ඔස්ට්‍රේලියාවේ නව යොවුන් දරුවන්ගේ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වසා දැමීමට මෙටා සූදානම් වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ඩියර්බේල් ජෝර්ඩ්න්
- Author, සයිමන් ඇට්කින්සන්
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16න් පහළ ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පැනවීමට නියමිතව තිබියදී, ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ ත්‍රෙඩ්ස්හි සිටින නව යොවුන් වියේ පසුවන ඔස්ට්‍රේලියානුවන්ගේ ගිණුම් වසා දමන බව දැනුම් දී තිබේ.
මෙම සන්නාම තුනෙහි හිමිකාරීත්වය දරන මෙටා සමාගම පැවසුවේ, වයස අවුරුදු 13ත් 15ත් අතර යැයි විශ්වාස කරන පරිශීලකයින්ට දෙසැම්බර් 4 වන දින සිට ඔවුන්ගේ ගිණුම් අක්‍රිය කිරීම ආරම්භ කරන බවට කෙටි පණිවිඩ, විද්‍යුත් තැපෑල සහ යෙදුම තුළ පණිවිඩ මගින් දැනුම් දීම ආරම්භ කර ඇති බව ය.
ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16න් පහළ යෞවන යෞවනියන්ට අදාළ සමාජ මාධ්‍ය තහනම දෙසැම්බර් 10 වන දින සිට බලාත්මක වන අතර එය TikTok, YouTube, X සහ Reddit ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා ගණනාවකට බලපායි.
"ලොව ප්‍රමුඛතම" තහනමක් ලෙස පිළිගැනෙන මෙම තහනම "දරුවන්ට දරුවන් වීමට ඉඩ දීම" අරමුණු කර ගත් බව අගමැති ඇන්තනි ඇල්බනීස් පැවසීය. මෙටා සහ අනෙකුත් සමාගම් මෙම පියවරට විරුද්ධ වුව ද ඊට අනුකූල වන බව ඔවුහු පැවසූහ.
ඔස්ට්‍රේලියාවේ ඉන්ටර්නෙට් නියාමන ආයතනය ඇස්තමේන්තු කර ඇත්තේ, ඉන්ස්ටග්‍රෑම්හි වයස අවුරුදු 13-15 අතර ෆේස්බුක් පරිශීලකයින් 150,000ක් සහ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් 350,000ක් සිටින බව ය.
දෙසැම්බර් 4 වන දින සිට, වයස අවුරුදු 16ට අඩු දරුවන්ට මෙටා සමාජ මාධ්‍ය වේදිකාවල ගිණුම් නිර්මාණය කිරීමට නොහැකි වනු ඇත.
තරුණ පරිශීලකයින් ගිණුමක් විවෘත කිරීමට සුදුසුකම් ලැබූ විට ඔවුන්ට ඒ පිළිබඳව දැනුම් දීම සඳහා ඔවුන්ගේ තොරතුරු යාවත්කාලීන කරන ලෙස සමාගම පැවසීය.
ඔවුන්ගේ ගිණුම් වසා දැමීමට පෙර ඔවුන්ට ඔවුන්ගේ සටහන්, වීඩියෝ සහ පණිවිඩ ඩවුන්ලෝඩ් කර සුරක්ෂිත කළ හැකි ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ ත්‍රෙඩ් භාවිත කිරීමට සුදුසු වයසක පසු වන බව පැවසූ යෞවනයන්ට, මුහුණේ වයස ස්කෑන් කිරීමේ ක්‍රමය හරහා "වීඩියෝ සෙල්ෆියක්" ඉදිරිපත් කිරීමෙන් සීමාවට අභියෝග කළ හැකි බව මෙටා පැවසීය.
ඔවුන්ට රියැදුරු බලපත්‍රයක් හෝ රජයෙන් නිකුත් කරන ලද වෙනත් හැඳුනුම්පතක් ද ඉදිරිපත් කළ හැකි ය.
මෙම සියලු සත්‍යාපන ක්‍රම මෙම වසර මුලදී ඔස්ට්‍රේලියානු රාජ්‍යය විසින් නිකුත් කරන ලද වාර්තාවක් අනුව, එක්සත් රාජධානිය පදනම් කර ගත් වයස් පරීක්ෂාව සහතික කිරීමේ යෝජනා ක්‍රමය (ACCS) විසින් පරීක්ෂා කරන ලදී.
