නව රජයේ පළමු කැබිනට් හමුවේදී ම සහල් ආනයනයට තීරණය කළේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නව රජයේ පළමු කැබිනට් හමුවේදී ඉන්දියාවෙන් සහල් තොගයක් ආනයනය කීරිමට තීරණය කෙරිණි.
රට තුළ ඇති විය හැකි සහල් හිඟයට විසඳුමක් ලෙස නාඩු සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට තීරණය කළ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.
'රජයට බලාගෙන ඉන්න බැහැ'
“මේ සහල් හිඟය ඇති කිරිම පිටුපස තියෙන්නේ මිල ඉහළ යැවීම හරහා අමතර ලාභ ඉපයීමේ උපාය සහ උපක්‍රම නම්, තවදුරටත් පාරිභෝගිකයා පීඩාවට පත් කිරීම සඳහා එවැනි උපක්‍රම යෙදවීමට ඉඩ දීලා රජයට බලාගෙන ඉන්න බැහැ,” යනුවෙන් සහල් ආනයනය කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ නොවැම්බර් 20 වන දා පැවැත්වූ මාධ්‍ය හමුවේදී පැවසීය.
සතොස සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා මෙරටට ගෙන්වනු ලබන ස්වර්ණ නාඩු සහල් දෙසැම්බර් 15 වන දා සිට රුපියල් 220ක මිලකට සතොස, සමූපකාර සහ සුපිරි වෙළෙඳසල් වැනි අලෙවි සල් හරහා මහ ජනතාව වෙත නිකුත් කරන බව අමාත්‍යවරයා පැවසීය.
සහල් මෝල් හිමියන් 'මට්ටු කිරීමට' ගත් ක්‍රියාමාර්ගයක්
සහල් පිටරටින් ගෙන්වීමට විරුද්ධ නමුත් මෙය හාල් මෝල් හිමියන් "මට්ටු කිරිමට" ගත් ක්‍රියාමාර්ගයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න පැවසීය.
“හාල් පිටරටින් ගේනවාට දැනුත් මම විරුද්ධ යි. මේ ප්‍රශ්නේ බේර ගන්න අපි සෑහෙන උත්සාහයක් ගත්තා. අපි ආණ්ඩුව ගන්නකොට රජයේ ගබඩාවල වී ඇටයක්වත් තිබුණේ නැහැ. කලින් ආණ්ඩුව ගිය කන්නේ වී ඇටයක්වත් මිල දී ගත්තේ නැහැ සහ තිබුණ වී ටික රුපියල් 50ක් පාඩු තියාගෙන වික්කා.”
රජය භාර ගන්නා විට ගබඩා සතුව වී නොතිබුණ බවත් වී ගබඩා කරගෙන සිටියේ මහා පරිමාණ මෝල් හිමියන් සහ අතර මැදියන් බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කාර ධූරය ද හොබවන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.
“ජනාධිපතිවරයා ම පෞද්ගලිකව මේකට මැදිහත් වුණා. එතකොට මේක බේරගන්න බැරි නම් මේක ඇතුළේ උඩ පිනුම්, බඩ පිනුම් ගහන්න ලෑස්ති වෙනවා නම් මේක මට්ටු කරන්නත් අපිට ක්‍රියාමාර්ග ගන්න වෙනවා.”
මෙවර කන්නයේ අස්වනු නෙළීමෙන් පසුව රජයේ වී ගබඩා පුරවන බවට සහතික වූ නාමල් කරුණාරත්න මන්ත්‍රීවරයා, සංචාරක කර්මාන්තයට අවශ්‍ය සහල් හැර සහල් ආනයන කිරීමට සිදු නොවනු ඇති බව අවධාරණය කළේ, “මේ ප්‍රශ්නය අපි නිට්ටාවට ම විසඳනවා,” යනුවෙන් ද පවසමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'එක හාල් ඇටයක්වත් පිටරටින් ආනයනය කරන්නේ නැහැ'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ජනාධිපතිවරණයට පෙර පැවති මැතිවරණ රැස්වීම්වලදී සහල් ආනයනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉකුත් සැප්තැම්බර් මාසයේදී අනුර කුමාර දිසානායක පැවසුවේ, තම රජයක් යටතේ කිසිදු ආකාරයකින් සහල් ආනයනය නොකරන බව ය.
කෘෂි කර්මාන්තයට සියලු පහසුකම් ලබා දී ගොවියා ශක්තිමත් කරන ආණ්ඩුවක් බිහිකරන බව ඔහු පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් පැවසුවේ ය.
මේ අතර, සහල් ගැටලුවට මැදිහත් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සහල් ව්‍යාපරිකයන් අතර සාකච්ඡාවක් ඔක්තෝබර් 22 වන දා පැවැත්විණි.
