අතුරුදන්වූවන් පිළිබඳ නඩු විභාගය කල් යයි

යුද්ධයේ අවසන් දිනවල යුද හමුදාවට බාර වු පිරිස් සොයා දෙන ලෙසට ඔවුන්ගේ ඥාතීන් විසින් ගොනු කොට ඇති හබයාස් කෝපුස් පෙත්සම් තුනක් සම්බන්ධයෙන් වන නඩු විභාගය ලබන මැයි මස 11 වැනිදා දක්වා නැවත කල් තැබීමට වවුනියාව මහාධිකරණය අද (මාර්තු 22වැනිදා) නියෝග කරනු ලැබීය.

පෙත්සම්කාර බිරින්දෑවරුන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.රත්නවේල් සඳහන් කළේ නඩු විභාගය පෙබරවාරි 23 වැනිදා විභාගයට ගන්නා ලද අවස්ථාවේදී, පෙත්සම්කරුවන් සඳහන් කරන අතුරුදන්වූවන් මාර්තු 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ එසේ කළ නොහැකි නම් ඊට හේතු සඳහන් කරන ලෙසට වවුනියාව මහාධිකරණය යුද හමුදාවට නියෝග කර තිබූ බවය.

එහෙත් අද (මාර්තු 22වැනිදා) නඩු විභාගය කැඳවු අවස්ථාවේ වවුනියාව මහාධිකරණය අදාළ හබයාස් කෝපුස් නඩු විභාගය නැවත මැයි 11 වැනිදා දක්වා කල්තැබීය.

අතුරුදහන්වූවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ එසේ කළ නොහැකි නම් ඊට හේතු සඳහන් කරන ලෙසට අධිකරණය පසුගිය නඩු වාරයේදී ලබාදුන් අදාළ නියෝගය උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ලබාගත් ජයග්‍රාහණයක් බව ආනන්දි සෂිදරන් සඳහන් කළාය.

ආනන්දි සෂිදරන්ගේ ස්වාමිපුරුෂයා වන සින්නතුරෙයි සසිදරන් නොහොත් එළිලන් යුද්ධය පැවති සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ වවුනියාව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් භාර නායක ලෙස කටයුතු කර තිබුණි.

යුද සමයේ උතුරු නැගෙනහිර පළාත්වල පුද්ගලයින් 20000 කට වැඩි පිරිසක් අතුරුදහන්ව ඇති බව අතුරුදහන්වූවන්ගේ ඥාතීහූ සඳහන් කළහ.

අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සුවිශේෂී අධිකරණ නියෝගයක්

යුද්ධයේ අවසන් දිනවල යුද හමුදාවට භාර වූ පිරිස් සොයා දෙන ලෙස ඔවුනගේ ඥාතීන් විසින් ගොනුකොට ඇති හබයාස් කෝපුස් පෙත්සම් තුනක් පෙබරවාරි 23 වැනිදා විභාගයට ගන්නා ලද අවස්ථාවේ දී, පෙත්සම්කරුවන් සඳහන් කරන අතුරුදන් වුවන් මාර්තු 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝ, එසේ කළ නොහැකි නම් ඊට හේතු සඳහන් කරන ලෙසට වවුනියාව මහාධිකරණය යුද හමුදාවට නියෝග කර තිබුණි.

අතුරුදහන්වූවන් සොයා දෙන ලෙස ඉල්ලා පෙත්සම් ගොනු කළ ඔවුන්ගේ භාර්යාවන් විසින් ලබා දී ඇති සාක්ෂි පදනම්කර ගනිමින් මහාධිකරණය එලෙස නියෝග කර තිබුණි.

පොන්නම්බලම් කන්දසාමි (කන්දම්මාන්), සින්නතුරෙයි සසිදරන් (එළිලන්) සහ රුද්‍රමූර්ති ක්‍රිෂ්ණකුමාර් (කොලොම්බස්) යන තිදෙනා වෙනුවෙන් ගොනුකොට ඇති හබයාස් කෝපුස් පෙත්සම් විභාගයට ගැනීමේ දී මහාධිකරණය එලෙස නියෝග කොට තිබිණ.

මහාධිකරණය ලබාදුන් නියෝගය පීඩාවට පත්ව සිටින අතුරුදහන්වූවන්ගේ පවුල්වලට මහත් අස්වැසිල්ලක් වනු ඇතැ යි නිතීඥ රත්නවේල් පැවසුවේ ය.

'වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවට දින 2200යි - ගැටලුවට විසඳුමක් නෑ'

මේ අතර යුද්ධයෙන් අතුරුදහන්වූවන්ගේ වවුනියාව දිස්ත්‍රික් ඥාතීන් (පෙබරවාරි 27 වැනිදා) උදෑසන 2200 වන දිනටත් වවුනියාව තැපැල් කාර්යාලයය ඉදිරිපස උපවාසයේ නිරත වේ.

වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සංගමයේ සභාපති කේ. රාජ්කුමාර් පැවසුවේ යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් තමන් දින 2200ක් විරෝධතාවක නිරතවූව ද කිසිදු රජයක් හරහා තමන්ගේ ගැටලු වෙනුවෙන් නිසි විසඳුමක් නොලැබුණ බව යි.

අතුරුදහන්වූවන්ගේ ගැටලුවට විසදුම් ඉල්ලීම් කරමින් තමන් වර්තමාන ජනාධිපතිවරයා අගමැතිවරයා සිටි අවදියේ පවා ඉල්ලීම්කොට ඇති බව ද රාජ්කුමාර් සඳහන් කළේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 52 වන සැසිවාරය (පෙබ. 27) දිනයේ ආරම්භ කිරීමට නියමිත අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලය යුද්ධයෙන් අතුරුදහන් වූ උතුරු නැගෙනහිර වැසියන් පිළිබඳ සොයාබලා සාධාරණය ඉටුකර දිය යුතුබව ද හෙතෙම පැවසුවේ ය.

අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් ඔවුන්ගේ ඥාතීන් ආරම්භකොට ඇති විරෝධතාව මේ වන විට අඛණ්ඩව වසර හයකට වැඩි කාලයක් පැවැත්වෙයි.