ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
The Kiosk: 'යැපුම් මානසිකත්වයට තිත තබන' පේරාදෙණිය සරසවි සිසුන්ගේ අවන්හල
විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන අතරතුර අර්ධකාලීන රැකියාවක නිරත වෙමින් තම අධ්‍යාපන කටයුතුවලට මෙන් ම අනෙකුත් අවශ්‍යතා සඳහා ද මුදල් උපයා ගන්නා සිසුන් ලොව සුලබව දක්නට ලැබුණ ද ශ්‍රී ලංකාව තුළ එවැනි පුරුද්දක් එතරම් දක්නට නොලැබෙන බව සමාජ මතය යි.
නමුත් රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ සිසුන් එවැනි අර්ධ කාලීන රැකියා සඳහා දැන් පෙරට ත් වඩා වැඩියෙන් යොමුවන අවස්ථා නැතුවා නොවේ. ඒ සම්බන්ධයෙන් මෑත කාලයේ මාධ්‍ය වාර්තා ද පළ වී තිබෙනු දක්නට ලැබිණි.
බොහෝ විට පෞද්ගලික ආයතනයක අර්ධ කාලීන රැකියාවක නිරත වෙමින්, කුඩා ව්‍යාපාර කටයුත්තක නියැළෙමින් හෝ උපකාරක පන්ති පවත්වමින් මුදල් උපයන විධි අප දුටුව ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයෙන් ඇසෙන්නේ ඊට හාත්පසින් ම වෙනස් කතාවකි.
තම පීඨය තුළ ආර්ථික දුක්ෂරතාවලින් පෙළෙන සිසුන්ට ඔවුන්ගේ වියපැහැදම් කළමනාකරණය කර ගැනීමට උපකාර කිරීමේ අරමුණින් එම පරිශ්‍රය තුළ ම ආරම්භ කළ 'The Kiosk' (ද කියෝස්ක්) අවන්හලේ පළමු සංවත්සරය යෙදී මේ වන විට දින කිහිපයක් ද ගත වී ගොසිණි.
කළමනාකරණ කටයුතුවල සිට ආහාර පිසීම, පිළිගැන්වීම සහ පිරිසිදු කිරීම දක්වා ඇති සියලු කටයුතු කෘෂිකර්ම පීඨයේ සිසුන් විසින් ම සිදු කරනු ලබන "ශිෂ්‍ය කේන්ද්‍රීය ව්‍යාපාරයක්: වන The Kioskහි අලෙවිකරණ ප්‍රධානී මෙන් ම, එහි ආරම්භක සාමාජිකාවක ද වන ඕෂනී වර්ණපුරගේ බීබීසී සිංහල සමග සංවාදයට එක් වූයේ ඒ පිළිබඳ කතා බහක යෙදීමට ය.
ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ම සත්ව විද්‍යාව හදාරන අවසන් වසර ශිෂ්‍යාවකි.
'යැපුම් මානසිකත්වය බිඳ දැමීම එක අරමුණක්...'
"අපේ ෆැකල්ටි එකේ ආර්ථික දුෂ්කරතා තියෙන ළමයින්ට ශිෂ්‍යත්වයක් වගේ දීලා උදව්වක් කරන්න කිව්වා ම, දැන් ඒ වගේ දෙයක් දුන්නොත් එක පාර ඉවරයි නේ, එහෙම නැතුව ළමයින්ට එයාල ම සල්ලි උපයාගෙන ව්‍යවසායකත්වය දියුණු කරන්න, වෘත්තීය හැකියා සංවර්ධනය කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි පටන් ගත්තේ," යැයි ඕෂනී අප හා පැවසුවා ය.
ඇය සඳහන් කළේ, ඇතැම් ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් තුළ ඇති යැපුම් මානසිකත්වය (welfare mentality) බිඳ දැමීම ද එහි එක් අරමුණක් වූ බව ය.
"හැම තිස්සේ ම ළමයෙක් ශිෂ්‍යත්වයක්, ශිෂ්‍යාධාරයක් වගේ බලාපොරොත්තු වෙනවනේ... එහෙම නැතුව එයාලට ම එයාලට තියෙන ෆ්‍රී ටයිම්වල වැඩ කරලා සල්ලි උපයන්න අවස්ථාවක් දෙන එකත් එක අරමුණක්."
