චීනයේ බලපෑම් ඉවත දමමින් සිය අනුප්‍රාප්තිකයා පත් කිරීම ගැන දලයි ලාමා නිවේදනය කරයි

ටිබෙට් බෞද්ධ ආධ්‍යාත්මික නායක දලයි ලාමා, තම මරණයෙන් පසු සිය පදවිය සඳහා අනුප්‍රාප්තිකයෙකු සිටින බව තහවුරු කර තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි එම නිවේදනය ඔහු ප්‍රකාශයට පත් කළේ, චීන පාලනයෙන් පිටුවහල්ව ජීවත් වන උතුරු ඉන්දියාවේ ධරම්සාලාහිදී ය.

දලයි ලාමා පැවසුවේ, ඔහුගේ අනාගත පුනරුත්පත්තිය හඳුනා ගැනීමට බලය ඇත්තේ ඔහු විසින් ආරම්භ කරන ලද ගඩන් ෆොඩ්‍රැන්ග් භාරයට (Gaden Phodrang Trust) පමණක් බව ය. ටිබෙටය පාලනය කිරීමේ උත්සහයේ කොටසක් ලෙස (1950 දී ඈඳා ගත්) චීනය තමන්ගේ ම අපේක්ෂකයෙකු පත්කිරීමට උත්සහ කළ හැකි බවට පැවති මතවාදවලින් පසුව මෙම ප්‍රකාශය සිදු විය.

ටිබෙට් බෞද්ධයන් විශ්වාස කරන්නේ, ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා පුනරුත්පත්තිය ලබා ඇති බවත්, තමන් තෝරා ගන්නා තැනැත්තා තම පූර්වගාමියාගේ ආත්මය ඇති බව ඒත්තු ගැන්වුවහොත් බෞද්ධ නායකයින් විසින් ඔහු දලයි ලාමා ලෙස තෝරා ගන්නා බවත් ය.

වර්තමානයේ සිටින 14 වන දලයි ලාමා 1935 ජූලි 6 වන දින කුඩා ටිබෙට් ගම්මානයක ගොවි පවුලක උපත ලැබූ අතර ඔහුගේ නම ලාමෝ දොන්ඩුබ් ය. ඔහුට වයස අවුරුදු දෙකේදී, බෞද්ධ නිලධාරීන්ගේ සෙවුම් කණ්ඩායමක් ඔහුව පෙර දලයි ලාමාවරුන් 13 දෙනාගේ පුනරුත්පත්තිය ලෙස හඳුනා ගත්හ.

ඔහුගේ නිල චරිතාපදානයට අනුව, නිලධාරීන් ඊට පෙර සිටි දලයි ලාමාට අයත් භාණ්ඩ කිහිපයක් ඔහුට පෙන්වූ විට, පුනරුත්පත්තිය සම්බන්ධයෙන් සාක්ෂි ලැබිණි. කුඩා දරුවා 13 වන දලයි ලාමාට අයත් භාණ්ඩ 'නිවැරදිව හඳුනාගෙන', "ඒක මගේ. ඒක මගේ" යැයි පැවසීය.

වයස අවුරුදු හතරට පෙර ධූරය ලැබූ ඔහු ටිබෙට් ආරාමයක අධ්‍යාපනය ලැබූ අතර බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත.

නමුත් 1950 දී, එනම් ඔහුට වයස අවුරුදු 15 දී, මාඕ සේතුං අලුතින් පිහිටුවන ලද කොමියුනිස්ට් රජයේ හමුදා, ටිබෙට් රාජ්‍යයට ඇතුළු විය. වසරකට පසුව, චීනය ටිබෙටය චීනයට ඈඳා ගැනීම නීත්‍යනුකූල කරමින් කරුණු 17කින් යුත් ගිවිසුමක් සකස් කළේ ය.

චීන පාලනය අවසන් කරන ලෙස ඉල්ලා 1959 දී ටිබෙට් ජාතිකයන් අතර ඇති වූ කැරැල්ලක් මැඩපවත්වන ලද අතර විරෝධතාකරුවන් දහස් ගණනක් මිය ගියහ.

