'ට්‍රම්ප්ට එපා වූ' ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙතෙක් කර ඇත්තේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එක්සත් ජනපදය ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ විධායක නියෝගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලොව පුරා සිටින මිනිසුන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම ගැන සොයා බලන සහ රෝග තුරන් කිරීමට කටයුතු කරන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොටසක් වන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එක්සත් ජනපදය ඉවත් කර ගන්නා ලෙස ට්‍රම්ප් නියෝග කළ දෙවන අවස්ථාව ලෙස මෙය සනිටුහන් වේ.
ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් පවතින ඕනෑ ම අවස්ථාවක රටවල්, සෞඛ්‍ය වෘත්තිකයන් සහ සාමාන්‍ය ජනතාව උපදෙස් සහ සහය වෙනුවෙන් බලා සිටින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය දෙස ය.
සියල්ලන්ට ම වඩාත් හොඳ සෞඛ්‍ය සේවාවක් ලබාදීම සහ "සෑම කෙනෙකුට ම සෑම තැනක ම ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා සමාන අවස්ථාවක්" ලබා දීම සඳහා කටයුතු කිරීම සිය මෙහෙවර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මෙම ගෝලීය සංවිධානය ආරම්භ වූයේ, 1948 වසරේ ස්විට්සර්ලන්තයේදී ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රටවල් 194ක් (එක්සත් ජනපදය ද ඇතුළත්ව) ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයන් වන අතර, එය එන්නත්කරණ වැඩසටහන්, සෞඛ්‍ය හදිසි තත්ත්වයන්වලදී කටයුතු කිරීමට ජනතාවට සහය වීම, සෞඛ්‍ය ප්‍රතිපාදන ක්‍රියාවට නැංවීමට රටවල්වලට සහය වීම ඇතුළු ව්‍යාපෘති ගණනාවකට මැදිහත් වෙයි.
ආහාර සුරක්ෂිතතාව, ඖෂධ පරික්ෂා කිරීමේ ක්‍රමවේද සහ ප්‍රතිකාර ප්‍රමිතිකරණය සඳහා ගෝලීය මාර්ගෝපදේශන ස්ථාපනය කිරීමට ද ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වෙයි.
එම සංවිධානය සඳහා ප්‍රතිපාදන හිමි වන්නේ, එහි සාමාජික රටවල්වලින් මෙන් ම ආධාර හරහා ය. එහි 2024-2025 සඳහා අයවැය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.83ක් විය.
2017 සිට එහි ප්‍රධානියා වන්නේ, ඉතියෝපියාවේ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වූ ටෙඩ්රෝස් ඇඩ්හානොම් ගැබ්රියාසස් ය.
හදිසි ප්‍රතිචාර දැක්වීම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ස්වභාවික ව්‍යසනයන්, මානුෂීය අර්බුද සහ වසංගත වැනි සෞඛ්‍ය හදිසි තත්ත්වයන් මැඩපවත්වා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය රට රටවල ආණ්ඩු සමග කටයුතු කරයි.
නිදසුනක් ලෙස ගාසා වැනි යුද්ධ කලාපවල සිටින, සහයක් අවශ්‍ය පුද්ගලයින්ට සෞඛ්‍ය පහසුකම් සැපයීමට එම සංවිධානය නිරන්තරයෙන් මැදිහත් වෙයි.
දියුණු වෙමින් පවතින රටවල්වල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ දැමීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ එක් ක්‍රමයක් වන්නේ, ඔවුන්ගේ රටවල් තුළ ම හෙද නිලධාරීන් සහ සෞඛ්‍ය සේවකයන් ලෙස සේවය කිරීමට පුද්ගලයින් පුහුණු කිරීම ය.
රාජ්‍ය ප්‍රතිපත්තිවලට තොරතුරු ලබාදෙන සහ බලපෑම්සහගත වන ප්‍රධාන රෝග ගැන දත්ත සහ කරුණු ද ඒ මගින් ප්‍රකාශයට පත් කරයි.
එන්නත්කරණ වැඩසටහන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බෝ වන රෝග, බෝ නොවන රෝග සහ මානසික සෞඛ්‍ය තත්ත්වයන් ආවේක්ෂණය, වැළක්වීම, රෝග විනිශ්චය, ප්‍රතිකාර කිරීම ආදී කාර්යයන් වෙනුවනේ ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියා කරයි.
ගෝලීය සෞඛ්‍ය ව්‍යාපාර ගණනාවක් මෙහෙයවමින් එම සංවිධානය බොහෝ රෝග තුරන් කිරීමට ද කටයුතු කරයි. උදාහරණයක් වශයෙන්, 1974දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පුළුල් ප්‍රතිශක්තිකරණ වැඩසටහන (EPI) ආරම්භ කරන ලදී. එය ආරම්භ කරන ලද්දේ, පහත රෝගී තත්ත්වයන් වෙනුවෙනි.
- ඩිප්තීරියා
- කක්කල් කැස්ස
- පිටගැස්ම (DPT)
- පෝලියෝ
- සරම්ප
- ක්ෂය රෝගය
පසුව මෙම වැඩසටහන ගෝලීය වශයෙන් නිර්දේශිත එන්නත් 13ක් දක්වා සහ විශේෂිත සැකසුම් සඳහා නිර්දේශිත අතිරේක එන්නත් 17ක් දක්වා පුළුල් කරන ලදී.
කාර්ය සාධන වාර්තා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වසූරිය තුරන් කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාලතම ජයග්‍රහණයන්ගෙන් එකකි.
වසූරිය යනු විනාශකාරී රෝගයක් වූ අතර එය තුරන් කිරීමට පෙර මිලියන ගණනක් ජනතාව මරණයට පත් වූහ.
