ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මිථ්‍යාවෙන් ඔබ්බට: යටිපතුලට රතු ලූනු තැබීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව සුව කළ හැකි ද?
- Author, එස්තර් කහුම්බි
- Role, ගෝලීය සෞඛ්‍ය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
"ඔයා සෙම්ප්‍රතිශ්‍යාව හැදිලා අමාරුවෙන් නම් ඉන්නේ, ඔයා කරන්න ඕනේ ලූනු පෙති ටිකක් මේස් එකක් ඇතුළට දාලා රෑ එළිවෙනකන් ඒක දාගෙන ඉන්න එක විතර යි,'' රතු ලූනු ගෙඩියක් අල්ලාගෙන සිටින කාන්තාවක් ඇගේ දියණියගේ රෝග ලක්ෂණ විස්තර කරන අතරතුර පවසයි.
මෙය සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් මතු වන, අමු ලූනු සතුව ඇතැයි පැවසෙන සුව කිරීමේ ගුණ පිළිබඳව කෙරෙන බොහෝ ප්‍රකාශ අතරින් එකක් පමණි.
එය "අධික උණ පාලනය කිරීම", "විෂබීජ සහ බැක්ටීරියා විනාශ කිරීම", "විෂ ද්‍රව්‍ය උරා ගැනීම" සහ "රුධිරය පිරිසිදු කිරීම" පවා සිදු කරන බවට පවසන ඇතැම් අය මෙම ප්‍රතිකාරය රෝගී වී සිටින දරුවන්ගේ දෙමව්පියන්ට නිර්දේශ කිරීම පවා සිදු කරති.
නමුත් පාදවලට ලූනු තැබීමෙන් මේ කිසිවක් සිදු කළ හැකි බවට කිසියම් සාක්ෂියක් තිබේ ද?
අලියම් නම් ශාක කුලයට අයත් වන ලූනු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක කොටසක් ලෙස සකස් කර ගත හැක. ඒවායේ විටමින් C, තන්තු සහ ප්‍රදාහයට එරෙහි ගුණයක් ලෙස අධ්‍යයනයට ලක්ව ඇති ක්වර්සෙටින් නමැති ශාක සංයෝගය ද ඇතුළු ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වේ.
මෙම සංයෝග හෘද හා ආන්ත්‍රික සෞඛ්‍යයට මෙන් ම රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට ද දායක විය හැකි බව පර්යේෂණවලින් යෝජනා කෙරේ.
නමුත් ශරීරයේ විෂ ඉවත් කිරීමට හෝ ආසාදනයක් සුව කිරීමට ඒවාට හැකියාව ඇතැයි පැවසීම ඊට වඩා බෙහෙවින් වෙනස් බව ඇමරිකානු වසංගත රෝග විද්‍යාඥවරියක සහ බෝවන රෝග පිළිබඳ විශේෂඥවරියක වන වෛද්‍ය කේටි සුලේටා පවසයි.
එක්සත් ජනපදයේ මෙම කර්මාන්තය නියෝජනය කරන 'ජාතික ලූනු සංගමය' පවසන පරිදි, මෙම මතයන් 1500 ගණන්වල සිට පැවත එන ඒවා ය. එකල විශ්වාස කෙරුණේ කාමරයක් තුළ ලූනු තැබීමෙන් බියුබොනික් වසංගතයෙන් ආරක්ෂා විය හැකි බව යි.
අතීතයේදී එයට විෂ ද්‍රව්‍ය ඇද ගැනීමට හැකි බවට විශ්වාස කරමින් මිනිසුන් ඉදිමුණු වසා ගැටිති මත ද එළවළු ඇතිල්ලීම සිදු කළේ ය.
ලූනුවලට විෂ ද්‍රව්‍ය ඉවත් කරන්න බැරි ඇයි?
සම යනු ශරීරයට විෂබීජ ඇතුළු වීමට එරෙහිව ක්‍රියාත්මක වන ශරීරයේ පළමු ආරක්ෂක වැට යි. සමහර විෂ ද්‍රව්‍යවලට සම හරහා ශරීරය තුළට ඇතුළු වීමට හැකි වුව ද, දහඩිය මගින් හෝ වෙනත් ආකාරයකින් එම විෂ ද්‍රව්‍යවලට ශරීරයෙන් පිටතට යා නොහැකි බව විශේෂඥයෝ පවසති.
මෙම බාධකය හරහා විෂ ද්‍රව්‍ය පිටතට ඇද ගැනීමට ලූනු ගෙඩියකට "භෞතික විද්‍යාවේ නියමයන් බිඳ දැමීමට අවශ්‍ය'' වනු ඇතැයි සුලේටා පවසයි.
