ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
PTA: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකර සිටීමට අලුත් ආණ්ඩුවට පුළුවන් ද?
මෙරට තුළ ක්‍රියාත්මක පනත් අතරින් වඩාත් ම කතා බහට ලක්වූ පනතක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) හැඳින්විය හැකි ය.
1979 දී තාවකාලික විධිවිධාන පනතක් ලෙස සම්මත කර ගත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වර්තමානය වන විටත් ක්‍රියාත්මක වන නීතියකි.
ජාත්‍යන්තර මෙන් ම දේශීයව ද විවේචනයට ලක්වූ නීතියක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හැඳින්විය හැකි අතර ත්‍රස්තවාදී සැකකරුවන්ට අමතරව, පවත්නා රජයයන් දේශපාලන ප්‍රතිවිරුද්ධ මතධාරීන් මර්දනය කිරීම සඳහා මෙන් ම ජාතිවාදී හෝ ආගමික ආකල්පයකින් මර්දනය සදහා එය යොදා ගන්නා බවට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා අතර වෙයි.
බලයට පත්ව සිටින ජාතික ජන බලවේගය, විපක්ෂයේ සිටින කාල සීමාවේදී ත්‍රස්තවාදය වැළැක්විමේ පනතට එරෙහිව දැඩි ලෙස හඬ නැගු දේශපාලන පක්ෂයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.
'PTA ලංකාවේ නරක විදිහට අවභාවිත වුණ පනතක්'
නීතිය සහ සමාජ භාරයේ වැඩසටහන් අධ්‍යක්ෂක සඳුන් තුඩුගල බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ" ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙරට තුළ නරක අයුරින් භාවිතයට ගැනුණු පනතක් බව ය.
"මේ PTA එක කියන්නේ ලංකාවේ නරක විදිහට අවභාවිත වෙච්ච පනතක්. රජය තම රාජ්‍යයේ සියලු සතුරන් මර්දනය කරන්න, හැමෝම යටපත් කරන්න භාවිත කරන මර්දනකාරී නීතියක්.''
''දෙමළ මිනිසුන්ට වගේ ම, මුස්ලිම් මිනිස්සුන්ට සහ අරගලයේ හිටපු ශිෂ්‍යයින්ට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රජයන් භාවිත කළා. රටේ සෑහෙන්න මතවාදයක් තියෙනවා PTA එක අහෝසි කළ යුතු යි කියලා," ඔහු පැවසුවේ ය.
'ආණ්ඩුවට වගකීමෙන් ගැලවෙන්න බැහැ'
මේ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට වත්මන් රජය ප්‍රකාශ කර තිබෙන අතර එහි වගකීමෙන් රජයට ගැලවිය නොහැකි බව ද සඳුන් තුඩුගල මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ ය.
''ජාතික ජන බලවේගය බලයට පත්වෙන්න කලින් ඉඳිද්දී කියපු දෙයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න ඕන කියලා. ඉතින් වත්මන් රජයට කිසි ම විදිහට ඒකෙන් මග හැරලා යන්න බැහැ කිසි ම විදිහකට.''
''ඒ වගේ ම අනිත් කාරණාව තමයි ජාත්‍යන්තරවත් යම් එකඟතාවක් තියෙනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙන පනතක් ගේනවා කියලා. එහෙම කියලා පසුගිය කාලයේ රජයන් පනත් කෙටුම්පත් දෙකක් ගේන්න හැදුවා. ඒ කෙටුම්පත් දෙක දැනට තියෙන පනතට වඩා භයානක කරුණු ඇතුළත් වෙලා තියෙන්නේ. මේ නිසා අපි කියන්නේ වෙනස් කිරීම, සංශෝධනය කිරීම හෝ වෙනත් පනතක් ගේන එක නෙමෙයි. මේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම සිදුකරන්න අවශ්‍යයි කියලා,'' ඔහු පැවසුවේය.
මෙහිදී නීතිය සහ සමාජ භාරය වැඩසටහන් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, "ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකිරීමට විශේෂ ත්‍රස්ත මර්දන නීතියක් අවශ්‍ය නොවන," බව ය.
''දැනට ලංකාවේ ඉන්න නීති විශාරදයින් කියන දේ තමයි ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ලංකාවේ තියෙන නීති ප්‍රමාණවත් කියලා. එහෙම විශේෂයෙන් ම පනතක් හදන්න අවශ්‍ය නම් ඒකට ජනතාවගේ අදහස් අරගෙන වින්දිතයින්ගේ අදහස් අරගෙන කටයුතු කරන්න අවශ්‍ය යි. විශේෂිත වූ ත්‍රස්ත මර්දනය නීතියක් ලංකාවට අවශ්‍ය නැහැ. රජය මෑතක සිදුවූ සිදුවීම් දෙකකදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරලා තියෙනවා.''
''ඒ වගේ ම ත්‍රස්ත විරෝධී පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී රජය සමග සාකච්ඡා කරන්න ඒ වගේ ම ජනතාවට මේ ගැන අවබෝධයක් ගෙන දෙන්න අවශ්‍ය කටයුතු කරන්න සූදානමක් තියෙනවා.''
''ජාතිවාදය පරාජය කරන්න ඕන කියන කාරණාවට අපි සම්පුර්ණයෙන් ම එකඟ යි. ජාතිවාදය පරාජය කරන්න මර්දනය භාවිත කරන්න අවශ්‍ය නැහැ. මර්දනය කිරීම තුළින් වෙන්නේ ජාතිවාදය තවත් දැඩි වෙන එක,'' ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
'ත්‍රස්ත පනතෙන් සිදු කළේ මර්දනයක්'
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පසුගිය ආණ්ඩු විසින් උතුරේත් දකුණේත් ජනතාව මර්දනය කිරීමට යොදාගත් බව ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ පවසයි.
