ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2021න් පසු එක්සත් රාජධානියට ගිය සංක්‍රමණික ඔබට ස්ථිර පදිංචිය ලබා ගත හැක්කේ මෙහෙමයි
- Author, බීබීසී සිංහල
"නූතන යුගයේ" නීති විරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීම සඳහා සිදු කෙරෙන "විශාලතම වෙනස්කම්" පිළිබඳව එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම් ෂබානා මහමූද් විසින් පසුගිය දා එරට පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ලොව පුරා මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
එහිදී ඇය ප්‍රකාශ කළේ, එක්සත් රාජධානියේ රැඳී සිටීමේ අයිතිය ලබා ගැනීම සඳහා සංක්‍රමණිකයින්ට තමන් එරට සමාජයට දායක වන බව සනාථ කිරීමට සිදුවනු ඇති බව ය.
මෙම නව යෝජනා යටතේ, නීත්‍යනුකූලව එක්සත් රාජධානිය වෙත ගොස් සිටින සංක්‍රමණිකයින්ට එරට ස්ථිරව පදිංචි වීමට වසර 20ක් දක්වා බලා සිටීමට සිදුවිය හැකි ය.
ස්වදේශ කටයුතු ලේකම්වරිය නිවේදය කළේ, එක්සත් රාජධානියේ ජීවත් වීමේ ස්ථිර අයිතිය (Indefinite Leave to Remain) ලබා ගැනීමට දැන් වසර 5ක් වෙනුවට වසර 10ක් එක්සත් රාජධානියේ ජීවත් වීමට සිදුවන බව ය.
මෙම නව නීතිය 2021 සිට එක්සත් රාජධානියට පැමිණ ඇති සංක්‍රමණිකයන් මිලියන 2.6කට පමණ බලපානු ඇති නමුත්, එරට ස්ථිර පදිංචිය මේ වන විටත් ලබාගෙන ඇති පුද්ගලයින්ට මෙම වෙනස්කම් අදාළ නොවනු ඇත.
එක්සත් රාජධානියේ කොටසක් වීම "අයිතියක් නොව වරප්‍රසාදයක් වන අතර එය උපයා ගත යුතු එකක් බව" ස්වදේශ කටයුතු ලේකම්වරිය පැවසුවා ය.
මේ, ඒ පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.
යෝජිත වෙනස්කම් මොනවා ද?
Indefinite Leave to Remain (ILR) යටතේ, කෙනෙකුට එක්සත් රාජධානියේ ස්ථිරව ජීවත් වීමට, සීමා නොමැතිව වැඩ කිරීමට සහ පොදු සේවා වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසයි. එය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා ගැනීමේ ප්‍රධාන පියවරක් ද වේ.
වර්තමානයේ, බොහෝ රැකියා (work visa) සහ පවුල් වීසා (family visa) බලපත්‍රලාභීන්ට වසර පහකට පසු ඒ සඳහා ඉල්ලුම් කළ හැකි ය.
යෝජිත වෙනස්කම් යටතේ එම කාලය වසර 10ක් දක්වා දීර්ඝ කෙරනු ඇත. නමුත් නිර්ණායක කිහිපයක් යටතේ එම කාලය දීර්ඝ හෝ කෙටි වනු ඇත. එම නිර්ණායක පහත පරිදි වේ;
- අවම වශයෙන් වසර 12ක කාලයක් රජයේ ප්‍රතිලාභ ලබා ගන්නා නීත්‍යනුකූල සංක්‍රමණිකයින්ට වසර 15ක් බලා සිටීමට සිදුවනු ඇත.
- යුරෝපා සංගමයෙන් ඉවත් වීමට එක්සත් රාජධානිය ගත් තීරණයෙන් පසු (Brexit) සෞඛ්‍ය (health visa) සහ සමාජ සත්කාර රැකියා (social care visa) වීසා මත එක්සත් රාජධානියට පැමිණි පුද්ගලයින්ට අයැදුම් කිරීමට වසර 15ක් එක්සත් රාජධානියේ ජීවත් වීමට සිදුවනු ඇත. එම කාලය මීට පෙර වසර 5ක් ලෙස පැවතිණි.
