ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ ආහාර මිල පාලනය කරන්න 'සක්කරයටවත්' බැරි ද?
කොළඹ පමණක් නොව රටේ ප්‍රධාන නගර ආශ්‍රිතව ජීවත් වන බොහෝ දෙනෙකු තම දෛනික ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට යොමු වන්නේ ‘කඩ කෑම’ වෙත ය.
ඒ, බොහෝ විට ඔවුන්ට තම ආහාර සකසා ගැනීමට පහසුකම් නොමැති වීම හේතුවෙනි.
එබැවින් තම මාසික වේතනයෙන් වැඩි කොටසක් ඔවුන්ට ආහාර සඳහා වැය කිරීමට සිදුව ඇත. එම පිරිවැය සාමාන්‍යයෙන් නිවසක ආහාර වේලක් සකස් කර ගැනීමේ පිරිවැයට සාපේක්ෂව ඉහළ බව ඔවුන්ගේ අදහසයි.
නමුත් වසර කිහිපයක සිට රට තුළ නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තම ආහාර අවශ්‍යතාව සඳහා වැය කරන මුදල දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ඔවුහු පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ, පාරිභෝගිකයින් ලෙස වැඩි මුදලක් වැය කළ ද ගුණාත්මක සහ ප්‍රමාණවත් ආහාර වේලක් සපයා ගැනීම අසීරු කාර්යයක් වී ඇති බව ය.
රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ අරමුණින් රජය විවිධ පියවර ගත්ත ද ඔවුන්ගේ ජීවන අර්බුදය සඳහා මෙතෙක් දැනෙන පිළිතුරක් ලැබී නොමැති බවට ඔවුහු මැසිවිලි නගති.
ඔවුන් පෙන්වා දෙන්නේ, ‘කඩ කෑම’ අධික මිල ගණන් යටතේ අලෙවි වීම හේතුවෙන් ‘මූලික අවශ්‍යතාවක් ලෙස ආහාර ගැනීමට ඇති තම අයිතිය පවා අහිමි වී ගොස් ඇති’ බව ය.
ඒ අනුව, හෝටල් සහ අවන්හල් මගින් අලෙවි කරන, පොදුවේ ‘කඩ කෑම’ ලෙස හඳුන්වන ආහාරවල මිල නියාමනය කිරීමට බලධාරීන්ට නොහැකි ද යන්න පිළිබඳව බීබීසී සිංහල සොයා බැලීමක් කළේ ය.
‘උද්ධමනය ඉහළ ගියා කියලා විධිමත් අංශයේ රැකියා කරන්නන්ගේ වැටුප් වැඩිවීමක් වුණේ නැහැ’ - මහාචාර්ය ගීතානි බුලන්කුලම
රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ගීතානි බුලන්කුලම බීබීසී සිංහල සමග අදහස් දක්වමින් පැවසුවේ, උද්ධමනය ඉහළ ගිය ද ඊට සමගාමීව විධිමත් අංශයේ රැකියා කරන්නන්ගේ වැටුප්වල වැඩිවීමක් සිදු නොවුණු බව ය.
2019 වසරේදී උද්ධමන අනුපාතය පැවතියේ 4% - 5% අතර අගයක නමුත් එය 2022 වසර වන විට, 68%ක් දක්වා ඉහළ ගිය බව ඇය පෙන්වා දුන්නා ය.
කෙසේ වෙතත්, ඊට සාපේක්ෂව අවිධිමත් අංශයේ රැකියා කරන්නන් තම වැටුප් යම් ප්‍රමාණයකට වැඩි කරගත් බව ඇය පැවසුවා ය.
‘හෝටල් ක්ෂේත්‍රය ගත්තා ම අවිධිමත් අංශයේ වැඩ කරන අය නේ ඉන්නේ. එතකොට ඒ අය අය කරපු ගාණත් වැඩි වුණා. ඒකයි, ආහාර හදන්න අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ආදිය ඉහළ ගියා ම, කලින් තිබුණ ගාණට බත් එකක් දෙන්න බැරි වෙනවා,’ ඇය පැහැදිලි කළා ය.