දලයි ලාමාගේ අනුගාමිකයන් 10,000ක් සමග දෙපයින් ඉන්දියාවට පලා ගොස් ධරම්සාලාහි පදිංචි වූ අතර එතැන් සිට පිටුවහල් කරන ලද රජයක් පවත්වාගෙන ගියේ ය. 2011 දී ඔහු තම දේශපාලන භූමිකාව අත්හැරිය නමුත් ටිබෙට් බුද්ධාගමේ ඉහළ ම ආධ්‍යාත්මික නායකයා ලෙස රැඳී සිටී.

ඔහු සමග පලා ගිය ඇතැම්හු තවමත් ටිබෙටයට යාමට සිහින දකිති.

"මගේ විශ්වාසය නම් මම නැවත ටිබෙටයට යනව කියන එකයි. මට බැරි වුණොත්, මගේ තරුණ පරම්පරා අනිවාර්යයෙන් ව නැවත පැමිණෙනු ඇති," සඳුදා සැමරුම්වලට සහභාගි වූ 84 හැවිරිදි ලොබ්සැං චොයිඩන් පැවසීය.

චොයිඩන්ගේ දියණිය සහ මුණුබුරන් සියලු දෙනා ම ඉන්දියාවේ උපත ලැබූ අතර - ඔවුන්ගේ මුළු ජීවිත කාලය ම ගත කර ඇත්තේ එහි ය.

ඉන්දියාවේ. කෙසේ වෙතත්, ඇගේ 15 හැවිරිදි මුනුබුරා වන නගවාන්ග් ලුන්ඩුප් තම මුතුන් මිත්තන්ගේ නිජබිම සමග ගැඹුරින් සම්බන්ධ වී ඇති බවක් දැනේ.

ඔහු කුඩා කල සිට ම ටිබෙට් පිළිබඳ කතා අසා ඇති අතර චීන පාලනය යටතේ පැවතිය ද ටිබෙටයට යාම ගැන සලකා බලන බව පවසයි.

"නමුත් එය චීන ආක්‍රමණයෙන් නිදහස් නම්, මං නැවත ටිබෙටයට යාමට බෙහෙවින් සතුටු යි."

චීනය සහ දලයි ලාමා අතර පවතින මතභේදය

දලයි ලාමා දේශපාලනික මෙන් ම ආධ්‍යාත්මික චරිතයක් වන අතර, දලයි ලාමා ඇතුළු ජ්‍යෙෂ්ඨ බෞද්ධ ලාමාවරුන්ගේ (ගුරුවරුන්ගේ) සියලු ම පුනරුත්පත්තීන් චීන රජයෙන් අනුමත කළ යුතු බව චීන රජය අවධාරණය කරයි.

දලයි ලාමාගේ මීළඟ අනුප්‍රාප්තිකයා චීනයෙන් පමණක් බිහි විය යුතු බවට චීනයෙන් එල්ල වන බලපෑම නොතකා දලයි ලාමා විසින් තම අනුප්‍රාප්තිකයා චීනයට පිටතින් බිහි වනු ඇති බවට නිවේදනය කරනු ලැබුවේ, මීට මාස කිහිපයකට පෙර ය.

දලයි ලාමා යනු කවු ද?

ටිබෙටයේ ආධ්‍යාත්මික නායකයා වන දලයි ලාමා යනු, ටිබෙට් බුදු දහමේ වඩාත් ප්‍රසිද්ධ ම චරිතය වන අතර අවලෝකිතේශ්වර හෝ චෙන්රෙසිග් ලෙස හඳුන්වන ටිබෙටයේ අනුශාසක සාන්තුවරයාගේ පහළ වීමක් ලෙස සැලකේ.

මෙම ගෞරවණීය නාමයේ අර්ථය "ප්‍රඥා සාගරය" යන්නයි. මෙම භූමිකාව සියවස් ගණනක් තිස්සේ පිරවුණේ 'පුනරුප්පතිය' මගිනි.

යමෙකු මිය ගිය පසුව යළි උපදින බවට බෞද්ධයෝ විශ්වාස කරති.

ඒ අනුව ඔවුන් විසින් විශ්වාස කරන්නේ තම පෙර ජිවිතයේ කළ කී දෑ මත ඔවුන් උපදින්නේ කෙසේ ද යන්න රඳා පවතින බවයි. (මෙම සංකල්පය බුදු දහමේ, හින්දු ආගමේ සහ සික් ආගමේ වැදගත් සංකල්පයක් වන කම්ම හෝ කර්මය ලෙස හැඳින්වේ). දලයි ලාමා වැනි ඉහළම අධ්‍යාත්මික තත්ත්වයට පත් වූ අයට තමන් කවදා කොතැනක නැවත ඉපදෙන්නේද යන්න තීරණය කළ හැකි බව ටිබෙට් ජාතිකයෝ විශ්වාස කරති.

