යූලියා ස්වියිරිඩෙන්කෝ: යුක්රේනයට නව අගමැතිවරියක්

ඡායාරූප මූලාශ්‍රය, UNIAN
- Author, ස්විට්ලානා ඩොරෝෂ්
- Role, ВВС යුක්රේන
යුක්රේන ජනාධිපති වොලොදිමීයර් සෙලෙන්ස්කිගේ කැබිනට් මණ්ඩල සංශෝධනයේ කොටසක් ලෙස එරට නව අගමැතිනිය ලෙස යූලියා ස්වියිරිඩෙන්කෝගේ පත්කිරීම එරට පාර්ලිමේන්තුව තහවුරු කර තිබේ.
යුක්රේන පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා ස්වියිරිඩෙන්කෝගේ පත්වීම තහවුරු කළේ, සෙලෙන්ස්කි විසින් සඳුදා ඇය අග්‍රාමාත්‍ය ධූරයට නම් කරනු ලැබීමෙන් පසුවය. ඇය තම කැබිනට් මණ්ඩලයට නායකත්වය දෙන බවත් "සැලකිය යුතු ලෙස එහි කටයුතු අලුත් කරනු" ඇති බවත් ඔහු පැවසීය.
මීට පෙර නියෝජ්‍ය අගමැති සහ ආර්ථික අමාත්‍ය ධූරය දැරූ ස්වියිරිඩෙන්කෝ, 2020 මාර්තු මාසයේ සිට එම ධූරයේ කටයුතු කළ අගමැති ඩෙනිස් ෂ්මිහාල් වෙනුවට පත් කර තිබේ.
නමුත් ස්වියිරිඩෙන්කෝ කවුද සහ යුද්ධයෙන් විනාශ වූ යුක්රේනය ඇයගේ පත්කිරීමෙන් අදහස් කරන්නේ කුමක් ද?
සෙලෙන්ස්කිගේ දිගුකාලීන සගයා
39 හැවිරිදි ස්වියිරිඩෙන්කෝ, 2021 නොවැම්බර් මාසයේ සිට නියෝජ්‍ය අගමැති සහ ආර්ථික අමාත්‍යවරයා ලෙස කටයුතු කළා ය. එනම් ඇය එම ධූරය භාර ගනු ලැබුවේ, 2022 පෙබරවාරි 24 වන දින රුසියාව යුක්රේනයට පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක් දියත් කිරීමට මාස කිහිපයකට පෙර ය.
ඇය සෙලෙන්ස්කිගේ සහ ඔහුගේ ප්‍රධාන උපදේශක, ජනාධිපති කාර්යාලයේ ප්‍රධානී සහ සෙලෙන්ස්කිගේ ප්‍රධාන උපදේශක ඇන්ඩ්‍රි යෙර්මාක්ගේ දිගුකාලීන සහයෙකි.
මැයි මාසයේදී, ස්වියිරිඩෙන්කෝ, එක්සත් ජනපද-යුක්රේන ප්‍රතිසංස්කරණ ආයෝජන අරමුදල පිහිටුවීම සඳහා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සමග සමව-අත්සන් තැබුවා ය. එය සෙලෙන්ස්කි ඇය කෙරෙහි තබා ඇති විශ්වාසයේ සලකුණක් ලෙස සැලකේ.
යුක්රේනයේ ඛනිජ හා බලශක්ති සංචිත අනාගතයේදී විකිණීමෙන් ලැබෙන ලාභය එක්සත් ජනපදය විසින් බෙදා ගනු ලබන මෙම ගිවිසුම මගින් යුක්‍රේනයේ ආරක්ෂක හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආයෝජනය කිරීම අඛණ්ඩව කරගෙන යාම සඳහා වොෂින්ටනයට ආර්ථික දිරිගැන්වීමක් සැපයීම අරමුණු කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Facebook Yulia Svyrydenko
සෙලෙන්ස්කිගේ රජයට සම්බන්ධ වීමට පෙර, ස්වියිරිඩෙන්කෝ ව්‍යාපාර සහ රාජ්‍ය අංශයේ විවිධ භූමිකාවන් දරුවා ය.
