ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ෂඕලින් බෞද්ධ විහාරාධිපති හිමියන්ට ලිංගික අපචාර, මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා රැසක්
- Author, කෝ ඊව්
- Role, බීබීසී
- Author, ස්ටීවන් මැක්ඩොනල්
- Role, චීන වාර්තාකරු
ලෝක ප්‍රසිද්ධ ෂඕලින් විහාරයේ විහාරාධිපති වන ෂී යොන්ග්සින් හිමිට, මුදල් වංචා කිරීම, "කාන්තාවන් කිහිප දෙනෙකු සමග නුසුදුසු සබඳතා පැවැත්වීම" සහ "නීත්‍යනුකූල නොවන දරුවන් බිහි කිරීම" යන චෝදනා සම්බන්ධයෙන් ආයතන කිහිපයක් විසින් විමර්ශනය කරනු ලබන බව එම විහාරය ඉරිදා නිවේදනය කළේ ය.
මධ්‍යම චීනයේ හෙනාන් පළාතේ කඳු පන්තියක පිහිටා ඇති වසර 1,500ක් පැරණි ෂඕලින් පන්සල, සෑම වසරක ම ලෝකයේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන දහස් ගණනක් ශිෂ්‍යයන්ගේ ආකර්ෂණය හිමි කර ගත් ස්ථානයකි.
1999 සිට ෂඕලින් විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කරන ෂී හිමියන්, පන්සල ගෝලීය වෙළෙඳ නාමයක් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් "ප්‍රධාන විධායක නිලධාරී භික්ෂුව" (CEO monk) යන අන්වර්ථ නාමය හිමිකරගෙන තිබේ.
අඛණ්ඩ විමර්ශනයක කොටසක් ලෙස ඒ හිමියන් පැවිදි සහතිකය අහිමි කර ඇති බව චීන බෞද්ධ සංගමය සඳුදා නිවේදනය කළේ ය.
පැවිදි සහතිකය යනු පැවිද්දෙකු පැවිදි ප්‍රජාව අතර පිළිගන්නා බවට වන පිළිගැනීම පිළිබඳ සාක්ෂියකි.
"ෂී යොන්ග්සින්ගේ ක්‍රියාකලාපය ඉතා ම නරක යි, එය බෞද්ධ ප්‍රජාවේ කීර්ති නාමයට සහ භික්ෂූන් වහන්සේගේ ප්‍රතිරූපයට බරපතළ හානියක්," චීන බෞද්ධ සංගමය සිය නිවේදනයේ සඳහන් කර තිබිණි.
ඔහුගේ නායකත්වය යටතේ, විදේශයන්හි පාසල් විවෘත කිරීමෙන් සහ පන්සලේ සංකේතාත්මක සටන් කලාව වන ෂඕලින් කුංෆු ප්‍රදර්ශනය කළ භික්ෂූන් කණ්ඩායමක් නිර්මාණය කළේ ය.
සඳුදා උදෑසන Weiboහි [චීනයේ සමාජ මාධ්‍ය වේදිකාවක්] වැඩිපුර ම කියවූ මාතෘකාව වූයේ ෂී භික්ෂුව ගැන විමර්ශනය කෙරෙන බවට වූ පුවත ය. අනුගාමිකයින් 880,000කට වඩා සිටින සහ බෞද්ධ ඉගැන්වීම් සමග දිනපතා යාවත්කාලීන කරන ලද ඔහුගේ ම Weibo ගිණුමේ අවසාන සටහන ජූලි 24 වන දින තබා ඇත.
කාන්තාවන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම සහ පන්සල් අරමුදල් වංචා කිරීම සම්බන්ධයෙන් 2015දී ද ෂී භික්ෂුව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විණි. ඔහුට සමාගම් සහ පළාත් පාලන ආයතනවලින් මිල අධික තෑගි ලැබුණු බවට චෝදනා එල්ල වන අතර, ඒ අතරට වොක්ස්වැගන් SUV රථයක් සහ රන් නූල්වලින් වියන ලද සිවුරක් ද ඇතුළත් වේ.
එම භික්ෂුව වංචා කිරීම සහ දරුවන් කිහිප දෙනෙකුගේ පියෙකු වීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද නමුත් පසුව චෝදනාවලින් නිදහස් වූයේ ය.
2015 දී බීබීසී චීන සේවය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී, දූෂණ චෝදනා සහ කාන්තාවන් සමග පැවැත්වූ බව කියන සම්බන්ධතා පිළිබඳව ෂී භික්ෂුවගෙන් විමසන ලදී.
"එහෙම ගැටලුවක් තිබුණා නම්, ඒක ගොඩක් කාලෙකට කලින් එළිවෙන්න තිබුණා," භික්ෂුව එහිදී පැවසීය.
2015දී ඩොලර් මිලියන 300කට ආසන්න මුදලක් වැය කරමින් හෝටලයක්, කුංෆු පාසලක් සහ ගොල්ෆ් පිටියක් ද ඇතුළත් විහාර සංකීර්ණයක් ඉදිකිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් ෂඕලින් පන්සල ද විවේචනයට ලක් විය.
"ෂඕලින්" යන නාමය වසර ගණනාවක් පුරා පොප් සංස්කෘතිය තුළ ප්‍රමුඛස්ථානයක් ලබා ගෙන ඇති අතර, 1982 දී ජෙට් ලී රඟපෑ චිත්‍රපටයක නම වූයේ ද එයයි. ඇමෙරිකානු හිප්-හොප් කණ්ඩායමක් වන Wu-Tang Clan විසින් මෙම විහාරස්ථානය ගීතවල සඳහන් කර ඇති අතර, එය Mortal Kombat වීඩියෝ ක්‍රීඩාවේ අලුත් වීඩියෝ ක්‍රීඩාවකට ආභාසය ලබා දී ඇත.
චීනයේ භික්ෂුවකට අනියම් බිරිඳක් සිටීම හෝ ඔවුන් මාංශ අනුභව කිරීම සාමාන්‍ය ජනතාවගෙන් බොහෝ දෙනෙකු අතර අප්‍රසාදයක් ඇති කරන්නක් නොවන අතර කුංෆු කලාවට හා බැඳී සිටින අය සම්බන්ධයෙන් මෙය විශේෂයෙන් ම සත්‍යයක් ලෙස පවතියි.
ඔවුන්ගේ අවධානය යොමු වී ඇත්තේ, ශාරීරික සටන් සහ පුහුණුව තුළින් අභ්‍යන්තර ආධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි නිසා වන බැවින්, ඔවුන් සාම්ප්‍රදායික බෞද්ධ ඉගැන්වීම් දැඩි ලෙස අනුගමනය නොකිරීම එතරම් සදාචාරාත්මක ගැටලුවක් ලෙස නොසලකයි.
කෙසේ වෙතත්, බලධාරීන් විහාරාධිපති ෂීට එරෙහිව වංචා සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව වාර්තා වන අතර, එය පෙර සඳහන් කළ ආකාරයේ වරදක් ලෙස දැකිය නොහැකි ය.
භික්ෂුව වංචා සහ දූෂණ සම්බන්ධයෙන් වැරදිකරු වුවහොත් චීන මහ ජනතාවගෙන් භික්ෂුවගේ කීර්ති නාමයට දැඩි බලපෑමක් එල්ල වනු ඇත.