වර්තමාන දලයි ලාමා වන ටෙන්සින් ග්‍යන්සෝ 1935 ජූලි 06 වන දින ඊසානදින ටිබෙටයේ දුප්පත් ගොවි පවුලකට දාව උපත ලැබීය. ඔහුට යන්තමින් වයස අවුරුදු දෙකක් වන විට ඔහු 13 වන දලයි ලාමා වූ තබ්තන් ග්‍යන්සෝගේ පුනරුප්පතිය ලෙස හඳුනාගන්නා ලදී.

"දලයි ලාමාගේ එක ම ආත්මය නැවත නැවත ඉපදෙනවා කියලා ටිබෙට් ජාතිකයන් විශ්වාස කරනවා. අපි විශ්වාස කරනවා දැන් ඉන්න දලයි ලාමා, 13 වන දලයි ලාමාගේ පුනරුප්පතිය කියලා," ආචාර්ය තප්තන් ජින්පා පවසයි.

හිටපු භික්ෂුවරයෙක් වන ආචාර්ය ජින්පා යනු ටිබෙට් බුදු දහම සම්බන්ධයෙන් ඉහළම න්‍යායත්මක සුදුසුකම් ඇත්තෙකි. ඔහු 1985 සිට දලයි ලාමාගේ නිල භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කරයි.

සියලු ම දලයි ලාමාවරුන් තනි පුද්ගලයෙකුගේ අඛණ්ඩ පැවැත්මක් ලෙස සම්ප්‍රදායිකව විශ්වාස කළ ද වත්මන් ආගමික නායකයා මෙය සැබෑ ලෙස වචනාර්ථයෙන් ම විශ්වාස කරන බවක් නොපෙනෙන බව ඔහු පවසයි.

"හිටපු දලයි ලාමාවරුන් 14 දෙනා ම එක ම පුද්ගලයා බව උන්වහන්සේ කොහෙත් ම විශ්වාස නොකරන බව ශුද්ධෝත්තමයන් වහන්සේ කීප අවස්ථාවකදී ම කියනවා මම අහලා තියෙනවා," ආචාර්ය ජින්පා බීබීසී වෙත පැවසීය. "නමුත් ඒ පෙළපතේ සිටින සෑම කෙනෙකුට ම දලයි ලාමාවරුන්ගේ පෙළපත සමග විශේෂ සම්බන්ධයක් පවතිනවා."

බුදු දහම, ක්‍රිස්තියානි ආගමට පෙර සිට පැවත එන නමුත් දලයි ලාමාවරුන්ගේ ඉතිහාසය එතරම් දුර නැත.

"පළමු දලයි ලාමා 1391 දී උපත ලැබූ ගදේන් ද්‍රප් ලෙස පසුව හඳුනාගත්තත්, තම පූර්වගාමීයාගේ දේපළ සහ සිසුන් උරුම කරගත් පුනරුත්පත්තිය ලබන බෞද්ධ ගුරුවරයෙකු පිළිබඳ අදහස, එයිනුත් වසර තුන්සීයකටත් වඩා පරණ අදහසක්," යැයි ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ හිමාලයානු පර්යේෂණ සඳහා ස්කොට්ලන්ත මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය මාර්ටින් ඒ මිල්ස් පවසයි.

"දැන් ඒ වගේ පුනරුපත්තිය ලබන ලාමාවරුන්ගේ පෙළපත් සිය ගණනක් තියෙනවා, ඔවුන්ගෙන් දලයි ලාමා තමයි වඩාත් ම ප්‍රසිද්ධ," මිල්ස් වැඩිදුරටත් පැවසුවේ ය.

දලයි ලාමා තෝරාගන්නේ කෙසේ ද?

"දලයි ලාමා තේරීම ඉතා ම බරපතල, සංකීර්ණ සහ විචිත්‍රවත් ක්‍රමවේදයක්," උතුරු ඉන්දියාවේ ධර්මශාලා හි දී දලයි ලාමා හමුවී පැය කිහිපයකට පසු කතා කරමින් ආචාර්ය ජින්පා පැහැදිලි කරයි.

