දියවැඩියාව නිසා ඇති වන අන්ධභාවය වැළැක්වීමට කෘත්‍රිම බුද්ධියෙන් විසඳුමක්

    • Author, ක්‍රිස්ට්‍රීන් රෝ
    • Role, තාක්ෂණ වාර්තාකරු

ටෙරී ක්වින් දියවැඩියාව වැළඳෙන විට නව යොවුන් වියට එළඹුණා පමණි. ඔහු තමා දියවැඩියා රෝගියෙකු ලෙස හැඳින්වීමට සහ ඒ සඳහා කළ නිරන්තර පරීක්ෂණවලට අකැමති වූයේ තමා වෙනස් අයෙකු ලෙස දැනීමට අවශ්‍ය නොවූ බැවිනි.

ඔහුගේ ලොකු ම බිය වූයේ, යම් දිනක දියවැඩියාව හේතුවෙන් තම පාදය කපා ඉවත් කිරීමට සිදුවනු ඇති බවට වූ හැඟීම ය. දියවැඩියාවේ තවත් සංකූලතාවක් වන පෙනීම අහිමි වීම කෙරෙහි ඔහුගේ අවධානය යොමු වී නොතිබිණි. "මම කවදාවත් හිතුවේ නැහැ මගේ පෙනීම නැති වේවි කියලා," බටහිර යෝක්ෂයර්හි ජීවත් වන ක්වින් පවසයි.

නමුත් දිනක් ඔහු තම ඇසකින් ලේ ගලන බව දුටුවේ ය. වෛද්‍යවරුන් පැවසුවේ, ඔහු දියවැඩියා රෙටිනෝපති රෝගයෙන් පෙළෙන බව ය. එය දියවැඩියාව හේතුවෙන් දෘෂ්ටි විතානයේ ඇති රුධිර නාළිකාවලට සිදුවන හානි නිසා ඇති වන රෝගී තත්ත්වයකි. මේ සඳහා මුලින් ලේසර් ප්‍රතිකාරත් පසුව එන්නත් ප්‍රතිකාරත් අවශ්‍ය විය.

ටෙරී ක්වින්ගේ පෙනීම දිගින් දිගට ම පිරිහී යාම වැළැක්වීමට මෙම ප්‍රතිකාර ප්‍රමාණවත් වූයේ නැත. මග ඇති පහන් කණුවල ගැටීමෙන් ඔහුට තුවාල වූ අතර, සිය පුත්‍රයාගේ මුහුණ හරිහැටි දැකීම පවා ඔහුට අසීරු විය. අවසානයේ ඔහුට රිය පැදවීම නැවැත්වීමට සිදුවිය.

"මට මහ අසරණ කමක් දැනුණා. මම කිසි ම දෙයක් කර ගන්න බැරි මිනිහෙක් බවට පත්වුණා වගේ මට දැනුණේ," ඔහු සිහිපත් කරයි.

අපේක්ෂාභංගත්වයෙන් මිදීමට ඔහුට උපකාරී වූයේ, දෙනෙත් නොපෙනෙන පුද්ගලයන් සඳහා මාර්ගෝපදේශක සුනඛයන්ගේ සහය ලබා දීමේ සංගමයකි. ඔවුන් ඔහුව ස්පෙන්සර් නම් කළු ලැබ්‍රඩෝ සුනඛයා සමග සම්බන්ධ කළේ ය. "එයා මගේ ජීවිතය බේරා ගත්තා," ක්වින් පවසයි. දැන් ඔහු මාර්ගෝපදේශක සුනඛයන් සඳහා අරමුදල් රැස් කරන්නෙකු බවට පත්වී තිබේ.

එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය සෑම වසරකට හෝ දෙකකට වරක් අක්ෂි පරීක්ෂාවක් සඳහා පැමිණෙන ලෙස දියවැඩියා රෝගීන්ට ආරාධනා කරයි.

එක්සත් ජනපද මාර්ගෝපදේශ අනුව දෙවන වර්ගයේ දියවැඩියාව ඇති සෑම වැඩිහිටි පුද්ගලයෙකු ම දියවැඩියාව හඳුනා ගැනීමේ පරීක්ෂා කර ගත යුතු අතර, එහිදී ගැටලුවක් නොමැති බව හඳුනා ගන්නේ නම්, එම පරීක්ෂාව වාර්ෂිකව සිදු කර ගත යුතු ය. එහෙත් ප්‍රායෝගිකව බොහෝ දෙනෙකු මෙය අනුගමනය කරන්නේ නැත.

