IPL 2025 වෙන්දේසියට යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කවුද?

Nuwan Thushara

ඡායාරූප මූලාශ්‍රය, IPL

2025 වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් වෙන්දේසි කිරීම මෙම මස 24 සහ 25 යන දෙදින තුළ සෞදි අරාබියේ ජෙඩා නගරයේදී පැවැත්වීමට නියමිත ය.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 574 දෙනෙකු ලියාපදිංචි වී සිටින බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ.

එලෙස ක්‍රීඩකයින් ලියාපදිංචි වී සිටිය ද මෙවර තරගාවලිය සඳහා වෙන්දෙසියේදී තෝරා ගනු ලබන්නේ, ක්‍රීඩකයින් 204 දෙනෙකු පමණක් වන අතර ඒ අතරින් තෝරා ගැනෙන විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 70 දෙනෙකි.

චෙන්නායි කණ්ඩායම රඳවා ගත් සුවිශේෂී ක්‍රීඩකයා

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග මාලාවට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතරින් ක්‍රීඩකයින් රඳවා ගැනීමට ලබා දුන් අවසරය මත කණ්ඩායම් 10ක් විසින් ක්‍රීඩකයින් 46 දෙනෙකු රඳවා ගැනීමට තීරණය කර ඇත. එලෙස රඳවා ගනු ලැබූ ක්‍රීඩකයින් වෙනුවෙන් එම කණ්ඩායම් විසින් වැය කරනු ලැබ ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 558.5 කි.

රඳවා ගනු ලැබූ ක්‍රීඩකයින් අතරින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 13ක් වැයකොට මෙවරත් තම කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණය කර තිබීම කැපී පෙනෙන සිද්ධියකි.

පළමු වරට 2022 වසරේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමට වරම් ලැබූ මතීෂ පතිරණ එතැන් සිට මේ දක්වා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ අතර, එම කණ්ඩායම වෙනුවෙන් තරග 20කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 34කි. ඔහුගේ හොඳ ම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ ලකුණු 28කට කඩුලු 04ක් දවා ගැනීම ය.

මතිෂ පතිරණ තරග 20 කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 34 කි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මතීෂ පතිරණ IPL තරග 20කට ක්‍රීඩා කර ඇති අතර ඔහු එහිදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 34කි

IPL ක්‍රීඩක වෙන්දේසියට යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කවුද?

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 19 දෙනෙකු ලියාපදිංචි වී සිටින අතර ඉන් දෙදෙනෙක් මේ දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර වරම් හිමි නොවූ ක්‍රීඩකයින් වෙති.

කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ජෙෆ්රි වැන්ඩර්සේ, දුනිත් වෙල්ලාලගේ, දුෂාන් හේමන්ත සහ ලහිරු කුමාර වැනි ජාත්‍යන්තර වරම් හිමි කරගෙන සිටින ක්‍රීඩකයින් මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර සිටින්නේ, ඉන්දීය රුපියල් ලක්ෂ 75ක අවම ලංසුවක් යටතේ ය. මෙම කිසිදු ක්‍රීඩකයෙකුට මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වී නැත.

මීට පෙර IPL ක්‍රීඩා තරග සඳහා ක්‍රීඩා කරනු ලැබූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 2 ක බැගින් වූ අවම ලංසුවක් යටතේ මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඇතුළත් කර තිබේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 19 දෙනෙකු ලියාපදිංචි වී සිටියි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 19 දෙනෙක් ලියාපදිංචි වී සිටිති
  • මහීෂ් තීක්ෂණ

මහීෂ් තීක්ෂණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරනු ලැබූවේ, 2022 වසරේ සිට ය. ඔහු එම කණ්ඩායම වෙනුවෙන් තරග 27කදී කඩුලු 25ක් දවා ගැනීමට සමත්වූ අතර ලකුණු 33කට කඩුලු 04ක් දවා ගැනීම ඔහුගේ IPL දිවියේ හොඳ ම පන්දු යැවීම ලෙස සටහන් වේ.

  • වනිඳු හසරංග

2021 වසරේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරනු ලැබූ වනිඳු තරග 26කදී කඩුලු 35ක් දවා ගැනීමට සමත්ව සිටියි. ඔහුගේ හොඳ ම පන්දු යැවීම ලකුණු 18කට කඩුලු 05ක් දවා ගැනීම යි.