"දලයි ලාමාවරුන් එන්නේ වෙනස් වෙනස් පවුල්වලින්, ඔවුන් කිසි ම කෙනක් ළඟ ම ඥාතීන් නොවුණු අය," ආචාර්ය ජින්පා වැඩිදුරටත් පැවසුවේ ය.

මෙම පුද්ගලයා හඳුනා ගැනීමට වසර ගණනක් ගත විය හැකි අතර, 14 වන පුනරුප්පත්තියේදී ඒ සඳහා 4 දෙනෙක් සිටියහ.

ඉහළ තනතුරුවල සිටින භික්ෂූන් වහන්සේලා පෙර දලයි ලාමාගේ මරණයත් සමග ම උපත ලැබූ පිරිමි දරුවෙකු සෙවීමට විවිධාකාරයේ ඉඟි විශාල සංඛ්‍යාවක් යොදාගනිමින් සෙවීම ආරම්භ කරති.

ඇතැම්විට එක් භික්ෂුවකට පිරිමි දරුවාගේ අනන්‍යතාව පිළිබඳ අදහසක් සිහිනයෙන් පෙනිය හැකි අතර, පෙර සිටි දලයි ලාමාගේ අවමංගල්‍ය චිතකයෙන් දුම් නඟින දිශාව පුනරුත්පත්තිය සිදුවිය හැකි ස්ථානය පිළිබඳ ඇඟවීමක් ලෙස ද ගැනෙයි.

මධ්‍යම ටිබෙටයේ ශුද්ධ වූ විලක් ද ඇති අතර එයින් ද දලයි ලාමා අනුප්‍රාප්තිකයා සෙවීම සඳහා ඉඟි ලබා දිය හැකි යැයි සැලකේ.

ටෙන්සින් ග්‍යන්සෝගේ නිවස සහ ගම හඳුනාගෙන ඇත්තේ මෙම විලේ දර්ශනයකින් ය.

පිරිමි දරුවා සිටින ස්ථානය තහවුරු වූ විට එම දරුවාට බොහෝ දේවල් ලබා දෙමින් එම භාණ්ඩවලින් පෙර දලයි ලාමාට අයත් දේවල් මොනවා දැයි පිරිමි දරුවා සාර්ථකව හඳුනා ගන්නේ නම්, එය පුනරුප්පත්තිය පිළිබඳ හොඳ ඇඟවීමක් ලෙස සලකනු ලබයි.

ඉහළ තනතුරුවල සිටින ලාමාවරුන් සෑහීමකට පත්වූ පසු පිරිමි දරුවා තෝරාගෙන වසර ගණනාවක් ආගමික පුහුණුව සහ න්‍යායාත්මක අධ්‍යයනයන් සඳහා යොමු කරයි.

පෙර සිදුකළ ඇතැම් තේරීම් මතභේදාත්මක වී ඇති අතර, ඒ පිළිබඳව ටිබෙටය තුළත් ඉන් පිටතත් සැක සංකා ඇති කොට තිබේ.

"වසර පන්සියයකට පෙර තෂිල්හුන්පෝ ආරාමයේ වැඩ සිටි පළමු දලයි ලාමාගේ පුනරුප්පත්තිය එහි සිටි නායක භික්ෂූන් වහන්සේලා මුලින් පිළිගත්තේ නෑ. පස්වෙනි දලයි ලාමා (ඔහුගේ දිනපොත්වල ඔහු ම පිළිගෙන ඇති පරිදි) හඳුනාගැනීමේ ක්‍රියාවලියේ කොටසක් වෙන පරීක්ෂණවලින් සමත් වෙලා නෑ," මහාචාර්ය මිල්ස් සිහි කරයි.

මෙතෙක් ටිබෙටයෙන් පිටත දලයි ලාමාවරුන් සිට ඇත්තේ දෙදෙනෙකු පමණි: එක් අයෙකු මොංගෝලියාවේ වන අතර අනෙක් දලයි ලාමා ඊසානදින ඉන්දියාවේ තාවාන්ග් ප්‍රදේශයෙනි.

ඔහුට වයස අවුරුදු 90ක් සපිරෙන විට ඔහුගේ ඊළඟ උපත පිළිබඳව වැඩි පැහැදිලි කිරීමක් ලබා දෙන බවට ප්‍රතිඥා ලබා දී තිබිණි.