ගෝලීය HIV ආසාදන සංඛ්‍යා පහත බසියි - නමුත් රටවල් 6ක ශීඝ්‍ර පැතිරීමක්

While HIV numbers are going down, in these 6 countries it's increasing fast'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, උප-සහරා රටවල්වල [රෝග පැතිරීම නැවැත්වීමේ] සාර්ථකත්වය නිසා ගෝලීය නව HIV ආසාදන සංඛ්‍යාව පහළ යයි
    • Author, ස්වාමිනාදන් නඩරාජන්
    • Role, බීබීසී ලෝක සේවය

නව ආසාදන සහ HIV නිසා ඇතිවන මරණ සංඛ්‍යාවේ දැවැන්ත පහත වැටීමක් තිබියදීත්, HIV/AIDS පිළිබඳ එක්සත් ජාතීන්ගේ වැඩසටහන (UNAIDS) අනතුරු ඇඟවූයේ මහජනතාවට ඇති තර්ජනයක් ලෙස AIDS රෝගය අවසන් කිරීමට ලෝකය තවමත් අසමත් බවයි.

UNAIDS වැඩසටහනට අනුව, මේ වන විට පුද්ගලයින් මිලියන 39.9ක් AIDS සමග ජීවත් වන අතර, ඔවුන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් සිටින්නේ දකුණු සහ නැගෙනහිර අප්‍රිකාවේයි.

2010 වසරේ සිට HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව 39%කින් පහළ ගොස් ඇති අතර AIDS හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව අඩකින් අඩු වී ඇත.

කෙසේනමුත් ඇෆ්ඝනිස්ථානය, ඊජිප්තුව, ෆීජි, පිලිපීනය, පැපුවා නිව්ගිනියාව සහ සෞදි අරාබිය යන රටවල්වල 2010 සිට 2023 දක්වා කාලය තුළ වාර්තා වී ඇති HIV ආසාදිතයින් 100%කට වඩා වැඩි ය.

2010 සිට කෙන්යාව, මලාවි සහ සිම්බාබ්වේ සමගින් නේපාලය යන රටවල් HIV ආසාදනය වීමේ ප්‍රතිශතය 75% කින් සාර්ථකව අඩු කර තිබේ.

AIDS වලට එරෙහි සටනේ දැන් අප්‍රිකාව පෙරමුණේ සිටියි.

2010 සිට තවත් රටවල් 18ක් වාර්ෂික නව HIV ආසාදන සංඛ්‍යාව 60%කට වඩා අඩු කරගෙන ඇත. ඔවුන් ප්‍රධාන වශයෙන් උප-සහරා රටවල් වන ලෙසොතෝ, එස්ටවීනි, බෙනින්, ඉතියෝපියාව, රුවන්ඩාව, බොට්ස්වානා, එරිත්‍රියාව, ලයිබීරියාව, බර්කීනා ෆාසෝ, ටෝගෝ, සැම්බියාව, බුරුන්ඩි, ගිනි බිසාවු, සහ උගන්ඩාව මෙන් ම, තජිකිස්ථානය, පෘතුගාලය, බෙලරූස් සහ ඉතාලිය ද වේ.

HIV සමග ජීවත් වන අයගෙන් 77%ක් ප්‍රතිවෛරස චිකිත්සාවන් ලබමින් සිටිති. උප-සහරා අප්‍රිකාවේ 82%ක් මෙම ප්‍රතිකාරය ලබමින් සිටිති.

HIV අර්බුදය නිරාකරණය කිරීමේ ප්‍රගතිය හේතුවෙන් 2010 වසරේ අවුරුදු 56 සිට, සාමාන්‍ය ආයු අපේක්ෂාව 2023 වසරේ දී 61 දක්වා වසර පහකින් වැඩි විය.