බීබීසී සිංහල සමග අදහස් දැක්වූ පාරිභෝගිකයින් කිහිප දෙනෙකු ම චෝදනා කළේ, ඇතැම් කඩවල අඩු මිලට ආහාර අලෙවි කෙරුණ ද ඒවායේ ගුණාත්මකභාවය අතිශයින් පහළ බව ය.
ඒ හේතුවෙන් තම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව විවිධ රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමට පවා සිදු වූ බව වාරියපොළ සිට පැමිණ වසර කිහිපයක් පුරා කොළඹ නගරයේ රැකියාවක නිරත වන එක් තරුණියක් අප හා පැවසුවා ය.
‘මට කැල්සියම් ඌණතාවක් ආවා. කඩ කෑමවලින් හරියට පෝෂණ අවශ්‍යතාව සපුරා ගන්න බැහැ. ගුණාත්මක බවක් නැහැ,’ ඇය සඳහන් කළා ය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, මහාචාර්ය ගීතානි බුලන්කුලම මෙසේ පැවසුවාය.
‘කොළඹ අවට ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉන්නවා. බෝඩ් වෙලා ඉන්න පාසල් දරුවන්. රැකියා කරන අය. ඒ අය බහුතරයක් පිටපළාත්වලින් ඇවිල්ලා ආහාර ද්‍රව්‍ය මිල දී ගන්නේ. කිසි ම විකල්පයක් නැතිකමට ගන්නවා.’
‘හාල් මැස්සෝ, බිත්තර, පරිප්පු, පොල් සම්බෝල එක්ක රු. 200කට කෑම එකක් දෙන්න පුළුවන්’ - අසේල සම්පත්
ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් පසුගිය දා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, සාමාන්‍ය ආහාර වේලක්, එනම් බත් සමග හාල් මැස්සන්, බිත්තර, පරිප්පු සහ පොල් සම්බෝල රු. 200ක් වැනි මිලකට අලෙවි කළ හැකි බව ය.
ඔහු ආහාර වේලක් පිළියෙළ කරන ආකාරය මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කරමින්, ඒ සඳහා වන පිරිවැය පිළිබඳව ද සඳහන් කර මේ බව පෙන්වා දුන්නේ ය.
‘රුපියල් 350කට ආසන්න මුදලකට බිත්තර කොත්තුවක් දෙන්න පුළුවන්. ගෑස් මිල එක්ක ම. නැත්නම් රු. 300ක හෝ රු. 280ක මිලක් යන්නේ. මේ කොත්තුව බිත්තර දෙකක් දාලා හදලත්. නමුත් අද එළවළු කොත්තුවක් අලෙවි වෙන්නේ රු. 500කට. [ෆ්‍රයිඩ්] රයිස් එකක් ගත්තත් අද බත් ඇට 350කට කැරට් කෑලි දෙකයි තියෙන්නේ,’ ඔහු පැවසුවේ උදාහරණ ද මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරමිනි.
මහාචාර්ය ගීතානි බුලන්කුලම ද පෙන්වා දුන්නේ, සාමාන්‍ය ආහාර වේලක් රුපියල් 300ක් වැනි උපරිම මිලකට අලෙවි කළ හැකි බව ය.
කෙසේ වෙතත්, වෙළෙන්දන්ගේ ඇති නොසැලකිලිමත්භාවය හේතුවෙන් එවැනි ආහාර වේලක් පාරිභෝගිකයින්ට භුක්ති විඳීමේ අවස්ථාව අහිමි වී ගොස් ඇති බව ඇය අවධාරණය කළා ය.
‘මෙතන තියෙන්න නොසැලකිල්ල. සැලකිල්ලෙන් උයන්නේ නැහැ.’