The Kiosk ආරම්භ වන්නේ, 2023 වසරේ ජනවාරි මස 9 වන දා ය. එහි වාර්ෂික තිරසර කාර්ය සාධන වාර්තාව අනුව, The Kiosk යනු, 'Hummingbird' නමැති ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම පීඨයේ 92/93 කණ්ඩායම විසින් අරමුදල් සපයා එම පීඨය තුළ ක්‍රියාත්මක කරන ලද පළමු ව්‍යාපෘතිය වේ. ඒ සම්බන්ධ මූලික සාකච්ඡා ඇරඹෙන්නේ 2022 වසරේ ජූනි මාසයේදී ය.
මේ දක්වා ඔවුන් විසින් ඒ සඳහා සිදු කර ඇති මුළු ආයෝජනවල වටිනාකම රුපියල් 6,000,000ක් බව ද එම වාර්තාවේ සඳහන් ය.
2016, 2017, 2018, 2019 සහ 2022 යන වසරවලට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 58 දෙනෙකු මේ දක්වා The Kiosk අවන්හලේ සේවය කර ඇති හෝ තවමත් සේවය කරන බව ද එම වාර්තාව පෙන්වා දෙයි. ගත වුණු මාස 12 තුළ කෝකියන් සිව් දෙනෙකු එහි සේවය කර ඇති අතර දැනට පූර්ණ කාලීනව කෝකියන් තිදෙනෙක් එහි සේවය කරති.
ඕෂනී පවසන්නේ, තම පීඨයේ වැඩි වශයෙන් සිසුවියන් සිටින බැවින් අවන්හල තුළ වැඩි වශයෙන් සේවය කරන්නේ ද සිසුවියන් බව ය.
'සාමාන්‍යයෙන් මාසයකට රු. 15,000ක් විතර හොයන්න පුළුවන්...'
ඕෂනී බීබීසී සිංහල සමග සඳහන් කළේ, මෙම අවන්හලේ සේවය කරන ශිෂ්‍යයෙකු සාමාන්‍යයෙන් මාසයකට රු. 15,000ක පමණ මුදලක් උපයන බව ය.
සතියේ දින 7 පුරාවට ම ක්‍රියාත්මක මෙම අවන්හල විවෘත වන්නේ උදෑසන 10:00ට ය. එතැන් සිට රාත්‍රී 8:00 දක්වා ම එය විවෘතව පවතී. විශ්වවිද්‍යාලයේ සිටින ශිෂ්‍යයින්ට, අධ්‍යයන - අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට මෙන් ම, විශ්වවිද්‍යාලයට පිටින් පැමිණෙන අමුත්තන්නට පවා මෙහි ආහාර රස විඳීමට අවස්ථාව සලසා තිබේ.
විදේශිකයින් පවා තමන් පිළියෙළ කරන ආහාර භුක්ති විඳීමට පැමිණෙන බව ඇය සඳහන් කළේ අභිමානයෙනි.
එසේ වුව ද අවන්හලේ කටයුතු අවසන් වන්නේ රාත්‍රී 9:00ට ය. ඒ දක්වා බෙදුණු සේවා වැඩ මුර 4කට සම්බන්ධ වෙමින් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඔවුන්ට අධ්‍යාපන කටයුතු අතර ලැබෙන විවේක කාලවලදී මෙහි සේවය කරති.
සාමාන්‍යයෙන් අප ආහාරයට ලබා ගන්නා ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, නූඩ්ල්ස් ආදී ප්‍රධාන ආහාර කෝකියන් අතින් පිළියෙළ කෙරුණ ද බන් වර්ග, බර්ගර් වර්ග, හොට්ඩෝග් ආදී සෙසු ආහාර පිළියෙළ කරනු ලබන්නේ සිසුන් විසින් ම ය.
