ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නාරම්මල පොලිස් වෙඩි තැබීම: 'ලක්ෂ 10ක් දීලා අපි ගැන කිසිම දෙයක් හොයා බැලුවේ නැහැ'
පොලිස් වෙඩි තැබීමෙන් තම සැමියා මිය යෑමෙන් පසු රුපියල් ලක්ෂ 10ක් ලබා දුන්න ද පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පොරොන්දු වූ පරිදි ඒ වෙනුවෙන් කිසිඳු සහයෝගයක් මේ දක්වා ලබා නොදීම නිසා තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ද බාධා එල්ල වී ඇතැයි මිය ගිය රොෂාන් කුමාරසිරිගේ බිරිඳ BBC සිංහල සේවයට පැවසුවාය.
''දේශබන්දු මහත්තයා ඇවිල්ලා ඒ වෙලාවේ මගේ අතට ලක්ෂ 10ක් දීලා මහත්තයගේ වටිනාකම තීරණය කළා එයා ඒ වෙලාවේ.ඉන් පස්සේ කිසිම දෙයක් අපි ගැන හොයලා බැලුවේ නැහැ.'' යනුවෙන් කමනි රූපිකා පැවසුවාය.
2024 ජනවාරි 18 වැනිදා නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදු වූ අතර ඊට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (පෙබරවාරි 16) යළි නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මේ සිදුවීම වන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම ස්ථානයේ සිටිය ද පොලීසිය සැකකරුවෙකු ලෙස එක් අයෙකු පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සහ විමර්ශන කටයුතු සිදු කෙරෙන අකාරය ගැන සෑහීමකට පත්විය නොහැකි බව අගතියට පත් පාර්ශවයේ නීතිඥයෝ පවසති.
මේ අතර අනෙක් පොලිස් නිලධාරියා සැකකරුවෙකු ලෙස නම් කිරීමේ අවශ්‍යත්වයක් මේ දක්වා විමර්ශන වලදී පෙනී ගොස් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව BBC සිංහල වෙත කියා සිටියේය.