"සමේ සිදුරු හරහා, පාදවල යටි පතුල් හරහා හෝ ශරීරයේ වෙනත් ඕනෑ ම ස්ථානයක සම හරහා විෂ ද්‍රව්‍ය පිටතට ඉවත් කිරීමට ඉඩ සලසන කිසිදු විශේෂ මායාමය ගුණයක් ඒකට නෑ," ඇය තවදුරටත් පවසයි.
රාත්‍රිය පුරා මේස් තුළ තබා ඇති ලූනුවල වර්ණය වෙනස් වීම, ශරීරයෙන් විෂ ද්‍රව්‍ය ඉවත් වූ බවට සාක්ෂියක් ලෙස ඇතැම් විට ඉදිරිපත් කරන නමුත් සුලේටා පැහැදිලි කරන පරිදි, එය හුදෙක් ඔක්සිකරණය සහ සම මත ඇති ක්ෂුද්‍ර ජීවීන් සමග සිදුවන ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයකි.
සමාජ මාධ්‍ය තුළ, ආහාර රටා සහ 'ඩිටොක්ස්' (විෂ ඉවත් කිරීමේ) ක්‍රම ප්‍රවර්ධනය කිරීමේදී "විෂ" යන යෙදුම බොහෝ විට භාවිත කෙරෙන්නේ තරමක් ලිහිල් අර්ථයකින් ය. එනම්, ශරීරයට හානිකර යැයි පැවසෙන සහ කාලයත් සමග ශරීරය තුළ එකතු වී ඉවත් කළ යුතු තත්ත්වයක ඇති, නිශ්චිතව හඳුනා නොගත් ද්‍රව්‍ය හැඳින්වීම සඳහා මෙම යෙදුම යොදා ගනි යි.
වෛද්‍ය විද්‍යාත්මකව ගත් කල, "විෂ" යනු බැක්ටීරියා වැනි ජීවීන් විසින් නිපදවනු ලබන විෂ සහිත ද්‍රව්‍යයන් ය. එක්සත් ජනපද ජාතික වෛද්‍ය පුස්තකාලයට අනුව ඒවාට හානිකර රසායනික ද්‍රව්‍ය හෝ විශාල මාත්‍රාවලින් ගන්නා ඖෂධ ද ඇතුළත් විය හැකි ය.
නමුත් අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ශරීරයටම ආවේණික වූ පෙරීමේ පද්ධති දැනටමත් පවතියි. අක්මාව මගින් රුධිරයේ ඇති අපද්‍රව්‍ය පෙරීම සිදු කර ශරීරය පිරිසිදුව හා හානිකර ද්‍රව්‍යවලින් තොරව තබා ගැනීමට උපකාරී වන අතර, වකුගඩු මගින් මුත්‍රා හරහා අතිරික්ත ජලය සහ අපද්‍රව්‍ය ඉවත් කරනු ලැබේ.
අක්මාව හා වකුගඩු නිරෝගීව තබා ගැනීම සඳහා විශේෂ පිළියම් අවශ්‍ය නොවේ. සමබර ආහාර වේලක් ගැනීම, සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම සහ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම මෙම අවයව නිසි ලෙස ක්‍රියාත්මක වීමට උපකාරී වේ.
හානිකර ද්‍රව්‍යයක් ශරීරගත වී ඇතැයි හෝ අධික ලෙස ඖෂධ මාත්‍රාවක් ගෙන ඇතැයි යමෙකුට සැකයක් ඇති වුවහොත්, නිවසේදීම විෂ ඉවත් කිරීමට උත්සාහ කරනවා වෙනුවට වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය පවසයි.
සෙම්ප්‍රතිශ්‍යාව සුව කිරීමට උපකාරී විය හැක්කේ මොනවා ද?
අනෙක් අතට, සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවන්නේ වෛරස් මගින් වන අතර එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවාවට අනුව එය ඉබේ ම සුව වේ.
සෙම්ප්‍රතිශ්‍යාවෙන් ඉක්මනින් සුවය ලබා ගන්නේ කෙසේ ද යන්න සඳහා වන උපදෙස් අතරට, හොඳින් විවේක ගැනීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීම ඇතුළත් වේ.
ලූනු සුප් වැනි දියර වර්ග ශරීරයට අවශ්‍ය ජලය සහ පෝෂණයට සහය වන අතර උගුරේ කැසීම් සමනයට පවා උපකාරී වන නමුත්, විශේෂඥයින් පවසන්නේ සුවය ලැබීම සහ සහනය අතර විශාල වෙනසක් පවතින බව යි.