The Kioskහි පිළිගැන්වෙන මිල්ක්ෂේක් වැනි කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදන විශ්වවිද්‍යාල ගොවිපළෙන් ලබා ගන්නා කිරිවලින් පිළියෙළ කිරීම විශේෂත්වයක් බව ඕෂනී පැවසුවා ය.
දවස අවසාන වන්නේ අවන්හල පිරිසිදු කිරීමේ ක්‍රියාවලියෙනි.
ඕෂනී පවසන පරිදි The Kioskහි ආකෘතිය සාමාන්‍ය ව්‍යාපාරයක ආකෘතියකට බෙහෙවින් සමාන ය. ඒ ඔස්සේ සිසු සිසුවියන්ට එහි ඇති Finance, HR, supply, event management සහ marketing යන අංශවලට ද සම්බන්ධ වී කටයුතු කිරීමට අවස්ථාව හිමි වේ. ඇය සඳහන් කළේ, සිසු සිසුවියන් තම සේවා වැඩමුරයට අමතරව මෙම අංශවලට සම්බන්ධ වී වැඩ කිරීම හරහා ද අමතර මුදලක් උපයන බව ය. එම කණ්ඩායම් සඳහා වෙන් වූ කණ්ඩායම් නායකයින් ද සිටින අතර අවන්හල සඳහා සාමාන්‍යධිකාරීවරයෙකු ද සිටියි.
අනෙක් පීඨවල සිසුන්ට ද මෙහි පැමිණ තම දක්ෂතා [ගීත ගායනය] ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සලසා දී ඇති බව ඇය අප හා පැවසුවා ය.
ඇය පෙන්වා දුන්නේ, නව නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීම ආදී කටයුතු ද එහි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ය.
"ළමයින්ට එයාලගේ ෆුඩ් ප්‍රඩක්ට්ස් හදලා ඒවා කොහොම ද මාර්කට් කරන්නේ කියන එකත් ඉස්සරහට පටන් ගන්න හිතාගෙන ඉන්නවා."
ඊට අමතරව රාජකාරියේ නිරතවන සිසුන්ට අදාළ සේවා වැඩමුරයේදී නොමිලේ ආහාර වේලක් ලබා දෙන බව ඇය අප හා පැවසුවා ය. තව ද විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා පමණක් 'බජට් රයිස්' ලෙස හඳුන්වා ඇති ආහාර වේලක් රු. 350ක මුදලකට මිලට ගැනීමට ඉඩ සලසා ඇති බව ද ඇය සඳහන් කළා ය.
'අධ්‍යාපන කටයුතු එක්ක සමබරව පවත්වා ගෙන යන්න පුළුවන්...'
අවන්හලේ රාජකාරි කටයුතු තම අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන අයුරින් සිදු කිරීමට හැකි බව ඕෂනී පැවසුවා ය.
"ප්‍රධාන ම දේ තමයි රෝස්ටර් එක එයාලට කැමති විදිහට තෝරා ගන්න පුළුවන්."
ඇය පෙන්වා දුන්නේ, අවන්හලේ කළමනාකරණ කටයුතුවලට ද සම්බන්ධ වීමට ද අවස්ථාව සැලසෙන බැවින් සිසු සිසුවියන්ට එම අංශ පිළිබඳව ද "වෘත්තීය මට්ටමේ" පුහුණුවක් The Kiosk හරහා ලැබෙන බව ය.
අවන්හලෙන් උපයන ලාබය "සේවය කරන සිසු සිසුවියන්ගේ මාසික පඩි ගෙවීම සඳහා" වැය කෙරෙන බව ඇය පැවසුවා ය.
"ඊට අමතරව අපි තව CSR ප්‍රොජෙක්ට්ස් [ආයතනික සමාජ වගකීම් වැඩසටහන්] කළා. විශ්වවිද්‍යාලයේ Health Centre එකට අපි දහවල් ආහාර ලබා දුන්නා... එතන ඉන්න රෝගීන්ට. ඊට පස්සේ, පිළිකා රෝහලේ වැඩසටහනකට දායක වුණා. අපේ පළවෙනි ඇනිවසරි එක තිබුණා ජනවාරිවල, එතනදිත් පිළිකා රෝහලටයි, පන්සලට දානයක්... ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් පවා කරනවා."