සහල් මිල පාලනය පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සහ ගොවීන්ගෙන් සාධාරණ මිලට වී මිල දී ගැනීමට මෙන් ම සහ සාධාරණ මිලකට පාරිභෝගිකයන්හට සහල් ලබා දීමට විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබිණි.
“මම ඊයේ හාල් මෝල් හිමියන් හමුවුණා. රටේ සහල් හිඟයක් නැහැ. මේ හදන්නේ කෘත්‍රිම හාල් හිඟයක්. අපි ඒ අයට දැනුම් දුන්නා, මෝල් හිමියන් අවබෝධයෙන් වැඩ කරනවා ද? නීතියට වැඩ කරනවා ද? අපේ පළමු කැමැත්ත අවබෝධයෙන් වැඩ කිරීම. හැබැයි කවුරු හරි කෙනෙක් අවබෝධයෙන් වැඩ කරන්නේ නැත්නම් අපි නීතියෙන් වැඩ කරන්න ලෑස්ති යි කියලා කිව්වා. රටේ හාල් හිඟයක් නැහැ කඩේ හාල් හිඟයක් තිබුණට. රටේ හාල් හිඟයක් නැහැ හරි පැහැදිලි යි. ඒ නිසා පිටරටින් සංචාරක කර්මාන්තයට අවශ්‍ය හාල් ඇර වෙන එක හාල් ඇටයක්වත් ආනයනය කරන්නේ නැහැ,” යනුවෙන් ජනාධිපතිවරයා සහල් ව්‍යාපාරිකයින් හමුවූ දිනට පසුදා ත්‍රිකුණාමලයේ පැවති ජනහමුවකදී පවසා තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඩඩ්ලි සිරිසේනගේ අදහස මොකක්ද?
ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පැවැත්වු මෙරට ප්‍රධාන පෙලේ සහල් ව්‍යපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන, පාලන මිලට සහල් ලබා යුතු බවට වන ජනාධිපතිවරයාගේ ස්ථාවරය අනුමත කළේය.
“ජනාධිපතිතුමා ඉතා තදින්ම හිටියා හාල් මිලේ කිසිම වෙනස් කරන්න බැහැ මේ මිලට ලබන කන්නයේ වී අස්වනු නෙලන කල් වගකීමක්, යුතුකමක්, සැලකීමක් වශයෙන් මේ මිලට හාල් දෙන්න කියලා ඉල්ලීමක් කළා. එහෙම නැති වුණොත් අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා කියලත් බොහොම සුහදව පැවසුවා.”
එම සාකච්ඡාවට සහභාගි වු බොහෝ සහල් ව්‍යාපාරිකයන් ජනාධිපතිවරයාගේ ස්ථාවරයකට එකඟ වු බව ද හෙතෙම එහිදී කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සහල් හිඟයට ඩඩ්ලිගේ විසඳුම
මීට දෙසතියකට පමණ ඉහත දී මාධ්‍ය හමුවක් පැවැත්වු ව්‍යාපාරික ඩඩ්ලි සිරිසෙන් පැවසුවේ ගියවර රටේ අවශ්‍ය ප්‍රමාණයට ගොවීන් නාඩු සහල් නිෂ්පාදනය කර නොමැති බවයි.
එමෙන්ම ඇතැම් සහල් ව්‍යාපාරිකයන් නාඩු සහල් තොග රැස් කරගෙන වෙළඳපොලට නිකුත් නොකර සිටින බවට ද ඔහු චෝදනා කළේය.
ඔහු යෝජනා කරන්නේ සෑම කන්නයකදීම ප්‍රතිශතයක් වශයෙන් වී වර්ග වගා කිරිම හරහා විටින් විට ඇති වන සහල් හිගය වළක්වා ගත හැකි බවටයි.
දත්ත වාර්තාවට මොකද වුණේ?
සහල් නිෂ්පාදකයින් සතු තොග පිළිබඳ දත්ත රැස්කර කඩිනමින් තමාට වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස් මත පාරිභෝගික අධිකාරිය මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් පරික්ෂාවක් ඔක්තෝබර් 26 වැනිදා ආරම්භ කළේය.
එම දත්ත සහිත වාර්තාව ඔක්තෝබර් 28 වැනිදා ජනාධිපතිවරයා වෙත භාර දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එන්.පී.එන්.එම් වික්‍රමසිංහ මාධ්‍ය වෙත පවසා තිබුණි.
කෙසේ වෙතත් එම දත්ත වාර්තාව ගැන කිසිවක් අමාත්‍ය වසන්ත සමරසිංහ සිය මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ නොකළ අතර පවතින දත්තවල නිරවාද්‍යතාව පිළිබඳ ගැටලු ඇතැයි කියා සිටියේය.