‘ඔන්ලයින් යෙදුම් හරහා පාරිභෝගිකයින් සූරා කනවා…’
ආහාර ඇනවුම් කිරීම සඳහා ඇති ඔන්ලයින් යෙදුම් ක්‍රියාත්මක කරන සමාගම් ඇතැම් අවස්ථාවලදී තම සේවා සඳහා අධික මිලක් අය කරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.
ඔවුන් පෙන්වා දෙන්නේ, සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ අලෙවි වන ආහාරවල මිලට වඩා වැඩි මිලකට අදාළ යෙදුම් හරහා එම ආහාරය අලෙවි කෙරෙන බව ය.
ඒ සඳහා පසුව සේවා ගාස්තු, බදු සහ ප්‍රවාහන ගාස්තු ද එකතු වීමෙන් අවසානයේ අදාළ ආහාරයේ සැබෑ වටිනාකමටත් වඩා වැඩි මිලක් පාරිභෝගිකයින්ට ගෙවීමට සිදුවන බව ඔවුහු පැවසූහ.
කෙසේ වෙතත්, කොළඹ වැනි නගර ආශ්‍රිතව ජීවත් වන, කාර්යබහුල දිවි පෙවෙතක් ගත කරන බොහෝ පිරිස් සඳහා ඒ හැර වෙනත් විකල්පයක් නොමැති වීම හේතුවෙන් එවැනි ඔන්ලයින් යෙදුම් මත යැපෙන බව ගාල්ල ප්‍රදේශයේ සිට කොළඹ රැකියාවක නිරතවන තවත් අයෙක් බීබීසී සිංහල සමග පැවසීය.
‘සමහර වෙලාවට කඩේ තියෙන ගාණට වඩා වැඩි ගාණකට තමයි ඇප් එකේ මිල දාල තියෙන්නේ. ඒ ගාණට එකතු වෙනවා, සර්විස් ෆී එකක්, ටැක්ස් එකක්, ඩිලිවරි ෆී එකක්. ඔය ඔක්කොම ආවට පස්සේ අර කෑම එකේ ඇත්ත ගාණට වඩා ලොකු ගාණක් අපි ගෙවලා. ඒක ඒ තරම් වටින්නෙත් නැහැ.
පොඩි ගාණකින් වැඩි උණාට කමක් නැහැ. මොක ද ඒක ව්‍යාපාරයක්. ඒ අයත් ලාභ ලබන්න ඕනේ. හැබැයි අසාධාරණ විධියට මෙහෙම කරන එකෙන් වෙන්නේ පාරිභෝගිකයින් සූරා කෑමක්,’ ඔහු සඳහන් කළේ කනස්සල්ලෙනි.
මෙවැනි ඔන්ලයින් සේවා රජය මැදිහත් වී නියාමනය කළ යුතු බව ඔහු අවධාරණය කළේ ය.
‘මෙතන තියෙන ප්‍රශ්නේ, පාලනයක් නැහැ…’
ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ගීතානි බුලන්කුලම පෙන්වා දුන්නේ, ආහාර මිල ගණන් පාලනය කිරීම සඳහා ක්‍රමවේදයක් නොමැති බව ය.
ආහාර යනු, කෙටි කාලීන පාරිභෝජන භාණ්ඩ බව ත් එවැනි භාණ්ඩවල මිල නියාමනය කිරීම අසීරු බව ත් ඇය පැවසුවා ය.
‘බත් පාර්සලයක් විකිණෙන්නේ මහා පරිමාණ හෝටලයක ද මධ්‍යම පරිමාණ හෝටලයක ද සුළු පරිමාණ හෝටලයක ද කියන එක නියාමනයක් කරන්න බැහැ. එතකොට ඒ අය එදිනෙදා යන මිල ගණන්, එහෙමත් නැත්නම් විචල්‍ය භාණ්ඩ හා සේවාවලට ගෙවන මිල තීරණය කරලා, ඒකට ලාභයකුත් එකතු කරලා, විවිධ විධියට මේ කෑමවල මිල නියම කරනවා,’ ඇය පැහැදිලි කළා ය.
