ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වැඩිහිටි විය: 'පනස් නවයයි රෑ දොළහට නෙවෙයි, වේලාසන ඉඳලා සැලසුම් කරන්න'
- Author, අමන්දා අබේසූරිය
- Role, බීබීසී සිංහල
ශ්‍රී ලංකාවේ සිටින්නේ සීඝ්‍රයෙන් වයස්ගතවෙමින් සිටින ජනගහණයකි. 2012 වසරේ දී සිදුකළ ජාතික ජන හා නිවාස සංගණනයට අනුව එකල මෙරට ජනගහණයෙන් 12.4%ක ප්‍රතිශතයක් වැඩිහිටි පුද්ගලයින් ය.
ජනගහණ පුරෝකතනයන්ට අනුව 2020 වන විට එය 16% දක්වා ඉහළ නැග තිබිය යුතු අතර, 2050 වන විට මෙරට ජනගහණයෙන් 5%ක් වයස අවුරුදු 80ට වැඩි ජනතාවක් වනු ඇතැ යි අපේක්ෂා කෙරෙයි.
ශ්‍රී ලංකාවේ ජාතික වැඩිහිටි සෞඛ්‍ය ප්‍රතිපත්තියෙහි සඳහන් වන ආකාරයට වැඩිහිටි ජනයා ලෙඩරෝගවලට ගොදුරුවීමේ ඉඩකඩ වැඩි අතර, හුදෙකලාබව, ගෞරවනීය තත්ත්වයක් නොමැතිවීම, ස්වාධීනව විසීමට අපහසුවීම, මූල්‍යමය අස්ථාවරත්වය, හා ප්‍රමාණවත් සමාජ සුරක්ෂිතතාවක් නොමැතිවීම වැනි සමාජමය ගැටළු නිසාවෙන් ද ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට තවත් බලපෑම් එල්ලවෙයි.
එනමුදු, වැඩිහිටි වියේ දී මතුවන ඇතැම් ගැටළු දැනුවත්වීම හා පෙර සූදානම මඟින් මඟහරවාගත හැකි ඒවා ය.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනී, විශේෂඥ ප්‍රජා වෛද්‍ය ශිරෝමි මාදුවගේ පවසන පරිදි ශ්‍රී ලංකාව වැඩිහිටියා ලෙස අර්ථකථනය කරන්නේ, වයස අවුරුදු 60 සම්පූර්ණ කළ සහ ඊට වැඩි වයස්වල අය යි.
මෙය ද, වයස අවු. 60 - 69 කාණ්ඩය 'තරුණ' වැඩිහිටි ලෙස ද, 70 - 79 කාණ්ඩය 'වැඩිහිටි' ලෙස ද, 80න් ඉහළ සියලු වයස් 'වයෝවෘධ' ලෙස ද කොට කොටස් තුනකට බෙදෙනබව විශේෂඥ ප්‍රජා වෛද්‍යවරිය ප්‍රකාශ කළා ය.
සාමාන්‍යයෙන් සමාජ ආරක්ෂණ පද්ධතියක වැඩි අවශ්‍යතාව මතුවන්නේ මේ 'වයෝවෘධ' වැඩිහිටියන්ට ය.
වැඩිහිටි විය සඳහා පෙර සිට සූදානම්විය යුතු ය
සාම්ප්‍රදායිකව අප රට තුළ පැවැතුණේ එකම පවුලේ පරම්පරා කීපයක සාමාජිකයින් එක්ව එක් නිවෙසක විසූ විස්තෘත පවුල් ක්‍රමයකි. මෙනිසා, වයස්ගතවීමත් සමග යැපෙන්නන්බවට පත්වන වැඩිහිටියන් රැකබලා ගැනීම ගැටළුවක් නොවීය.