අප්‍රිකාව තුළ ප්‍රතිකාර ඉහළ දැමීම නිසා HIV සමඟ ජීවත් වන පුද්ගලයින්ට වෛරස් මර්දනය කිරීමට සහ සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු කිරීමට ඉඩ ලැබී තිබෙන බව UNAIDS පවසයි.

බොහෝ රටවල්වල යොදාගෙන ඇති සමලිංගික කටයුතු සහ මත්ද්‍රව්‍ය භාවිතය අපරාධයක් බවට පත් කරන නීතිවලින් ද අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට නිවාරණ සේවාවන් වෙත ප්‍රවේශ වීමට බාධා සිදු කරයි.

උප-සහරා අප්‍රිකා රටවල්වල ප්‍රගතිය

 A woman takes her anti-retroviral pills

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නිවාරණයට සහ ප්‍රතිකාර සඳහා ඇති ප්‍රවේශයට HIV [වැළඳෙන] සංඛ්‍යාව අඩු කිරීම සඳහා විශාල බලපෑමක් ඇති කළ හැකියි

"විශේෂයෙන් ම උප-සහරා අප්‍රිකාව තුළ තියෙන ප්‍රගතිය පෙන්වලා දීලා තියෙනවා ප්‍රජාව බලමුළු ගැන්වීම, දේශීය නායකත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාවයෙන් ළඟා කරගන්න පුළුවන් මොනවද කියලා," UNAIDS හි නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ස්ටෙග්ලින් පවසයි.

බීබීසී වෙත විද්‍යුත් තැපැල් ප්‍රතිචාරයක් දක්වමින් ඇය පවසන්නේ, හැකි තරම් පුළුල් පරාසයක නිවාරණ විකල්පයන්වල ප්‍රවේශය පුළුල් කිරීමටත්, සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ වීමෙන් ජනතාව ඈත් කරන බාධක ඉවත් කිරීමටත් නායකයින් අවධානය යොමු කළ යුතු බවයි.

"ලෝකය තාමත් මහජන සෞඛ්‍ය තර්ජනයක් විදිහට AIDS අවසන් කරන්න පියවර අරගෙන නෑ, මොකද විශේෂයෙන් ම වැඩිපුරම ආන්තීකරණයට ලක් වෙලා ඉන්න අයට සේවාවලට පිවිසෙන්න විශාල හිඩැස් පවතිනවා. HIV වැළැක්වීමට දිගටම අර්බුදයක් තියෙනවා."

A patient with an advanced stage of AIDS sits on her bed at the community hospital in Bangui, in the Central African Republic.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, උප-සහරා අප්‍රිකාවේ AIDS රෝගීන්ගෙන් 82%ක් මෙම ප්‍රතිකාරය ලබති.

නමුත් උප-සහරාවෙන් පිටත සංවර්ධනය අඩාල වී තිබේ. පැපුවා නිව් ගිනියාව, ඇෆ්ඝනිස්ථානය, ෆීජි, පිලිපීනය, ඊජිප්තුව සහ සෞදි අරාබිය යන රටවල්වල 2010 සිට 2023 දක්වා කාලය තුළ HIV ආසාදිතයින් 100%කට වඩා වැඩි වීමක් වාර්තා කර තිබේ.

ඔවුන්ගේ සමස්ත ජනගහනය සමග සංසන්දනය කර බැලීමේ දී, ඇෆ්ඝනිස්ථානය, ඊජිප්තුව සහ සෞදි අරාබිය වැනි රටවල්වල HIV රෝගීන් සාපේක්ෂව අඩු මට්ටමක පවතියි.

නමුත් ශුභවාදී බවක් තිබේ. නිවැරදි මට්ටමේ දේශපාලන සහයෝගය සහ අරමුදල් ලබා දීම සිදුවුවහොත්, මහජන සෞඛ්‍ය තර්ජනයක් වන ඒඩ්ස් වසර හයක් ඇතුළත ගෝලීය වශයෙන් අවසන් කළ හැකි බව UNAIDS ප්‍රක්ෂේපණයන් පෙන්නුම් කරයි.