"පරීක්ෂා කිරීම මගින් පෙනීම නැතිවීම වළක්වා ගත හැකි බවට ඉතා පැහැදිලි සාක්ෂි තියෙනවා," එක්සත් ජනපදයේ විස්කොන්සින්-මැඩිසන් විශ්වවිද්‍යාලයේ දෘෂ්ටි විතාන පිළිබඳ විශේෂඥ රූමාසා චන්නා පවසයි.

රෝගීන්ට මෙම පරීක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජනපදයේ ඇති බාධක ලෙස ඒ සඳහා වැය වන අධික වියදම, සන්නිවේදන ගැටලු සහ පරීක්ෂණ සඳහා ප්‍රවේශ වීමේ අපහසුතා දැක්විය හැක. වෛද්‍ය චන්නා විශ්වාස කරන්නේ මෙම පරීක්ෂණ වෙත ප්‍රවේශය පහසු කිරීම රෝගීන්ට උපකාරී වනු ඇති බව ය.

දියවැඩියා රෙටිනෝපති පරීක්ෂණය සඳහා ඇසේ පිටුපස අභ්‍යන්තර බිත්තියේ ඡායාරූපයක් ගැනීම (අක්ෂි රූපකරණය) සිදු කෙරෙන අතර එය 'ෆන්ඩස්' ලෙස හඳුන්වයි.

දැනට, ෆන්ඩස් ඡායාරූප පරීක්ෂා කිරීම සිදු කෙරෙන්නේ සම්පූර්ණයෙන් ම මිනිස් ශ්‍රමයෙනි. එය "පුන පුනා කෙරෙන වැඩ රාශියක්" බව වෛද්‍ය චන්නා පවසයි.

නමුත් කෘත්‍රිම බුද්ධිය (AI) මගින් මෙම ක්‍රියාවලිය වේගවත් සහ ලාභදායී වකළ හැකි බව ඇතැම්හු විශ්වාස කරති.

දියවැඩියා රෙටිනෝපති රෝගී තත්ත්වය වර්ධනය හඳුනා ගැනීම අපහසු නැත. එනිසා ම එය හඳුනා ගැනීමට කෘත්‍රිම බුද්ධිය පුහුණු කළ හැක.

ඇතැම් අවස්ථාවලදී කෘත්‍රිම බුද්ධිය මගින් රෝගියා අක්ෂි විශේෂඥයෙකු වෙත යොමු කිරීමට අවශ්‍ය ද යන්න තීරණය කළ හැකි අතර, එසේ නැත්නම් මෙම රූප විශ්ලේෂණය කරන මානව කණ්ඩායම් සමග ඒවාට කටයුතු කළ හැක.

එවැනි එක් පද්ධතියක් පෘතුගාලයේ ඇති සෞඛ්‍ය තාක්ෂණ සමාගමක් වන Retmarker විසින් වැඩි දියුණු කරනු ලැබ තිබේ.

එම පද්ධතිය ෆන්ඩස් ඡායාරූප විමර්ශනය කර ගැටලුසහගත විය හැකි රූප හඳුනාගනී. ඉන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා මානව විශේෂඥයෙකු වෙත යොමු කරයි.

"සාමාන්‍යයෙන් අපි ඒක භාවිත කරන්නේ තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගන්න ආධාරක මෙවලමක් විදිහට," Retmarkerහි ප්‍රධාන විධායක ජොඕ ඩියෝගෝ රමෝස් පවසයි.

ඔහු විශ්වාස කරන්නේ, වෙනස් වීම සඳහා ඇති බිය, මේ ආකාරයේ AI රෝග විනිශ්චය මෙවලම් භාවිතය සීමා කරන බව ය.

Retmarker සහ Eyenuk's EyeArt වැනි පද්ධතිවල සංවේදීතාව සහ නිවැරදිතාව පිළිබඳව පිළිගත හැකි සිදුවීම් ඇති බව ස්වාධීන අධ්‍යයනවලින් පෙනී ගොස් තිබේ.

රෝගයක් හඳුනා ගැනීමේදී අදාළ පරීක්ෂණය කෙතරම් හොඳ ද යන්න සංවේදීතාවය යි. නිශ්චිතතාව යනු, එම රෝගය නොමැති බව හඳුනා ගැනීම සඳහා එය කෙතරම් උපකාරී වනවා ද යන්න යි.