  • විජෙයිකාන්ත් වියස්කාන්ත්

2024 IPL තරග වාරයේදී සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම නියෝජනය කළ විජෙයිකාන්ත් වියස්කාන්ත් තරග 03කට පමණක් ක්‍රීඩා කර එක් කඩුල්ලක් පමණක් දවා ගැනීමට සමත් විය. මෙවර ඔහුට ක්‍රීඩක වෙන්දේසියේ හිමි වී ඇති අවම ලංසු මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 75කි.

  • නුවන් තුෂාර

පසුගිය IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 4.8කට වෙන්දේසි වූ නුවන් තුෂාර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කිරීමට සමත් විය. එහිදී ඔහු තරග 07ක් ක්‍රීඩා කරමින් කඩුලු 08ක් දවා ගත්තේ ය. එහිදී ඔහුගේ හොඳ ම පන්දු යැවීම ලෙස සටහන් වූයේ, ලකුණු 28කට කඩුලු 03ක් දවා ගැනීම යි.

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා නුවන් තුෂාරට ලබා දී ඇති අවම ලංසු මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 75කි.

  • භානුක රාජපක්ෂ

2023 වසරේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට වරම් හිමි වූ භානුක රාජපක්ෂ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් මිල දී ගනු ලැබුවේ, ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකට ය.

2022 සහ 2023 IPL තරග වාරයන්හිදී භානුක රාජපක්ෂ තරග 13කට ක්‍රීඩා කරමින් ලකුණු 277ක් රැස් කර ඇති අතර ඔහු ඉනිමකදී රැස් කර ඇති වැඩි ම ලකුණු සංඛ්‍යාව 50කි.

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා භානුක රාජපක්ෂට නියම කර ඇති ලංසු මුදල රුපියල් ලක්ෂ 75 කි.

  • ඩිල්ෂාන් මධුෂංක

පසුගිය IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 4.6කට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබූ ඩිල්ෂාන් මධුෂංකට එවර තරගාවලියේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් එකදු තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවීය.

මෙවර ඔහුට IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 75ක් නියම වී තිබේ.

  • දසුන් ශානක

2023 වසරේ පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමක් විසින් මිල දී නොගත් දසුන් ශානක පසුව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් සිය කණ්ඩායමට එක් කර ගන්නා ලදී. ඒ, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ කේන් විලියම්සන් ආබාධයකට ලක්වීම හේතුවෙනි.

එහිදී, තරග 03කට පමණක් ක්‍රීඩා කළ දසුන් ශානක එහිදී රැස් කිරීමට ස්මත් වූයේ ලකුණු 26ක් පමණි.

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා දසුන් ශානකට නියම වී ඇත්තේ, ඉන්දීය රුපියල් ලක්ෂ 75ක අවම ලංසුවකි.

  • දුෂ්මන්ත චමීර

2022 සහ 2023 IPL තරගාවලි නියෝජනය කළ දුෂ්මන්ත චමීර තරග 13කට ක්‍රීඩා කර, එහිදී කඩුලු 09ක් දවා ගැනීමට සමත්විය. ඔහුට මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 75ක අවම ලංසුවක් නියම වී තිබේ.

  • කුසල් ජනිත් පෙරේරා

2013 වසරේදී IPL තරගාවලිය නියෝජනය කරනු ලැබූ කුසල් ජනිත් පෙරේරා එහිදී තරග දෙකකට පමණක් ක්‍රීඩා කළේ ය. එහිදී ඔහු රැස් කළේ, ලකුණු 14ක් පමණි.

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඔහු වෙනුවෙන් රුපියල් ලක්ෂ 75ක ලංසුවක් නියම වී තිබේ.

වෙන්දේසියට ඇතුළත් වී සිටින නවක ක්‍රීඩකයින් දෙදෙනා කවුද?

මේ දක්වා, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොමැති නවක ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඇතුළත් වී සිටිති.

ඒ අනුව, එෂාන් මාලිංගට සහ දුමිඳු සෙව්මිණට ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 30 බැගින් ලංසු නියම වී තිබේ.

23 හැවිරිදි වියේ පසු වන එෂාන් මාලිංග ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ ක්‍රීඩකයෙකු වන අතර ඔහු ක්‍රීඩා සමාජ, පළමු පෙළ සහ විස්සයි 20 තරගවලදී කඩුලු 69ක් දවා ගැනීමට සමත්ව තිබේ.