"සෙම්ප්‍රතිශ්‍යාව කියන්නේ එය විසින් ම සුව වන රෝගී තත්ත්වයක්, ප්‍රතිකාර කළත් නැතත් එය දළ වශයෙන් සතියක් වගේ කාලයකදී සුව වෙලා යයි. ලූනු සුප් මගින් මෙම කාලසීමාව කෙටි වෙන්නේ නෑ," යනුවෙන් සුලේටා පැහැදිලි කරයි.
ලූනු පිසීමේදී ඇතැම් විටමින් C යම් ප්‍රමාණයක් විනාශ වී ගිය ද, කොටසක් ජලයට දියවී යන නිසා ඒවා සුප් ලෙස පානය කළ හැකි බැවින් ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනැගීමට උපකාරී වේ.
කෙසේ වෙතත්, දිගු වේලාවක් තැම්බීම මගින් එහි අඩංගු විටමින් C ප්‍රමාණය අඩු වන බැවින්, අමු ලූනුවල එම විටමින් ප්‍රමාණය වඩාත් හොඳින් රඳා පවතින බව පර්යේෂණවලින් පෙනී යයි.
සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් ඇතිවන අධික උණ වැනි රෝග ලක්ෂණ දින කිහිපයකට වඩා පවතින අවස්ථාවලදී (විශේෂයෙන් ම දරුවන් සම්බන්ධයෙන් නම් ඊටත් වඩා ඉක්මනින්) වෛද්‍ය උපදෙස් ලබාගැනීම අවශ්‍ය විය හැකි ය.
ප්‍රදාහය සම්බන්ධයෙන් ගත් කල, ඊට එරෙහිව සෑම විටම "සටන්" කිරීම අවශ්‍ය නොවන බව විශේෂඥයෝ පවසති. සැබවින් ම, එය ආසාදනයකට හෝ තුවාලයකට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දක්වන ප්‍රතිචාරය යි. මෙම ප්‍රතිචාරය, ශරීරයට තමන්වම ආරක්ෂා කර ගැනීමටත්, හානියට පත් පටක යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කිරීමටත් උපකාරී වේ.
ශරීරයේ ප්‍රදාහය ඇතිවන්නේ කොතැනද සහ එයට හේතුව කුමක්ද යන්න මත ගත යුතු ක්‍රියාමාර්ගය තීරණය කළ යුතු ය.
ඉදිමීම, වේදනාව සහ එම ප්‍රදේශය රත්වීම වැනි දේ ඒ හා සම්බන්ධ හුරුපුරුදු රෝග ලක්ෂණවලට වේ. කෙසේවෙතත්, මෙම තත්ත්වයන් දිගටම පවතී නම් සහ ඒ සමග වෙනත් පැහැදිලි කළ නොහැකි රෝග ලක්ෂණ ද මතු වේ නම්, ලූනු භාවිත කිරීම වෙනුවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසු බව විශේෂඥයෝ පවසති.
"මෙම ප්‍රකාශවල තවත් ඉතා අවාසනාන්ත ප්‍රතිඵලයක් වන්නේ, අවසානයේදී මිනිසුන්ට ප්‍රතිකාර ලැබීම ප්‍රමාද වෙන එක," සුලේටා පවසයි..
අන්තර්ජාලය හරහා සෞඛ්‍ය උපදෙස් බොහෝ විට කිසිදු විද්‍යාත්මක සහායකින් තොරව වෛද්‍ය විද්‍යාවේ සහ විද්‍යාවේ භාෂාව යොදා ගන්නා බව සුලේටා අනතුරු අඟවයි. ලූනු, අතිරේකයක් හෝ වෙනත් නිෂ්පාදනයක් මගින් විෂ ඉවත් කළ හැකි බව හෝ ශරීරයෙන් විෂ ඉවත් කළ හැකි බව යමෙකු ප්‍රකාශ කරන්නේ නම්, ඔවුන් අදහස් කරන විෂ මොනවාද සහ අදාළ නිෂ්පාදනය ඒවා ඉවත් කරන්නේ කෙසේද යන්න හරියටම විමසන ලෙස ඇය යෝජනා කරයි.
"තව ටිකක් ගැඹුරින් සොයා බලන්න. මොන වගේ විෂ ද්‍රව්‍ය ද? එය ක්‍රියා කරන්නේ කොහොම ද? එය ක්‍රියා කරන්නේ කොහොමද කියලා නිසි පැහැදිලි කිරීමක් ලබා දෙන්න ඔවුන්ට බැරි නම්, එහෙනම් ඒක හොඳ ලකුණක් නෙවෙයි," ඇය පවසයි.