ඉහළ සංවේදීතාව බොහෝ විට වඩා ත් අනවශ්‍ය තරමේ රෝග බියක් ඇති කරයි. ඒ නිසා ම මානසික ආතතියත්, අතිරේක විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම් සහ අතිරේක පරීක්ෂණ වෙනුවෙන් වියදම් අධික ලෙස ඉහළ යාමත් සිදු විය හැක. දුර්වල තත්ත්වයේ රූප ද, AI පද්ධතිවල ව්‍යාජ ප්‍රතිඵල ලබා දීම වැඩි කළ හැකි ය.

ගූගල් සෞඛ්‍ය පර්යේෂකයෝ, දියවැඩියා රෙටිනෝපති හඳුනා ගැනීම සඳහා ඔවුන් විසින් නිපදවන ලද AI පද්ධතියේ දුර්වලතා පරීක්ෂා කරමින් සිටිති.

එය තායිලන්තයේ අත්හදා බැලීමේදී, උපකල්පිත අවස්ථා හා සසඳන විට ප්‍රතිඵල ඉතා වෙනස් වී තිබිණි.

ඔවුන් මුහුණ දුන් එක් ප්‍රශ්නයක් වූයේ, මෙම පද්ධතියට සුපැහැදිලි ෆන්ඩස් රූප අවශ්‍ය වීමයි. අපිරිසිදු කාච, අයහපත් ආලෝකකරණය සහ කැමරා ක්‍රියාකරුවන්ගේ දුර්වලතා මෙම පැහැදිලි බව සාක්ෂාත් කරගැනීමට බාධාවක් වී තිබිණි.

වඩා හොඳ දත්තවල අවශ්‍යතාව සහ පුළුල් පරාසයක දැනුම ඇති පුද්ගලයින්ගෙන් උපදෙස් ලබා ගැනීමේ වැදගත්කම ගැන උගත් බව පර්යේෂකයෝ පවසති.

ගූගල් ඔවුන්ගේ පද්ධතියේ හැකියාව ගැන විශ්වාසයෙන් සිටි අතර, එය තායිලන්තයේ සහ ඉන්දියාවේ හවුල්කරුවන්ට බලපත්‍ර ලබා දෙන බවට පසුගිය ඔක්තෝබර් මාසයේදී නිවේදනය කළේ ය. මෙහි පිරිවැය කාර්යක්ෂමතාව ඇගයීම සඳහා තායි මහජන සෞඛ්‍ය අමාත්‍යංශය සමග සහයෝගයෙන් කටයුතු කරමින් සිටි බව ද ගූගල් පැවසීය.

පිරිවැය, නව තාක්ෂණයේ ඉතා වැදගත් අංගයකි.

රමෝස් පවසන්නේ, Retmarkerහි සේවාව සඳහා එක් පරීක්ෂාවකට පවුම් 5ක් පමණ වැය විය හැකි බව ය. මෙය සේවාවේ පරිමාව සහ ස්ථානය අනුව වෙනස් වීමට ඉඩ තිබේ. එක්සත් ජනපදයේ වෛද්‍ය පහසුකම් සඳහා මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ ය.

සිංගප්පූරුවේ, ඩැනියෙල් එස්. ඩබ්ලිව්. ටින්ග් සහ ඔහුගේ සගයන් දියවැඩියා රෙටිනෝපති පරීක්ෂා කිරීමේ ආකෘති තුනක පිරිවැය සංසන්දනය කර තිබේ.

ඉන් වඩාත් ම මිල අධික වූයේ, මිනිසුන් විසින් කරනු ලබන පරීක්ෂණයි. කෙසේ වෙතත්, පූර්ණ ස්වයංක්‍රීයක පරීක්ෂාව ද එතරම් ලාභ නොවන්නේ, එය ව්‍යාජ ලෙස රෝග ඇති බවට ප්‍රතිඵල පෙන්වීමට ඉඩ ඇති බැවිනි.

වඩා ත් ම දැරිය හැකි ක්‍රමය වූයේ, ආරම්භක තේරීම AI විසින් සිදු කරනු ලැබ, එය මිනිස් විශ්ලේෂණයට භාර දෙන දෙමුහුන් ක්‍රමයයි.

මෙම ආකෘතිය දැන් සිංගප්පූරු සෞඛ්‍ය සේවයේ ජාතික තොරතුරු තාක්ෂණ පද්ධතියට එකතු කර ඇති අතර, එය 2025 සිට එය ක්‍රියාත්මක වනු ඇත.

