ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කැනඩාවේ දෙමළ ජන සංහාරක ස්මාරකය ඉදිකළේ කවුද? ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය කුමක්ද?
- Author, බීබීසී සිංහල
ශ්‍රී ලංකා රජයේ හමුදා සහ LTTE සංවිධානය අතර පැවති සන්නද්ධ ගැටුමේ අවසන් අදියරේදී මිය ගිය දෙමළ ජාතිකයින් සිහිකිරීම වෙනුවෙන් 'දෙමළ ජන සංහාරක ස්මාරකයක්' කැනඩාවේ බ්‍රැම්ප්ටන්හිදී පසුගියදා විවෘත කෙරුණේ, දෙරට අතර නව මතහේදයක් නිර්මාණය කරමිනි.
මෙය ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධයට ද හේතු වී තිබේ. විදේශ අමාත්‍ය විජිත හේරත්, කැනේඩියානු මහ කොමසාරිස්වරයා හමුවී අද එවැනි ස්මාරකයක් ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතාවය නැවත අවධාරණය කර තිබේ.
සැලකිය යුතු දෙමළ ජනගහනයක් වෙසෙන බ්‍රැම්ප්ටන් නගරයේ චින්කුසී උද්‍යානයේ (Chinguacousy Park) මෙම ස්මාරකය නිරාවරණය කෙරුණු අතර එම අවස්ථාව සඳහා විශාල පිරිසක් එක්ව සිටින අයුරු දක්නට ලැබිණි.
යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් 2019 වසරේ දී අනුස්මරණ ස්මාරකයක් ඉදිකරන ලද අතර 2021 වසරේදී එය කඩා ඉවත් කරන ලදී.
කැනඩාවේ ස්මාරකය ඉදිකළේ කවුද ?
මෙම යුද අනුස්මරණ ස්මාරකය ඉදිකිරීම සඳහා කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය විසින් මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබ ඇති අතර ඊට කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගර කවුන්සිලය, බ්‍රැම්ප්ටන් දෙමළ සංගමය සහ බ්‍රැම්ප්ටන් දෙමළ වැඩිහිටි සංගමයේ ද සහය හිමිව තිබිණි.
මෙම ස්මාරකය විවෘත කිරීමේ අවස්ථාවට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් ද එක්වි සිටියේය.
2023 වසරේ අගෝස්තු මාසයේදී චින්ගේකසී උද්‍යානයේ දී මෙම ස්මාරකය ඉදිකිරිම වෙනුවෙන් මුල්ගල තබන ලද අතර කැනඩාවේ වෙසෙන සිංහල ජනතාව විසින් එම ස්මාරකය ඉදිකිරීමට එරෙහිව විරෝධය පළකරමින් උද්ඝෝෂණයන් ද පවත්වන ලදී.
'දෙමළ ජන සංහාරය අමතක කරන්නේ නැහැ'
මෙම ස්මාරකය ඉදිකිරීමේ අවස්ථාවට එක්වූ කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් පැමිණ සිටි පිරිස අමතමින් කියා සිටියේ ජන සංහාරය ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් කැනඩාවට සාදරයෙන් පිළිනොගන්නා බවයි.
"දෙමළ ජන සංහාරයේ තරම අපි අමතක කරන්නේ නැහැ," බ්‍රවුන් සමාරම්භක උත්සවයේදී පැවසීය. "ජන සංහාර ප්‍රතික්ෂේප කරන්නන් - ඔබව බ්‍රැම්ප්ටන් වලට සාදරයෙන් පිළිගන්නේ නැහැ, ඔබව කැනඩාවට සාදරයෙන් පිළිගන්නේ නැහැ, ආපහු කොළඹට යන්න. ශ්‍රී ලංකා රාජ්‍යය විසින් දස ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන් පිරිසක් දමිළ සංහාරයේදී ඝාතනය කරනු ලැබුවා.''
''රාජ්‍යය වැරදි තොරතුරු ප්‍රචාරයක නිරත වුණා. සත්‍යය වෙනුවෙන්, යුක්තිය වෙනුවෙන් කතා කළ දෙමළ ජාතිකයන් අවමානයට ලක් කිරීමට සහ පහර දීමට ඔවුන් උත්සාහ කළා. එය භෞතික ජන සංහාරයක් පමණක් නොව, සෑම තැනකම දෙමළ ජනතාවට එල්ල වූ ප්‍රහාරයක්" ඔහු එහිදී පැවසුවේය.
'මේක බලවත් සංකේතයක්'
මේ අතර කැනඩාවේ දේශපාලනඥයෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති විජෙයි තනිගාසලම් මෙම ස්මාරකය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් පැවසුවේ දෙමළ ජනතාවට එරෙහිව යුද මුක්ත කලාපයන් හිදී සිදුවූ දේවල් කිසිදා අමතක නොවන බවයි.
"අපේ ඉතිහාසය කිසිදා මකා දමන්න බැහැයි කියන එකට බලවත් සංකේතයක් මේ ස්මාරකය. 2009 මැයි මාසයේදී අපට මතකයි, යුද මුක්ත කලාපවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වූ ආකාරය අපට මතකයි, දෙමළ ජනතාවට එරෙහිව පොකුරු බෝම්බ සහ රසායනික බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් සිදු වූ විනාශය අපට මතකයි," ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේය.