ආහාරවල ඇති ගුණාත්මකභාවය අනුව ද මිල වෙනස් වන බව ඇය පැවසුවාය.
‘පෙට්ටි කඩේක විකුණන රෝල් එකක මිලයි සන්නාමයක් යටතේ විකුණන කඩේක මිලයි වෙනස්. එතකොට රෝල් එකක් විකුණන්න ඕනේ මේ මිලට කියල කියන්න බැහැ. මොක ද ඒකට දාලා තියෙන දේවල්වල ගුණාත්මකභාවය කාටවත් තහවුරු කරන්න බැහැ. සනීපාරික්ෂිත (food hygene) බව කියන එක, ඔතන තත්ත්ව දෙකක් නේ. එතකොට ලොකු වෙනස්කම් යටතේ කෑම විකිණෙනවා.’
කෙසේ වෙතත්, ආහාර අලෙවි කරන ඇතැම් කුඩා වෙළෙඳසල් ඉතා හොඳ තත්ත්වයෙන් යුක්ත ආහාර ලබා දෙන බව ඇය පැවසුවේ, ඔවුන්ගේ එම ප්‍රයත්නය පැසසුමට ද ලක් කරමිනි.
රජයට මිල නියාමනය කරන්න බැරි ද?
ආහාර මිල යම් නියාමනයකට නතු කළ හැකි ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහගෙන් විමසීමක් කළේ ය.
එහිදී ඔහු පෙන්වා දුන්නේ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත අනුව සහ පවතින විවෘත ආර්ථික ක්‍රමය යටතේ එවැනි මිල පාලනයක් ප්‍රයෝගිකව කළ නොහැකි බව ය.
මිල පාලනයක් කිරීම සඳහා ආහාර පාර්සලයක අඩංගු විය යුතු දෑ නියම කළ යුතු බවද ඔහු පැවසීය.
‘උදාහරණයක් විධියට බත් පාර්සල් එකක, පරිප්පු තියෙන්න ඕනේ, අල බැදලා තියෙන්න ඕනේ, චිකන් කරි එකක් තියෙන්න ඕනේ කියලා අපිට කියන්න බැහැනේ. එතකොට අද තියෙන භාණ්ඩවල මිලත් එක්ක කෑම එකේ මිල වැඩි වෙනවා,’ ඔහු සඳහන් කළේ ය.
එවැනි මිල නියම කිරීමක් කළහොත් සමාජයේ අඩු ආදායම්ලාභී පුද්ගලයින් ඉන් අසාධාරණයට ලක් විය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
ඔහු පෙන්වා දුන්නේ, ආහාර පාර්සලයක් සඳහා මිලක් නියම කිරීම ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රමය තුළ හාස්‍යයට ලක්වන කාරණයක් විය හැකි බව ය.
පාර්ලිමේන්තුවේදී ද උපදේශක කාරක සභාවකදී මන්ත්‍රීවරයෙකු මේ සම්බන්ධයෙන් යෝජනා කළ බව ඔහු පැවසීය. නමුත් එවැන්නක් ක්‍රියාත්මක කිරීම දුෂ්කර බව ඔහු යළිත් සඳහන් කළේ ය.
නමුත් හෝටල් ශ්‍රේණිගත කිරීම හරහා ඒවාට ගැළපෙන ලෙස මිලක් නියම කිරීමේ හැකියාවක් පවතින බව මහාචාර්ය ගීතානි බුලන්කුලම පැවසුවා ය.
මේ අතර, ආහාර ඇනවුම් කිරීම සඳහා ඇති ඔන්ලයින් යෙදුම් නියාමනය කළ නොහැකි ද? යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල ඔහුගෙන් විමසීමක් කළේ ය.
ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, එවැනි ව්‍යාපාර සම්බන්ධයෙන් පසුගිය දිනවල සාකච්ඡා කළ බව ය.
"මම හිතන්නේ මේ ප්‍රශ්නත් එක්ක ඉස්සරහට [නියාමනයක්] වෙයි," ඔහු පැවසීය.