2015දී, ඇය චර්නිහිව් ප්‍රාදේශීය රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ වූ අතර, පළමුව ආණ්ඩුකාර වැලරි කුලිච්ගේ උපදේශකවරියක ලෙස කටයුතු කර, ඉක්මනින් ම ඉහළ ධූරයන් වෙත ළඟා වූවා ය.
එම තනතුර ආරම්භ කර මාස කිහිපයක් ඇතුළත ඇය ආර්ථික සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස උසස් කරන ලද අතර පසුව නියෝජ්‍ය අධිපතිනිය බවට පත්වූවා ය.
2018 වසන්ත සමයේදී කුලිච් සේවයෙන් පහ කෙරිණි. ස්වියිරිඩෙන්කෝ කලාපයේ වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙස මාස කිහිපයක් සේවය කරමින්, එම වසරේ ඔක්තෝබර් මාසයේදී ඉච්නියා අසල පතොරම් ගබඩා ගිනි ගැනීමේ සිද්ධියේදී හදිසි ප්‍රතිචාර දැක්වීමේ කටයුතු පෞද්ගලිකව අධීක්ෂණය කරමින් කටයුතු කළා ය.
නමුත් නව ආණ්ඩුකාරවරයෙකු පත් කිරීමෙන් අනතුරුව ඇය රාජ්‍ය සේවයෙන් ඉවත් වී ව්‍යාපාර කටයුතුවලට නැවත පැමිණියා ය.
දේශපාලනයේ ස්වියිරිඩෙන්කෝගේ වේගවත් නැගීම
2019දී එවකට අමාත්‍ය ටිමෝෆි මයිලෝවනොෆ් විසින් ආර්ථික සංවර්ධන, වෙළෙඳ හා කෘෂිකර්ම අමාත්‍යංශයට එක්වන ලෙස ඇයට ආරාධනා කිරීමත් සමග ස්වියිරිඩෙන්කෝ නැවත දේශපාලන ලෝකයට පිවිසියා ය.
එතැන් සිට ඇගේ නැගීම වේගවත් විය.
අමාත්‍යංශයට පත්වීමෙන් වසරකටත් අඩු කාලයකදී ඇය යෙර්මාක් යටතේ ජනාධිපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා බවට පත්විය. මාස එකොළහකට පසු, 2021 නොවැම්බර් මාසයේදී, ඇය ඩෙනිස් ෂ්මිහාල්ගේ රජයේ නියෝජ්‍ය අගමැතිනිය සහ ආර්ථික අමාත්‍යවරිය ලෙස පත් කරන ලදී.
එම වකවානුවේදී, ඇයගේ පත්වීම සම්බන්ධයෙන් ඇතැමුන් කියා සිටියේ, ඇයව කැබිනට් මණ්ඩලයට ඇතුළත් කර ඇත්තේ ඇන්ඩ්‍රි යෙර්මාක්ගේ බලපෑම වැඩි කිරීම සඳහා බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉපැයීම් ගැන මතභේදය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ස්වියිරිඩෙන්කෝ දේශපාලනයට පරිබාහිරවල ලද ඉපැයීම් සම්බන්ධයෙන් පසුගිය වසරේ, විපක්ෂ දේශපාලනඥයින්ගේ කෝපයට හේතු විය.
2024දී යුක්රේන මන්ත්‍රීවරුන්ගේ අනිවාර්ය වාර්ෂික මූල්‍ය වත්කම් ප්‍රකාශයේදී ස්වියිරිඩෙන්කෝ ප්‍රකාශ කළේ, කියෙව් ආර්ථික විද්‍යා පාසලේ (KSE) ඉගැන්වීමේ කටයුතුවල නියැළී මාස හයක් තුළ ඇය හ්රිව්නියා මිලියන තුනකට වඩා (ඩොලර් 71,690) උපයා ඇති බවයි.
"මෙම මුදල ඉහළ ම රාජ්‍ය විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන්ගේ වැටුප්වලට වඩා ගොඩක් වැඩියි," යැයි විපක්ෂ මන්ත්‍රී වොලොඩිමියර් අරීව් පැවසීය. "ඒක ඇගේ කැබිනට් ධූරයෙන් ලැබෙන වාර්ෂික ආදායමටත් වඩා වැඩියි."