නමුත් කාලයත් සමග සමාජය හා ආර්ථිකය වෙනස්වීම නිසා අලුත් පරම්පරා නගරයට සංක්‍රමණයවීමත්, අලුත් පවුල් න්‍යෂ්ටික පවුල්බවට පත්වීමත්, කාන්තාවන් ශ්‍රම බලකායට එක්වීමත් සිදුවිය. මෙනිසා අතීතයේ දී පවුල තුළ වැඩිහිටියන්ට ලැබුණු රැකවරණය එලෙසින්ම සැපයීමට වත්මන් පරම්පරාවන් අපොහොසත්ව සිටියි.
වර්තමානයේ දී වැඩිහිටියන්ට ඔවුන්ගේ ආදායම අහිමිවීම, කලත්‍රයා අහිමිවීම, දරුවන් නොමැතිවීම හෝ වැඩිහිටියා රැකබලා ගැනීමට වත්කමක් හෝ හැකියාවක් දරුවන්ට නොමැතිවීම වැනි සමාජයීය හා ආර්ථික කාරණා නිසාවෙන් පිළිසරණක් නොමැතිවිය හැකි ය.
එසේම, වයස්ගත වැඩිහිටියන් අතර බෝ නොවන රෝග මතුවීමේ වැඩිබව ඔවුන්ගේ ජීවිතයේ ගුණාත්මකභාවය පහත හෙළිය හැකි ය. බොහෝ වැඩිහිටියන්ට හෘද රෝග, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග කීපයක් හා වෙනත් ආබාධ තත්ත්වයන් ද ඇතිබව ප්‍රජා වෛද්‍ය විශේෂඥ මාදුවගේ පැවසුවා ය.
එනමුත්, වැඩිහිටි අවධිය සඳහා තරුණ කාලයේ සිටම සූදානම්වීම හරහා මේ ඇතැම් ගැටළු මඟහරවාගත හැකි ය. මෙය 'සක්‍රීය වයස්ගතවීම' ලෙස හැඳින්වෙයි.
විශ්‍රාම දිවිය - 'පනස් නවයයි රෑ දොළහට නෙවෙයි, වේලාසන ඉඳලා සැලසුම් කරන්න'
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිර්වචනය කෙරෙන ආකාරයට, 'සක්‍රීය වයස්ගතවීම' යනු යමෙකු වයස්ගතවන විට ඔවුනගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් සෞඛ්‍යය, සහභාගීත්වය සහ ආරක්ෂාව සඳහා ඇති අවස්ථාවන් ප්‍රශස්තකරණයේ ක්‍රියාවලිය යි.
ඒ හරහා, මිනිසුන්ට ඔවුනගේ ජීවිත කාලය පුරාවට යහපැවැත්ම සඳහා ඔවුනට ඇති ශක්‍යතාව අවබෝධකර ගැනීමට ද, ඔවුන්ට උපකාර අවශ්‍යවූ විට ප්‍රමාණවත් රැකවරණයක්, ආරක්ෂාවක් සහ උවටැනක් සපයන අතරේ ඔවුන්ගේ අවශ්‍යතා, ආශාවන් සහ හැකියාවන් අනුව සමාජයට සහභාගීවීමට ද ඉඩ සලසයි.
විශේෂඥ ප්‍රජා වෛද්‍ය මාදුවගේ පවසන පරිදි සක්‍රීය, සෞඛ්‍යමත් වැඩිහිටියෙකුබවට පත්වෙන ආකාරය තරුණ අවධියේ පටන්ම සැලසුම්කර, ජීවන චක්‍රය මීට හැඩගස්වාගත යුතු ය.
එනමුදු, සක්‍රීය වයස්ගතවීම පුහුණු කරන්නේ නම්, එය පමණක් නොව ඊට ඇති අනෙක් 'අතුරු පාරවල්' ගැන ද සිතිය යුතුබව විශේෂඥ වෛද්‍යවරිය පවසන්නී ය.
"ඒකට කොහොමද අපි සමාජ ආරක්ෂාව වර්ධනයකර ගන්නෙ, කොහොමද අපි අපේ ආර්ථික ආරක්ෂාව ස්ථාවරකර ගන්නේ; අන්න ඒවා ටිකත් ඒකත් එක්ක එකට බැඳිලා ඉදිරියට යන්න ඕන දේවල් වෙනවා. නමුත් මේ පුරුද්ද තවම අපේ ප්‍රජාවට ගිහින් මඳි," ඇය පවසයි.