'සම්පූර්ණ බිස්නස් එකක් ක්‍රියාත්මක වෙන්නේ කොහොම ද කියන අත්දැකීම ලැබෙනවා...'
ඕෂනී සඳහන් කළේ, ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳ පූර්ණ දැනුමක් The Kiosk හරහා සිසු සිසුවියන්ට ලැබෙන බව ය. ඒ සඳහා විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් ද "විශාල සහයෝගයක්" හිමිවන බව ඇය පැවසුවා ය.
"දැන් අපේ ඇතුළේ ම ඉන්නවා ළමයි එයාලගේ බිස්නස් පටන් ගත්ත. දැනට කරගෙන යන අයත් ඉන්නවා [කැෆේ එකේ වැඩ කරන ළමයි]," යැයි ඇය බීබීසී සිංහල සමග පැවසුවේ තම අනාගත අරමුණ පිළිබඳව ද සඳහන් කරමිනි.
"මගෙත් බිස්නස් එකක් කරන අරමුණක් තියෙනවා. කලින් ඉඳලා ඒ අදහස් තිබ්බා. හැබැයි කැෆේ එකේ වැඩ කරනකොට ඒක ඇත්තට ම කරන්න පුළුවන් දෙයක් කියලා තහවුරු කර ගන්න පුළුවන් වුණා අත්දැකීම් එක්ක."
අවන්හල තුළ සනීපාරක්ෂාව උපරිම මට්ටමින් පවත්වාගෙන යාමට තමන් ඇතුළු කාර්ය මණ්ඩලය සැමවිට ම උත්සහ ගන්නා බව ද ඇය පැවසුවා ය. ඊට අමතරව ආහාර නාස්තිය අවම කර ගැනීමට උපරිම උත්සහ කරන බව ඇය සඳහන් කළා ය.
"ෆුඩ් වේස්ට් එක පොඩ්ඩක් හරි තියෙනවා නේ. ඒක අපේ ෆාම් එකට ම දීලා වේස්ට් මැනේජ්මන්ට් කරනවා."
විශ්වවිද්‍යාල මගින් පිරිනමන උපාධි පාඨමාලාව ඔස්සේ විවිධ විෂයයන් පිළිබඳ දැනුම තමන් වෙත ලබා දෙන බව ත් The Kiosk හරහා එම න්‍යායාත්මක දැනුම ප්‍රායෝගිකව අත්හදා බැලීමට අවස්ථාව උදාවන බව ත් ඕෂනී සඳහන් කළේ, තම අදහස්වලට තවත් කරුණක් එක් කරමිනි.
ඇය බීබීසී සිංහල සමග වැඩිදුරටත් මෙසේ පැවසුවා ය.
"[මේ හරහා සිදුවන] ආකල්ප වෙනසත් එක්ක යැපුම් මානසිකත්වය නැතුව තමන්ට ම තමන්ගේ දෙයක් කරලා වෙනසක් කරන්න... ඒ කියන්නේ අභියෝග කොහොම ද අවස්ථා බවට පත් කර ගෙන කළමනාකරණය කර ගන්නේ කියන හැමදේ ම කර ගන්න පුළුවන්."
'කැම්පස් ළමයින්ගේ තියෙන අධිමානය නැති කරන්නත් මේක හොඳ දෙයක් කියලා හිතුවා...'- ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් එස්. කොඩිතුවක්කු
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් එස්. කොඩිතුවක්කු ද The Kiosk අවන්හලේ මූලාරම්භය පිළිබඳව සඳහන් කරමින් බීබීසී සිංහල සමග පැවසුවේ, දරුවන්ට "නිකන් සල්ලි දෙනවා වෙනුවට වැඩ කරලා අභිමානයක් එක්ක සල්ලි ගන්න පුළුවන් ක්‍රමයක් හදමු," යන 92/93 කණ්ඩායමේ යෝජනාව මත එය බිහි වූ බව ය.
