වැඩිමල්කම යනු බාලයන්ට පහර දීමට ලැබුණු වරමක් ද?

ශ්‍රී ලංකාවේ නවක රංගන ශිල්පිනියක වන උමා අසේනි සිය සොහොයුරියගේ විවාහ උත්සවයේදී කළ කතාවක් හේතුවෙන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වැඩි අවධානයක් යොමු නොවූ පැත්තක් පිළිබඳව සමාජ මාධ්‍ය හරහා අවධානයක් යොමු වී තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාවේ නවක රංගන ශිල්පිනියක වන උමා අසේනි සිය සොහොයුරියගේ විවාහ උත්සවයේදී කළ කතාවක් හේතුවෙන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වැඩි අවධානයක් යොමු නොවූ පැත්තක් පිළිබඳව සමාජ මාධ්‍ය හරහා අවධානයක් යොමු වී තිබිණි.

ඇය කළ කතාවේ කොටසක් සමාජ මාධ්‍යවල පළ කර තිබුණු අතර, බොහෝ දෙනෙකු ඇයගේ කතාව උත්කර්ෂයට නංවමින් අදහස් පළ කර තිබෙනු දක්නට ලැබිණි.

ඇයගේ කතාවේ මෙම ප්‍රස්තුතයට අදාළ කොටස් කිහිපයක් පහත දැක්වේ.

"මායි නංගියි ගැන කතා කරනකොට අපිට කතා කරන්න තියෙන ගොඩක් දේවල් නිකං ඊශ්‍රායෙල් පලස්තීන යුද්ධෙ වගේ. අද කියල වෙනසක් නෑ. අදත් මාත් එක්ක රණ්ඩු වෙලා අඬල ඉන්නෙ."

"මම කැමති නෑ අම්මගෙන් තාත්තාගෙන්වත් එයා වචනයක්වත් අහනවට. මම කැමති නෑ එයාට වෙන කවුරුවත් අතක්වත් උස්සනවට. හැබැයි මට එයා එක්ක ආදරණීය මතක නෑ. ගහනකොට පයිනුත් ගහල යන්නෙ මම‍‍‍. හැබැයි ඒ මම විතරයි. වෙන කිසි ම කෙනෙක්, එයාට එක වචනයක්වත් කියනවාට, එයාට එක ඇඟිල්ලක්වත් උස්සනවට මම කැමති නෑ. මම එහෙම වෙන්න දෙන්නෙත් නෑ‍."

'නංගියේ මං ආදරේට නෙ ගැහුවේ - දෑවැද්දට ගෘහස්ත ප්‍රචණ්ඩත්වය!'

ඉහත සඳහන් උධෘතය යොදමින් උමා අසේනිගේ කතාව සම්බන්ධයෙන් 'ළමා හිංසනයට තිත පදනමේ' සභාපති සහ ළමා ආරක්ෂක සන්ධානයේ සම කැඳවුම්කරු වෛද්‍ය තුෂ් වික්‍රමනායක සිය ෆේස්බුක් පිටුවෙහි අදහස් දක්වා තිබිණි.

"ලංකාවේ ප්‍රචණ්ඩත්වය සාධාරණය කිරීම මීටත් වඩා හොඳින් අහන්න වෙන්නෙ නෑ. අක්කා පයින් ගහපු හැටි රොමැන්තිකරණය කරන්න මීටත් වඩා වචන නෑ. දරුවන් අතර ඇති වන ගෘහස්ත ප්‍රචණ්ඩත්වය තේරුම් ගන්න මීටත් වඩා සාධක අවශ්‍ය නෑ," ඇය පෙන්වා දී තිබේ.

"පුතේ, මං ගැහුවේ ආදරේට" කියලා කියන එක තරම් දරුවන්ට මොලේ අවුල් වෙන දෙයක් නෑ. ආදරයයි ප්‍රචණ්ඩත්වයයි එක ම මිණුම් දණ්ඩෙන් සමාන්‍යකරණීය කරන තරම් මොංගල් දෙයක් නෑ. හැබැයි වචනවලින්, හැඟීම්වලින් වෙස් වළා ගත් සත්‍යයට මිනිස්සු රැවටෙන හැටි ලයික්ස්, හාර්ට්ස්, ෂෙයාස්වලින් පේනවා නෙ.." ඇය සටහන් කර තිබිණි.