- මාස 12කට වැඩි කාලයක් ප්‍රතිලාභ මත යැපෙන සංක්‍රමණිකයින්ට පදිංචිය සඳහා වසර 20ක කාලයක් බලා සිටීමට සිදු වන අතර එය වත්මන් කාලයට වඩා හතර ගුණයකින් වැඩි සහ යුරෝපයේ දීර්ඝතම කාලය බව පැවසේ.
ඊට අමතරව, යමෙකු වසරකට පවුම් 125,140ක් උපයන්නේ නම් සහ ඔවුන් පදිංචිය සඳහා අයැදුම් කිරීමට පෙර ගත වූ වසර තුන තුළ එම මුදල උපයා ඇත්නම්, ඔවුන් බලා සිටිය යුතු කාලය වසර 3ක් දක්වාත් වසරකට පවුම් 50,270ක් උපයන්නේ නම් එම කාලය වසර 5ක් දක්වාත් අඩු කර තිබේ.
ස්වේච්ඡා සේවය සඳහා වෙන් කරන කාලය මෙන් ම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නිපුණතාව ද එරට ස්ථිර පදිංචිය ලබා ගැනීමට බලා සිටිය යුතු කාලය අඩු කළ හැකි සාධක වේ.
පාර්ලිමේන්තුවේදී මෙම යෝජිත වෙනස්කම් පිළිබඳව සඳහන් කරමින් ස්වදේශ කටයුතු ලේකම්වරිය ප්‍රකාශ කළේ, "සංක්‍රමණය සැමවිට ම බ්‍රිතාන්‍යයේ කතාවේ වැදගත් කොටසක් වනු ඇති," බව ය.
"නමුත් මෑත වසරවල පැමිණීමේ [සංක්‍රමණිකයින්] පරිමාණය පෙර නොවූ විරූ තරම් ඉහළ ගොස් තිබෙනවා," ඇය පැවසුවා ය.
සංක්‍රමණිකයින්ට පදිංචි වීමේ තත්ත්වය ලබා දීමට පෙර ඔවුන් සමාජ ඒකාබද්ධතාව, ආර්ථික දායකත්වය සහ යහපත් "චරිතයක්" පෙන්නුම් කිරීමට අවශ්‍ය වනු ඇති අතර, අමාත්‍යවරුන් එම ක්‍රමය "earned settlement" ක්‍රමවේදයක් ලෙස හඳුන්වා දී තිබේ.
අයැදුම්කරුවන් උසස් පෙළ මට්ටමට ඉංග්‍රීසි භාෂා දැනුමක්, අපරාධමය වරදවල් සිදු කර නොමැති වීම සහ අවම වශයෙන් වසර තුනක් සඳහා වසරකට පවුම් 12,570ට වැඩි ආදායමක් ඉපැයීම ඇතුළු දැඩි අවම අවශ්‍යතා සපුරාලිය යුතු ය.
වාසි ලැබෙන පාර්ශව කවුද?
එක්සත් රාජධානියේ "අභිවෘධියට දැඩි ලෙස" දායකවන්නන්ට කඩිනමින් එරට පදිංචිය ලබා ගැනීමට අවශ්‍ය මග සැලසෙනු ඇත.
ජාතික සෞඛ්‍ය සේවයේ සේවය කරන වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට වසර පහකට පසු පදිංචි වීමට හැකි වනු ඇති අතර, විවිධ කේෂ්ත්‍ර තුළ කුසලතා දක්වා ඇති "දීප්තිමත් සහ දක්ෂ" වෙනත් රටවලින් පැමිණෙන පුද්ගලයින්ට ඉක්මනින් පදිංචිය සඳහා ඉල්ලුම් කිරීමට හැකි වේ. තව ද ඉහළ ආදායම් ලබන්නන්ට මෙන් ම ව්‍යවසායකයින්ට ද වසර තුනකට පසු රට තුළ රැඳීමට අවසර ලබා ගැනීමට හැකි වන බව ය.
