ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වයස අවුරුදු 97දී ශාස්ත්‍රපති උපාධියක් හිමි කර ගත් ලීලාවතී බීබීසීයට කතා කරයි
- Author, කුමුදු ජයවර්ධන
- Role, බීබීසී සිංහල
"මගේ ජීවිත කාලය පුරා ම ඉගෙන ගන්න ලොකු ආසාවක් තිබුණා. ඉගෙන ගන්න එකට වයස අදාළ වෙන්නෙ නෑ. ඒ නිසා මම දිගට ම ඉගෙන ගත්තා," 97 වන වියේදී පශ්චාත් උපාධියක් හිමි කර ගැනීමට සමත් වූ ලීලාවතී ඇසිලින් ධර්මරත්න බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවා ය.
ඇයට පසුගිය දා පැවති කැලණිය විශ්වවිද්‍යාලයේ 143 වන උපාධි ප්‍රදානෝත්සවයේදී බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් පිරිනැමිණි.
පාසල් විය සහ පළමු රැකියාව
1927 වසරේ නොවැම්බර් මස 30 වැනි දින වාරණ, මිල්ලෑව නම් ගම්මානයෙහි උපන් ලීලාවතී ඇසිලින් ධර්මරත්න, මිල්ලෑව බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබී ය.
ඇය 1946 වසරේදී ඇය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා ය.
"සාමාන්‍ය පෙළ විභාගය කියලා නම වෙනස් කළේ, අපි ඒ විභාගෙ ලියපු අවුරුද්දේ ඉඳලා තමයි. සාමාන්‍ය පෙළ කියලා විභාගයේ නම වෙනස් කළාට පස්සේ අපි තමයි මුලින් ම ඒ විභාගය ලිව්වේ. මිල්ලෑව බාලිකා විද්‍යාලයේ තුන් දෙනෙක් විභාගයෙන් පාස් වුණා," ඇය මතකය අවදි කළා ය.
පසුව, ඇය 1955 වසරේදී වේයන්ගොඩ, රුක්ගහවිල, මීවල මිශ්‍ර පාඨශාලාවේ ඉංග්‍රීසි භාෂා ගුරුවරියක ලෙස සේවය කළා ය.
කෙසේ වෙතත්, නොතාරිස්වරියක වීමට ඇයට දැඩි කැමැත්තක් තිබිණි. ඒ අනුව නොතාරිස් විභාගයට මුහුණ දුන් ඇය එම විභාගය ද සමත්වීමෙන් පසුව ගුරු වෘත්තියෙන් ඉවත් වී නොතාරිස්වරියක ලෙස සේවය කර තිබේ.
"තවමත් මට නොතාරිස් බලතල තියෙනවා. පශ්චාත් උපාධිය කරන්න ඕන නිසා මම ඒ රැකියාවෙන් වසර දෙකකට නිවාඩු ගත්තා."
ශාස්ත්‍රපති උපාධිය
ඔන්ලයින් ඔස්සේ පශ්චාත් උපාධි පාඨමාලාව හැදෑරූ ඇය බෞද්ධ මනෝවිද්‍යාව, බෞද්ධ ආර්ථික දර්ශනය, ධර්ම සංගායනා ආදී ක්ෂේත්‍ර පිළිබඳව අධ්‍යයනය කළා ය.
"මට ශාස්ත්‍රපති උපාධිය කරන්න කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලොකු සහයක් ලැබුණා. ඔවුන් හැම කෙනෙක් ම මාව දිරි ගැන්නුවා. ඒ ගැන මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා."
ඒ අනුව, පසුගිය අගෝස්තු 21 වන දා බණ්ඩාරනායන අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී ඇයට ශාස්ත්‍රපති උපාධිය පිරිනැමිණි.
ලීලාවති ඇසිලින් ධර්මරත්න ප්‍රකාශ කළේ, කුඩා කල සිට ම තමන් අධ්‍යාපනය ලැබීමට දැඩි කැමැත්තක් දැක්වූ බව ය.
"අධ්‍යාපනය ලබන්න තියෙන ධෛර්යය, උත්සහය මට හැම දා ම තිබුණා. ඒක ජීවිත කාලය පුරා ම තිබුණ දෙයක්. මම නිකං ඉන්නෙ නෑ. පොතපත කියවනවා. ලියනවා. පොඩි කාලෙ ඉඳලා ඒ ආශාව තිබුණා."
තුන් මුණුපුරන් 6 දෙනෙක්
නාවලපිටිය, පල්ලේගම ප්‍රදේශයේ පදිංචිව සිටින ලීලාවතී ධර්මරත්න තුන් මුණුපුරන් 6 දෙනෙකු දැකීමට ද වාසනාවන්ත වූවා ය.
ඇයගේ ස්වාමි පුරුෂයා 1970 වසරේදී හදිසි අනතුරකින් මියගොස් ඇති අතර, ඇය දැරියන් සිව් දෙනෙකුගේ මවකි.
එම දැරියන්ගෙන් එක් අයෙකු ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක ලෙස සේවය කරන අතර, සෙසු තිදෙනා ශ්‍රී ලංකාවේ වාසය කරති. එක් අයෙකු වෛද්‍යවරියකි. සෙසු දියණියන් දෙදෙනා ගුරු වෘත්තියේ නියැළෙති.
ඇය මුණුපුරන් 8 දෙනෙකුගේ සහ තුන් මුණුපුරන් 6 දෙනෙකුගේ මිත්තණියකි.
පශ්චාත් උපාධිය ලබා ගත් සිය මව සම්බන්ධයෙන් ඇයගේ දියණියක වන ධම්මිකා ජයලත් තබා තිබූ ෆේස්බුක් සටහනකි, මේ.
උදාර අරමුණක්
වයස අවුරුදු 97ක පසු වුව ද රට වෙනුවෙන් ඉටු කිරීමට ඇයට මෙහෙවරක් තිබේ. ඇය ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළේ, මෙසේ ය.
"මේ ජන සමාජයේ කාන්තාවන් ඉන්නවා බොහොම අධ්‍යාපනය කඩාකප්පල් කර ගත්ත අය, විවාහ ජීවිත කඩාකප්පල් කර ගත්ත අය, ඒ අය මුණ ගැහිලා ඔවුන්ගේ ජීවිත ගොඩනගා ගන්න උපදෙස් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. හොඳ පවුලක් හදා ගන්න උපාධි ගන්න ඕන නෑ. ජනතාවට ආදර්ශයක් දෙන්න පුළුවන් විදිහට ජීවිත ගත කරන්න කියලා මම ඉල්ලනවා. අනුන්ගේ දේවල් හොයන්නෙ නැතුව, තමන් කවුද කියලා අවබෝධ කරගෙන, දරුවන්ට ආදර්ශවත් වෙමින් හොඳින් ජීවත් වෙන්න ඕන. මට ඒක කර ගන්න පුළුවන් වෙයි ද කියල දන්නෙ නෑ. තව අවුරුදු දෙකකින් මගේ වයස අවුරුදු 100ක්."