මේ අතර, රංගන ශිල්පිනියක ලෙස සමාජය හඳුනන යම් ප්‍රසිද්ධියක් සහිත කාන්තාවක විසින් ප්‍රචණ්ඩත්වය උත්කර්ෂයට නංවමින් කළ කතාව සම්බන්ධයෙන් තවත් පුද්ගලයින්ගෙන් ද විවේචන එල්ල වී තිබිණි.

විශාල පිරිසක් එම ප්‍රකාශය සාධාරණීකරණය කර තිබුණු අතර, උමා අසේනිගේ ඇතැම් සමකාලීන රංගන ශිල්පිනියන් එය උත්කර්ෂයට නංවමින් සිය සමාජ මාධ්‍ය පිටුවල පළ කර තිබූ අයුරු ද දැක ගත හැකි විය.

බොහෝ පිරිසක් සහෝදර සහෝදරියන් අතර සිදු වන ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කිරීමට උත්සහ කර තිබූ ආකාරයෙන් පෙනී ගියේ, ශ්‍රී ලංකාවේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වැඩි පිරිසකට නිසි අවබෝධයක් නොමැති බව ය.

'වැඩිමල්කම කියන්නේ බාලයින්ට පහර දීමට ලැබෙන වරමක් නෙවෙයි'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඇතැම් පවුල්වල දෙමාපියන් රැකියාවල නිරත වන හෙයින් බොහෝවිට දරුවන් පමණක් නිවසේ තබා යාමට සිදුවන අවස්ථා තිබේ.

එවන් අවස්ථාවලදී දෙමාපියන් බාල දරුවන්ගේ වගකීම පවරන්නේ, වැඩිමල් දරුවාට ය.

දරුවෙකු වැඩිමල් වුව ද, එම දරුවා ද දරුවෙකු වන හෙයින් සෙසු සොහොයුරු සොහොයුරියන් රැක බලා ගැනීම පිළිබඳව ඔහුට හෝ ඇයට නිසි අවබෝධයක් නැත.

මනෝවෛද්‍යවරුන් පවසන්නේ, එවැනි අවස්ථාවල වැඩිමල් දරුවන් බාල දරුවන්ට පහර දීමෙන් හෝ බැන වැදීමෙන් ඔවුන් පාලනය කිරීමට උත්සහ කරන බව ය.

ඊට අමතරව, වැඩිමල් දරුවන් බොහෝවිට සිය වැඩිමල්කම ප්‍රයෝජනයට ගනිමින් බාල දරුවන් ශාරීරිකව හෝ මානසිකව පීඩාවට ලක්කිරීමට පෙළඹෙන අවස්ථා තිබේ.

"වැඩිමල්කම කියන්නේ බාල දරුවන්ට පහර දෙන්න ලැබුණ වරමක් නෙවෙයි. ඒක ගෘහස්ත හිංසන යටතට වැටෙනවා. දෙමාපියන් හෝ වැඩිහිටියන් සෑම විට ම උත්සහ කළ යුත්තේ, දරුවන් අතර ඇති වන ප්‍රශ්න සාමකාමීව සහ සාකච්ඡාමය මාර්ගයෙන් විසඳා ගැනීමට ඔවුන් පෙළඹවීමට යි. පවුලේ බාල දරුවන්ටත් මානව හිමිකම් තියෙනවා. බාල දරුවන්ට දිගින් දිගට ම වැඩිමල් දරුවන්ගෙන් අඩන්තේට්ටම් සිද්ධ වෙනවා නම් එම දරුවන්ගේ පෞරුෂත්වයට අයහපත් ලෙස බලපෑම් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා මෙතනදි සිදු වුණ පළවෙනි වරද තමයි, වැඩිමල් දරුවා බාල දරුවෙකුට නිතර පහර දීම. ඒක සාධාරණීකරණය කරන්න බැහැ," ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.

ප්‍රචණ්ඩත්වය උත්කර්ෂයට නැංවීම

මෙහිදී, සිය සොහොයුරියට එරෙහිව කුමන අරමුණකින් වුව ද සිදු කළ ප්‍රචණ්ඩත්වය ප්‍රසිද්ධියේ උත්කර්ෂයට නැංවීම ද සාධාරණීකරණය කළ නොහැකි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පෙන්වා දුන්නා ය.