"කොවිඩ් කාලෙට පස්සේ ආර්ථික අර්බුදයත් එක්ක එක පාරට ම කෑම මිල වැඩි වුණා, ළමයින්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වුණා නේ. ඊට පස්සේ අපි ලෝකේ වටේ ම ඉන්න අපෙන් ඉගෙන ගත්ත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ආධාර ඉල්ලුවා. දැනටත් දෙනවා ඒ ගොල්ලන්. ඊට පස්සේ එක කණ්ඩායමක් කිව්වා අපි මෙහෙම දෙයක් කරමු ද කියලා."
මහාචාර්යවරයා සඳහන් කළේ, ආහාර ලබා දීම හෝ මුදල් උපයා ගැනීමට අවස්ථාව සලසා දීම පමණක් නොව, "කැම්පස්වල ගොඩක් ළමයින්ගේ තියෙනවනේ අධිමානයක් එළියට යනකොට. ඕක නැති කරන්නත් අපි හිතුවා මේක හොඳ දෙයක් කියලා. මොක ද මේ අය හැම දෙයක් ම කරනවා. කුස්සියේ ඉඳලා, අතුගාන එක, මේස පිරිසිදු කරන එක පවා ඒ අය තමයි. ටීම්ස් හදා ගෙන කරන්නේ," ආදී ආකල්පමය වෙනසක් ඇති කිරීමේ අරමුණු ද ඊට මුල් වූ බව ය.
මෙම කාර්යය සඳහා එම සිසු සිසුවියන්ට මග පෙන්වමින් පූර්ණ සහය විශ්වවිද්‍යාලයෙන් ඔවුන්ට ලබා දෙන අතර, ඔවුන් සඳහා සහතික පත්‍රයක් ද පිරිනැමීමට කටයුතු කර බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් එස්. කොඩිතුවක්කු පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, එහි සිදුවන සියලු කාර්යයන් තමන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් අධීක්ෂණය කරනු ලබන බව ය.
"අපි ඒක කරන්න යන්නේ නෑ. ඒ අයට තමයි කරන්න දෙන්නේ. වැරද්දක් උණොත් කොහොම ද ඊළඟ පාර ඒ වගේ දෙයක් නොවෙන්නේ කියන මග පෙන්වීම තමයි දෙන්නේ. ළමයින් ම තේරුම් අරගෙන ළමයින් ම තීරණ අරගෙන පාලනය කරන එකක් තමයි ඔතන තියෙන්නේ. අපි පැත්තක ඉඳලා තමයි සහය දෙන්නේ."
ඔහු අවධාරණය කළේ, මේ හරහා දරුවන්ට ලැබෙන ආකල්පමය වෙනස ඉතා වැදගත් බව ය.
'ව්‍යවසායකත්වය දියුණු වෙනවා...'
එමෙන් ම, ප්‍රධාන පෙළේ හෝටල් සම්බන්ධ කර ගනිමින් මෙම කාර්ය සඳහා අවශ්‍ය පුහුණුවක් ලබා දීම ද සිදු කරන බව ඔහු පැවසීය.
"ළමයින්ට තියෙන හැකියාවන් ප්‍රදර්ශනය කරන්නත් ඒවා ටෙස්ට් කරන්නත් කැම්පස්වල අවස්ථාවක් නෑනේ, පොතට ම නේ මේ අය හුරු වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ දෙයක් වෙනකොට අර පීඩනය දරා ගන්නත් ඒ අය හුරු වෙනවා. මොක ද ඉගෙන ගැනීම පමණක් නෙවෙයි මේ වගේ දෙයක් කරලා මේ වගකීම් දරා ගෙන ඉඳලා ඒ වගේ දේකින් මට හිතෙනවා සම්පූර්ණ හොඳ උපාධිධාරියෙක් හදන්න පුළුවන් කියලා."
මහාචාර්යවරයා සඳහන් කළේ, ඇතැම් දරුවන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමග දෙමව්පියන්ගෙන් මුදල් ඉල්ලීම පවා නතර කර ඇති බව ය. යැපුම් මානසිකත්වය නැති කිරීමට මෙය ඉවහල් වන බව ඔහු පෙන්වා දුන්නේ ය.