එසේ වුව ද, ප්‍රධාන අයැදුම්කරු සුදුසුකම් ලබන විට පවුලේ සාමාජිකයින්ට ස්වයංක්‍රීය එම තත්ත්වය නොලැබෙනු ඇත.
වයස අවුරුදු 18ට අඩු එක්සත් රාජධානියට පැමිණි දරුවන්ට දෙමාපියන් සමග පදිංචි විය හැකි නමුත්, වැඩිහිටි යැපෙන්නන්ට වෙනත් අවශ්‍යතා සපුරාලිය යුතු වේ.
ගෘහස්ථ අපයෝජනයට ලක් වූවන්, සහකරු හෝ සහකාරිය වියෝවූවන්ට සහ නැවත පදිංචි කරන ලද සරණාගතයින් සඳහා පවතින මාර්ග එලෙස ම පවතිනු ඇත.
'දීපු පොරොන්දු පාවා දීමක්'
කොන්සර්වේටිව් පක්ෂයේ ඡායා ස්වදේශ ලේකම් ක්‍රිස් ෆිල්ප් චෝදනා කළේ, කම්කරු පක්ෂය ඔවුන් මීට පෙර විරුද්ධ වූ තම පක්ෂය විසින් මීට පෙර හඳුන්වා දෙන ලද ප්‍රතිපත්ති මුළුමනින් ම "පිපටත්" කර ඉදිරිපත් කර ඇති බව ය.
තම පක්ෂය නව සංක්‍රමණ නීතිවලට සහය දක්වන නමුත් ඒවා අවභාවිත කිරීමට, ජනතාව ක්‍රම සොයා ගත හැකි බවට අනතුරු ඇඟවූ අතර, රට තුළට ඇතුළු වීමට අවසර ලැබෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාවට සීමාවක් හඳුන්වා දෙන ලෙස පැවසීය.
මෙම නව යෝජනා සම්බන්ධයෙන් Reform UK පක්ෂය ප්‍රතිචාර නොදැක්වූ නමුත් පක්ෂය මීට පෙර නිවේදනය කර තිබුණේ ILR අහෝසි කරන බව ය. ඒ වෙනුවට සංක්‍රමණිකයන් සෑම වසර පහකට වරක් නැවත අයැදුම් කළ යුතු වීසා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන බව ඔවුහු පැවසූහ.
2021 සහ 2024 අතර කාලය තුළ එක්සත් රාජධානියේ ජනගහනයට ශුද්ධ සංක්‍රමණ මිලියන 2.6ක් එකතු වී ඇති බව ස්වදේශ කටයුතු කාර්යාල සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් ඉදිරි වසර පහ තුළ පදිංචි වීමට (ස්ථිර පදිංචිය) සුදුසුකම් ලබන පුද්ගලයින් සංඛ්‍යාව තියුණු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම වෙනස්කම් "දහස් ගණනක් අත්‍යවශ්‍ය සේවකයින්ට විනාශකාරී" වනු ඇති අතර එම සේවා අවදානමට ලක් කරනු ඇතැයි රාජ්‍ය සේවා වෘත්තීය සමිතියක් වන යුනිසන් (Unison) පැවසීය.
එහි ප්‍රධාන ලේකම් ක්‍රිස්ටිනා මැක්ඒනියා මෙසේ පැවසුවා ය: "කොවිඩ් සමයේදී ඉදිරියට ඇවිල්ලා සේවය කරපු ගොඩ දෙනෙකුට නිශ්චිත අනාගතයක් වෙනුවෙන් අවුරුදු 15ක් බලන් ඉන්න කියලා කියන එක දීපු පොරොන්දු පාවා දීමක්."
මෙම වෙනස්කම් රජය මැයි මාසයේදී ඉදිරිපත් කළ ආගමන ධවල පත්‍රිකාවෙන් මුල්වරට හඳුන්වා දුන්නේ ය.
පෙබරවාරි මස 12 වන දා මහජන මතය විමසීමෙන් පසු 2026 වසත් ඍතුවේදී මෙම නව නීති ක්‍රියාත්මක කිරීම රජයේ සැලසුම වේ.