ශ්‍රී ලංකාවේ දරු උපත් සැබෑවටම අඩුවෙලා ද?

වයස්ගත පුද්ගලයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑම හරහා රටක අනාගතය සම්බන්ධයෙන් ඇතිවන්නේ අවිනිශ්චිත තත්ත්වයකි. ඒ, රටක ප්‍රධාන සාධකයක් වන ශ්‍රම බලකාය හීනවීමෙන් ඇතිවෙන ආර්ථික පීඩනය හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් ගත හැකි හොඳම උදාහරණය ලෙස ජපානය පෙන්වා දිය හැකි ය.

ජපානය දියුණු රටක්වුව ද ඔවුන්ගේ වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යාම අනාගතයේ දී එරටට විශාල අභියෝගයක් වනු ඇත.

ඉකුත් සැප්තැම්බර් මාසයේ දී වාර්තා වුයේ ජපානයේ සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකු අවුරුදු 80ට වඩා වැඩි බව ය. මිලියන 125ක ජනගහනයක් සහිත ජපානයේ ප්‍රතිශතයක් ලෙස 29.1%ක් අවුරුදු 65ක වයස් සීමාවේ පසුවේ.

ශ්‍රී ලංකාවට නව අභියෝගයක්

මේ වන විට ශ්‍රී ලංකාවේ ද වාර්ෂිකව වාර්තා වන දරු උපත් සංඛ්‍යාව ශීඝ්‍ර පහත බැසීමක් ගතවූ වසර 10 තුළ දී පෙන්නුම් කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පරිශීලනය කිරීමේ දී බීබීසී සිංහල සේවයට පෙනී ගියේ ය.

2012 වසරේ දී 360,000කට ආසන්නව පැවති වාර්ෂික දරු උපත් සංඛ්‍යාව පසුගිය 2022 වසර වන විට 275,000ක් දක්වා පහත වැටී තිබීම ඊට කදිම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකි ය.

වාර්ෂික දරු උපත් ගණනය සිදු කරන්නේ කෙසේ ද?

සෑම වර්ෂයකම මෙරට සිදුවන දරු උපත් ගණනය කිරීම සිදුකෙරෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවෙන් බීබීසී සිංහල සේවය විමසීමක් සිදු කළේ ය.

ඊට පිළිතුරු දෙමින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් පැවසුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හරහා අදාළ දත්ත ලබා ගැනීම සිදුකරන බව යි.

"සෑම දරුවෙක්ම ඉපදුණාට පසුව එම දරුවා ලියාපදිංචි කිරීම සිදුකරනවා. ඒ ලියාපදිංචි කිරීම සිදුකරන්නේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හරහා. එම දෙපාර්තමේන්තුව ඇතුළේ අපේ (ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ) තියෙන වෙනම ඒකකයෙන් ඒ දත්ත අරගෙන වාර්තා සකස් කිරීම සිදුකරනවා," ඇය පැවසීය.

ශ්‍රී ලංකාවේ දරු උපත් අනුපාතය අඩුවීමට හේතුව කුමක්ද?

ශ්‍රී ලංකාවේ නව දරු උපත් අනුපාතය පහත වැටීමට හේතු මොනවාදැ යි බීබීසී සිංහල සොයා බැලීමක් සිදුකරන ලදී.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක පැවසුවේ දැඩි පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කිරීම ඇතුළු විවිධ හේතු මෙවැනි තත්ත්වයක් පැන නැගීමට හේතුවන්නට ඇති බව යි.

“අද කාලේ ගොඩක් අය විවාහවෙන වයස් සීමාව පහුකරලා විවාහ වෙන්නේ. ඒ වගේම මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න වගේම දැඩි පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කිරීම සහ විදේශගතවීම් කියන කාරණා හේතුවෙන්න පුළුවන්.

"සමහර අය විවාහ වුනත් දරුවන් හදන එක කල් දානවා. මේ හේතු නිසයි රටේ උපත් අනුපාතය කඩා වැටීමකට ලක්වෙලා තියෙන්නේ," ඇය පැවසීය.

පවතින තත්ත්වය සුබවාදී අයුරින් බැලිය නොහැකි බවත්, සෑම විටම ජන හා සංඛ්‍යාලේඛණ දෙස බැලීමේ දී සමබරතාව අතිශය වැදගත් බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරිය පැවසුවා ය.

ඇය මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ මරණ සංඛ්‍යාවට සාපේක්ෂව උපත් සංඛ්‍යාව තිබිය යුතු බව යි.

"මෙතැන දී යම් අසමතුලිතභාවයක් ඇතිවෙනවා කියන්නේ අනාගතයේ දී විශේෂයෙන්ම එය සමාජයට බලපානවා," ඇය පැවසුවා ය.