"දැනට මෙනූ අයිටම්ස් ගොඩක් දෙන්න පුළුවන් කමක් නැහැ. මොක ද කළමනාකරණය කර ගැනීමේ අපහසුතාවක් තියෙනවා නේ. නමුත් මේ දරුවන් අලුත් ආහාර වර්ග මෙනූ එකට එකතු කරන්න උත්සහ කරනවා. ඒ වගේ දේවල් එක්ක බිස්නස් එකක් කරන එකත්, ව්‍යවසායකත්වය දියුණු වෙන එකත් මෙතනින් වෙනවා කියලා මම හිතනවා," යැයි ඔහු වැඩිදුරටත් බීබීසී සිංහල සමග පැවසීය.
'සිසුන් 100ගෙන් ව්‍යවසායකයන් බවට පත් වන්නේ 1 කෙනෙක් පමණයි...' - මහාචාර්ය රුක්මාල් වීරසිංහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යයනාංශයේ මහාචාර්ය රුක්මාල් වීරසිංහ බීබීසී සිංහල සමග අදහස් දක්වමින් සඳහන් කළේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මෙම වැඩපිළිවෙළ අගය කළ යුතු බව ය.
ඔහු සඳහන් කළේ, 2011 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යයනාංශය ද එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට උත්සහ කළ බව ය. වසර එකහමාරකට ආසන්න කාලයක් එහි සිසුන් සිය පවත්වා ගෙන ගිය බව ඔහු සඳහන් කළේ ය.
දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ලොව විශ්වවිද්‍යාල තුළ එවැනි ආකෘති ක්‍රියාත්මක වන අවස්ථා බොහොමයක් දක්නට ඇති බව ද ඔහු පැවසීය.
"ඒ වගේ විශ්වවිද්‍යාලයටකට තමන්ගේ තියෙන ඉඩ පහසුකම්, වෙළෙඳපොළ අවස්ථා ටික ළමයින්ට මූලිකත්වය දීලා දෙන්න පුළුවන් නම් හොඳයි. එතකොට අපි ලොකු ලාබයක් ගත්තේ නැති වුණත් ඒකෙන් ලැබෙන අත්දැකීම වටිනවා. බිස්නස් එකක් පටන් ගන්න. ඒක නිසා ඒ වගේ අවස්ථා අනෙකුත් ආයතන තුළත් හැදෙනවා නම් හොඳයි. පාසල්වල උණත් අපි දකිනවා ව්‍යවසායකත්ව කව හදාගෙන ඉන්නවා. ඒවා හරහාත් ළමයින්ට බිස්නස් මොඩල්ස් හදන්න සමහර ගුරුවරු උදව් කරනවා."
මහාචාර්ය රුක්මාල් වීරසිංහ පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළ සිටින සිසු සිසුවියන්ගෙන් ව්‍යවසායකයන් බවට පත් වන්නේ 1%ක් පමණක් බව ය. ලොව ඇතැම් විශ්වවිද්‍යාලවල එම අගය 10%ත් 20%ත් අතර අගයක් ගන්නා බව ඔහු පෙන්වා දුන්නේ ය.
"ඒ අතින් ගත්තා ම අපේ රටේ සෑහෙන අඩු ව්‍යවසායකයෝ බිහිවෙන අනුපාතයක් තියෙන නිසා යම් යම් උපාය ක්‍රම තෝරා ගන්න වෙනවා මේ අයව දිරිමත් කරන්න. මේක එක උපාය ක්‍රමයක්."
කෙසේ වෙතත්, එවැනි ව්‍යාපාරවක තිරසරභාවය ගැන ගැටලුවක් ඇති බව ඔහු සඳහන් කළේ ය. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ, මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් අතර ඇති අඩු ක්‍රය ශක්තිය ය.