ඔහු 2022 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 160කට වැඩි කාලයක් රැඳවුම් නියෝග යටතේ තබා රඳවා සිටි අතර, පසුව එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් 2023 ජනවාරි 31 නියෝග කළේ ය.
ඉන්පසු වසන්ත මුදලිගේ ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර, එම පෙත්සම මේ වන විට විභාග වෙමින් පවතී.
"මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැඩිපුර ම යොදා ගත්තේ දේශපාලන පළිගැනීම් විදිහට. 80 දශකයේදිත් 2022දීත් දකුණේ සමාජයට එරෙහිව ආණ්ඩු මේක යොදාගත්තා. උතුරේ යුද්ධමය වාතාවරණය කාලයේදී මේක දමිළ ජනතාවට එරෙහිව යොදාගත්තා," ඔහු පැවසුවේ ය.
"ඒ යුද්ධවලට නායකත්වය දුන්න අය පස්සෙ කාලෙක ඇවිල්ලා දේශපාලනය කරනවිට ඒවාට සම්බන්ධ වුණ සාමාජිකයන් ත්‍රස්ත පනතෙන් හිර කරලා තිබුණා. ඒ විස්තරක් නෙවෙයි කිසිදු සිදුවීමකට සම්බන්ධයක් නැති තරුණයො පවා ඒ විදිහට මේ පනතින් හිර කළා."
ඔහු පෙන්වා දෙන්නේ, වත්මන් ආණ්ඩුවට මෙම පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් වගකීමක් පැවරී ඇති බවයි.
"වත්මන් ආණ්ඩුව මීට පෙර මේ පනතට විරෝධය දක්වලා තියෙනවා. මැතිවරණයේදිත් ඔවුන් ඒ බව කිව්වා. ඒ නිසා අපි කියන්නේ, ආණ්ඩුවට මේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා."
PTA කියන්නේ නීතියේ කළු කුහරක්
නීතීඥ ස්වස්තිකා අරුලිංගම්ගෙන් මෙම පනත සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් සිදු කළ විමසීමකදී ඇය පැවසුවේ, මෙම පනත නීතියේ පවතින කළු කුහරයක් බව ය.
"නීතිමය පැත්තෙන් අපි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට කියන්නේ නීතිමය කළු කුහරයක් කියලා. ශිෂ්ට සම්පන්න සමාජයකට සුදුසු නැති අශිෂ්ට නීති විදිහට තමයි අපි මෙවැනි නීති හඳුන්වන්නේ. ඒ නිසා තමයි 1979 සිට මේ දක්වා එක පාරක්වත් මේ පනත හරියට භාවිත කරලා නැත්තේ."
"මේ නීතිය සාධාරණීකරණය කරන්න බෑ, මේක නරක නීතියක්. කවුරු හරි කියනවා නම් මේ නීතියට සංශෝධන කරලා අරගෙන යන්න පුළුවන් කියලා, එහෙම අරගෙන යන්න පුළුවන් නීතියක් නෙවෙයි මේක," ඇය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ, වත්මන් රජය මීට පෙර පොරොන්දු වූ පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බව ය.
"මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්නකොට මේ පනත අහෝසි කරන්න කියලා කිව්වා. යහපාලන ආණ්ඩුව ප්‍රති ත්‍රස්ත පනත අරන් එන විට ඒකටත් විරුද්ධ වුණා. නමුත් දැන් ඒ ආණ්ඩුව ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන පුද්ගලයින් අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. ඡන්දය කාලෙදි පොරොන්දු දීලා දැන් ආණ්ඩුව ඒ මතය වෙනස් කරනවා නම් ඒක ජනතා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී කියන ස්ථාවරයේ අපි ඉන්නවා."
'අහෝසි කරන්න සූදානම්'
සිය රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සූදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, අමාත්‍ය මණ්ඩක තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ ය.
"අපි සූදානම් මේ පනත අහෝසි කරන්න. අහෝසි කරලා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මහ ජනතාවට වගකියන අලුත් නීතියක් අරගෙන එනවා. නමුත් මේ වෙලාවේදී ඒක කරන්න බෑ. ඒ නිසා පවතින නීතිවලට අනුව කටයුතු කරන්න සිදුවෙනවා," ඔහු පැවසුවේ ය.
"ජාතිවාදය වපුරන්න කාටවත් ඉඩ දෙන්න බෑ. නැවත ලේ වැගිරීමක් සිදු කරන්න අපිට ඉඩ දෙන්න බෑ. ඒ සම්බන්ධයෙන් අපට පවතින නීති සමග කටයුතු කරන්න සිදු වෙනවා."
මෙය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇහිරීමක් නොවන බව ද ඔහු පැවසුවේ ය.
"අපි ආණ්ඩුව විවේචනය කළා කියලා කාවවත් අත්අඩංගුවට අරගෙන නෑ. අපේ අඩුපාඩු පෙන්වලා දෙන්න. අපිව විවේචනය කරන්න. අපි ඒ නිදහසට බාධා කරන්නේ නෑ, නමුත් ජාතිවාදය අවුස්සන්න අපට ඉඩ දෙන්න බෑ," ඔහු පැවසුවේ ය.
ඉදිරි වසර තුන අවසානයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.