"විවාහ උත්සවයක් වැනි සැලකිය යුතු පිරිසක් එක්රැස් වූ ස්ථානයක පහර දීම සාධාරණීකරණය කිරීම සහ උත්කර්ෂයට නැංවීම හරහා ප්‍රචණ්ඩත්වය සමාජගත වීමක් සිදු වෙනවා. ගොඩක් අය ඒ කතාව ෂෙයාර් කරලා තිබුණේ, 'අක්කාගේ ආදරේ' කියන උධෘතය යටතේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්, අක්කාගෙ ආදරේ කියන්නේ නංගිට දකින දකින තැන පහර දෙන එක ද? කියලා‍."

'ආදරේට කොහොම ද කෙනෙකුට ගහන්නේ?'

'ආදරේට කොහොම ද කෙනෙකුට ගහන්නේ?,' ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රශ්න කරයි.

'අපි කෙනෙකුට ගහන්නේ ආදරේට කියන එක බොරුවක්. ආදරේට නෙවෙයි ගහන්නේ. අපි ගහන්නේ අපේ කෝපය නිසා. තවත් මිථ්‍යා මතයක් තියෙනවා, 'අපි අද මේ තැන්වල ඉන්නේ අපට දෙමාපියෝ, ගුරුවරු හොඳට ගහපු නිසා' කියලා. ඒක වැරදි මතයක්. මට කවුරුවත් පොඩි කාලේ ගහල නෑ. ඒත් මම මේ වෙනකොට යම් හොඳ තැනක ඉන්නවා. පහර දීමෙන් වෙන්නේ දරුවන්ගේ නිර්මාණශීලීත්වය නැති වෙන එක.'

'ප්‍රසිද්ධ පුද්ගලයෙකු නම් වගකීම වැඩි යි'

උමා අසේනි ප්‍රසිද්ධ කාන්තාවක් වන හෙයින් ඇය කළ කතාව සමාජගත වීම වැඩියෙන් සිදු විය හැකි බවත්, එහෙයින්, එවැන්නන් ප්‍රසිද්ධියේ කතා කිරීමේදී වැඩි වගකීමකින් කතා කළ යුතු බවත් අනෝමා සිරිවර්ධන පෙන්වා දුන්නා ය.

'ප්‍රසිද්ධ පුද්ගලයින් අනුගමනය කරන අය ඉන්නවා. ඔවුන්ට ආදරය කරන අය වැඩි යි. ඒ නිසා ඔවුන් කරන ප්‍රකාශ රසිකයින්ගේ ජීවිතවලට බලපාන්න පුළුවන්. ඒ නිසා ප්‍රචණ්ඩත්වය වගේ දේවල් ගැන කතා කරද්දී ඒක උත්කර්ෂයට නැංවීම හෝ සාධාරණීකරණය කිරීම කිසිසේත් නොකළ යුතු දෙයක්. ඔවුන්ට වගකීමක් ඇතිව තමන්ගේ අදහස් පළ කළ යුතු යි.'

බෞද්ධ සාහිත්‍යයේ උදාහරණ

ඉහත පෙන්වා දුන් පරිදි, දරුවෙකුගෙන් පමණක් නොව සතෙකුගෙන් පවා ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කිරීමෙන් කිසිවක් නිවැරදිව කළ නොහැකි බව පුරාණයේ ලියැවුණු ජාතක කතාවලින් පවා පෙන්වා දී තිබේ.

'නන්දිවිශාල ජාතකය' එවැන්නකි.

'බ්‍රාහ්මණ තෙමේ ගැල් සියයක් වැලි කැටකැබලි ගලින් ම පුරවා පිළිවෙළින් තබා සියල්ල අකර බඳිනා යොතින් එකට බැඳ නන්දිවිශාල නම් ගවයා නහවා සුවඳින් පසඟුල් දී ග්‍රීවායෙහි මල් පළඳවා පළමු ගැල් ධුරයෙහි හුදකලාව ම යොදා තෙමේ ගැල්හි හිඳ කැවිට ඔසවාගෙන 'අදුව කුළ උසුලව කුළ'යි කීයේ ය.

බෝධිසත්වයන් වහන්සේ මේ තෙමේ අකුළු වූ මට කුළුවචනයෙන් කියන්නේ යයි කිසා සතරපය ටැඹක් මෙන් නිශ්චල කොට සිටි සේක. සිටාණෝ එකෙණෙහි ම බ්‍රාහ්මණයාගෙන් වස්තු දහස ගෙන්වා ගත්තෝය.