ශ්‍රී ලංකා රජයෙන් දැඩි විරෝධතාවයක්
'පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන්' ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතාව විදේශ අමාත්‍යාංශයේදී අද, ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.
එවැනි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර ජාතික සමගිය, සංහිඳියාව සහ කල් පවතින සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය දරන අඛණ්ඩ උත්සාහයන්ට බාධාවක් සහ සංකීර්ණත්වයක් ඇති කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.
මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කැනඩාව ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයේදී වාසි ලබා ගැනීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග වල නිරත වන බවයි.
''ශ්‍රී ලංකාවේ පැවැති යුද ගැටුම්වල අවසාන අදියරේදී ජන සංහාරයක් සිදු කළ බවට එල්ල වන චෝදනාව ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කිසිදු විශ්වසනීය අධිකාරියක් විසින් සනාථ නොකරන ලද බවත්, එය නොමඟ යවන තොරතුරු මත පදනම් වූවක් බවත් ශ්‍රී ලංකා රජය පවසයි. ශ්‍රී ලංකාව මෙම අසත්‍ය ආඛ්‍යානය තරයේ ප්‍රතික්ෂේප කරන අතර එය ප්‍රධාන වශයෙන් කැනඩාව තුළ මැතිවරණ වාසි ලබා ගැනීම සඳහා ප්‍රචාරය කර ඇති බවට විශ්වාස කරයි." යනුවෙන් නිවේදනයේ දැක්වෙයි.
නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
"ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු කළ බවට කිසිදු අනාවරණය කර ගැනීමක් කැනඩා රජය විසින් සිදු කර නොමැති බව 2021 වසරේ අප්‍රේල් මාසයේදී කැනඩාවේ විදේශ කටයුතු, වෙළෙඳ හා සංවර්ධන දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කළේය.ඊට අමතරව, කැනඩාව විසින් 2006 වසරේදී LTTE සංවිධානය, ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනු ලැබූ අතර 2024 වසරේ ජුනි මාසයේදී එය නැවත තහවුරු කරන ලදී."
ඒ අනුව 'දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීම' සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පුන පුනා දැඩි විරෝධතා පළ කර ඇති බවත් නිවේදනයේ දැක්වෙයි.
එහි දැක්වෙන්නේ, බ්‍රැම්ප්ටන් නගර සභාවේ මෙම කණගාටුදායක මුලපිරීම වැළැක්වීමට මැදිහත් වන ලෙස කැනඩා ෆෙඩරල් රජයෙන් නිරන්තරයෙන් ඉල්ලීම් සිදු කරනු ලැබූ බවයි.
මෙම ඉදිකිරීම, පුළුල් ශ්‍රී ලාංකික සහ කැනේඩියානු ප්‍රජාවන්ට අහිතකර බලපෑමක් ඇතිකරන්නක් බවට ශ්‍රී ලංකාව සලකන බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
එවැනි පදනම් විරහිත චෝදනා ප්‍රචාරය කිරීම සහ අසත්‍ය මත පදනම් වූ ස්මාරක ඉදිකිරීම මහජනතාව නොමඟ යැවීම පමණක් නොව, සියලු ප්‍රජාවන් අතර සංහිඳියාව, ජාතික සමගිය සහ චිරස්ථායී සාමය සඳහා ගනු ලබන ශ්‍රී ලංකාවේ සැබෑ ප්‍රයත්නයන්ට බාධාවක් වන බව තරයේ විශ්වාස කරන බවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන්, විදේශ අමාත්‍ය විජිත හේරත් අද කැනේඩියානු මහ කොමසාරිස්වරයා හමුවී, පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතාවය නැවත අවධාරණය කොට තිබේ.
මෙවන් ක්‍රියා හේතුවෙන් සංහිඳියාව සහ ජාතික සමගිය සඳහා වූ රජයේ ප්‍රයත්න සංකීර්ණභාවයට පත්වන අතර හෑල්ලුවට ද ලක්වේ.'' යනුවෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
සාමාජ මාධ්‍ය තුළ හුවමාරු වන අදහස්
කැනඩාවේ මෙම ස්මාරකය විවෘත කිරීමට අදාළව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන වීඩියෝ සඳහා සිංහල සහ දෙමළ පරිශීලකයින් ප්‍රතිචාර දක්වා තිබෙන අයුරු දක්නට ලැබිණි.
එහිදී සිංහල සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් ශ්‍රී ලංකාව තුළ ඊලාම් නිජ භූමියක් බිහිකිරීම සිහිනයක් බවටත්, ජාතිවාදය ඇවිස්සීමට කටයුතු නොකරන ලෙසත් සඳහන් කරමින් සටහන් තබා ඇති අයුරු දක්නට ලැබේ.
එමෙන්ම ඇතැම් දෙමළ සමාජ මාධ්‍ය පරිශීලකයින් ද ශ්‍රී ලංකාව තුළ දෙමළ නිජ භූමියක් පිහිටුවාලීම සඳහා කටයුතු කරන බවට එහිදී අදහස් දක්වා තිබේ.