කෙසේ වෙතත්, මහාචාර්ය ටින්ග් විශ්වාස කරන්නේ, සිංගප්පූරුවට මෙලෙස පිරිවැය ඉතිරි කිරීමට හැකි වී ඇත්තේ දියවැඩියා රෙටිනෝපති පරීක්ෂා කිරීම සඳහා දැනටමත් ශක්තිමත් යටිතල පහසුකම් ඔවුන් සතු බැවිනි.

එබැවින් පිරිවැය-කාර්යක්ෂමතාව බොහෝ සෙයින් වෙනස් වීමට ඉඩ තිබේ.

එක්සත් රාජධානිය වැනි ධනවත් රටවල සහ චීනය වැනි ඇතැම් මධ්‍යම ආදායම් ලබන රටවල, ඇස් පෙනීම ආරක්ෂා කර ගැනීම සඳහා AI භාවිත කිරීමේ පිරිවැය-ඵලදායීතා දත්ත සාපේක්ෂව ශක්තිමත් වී ඇති බව රාජ්‍ය නොවන සෞඛ්‍ය සංවිධානයක් වන PATHහි ප්‍රධාන AI නිලධාරී බිලාල් මතීන් පවසයි. කෙසේ වෙතත්, ලෝකයේ බොහෝ රටවල තත්ත්වය මෙයට වඩා වෙනස් ය.

"AI වේගයෙන් දියුණු වීමත් සමග, එයට කළ හැකි දේ වෙනුවට, එහි ප්‍රතිලාභ සෑම කෙනෙකුට ම ලැබෙනවා ද නැතහොත් වරප්‍රසාද ලත් කිහිප දෙනෙකුට පමණක් සීමා වෙනවා ද යන්න කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු යි. හොඳ තීරණ ගැනීම සඳහා අපට ඵලදායිතා දත්තවලට වඩා වැඩි යමක් අඅවශ්‍යයි," යැයි ආචාර්ය මතීන් අවධාරණය කරයි.

වෛද්‍ය චන්නා, එක්සත් ජනපදයේ පවා දක්නට ඇති, සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවිෂ්ට වීමේ හැකියාව අතර ඇති පරතරය පෙන්වා දෙන අතර, මෙම තාක්ෂණය මගින් එය මග හරවා ගැනීමට උපකාරී වනු ඇතැයි ඇය බලාපොරොත්තු වේ. "අක්ෂි රැකවරණය සඳහා සීමිත ප්‍රවේශයක් ඇති ස්ථාන දක්වා අප මෙය පුළුල් කළ යුතු යි."

වයස්ගත පුද්ගලයින් සහ පෙනීමේ ගැටලු ඇති පුද්ගලයින් අක්ෂි වෛද්‍යවරුන් හමු වීමේ වැදගත්කමත්, දියවැඩියාව සම්බන්ධ අක්ෂි රෝග හඳුනා ගැනීම සඳහා AI පහසුව තිබීම අනෙකුත් සියලු ම අක්ෂි රෝග කෙරෙහි අවධානය යොමු කිරීම ගිලිහී යාමට හේතුවක් විය යුතු නැති බව ත් ඇය අවධාරණය කරයි. මයෝපියාව සහ ග්ලූකෝමා වැනි වෙනත් අක්ෂි රෝගී තත්ත්වයන්, AI ඇල්ගොරිදම් මාර්ගයෙන් හඳුනා ගැනීම දුෂ්කර බව ඔප්පු වී තිබේ.

නමුත් එම අනතුරු ඇඟවීම් තිබියදී පවා "මෙම තාක්ෂණය ඉතා ආකර්ෂණීයයි," යැයි වෛද්‍ය චන්නා පවසයි.

"දියවැඩියාවෙන් පෙළෙන අපගේ සියලු ම රෝගීන් නිසි කාලවලදී පරීක්ෂණ සඳහා භාජනය වෙනවා දකින්න මම කැමතියි. ඒ වගේ ම මම හිතන්නේ දියවැඩියාව නිසා ඇතිවන ප්‍රශ්න ගැන සලකා බලන විට මෙය සැබවින් ම හොඳ විසඳුමක් විය හැකියි."

මේ අතර, යෝක්ෂයර් සිටින ක්වින් නිසැකව ම බලාපොරොත්තු වන්නේ නව තාක්ෂණය ඉක්මනින් ම ක්‍රියාවට නැංවෙනු ඇති බව ය.

ඔහුට එය බලපෑ කාලය වන විට දියවැඩියා රෙටිනෝපති කලින් හඳුනා ගැනීම සඳහා AI පැවතුණේ නම්, "මම එය පිළිගන්නේ ඉතා සතුටින්" යැයි ඔහු පවසයි.