බ්‍රහ්මණ තෙමේ දහසෙකින් පැරදුණේ ය. ගවයා මුදාහැර ගෙට ගොස් ශෝකයෙන් මඩනා ලදුව හොත්තේ ය. නන්දිවිශාල නම් ගොනා තණ කා ආයේ ශෝකයෙන් මඩනා ලද බ්‍රාහ්මණයා දැක සමීපයට එළඹ බ්‍රාහ්මණය කවර හෙයකින් නිද්‍රාව කරන්නෙහි දැයි කීයේ ය.

දහසකින් පැරදුණා වූ මට නිදි කොයින් දැයි කීය. බ්‍රාහ්මණය මෙපමණ කලක් තොපගේ ගෙයි වසන්නා වූ මා විසින් කිසි භාජනයක් බිඳපීමක් හෝ කිසිවක් මැඩ මීරිකීමක් හෝ නුසුදුසු තැනෙක්හි මළමුත්‍ර බැහීමක් හෝ කළවිරී දැයි කීයේ ය. පුත්‍රය එවැනි දෙයක් නැත්තේ යයි කීය.

එසේ කල්හි මට කවර කාරණයකින් කුළුවාදයෙන් කීයෙහි ද? මේ තෙම තොපගේ දෝෂ වන්නේ ය. මාගේ දෝෂයෙක් නැත්තේ ය. යව ඒ සිටාණන් හා සමග වස්තු දෙදහසකින් පරදු කොට තබව. හුදෙක් අකුළු වූ මට කුළවාදයෙන් කථා නොකරවයි කීයේ ය."

ඉහත උපුටා දක්වන ලද නන්දි විශාලජාතකයේ කොටසින් ජාතක කතාකරුවා උත්සහ කරන්නේ, බැන වැදීම්, පහර දීම්වලින් කිසිදු ජයක් ලැබිය නොහැකි බවත්, ආදරණීය වචනවලින් වඩා යහපතක් සිදු වන බවත් පෙන්වා දීමට ය.

'ඈත අතීතයේ පවා පහර දීම්, බැන වැදීම් වැනි ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දුටු සමාජයක් තිබූ ශ්‍රී ලාංකිකයින් දැන් ඉන්නේ කොතන ද? කියන කනගාටුදායක ප්‍රශ්නය අපේ හිතේ ඇති වෙනවා. මේක තේරුම් නොගත්තොත් ශ්‍රී ලාංකික සමාජය තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙන්න පුළුවන්,' ජාතික ළමා ආරක්ෂ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන අනතුරු ඇඟවීය.

ගෘහස්ත ප්‍රචණ්ඩත්වය යනු කුමක් ද?

ගෘහස්ත ප්‍රචණ්ඩත්වය යනු අඹුසැමියන් විසින් එකිනෙකාට එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩත්වයන් පමණක් නොවන අතර, එයට පවුල් පරිසරය තුළ විවිධ ඥාති සම්බන්ධතා ඇති පුද්ගලයින් අතර ඇති විය හැකි ශාරීරික, ලිංගික හා මානසික ප්‍රචණ්ඩත්වයන් ද ඇතුළත් වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසයි.

ඒ අනුව, සොහොයුරු සොහොයුරියන් අතර සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියා ද ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට යටත් වේ.

ගෘහස්ත පරිසරය තුළ සිදු වන ඇතැම් ප්‍රචණ්ඩකාරී ක්‍රියා, පහර දීම්, ස්ත්‍රී දූෂණ, ලිංගික හිංසන, අතවර ඇතුළු මනුෂ්‍ය ශරීරයට සිදු කෙරෙන සියලු අපරාධ දණ්ඩ නීති සංග්‍රහයේ පොදු සාපරාධී ක්‍රියා ගණයට අයත් විය හැකි ය.

2005 අංක 34 දරන ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වන නීතිය යි.

ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ගැන දැනුම් දෙන්න

ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සිදු වන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංක වන 118 හෝ 119 ඇමතිය හැකි ය.

ඊට අමතරව, ඒ සම්බන්ධයෙන් මනෝ චිකිත්සක සේවා සඳහා යොමු වීමට ආසන්නයේ ම පිහිටි රෝහලක් වෙත යා හැකි ය.