අනාගතයේ දී මුහුණ දීමට සිදුවන අභියෝග මොනවා ද?

උපත් අනුපාතය පහත වැටීම අනාගතයේ රටේ ශ්‍රම බලකායට ද අවදානමක් ගෙන දෙන බව මහාචාර්යවරිය සඳහන් කළා ය.

"රටක ශ්‍රම සම්පතයි මේ සීමාසහිත වෙලා තියෙන්නේ. රටක ශ්‍රම බලකාය කඩා වැටෙනවා කියන්නේ ඒක දැනෙන්න තව අවුරුදු 25ක් යනවා වෙන්න පුළුවන්. ඒ ඇතිවෙන හිස්තැන ඌනපූර්ණය කරන්න හැකියාවක් නැහැ.

"දැනටමත් ලංකාවේ වැඩිහිටි ජනගහනය තමයි වැඩිම. අවුරුදු 60ට වැඩිය වයස් සිමාවේ පිරිස ඉතා ඉහළ යි. මේක රටේ ආර්ථික, සමාජ හා දේශපාලන සංවර්ධනයට ඉතාමත් නරක ලෙස බලපානවා," ඇය සඳහන් කළා ය.

උදාහරණයක් වශයෙන් ගත් විට, වැඩිහිටි ජනගහනය ඉහළ යාම සහ ශ්‍රම බලකාය අවමවීමේ ගැටලුවට ජපානය මෙන්ම චීනය ද මුහුණ දෙමින් සිටින බව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරිය පෙන්වා දුන්නා ය.

චීනය විසින් දීර්ඝ කාලයක් පවත්වාගෙන ආ එක් පවුලකට එක් දරුවෙක් යන සංකල්පය වෙනස් කිරීමට ප්‍රධාන සාධකය වූයේ ද ඔවුන්ගේ ශ්‍රම බලකාය පහත වැටීම බව ඇය මෙහිදී සඳහන් කළා ය.

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමත් පහතට

මේ අතර පාර්ලිමේන්තුවේ දී පැවති 2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වූ විවාදයේ දී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීම සිසුන් 50,000කින් පමණ පහත වැටී ඇති බව යි.

රටේ උපත් අනුපාතය අඩුවීම හේතුවෙන් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම 340,000 සිට 292,000ක් දක්වා පහත වැටී තිබෙන බව එහිදී ප්‍රකාශ කෙරුණි.

"දැන් අපේ රටේ උපත් වේගය අඩුවෙලා. අවුරුදු පහ සම්පූර්ණ කරලා දැන් පාසැලකට ඇතුළත් වන්නේ දරුවන් 292,000යි. මීට අවුරුදු 10කට පෙර දරුවන් 340,000ක් පාසල් සඳහා ඇතුළත් වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා අනුවත් පෙනී යනවා දරු උපත්වල අඩුවක් පෙන්නුම් කරනවා," අමාත්‍යවරයා කියා සිටියේ ය.

මෙම වසරේ දරු උපත් ගැන අනාවරණයක්

ගෙවී යන 2023 වසරේ මේ දක්වා මෙරට තුළ වාර්තා වන දරු උපත් අනුපාතයේ සුළු අඩුවීමක් පෙන්නුම් කරන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවා ය.

"මේ වන විට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ කොට්ඨාස තුළ ලියාපදිංචි වන ගර්භනී මව්වරුන්ගේ සහ අලුත උපන් දරුවන්ගේ සංඛ්‍යාවේ ඉතා සුළු අඩුවීමක් දක්නට ලැබෙනවා.

"වාර්ෂිකව බලාපොරොත්තුවන ගර්භනී මව්වරුන් සංඛ්‍යාවක් වගේම උපත් සංඛ්‍යාවක් තියෙනවා. ඒ සංඛ්‍යාතවලට සාපේක්ෂව සුළු අඩුවීමක් පැහැදිලිවම පේනවා," ඇය සඳහන් කළා ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ පවතින ආර්ථික ගැටළු හමුවේ දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් සැපයීමට මව්පිටන්ට හැකියාව පවතින්නේ අවම මට්ටමක බව ය.

"මේ වනවිට විවාහපත් යුවලවල් දරුවෙක් හදන්න දෙපාරක් හිතනවා පවතින මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක. ඒ වගේම එක් දරුවෙක් ඉන්න පවුලක දෙවැනි දරුවෙකු බිහිකිරීම ගැන දෙවරක් හිතන තත්ත්වයට පත්වෙලා ඉන්නේ," ඇය සඳහන් කළා ය.

පවතින තත්ත්වය සුබදායි නොවන බවත්, දරුවන් සීමාවීම හරහා රටේ ජනගහනය ගැන විශාල ගැටලුවක් ඉදිරියේ දී මතුවිය හැකි බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නා ය.