මේ වසරේ අප්‍රේල් මාසයේදී, යුක්රේනයේ දූෂණ වැළැක්වීම පිළිබඳ ජාතික ඒජන්සිය නිවේදනය කළේ, අරියෙව්ගේ අභියාචනයකින් පසුව, ස්වියිරිඩෙන්කෝ දූෂණ විරෝධී නීතිවලට අනුකූල වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බවයි. තම විවේක කාලය තුළ සහ සති අන්තවල ඉගැන්වීම් කටයුතු කරන ස්වියිරිඩෙන්කෝ වරදක් සිදු කර ඇති බව ප්‍රතික්ෂේප කරයි.
KSEහි ප්‍රධානී ටිමෝෆි මයිලෝවනොෆ් පැවසුවේ, ඉගැන්වීම සඳහා ස්වියිරිඩෙන්කෝගේ මසකට ඩොලර් 6,000ක වැටුප ඉහළ මට්ටමක පවතින නමුත් එය ඇගේ මට්ටමේ වෘත්තිකයන් සඳහා වෙළෙඳපොළ අනුපාතවලට අනුකූල බවයි.
'සායක් ඇඳගත් යෙර්මාක්'
ස්වියිරිඩෙන්කෝ අගමැති ධූරයට පත් කිරීමෙන් එතරම් වෙනසක් සිදු නොවනු ඇතැයි විපක්ෂ දේශපාලනඥයින් යෝජනා කර තිබේ.
ඇයගේ නාමයෝජනාවට ප්‍රතිචාර දක්වමින්, යුක්රේනයේ හිටපු ජනාධිපති සහ යුරෝපීය සහයෝගීතාවයේ නායක පෙට්‍රෝ පොරොෂෙන්කෝ මෙසේ පැවසීය: "මේ රටේ, කළමනාකරුවන් පස් දෙනෙකු හෝ හය දෙනෙකු පාලනය කරනවා, එහෙම නැත්නම් එක් අයෙක්… ඔහුගේ නම ඇන්ඩ්‍රි යෙර්මාක්."
"කමිසයක් ඇඳලා යර්මාක් වගේ හිටිය ෂ්මිහාල් වෙනුවට සායක් ඇඳලා යර්මාක් වගේ ඉන්න ස්වියිරිඩෙන්කෝ පත් කරලා කිසිවක් වෙනස් වෙන්නේ නැහැ."
විශ්ලේෂකයින් පවසන්නේ, ඇය යුක්රේන ප්‍රතිපත්තිවලට කිසිදු පුළුල් වෙනසක් ගෙන ඒමට ඉඩක් නොමැති බවයි.
නමුත් තවත් ඇතැමෙකු පවසන්නේ ඇයට දක්ෂතා රැසක් ඇති බවයි. ඒ අතර ප්‍රධාන වන්නේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සාකච්ඡා කිරීමේ ඇගේ අත්දැකීම් ය.
එක්සත් ජනපද-යුක්රේන ඛනිජ ගිවිසුමට කටයුතු කිරීමට අමතරව, ඇය යුක්රේනයේ යුරෝපා සංගම් ප්‍රවේශය පිළිබඳ සාකච්ඡාවලට ද සම්බන්ධ වී තිබේ.
සඳුදා ඇයව අග්‍රාමාත්‍ය ධූරයට නම් කිරීමට ප්‍රතිචාර දක්වමින් ස්වියිරිඩෙන්කෝ පැවසුවේ, "මෙම තීරණාත්මක අවස්ථාවේදී තමා ගැන විශ්වාසය තැබීම සහ යුක්රේනයට සේවය කිරීමට අවස්ථාව ලබා දීම ගැන" සෙලෙන්ස්කිට "කෘතඥ වන" බවයි.
යුක්රේනයේ ආර්ථික විභවය ශක්තිමත් කිරීම, යුක්රේන ජාතිකයින් සඳහා ආධාරක වැඩසටහන් පුළුල් කිරීම සහ දේශීය අවි නිෂ්පාදනය ඉහළ නැංවීම රජයේ ප්‍රමුඛතා වනු ඇතැයි ඇය පැවසුවා ය.