1967 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසූරිය තුරන් කිරීම සඳහා දැඩි ප්‍රයත්නයක් ගනු ලැබූ අතර, එයට වසර ගණනාවක් පුරා ලොව පුරා දැවැන්ත ප්‍රතිශක්තිකරණ සහ නිරීක්ෂණ වැඩසටහනක් ඇතුළත් විය.
දශකයකට වැඩි කාලයක් තිස්සේ සිදු කළ මෙහෙයුම්වලින් පසු, 1980 දී වසූරිය තුරන් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළේ ය. මෙම සාර්ථකත්වය අත්කර ගත් එක ම බෝවන රෝගය එය වන අතර, මෙය "ඉතිහාසයේ වඩාත් ම කැපී පෙනෙන සහ දැවැන්ත මහජන සෞඛ්‍ය සාර්ථකත්වයන් අතර" පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ගෝලීය ප්‍රයත්නයන් හේතුවෙන්, බොහෝ රටවල පෝලියෝ රෝගය දැන් තුරන් කර ඇතත්, පකිස්ථානයේ සහ ඇෆ්ඝනිස්ථානයේ එය තවමත් පවතී.
කෙසේ වෙතත්, 1955 දී දියත් කරන ලද මැලේරියාව තුරන් කිරීමේ මුල් ක්‍රියාන්විතය 1969 දී අත්හිටුවන ලද අතර එතැන් සිට ප්‍රගතිය මන්දගාමී වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, වාර්ෂිකව රැස්වන එහි සාමාජික රටවල නියෝජිතයින්ගෙන් සමන්විත ලෝක සෞඛ්‍ය සම්මේලනයේ තීරණ ගැනීමේ ආයතනය විසින් සම්මත කරන ලද විවිධ යෝජනා මගින් 1955 සිට මෑතකදී 2015 දක්වා එම ඉලක්කය නැවත තහවුරු කර ඇති බව ය.
2015 සිට, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රටවල් 12ක් මැලේරියාවෙන් තොර බවට සහතික කර ඇත. "2016–2030 මැලේරියාවට එරෙහි ගෝලීය තාක්ෂණික උපාය මාර්ගය" නමැති ලෝක සෞඛ්‍ය සංවිධාන ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ, 2030 වන විට අවම වශයෙන් රටවල් 30කින් මැලේරියාව තුරන් කිරීම ය.
2021 දී, ළමුන් තුළ මැලේරියාව වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පළමු මැලේරියා එන්නත නිර්දේශ කරන ලද අතර, 2023 දී, එම සංවිධානය විසින් 2025 වන විට අප්‍රිකාව පුරා රටවල් 12කට ප්‍රථම මැලේරියා එන්නත මාත්‍රා මිලියන 18ක් ලබා දීම සඳහා එන්නත් කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී.
විවේචන

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2014 දී බටහිර අප්‍රිකාවේ ඉබෝලා වසංගතයට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට දෝෂාරෝපණය එල්ල වූ අතර, දුර්වල සන්නිවේදනය සහ අකාර්යක්ෂම කාර්ය මණ්ඩලය වසංගතයට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් දොස් පැවරිණි.
සංවිධානයට හිතවාදීන් පවසන්නේ, එකල පැවති ඇතැම් විවේචන අසාධාරණ බවත් අපේක්ෂාවන් යථාර්ථවාදී නොවන බවත් ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට දත්ත සහ විශ්ලේෂණ සැපයිය හැකි නමුත් ස්වාධීන ක්‍රියාමාර්ග ගැනීමට එයට බලයක් නොමැත. එයට ක්‍රියා කළ හැක්කේ, සාමාජික රටක් උදව් ඉල්ලා සිටීමෙන් පසුව පමණි.
කොවිඩ් වසංගතයට ප්‍රතිචාර දැක්වූ ආකාරය සම්බන්ධයෙන් ද ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි විවේචනයට ලක් විය.
2020 දී, ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම රට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරන බව නිවේදනය කළේ, කොවිඩ්-19 පැතිරීම නැවැත්වීමට එම සංවිධානය ප්‍රමාණවත් දෙයක් නොකළ බව පවසමින් සහ වසංගතයෙන් පසු එය චීනයේ පාලනය යටතේ පවතින බවට චෝදනා කරමිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩි ම පරිත්‍යාග සපයන්නා ඇමෙරිකා එක්සත් ජනපදය වන හෙයින් මෙය එම සංවිධානයට විශාල පහරක් විය.
ඇමෙරිකානු ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු, ජෝ බයිඩ්න්, ට්‍රම්ප්ගේ විධායක නියෝගය ආපසු හැරවූ අතර එරට දේශපාලන සහයෝගය සහ අරමුදල් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දීමට සහතික විය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිහිටුවන ලද ස්වාධීන විශේෂඥ මණ්ඩලයක් නිගමනය කළේ, වසංගතය වළක්වා ගත හැකිව තිබූ බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ගෝලීය රජයයන් ඒකාබද්ධව දැක්වූ ප්‍රතිචාරය "විෂ සහිත කොක්ටේල් එකක්" වූ බවත් ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා කමිටුව චීනයේ කොවිඩ් පැතිරීම ජාත්‍යන්තර හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සතියකට පෙර එය ප්‍රකාශයට පත් කළ යුතුව තිබූ බව කමිටුව තර්ක කළේ ය.
ඊළඟ වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා, වඩා හොඳ ගෝලීය පාලනයක් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහා වැඩි අරමුදල් ලබා දෙන ලෙස මණ්ඩලය ඉල්ලා සිටියේ ය.