"විශ්වවිද්‍යාලයක් ඇතුළේ කරලා ලාභ ප්‍රතිශතයක් තියා ගන්න එක ටිකක් අමාරු වෙනවා. ඒක අභියෝගයක්. ඊට පස්සේ ළමයින්ගේ ආකල්පවලත් තියෙනවනේ ප්‍රශ්නයක්. කරන කණ්ඩායම දිරිමත් කරන්න සහ ඒ අයගේ ධෛර්යය තවදුරටත් වැඩි කරන්න විශ්වවිද්‍යාලයේ අනෙක් ප්‍රජාවගේත් වගකීමක් වෙනවා. අලුත් ව්‍යාපාර නේ, අඩු පාඩු තියෙන්න පුළුවන්, ඒවා අපිට දරා ගන්න වෙනවා. අන්න ඒ වගේ පොඩි සංස්කෘතියකුත් හැදෙන්න ඕනේ. සමාජ මාධ්‍ය මගින් මේවා ප්‍රචලිත කරන එක හොඳයි."
අනාගතයේදී කිහිප දෙනෙකු හෝ මේ හරහා ව්‍යවසායකයන් බවට පත් වීම වටිනා කාරණයක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
'අනාගතයේදී රජයේ රස්සා ගැන නම් බලාපොරොත්තු තියා ගන්න එපා...'
මහාචාර්ය රුක්මාල් වීරසිංහ අවධාරණය කළේ, තරුණ තරුණියන් අනාගතයේදී රජයේ රැකියා පිළිබඳව බලාපොරොත්තු තබා නොගත යුතු බව ය.
"අනාගතයේදී නම් රජයේ රස්සා පිළිබඳව නම් බලාපොරොත්තුවක් තියාගන්න එපා කියන එක තමයි මම කියන්නේ. පෞද්ගලික අංශයේ උණත් සෑහෙන දුරට තමන්ගේ වියදම් පාලනය කරන්න අවශ්‍යයි. ඒ නිසා ඒ ගොල්ලෝ වුණත් ඉස්සර තරම් රැකියා මිනිස්සුන්ට විසි කරන එකක් නැහැ. ඒක නිසා රැකියාවක් හොයා ගැනීම ඉතාමත් ම අභියෝගාත්මක දෙයක් වෙනවා අනාගතයේදී."
ඒ සඳහා ඇති "හොඳ ම විකල්පය" අනුන් මත යැපීමකින් තොරව ස්වාධීනව ජීවත් වීමට අඩිතාලම දමා ගැනීම බව ඔහු පෙන්වා දුන්නේ ය.
"අපි ඉස්සර වගේ බලන් ඉන්න නරකයි, මම උපාධිය ඉවර කරලා මොකක් හරි කරලා හම්බ කරන්න. අනිවාර්යයෙන් මේ විශ්වවිද්‍යාලයට එනකොට ම තමන් අනුන් මත යැපෙන්නේ නැතුව තමන් තමන්ගේ ආදායම සරි කර ගන්න ශක්තිමත් වෙන්න පුළුවන් නම්, හැම දරුවෙකුට ම හොඳයි. ඒකට විශ්වවිද්‍යාලයකින් යම් ආකාරයක සහයෝගයක් ලැබුණා හෝ නැතා හැම දරුවා ම හිතට ගන්න ඕනේ දේ තමයි තමන්ට තමන්ගේ ආදායමෙන් මිසක් අනාගතයේදී කාගෙන්වත් යැපිලා ජීවත් වෙන්න බෑ කියන එක. දෙමව්පියෝ මත වුණත් යැපෙන්න නරකයි."
ශ්‍රී ලංකාව තුළ මුදල් අය කිරීමකින් තොරව නොමිලේ අධ්‍යාපනය ලබා දෙන බැවින් එහි උපරිම වාසිය රැගෙන තවදුරටත් දෙමව්පියන්ට හෝ රටට බරක් නොවී දරුවන් තම ස්වාධීනත්වය තමන් විශ්වවිද්‍යාල තුළ ගත කරන සිව් වසර තුළ සකසා ගැනීම සිදු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.
"අවුරුදු 4 ඉවර වෙලා එළියට යනකොට රස්සාවක් අනුන්ගෙන් ඉල්ලන්නේ නැති වෙන්න තමන් අනිත් අයටත් රස්සා දෙන්න පුළුවන් තත්ත්වෙකට හැදෙන්න ඕනේ. එතකොට තමයි ඒ දැනුම සහ කුසලතා ලබා ගත්ත කණ්ඩායම රටට සේවයක් කළා වෙන්නේ."