතුරුව පොලිස්පතිවරයා විසින් සුදුසු පියවර ගනු ඇතැ යි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.