‘පාරිභෝගිකයෝ තමයි තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න ඕනේ…’
රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ගීතානි බුලන්කුලම යෝජනා කළේ, පාරිභෝගිකයින් තම අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බව ය.
රජයට තනිව ආහාරවල මිල හෝ ගුණාත්මකභාවය නියාමනය කිරීම සඳහා මැදිහත් විය නොහැකි බව ත් ඒ සඳහා බලපෑම් කළ හැකි කණ්ඩායම් ඉදිරිපත් විය යුතු බව ත් ඇය පෙන්වා දුන්නා ය.
‘බලපෑම් කළ හැකි කණ්ඩායම් ඉදිරිපත් වෙන්න ඕනේ. රජයට වඩා වැදගත් වෙන්නේ ඒ අය. නිතර නිතර ඒ බල කිරීම කරන්න ඕනේ. ඒ බල කිරීම මත රජයත් යම් කිසි මැදිහත් වීමක් කරනවා. මේ භාණ්ඩ පරිභෝජනය කරන පාරිභෝගිකයෝ තමයි තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න ඕනේ,’ ඇය අවධාරණය කළා ය.
වෙළෙඳුන් පරණ ආහාර ද්‍රව්‍ය නැවත නැවත භාවිත කරමින් පාරිභෝගිකයින් නොමග යවන බව ත් ආහාර අලෙවි කරන ස්ථානවල සනීපාරක්ෂාව සුරැකෙනවා ද යන්න පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය නිලධාරීන් මැදිහත් විය යුතු බව ත් ඇය පැවසුවා ය.
‘හෝටල් නම් යම් නියාමනයක් කරන්න ම ඕනේ කියලා මම හිතනවා. මොක ද කොළඹ තියෙන සමහර කඩවල්වලින් නොදන්න මිනිහෙක් ඇවිල්ලා කෑවොත් ඇරෙන්න, දන්න මිනිහෙක් කන්නේ නැහැ. ඔය හෝටල්වල ඔක්කොගෙම මීයෝ. කෑම උඩින් මීයෝ පැන පැන දුවනවා. ඒවා ගැන ලොකු වගකීමක් තියෙනවා සෞඛ්‍ය අංශයට. මීයෝ ඉන්නවා නම් යම් කිසි රාජ්‍ය වැඩපිළිවෙළක් යටතේ හරි ඔය මීයෝ වඳ කිරීම කියන එක කරන්න ඕනේ,’ මහාචාර්යවරිය යෝජනා කළා ය.
කෙසේ වෙතත්, ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම පාරිභෝගිකයාගේ තේරීමක් බව ඇය පෙන්වා දුන්නා ය.
‘පාරිභෝගිකයා තමයි තමන්ගේ මිල දී ගැනීමේ හැකියාව මත කොතනින් ද තමන්ගේ ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කර ගන්නේ කියන එක තීරණය කරන්න ඕනේ. කාටවත් පුළුවන් කමක් නැහැනේ රටක ඉන්න මිනිස්සුන්ගේ ශුභසාධන අවශ්‍යතාවක් විදිහට ව්‍යාපාර කරන්න. හැමෝම ලාභයක් බලාපොරොත්තුවෙන් කරන්නේ,’ ඇය වැඩිදුරටත් පැවසුවා ය.
නමුත් එක් පාරිභෝගිකයෙක් කලකිරුණු ස්වරයකින් බීබීසී සිංහල සමග මෙසේ පැවසීය.
‘විධායක ජනාධිපති කෙනෙක්ට කරන්න බැරි ගෑනියෙක් මිනිහෙක් කරන එක විතරයි කියලා තමයි කිව්වේ. හැබැයි මිනිස්සු කන කෑම එකක මිලවත් පාලනය කරගන්න ඒ අයට බැහැ. මට නම් හිතෙන්නේ, ශ්‍රී ලංකාවේ ආහාර මිල පාලනය කරන්න සක්කරයටවත් බැහැ.’