සියලු ම ක්‍රම සාර්ථක බව ACCS පැවසූ අතර, එය තවදුරටත් මෙසේ පැවසීය: "සියලු භාවිත අවස්ථාවන්ට ගැලපෙන තනි සර්වසම්පූර්ණ විසඳුමක් අපට හමු වුණේ නැහැ, ඒ වගේ ම සියලු යෙදුම්වලදී ඵලදායී බව සහතික වූ විසඳුම් අපට හමු වුණේ නැහැ."
වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය අවහිර කිරීම සඳහා "සාධාරණ පියවර" ගැනීමට අපොහොසත් වන සමාජ මාධ්‍ය වේදිකාවලට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50 (£25m) දක්වා දඩ මුදල් පැනවීමට සිදුවේ.
"දෙසැම්බර් 10 වෙනකොට වයස අවුරුදු 16ට අඩු සියලු ම පරිශීලකයින් ඉවත් කිරීමට අපි මහන්සි වෙලා වැඩ කරන අතර, නීතියට අනුකූල වීම අඛණ්ඩ සහ බහු ස්ථර ක්‍රියාවලියක් වනු ඇති," මෙටාහි උපසභාපති සහ ගෝලීය ආරක්ෂක ප්‍රධානී ඇන්ටිගනී ඩේවිස් රොයිටර්ස් ෆිනෑන්ෂල් වෙත පැවසීය.
වයස අවුරුදු 16ට අඩු ළමයින් සමාජ මාධ්‍ය යෙදුමක් ඩවුන්ලෝඩ් කිරීමට පෙර දෙමාපියන්ගේ අනුමැතිය ලබා ගත යුතු බවට නීතියක් හඳුන්වා දීමට මෙටා සමාගමට අවශ්‍ය වී තිබේ.
"යෞවනයන් නිර්මාණශීලී යි, ඒ නිසා සීමා කරන ලද සේවාවන් වෙත ප්‍රවේශ වීම සඳහා වයස් සහතික කිරීමේ පියවරයන් මග හැරීමට උත්සහ කළ හැකි යි" යනුවෙන් මෙටා සමාගම ඔස්ට්‍රේලියාවේ Seven News වෙත පැවසීය.
එහි මෙසේ සඳහන් විය: "අපගේ අනුකූලතා බැඳීම් ඉටු කරන්න අපි කැපවී සිටින අතර නීතියට අනුකූල වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා."
ඔස්ට්‍රේලියාවේ විද්‍යුත් ආරක්ෂණ කොමසාරිස් ජූලි ඉන්මන් ග්‍රාන්ට් පැවසුවේ, "සමාජ මාධ්‍ය ගිණුම්වලට ලොග් වී සිටින විට යෞවනයන් මුහුණ දිය හැකි පීඩන සහ අවදානම්වලින්" ආරක්ෂා කිරීම මෙම තහනමේ අරමුණ බව ය.
තහනමට අදාළ වීම වළක්වා ගැනීමේ පියවරක් ලෙස, පරිගණක ක්‍රීඩා වේදිකාවක් වන රොබ්ලොක්ස් මෙම සතියේ නිවේදනය කළේ, වයස අවුරුදු 16ට අඩු දරුවන්ට වැඩිහිටි ආගන්තුකයන් සමග කතාබස් කිරීමට නොහැකි වනු ඇති බව ය.
දෙසැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ නෙදර්ලන්තය සඳහාත්, පසුව ජනවාරි මාසයේ සිට ලෝකයේ සෙසු රටවලටත්, චැට් විශේෂාංග භාවිත කරන ගිණුම් සඳහා අනිවාර්ය වයස් පරීක්ෂාවන් හඳුන්වා දෙනු ලැබේ.
ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම අදාළ වන සමාගම් මොනවා ද?
වයස් තහනම බලපාන සමාජ මාධ්‍ය වේදිකා ලැයිස්තුවක් ඔස්ට්‍රේලියාවේ විද්‍යුත් ආරක්ෂණ කොමසාරිස්වරයා ප්‍රකාශයට පත් කර ඇත.
ඒවා මෙසේ ය:
- Kick
- Snapchat
- Threads
- TikTok
- X (Twitter)
- YouTube
තහනම ක්‍රියාත්මක නොවන සමාජ මාධ්‍ය:
- Discord
- GitHub
- Google Classroom
- LEGO Play
- Messenger
- Roblox
- Steam and Steam Chat
- YouTube Kids