මෙරට වැඩිහිටියන් සාමාන්‍යයෙන් විශ්‍රාම යන වයස වන්නේ අවු. 60 යි. එසේම, ඔවුන්ගේ වැඩිහිටි දරුවන්ගේ විශාලම අවශ්‍යතා මතුවී, වැඩිහිටියා මත විශාල ආර්ථික බරක් පැටවෙන වයස වන්නේ ද එය යි.
"එතකොට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ බලන්නෙ එවෙලෙ ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න. මැරි කරනවා නම් තියෙන ඉඩමක් කඩමක් විකුණලා, තමන්ගෙ පොතේ පතේ තියෙන ඔක්කොම සල්ලි ටික දාලා හරි අර දේ කරන්නනේ බලන්නේ ගොඩක් වෙලාවට... එහෙම නැත්නම්, ඔය අර්ථසාධක හම්බෙන කෙනෙක් ඉන්නවා නම් ඒ අර්ථසාධකේ එහෙම්පිටින්ම ඒකට දානවා, මොකද ඒ වෙලාවෙ අපේ දැවෙන ප්‍රශ්නෙ ඒක නිසා," විශේෂඥ ප්‍රජා වෛද්‍යවරිය පවසයි.
"නමුත් ඊට පස්සෙ තමයි හිතන්නේ, මම කොහොමද මගෙ බෙහෙත් ටික ගන්නෙ... කොහොමද මම මගෙ ජීවිතේ ඉස්සරහට ප්ලෑන් කරගන්නේ කියලා... අර ඉක්මන් ප්‍රශ්නෙ ආවම ඒකට ඉක්මන් විසඳුමක් දීලා තමයි ඊට පස්සෙ අනිත් ප්‍රශ්න එනකොට හිතන්න ගන්නේ.
"ඒක හින්දා තමයි අපි හැමවිටම කියන්නේ, සක්‍රීය වැඩිහිටි වියකට යනවා නම්... ප්ලෑන් කරන්න කියලා - සැලසුම් කරන්න තමන්ගෙ විශ්‍රාම විය කියන එක... පනස් නවයයි රෑ දොළහට නෙවෙයි, වේලාසන ඉඳලා සැලසුම් කරන්න කියලා."
වැඩිහිටි වියේ දී පීඩා ගෙනදෙන තනිකම
කෙසේ නමුත්, වර්තමානයේ දී ඇතිවිය හැකි අනිවාර්යය ගැටළුවකි වැඩිහිටි වියේ මතුවන තනිකම. වියපත්වීමේ දී මතුවෙන මානසික රෝග තත්ත්වයන් මෙන්ම තනිකම නිසා ද මානසික සෞඛ්‍යය පිරිහෙයි.
වැඩිහිටියා වයසත් සමග ශාරීරිකව දුර්වලවීම, තවදුරටත් ඔවුන්ගේ පවුලේ කේන්ද්‍රස්ථානය නොවීම, රැකියා ස්ථානය හැරයෑම, කලත්‍රයාගේ සහ මිතුරන්ගේ මරණ, හෝ ආබාධිත තත්ත්වයන් හෝ රෝගාබාධ හේතුවෙන් සමාජ සබඳතා අහිමිවී යෑම නිසා තනිකම ඇතිවිය හැකි ය.
"[වැඩිහිටියන් අතර] ගොඩක් වෙලාවට ඩිප්‍රෙෂන්, ඩිමෙන්ෂියා - ඒ තත්ත්ව වැඩියි. වැඩිහිටියන්ගෙ 'මානසික යහපැවැත්ම' කියන එක හරිම අවුල්සහගත යි. මොකද, ඉස්සර අපේ ආච්චිලා සීයලා [පවුල එක්ක] ගොඩක් එකටනෙ ඉඳලා තියෙන්නෙ... නමුත් දැන් අපි විස්තෘත පවුලෙන් න්‍යෂ්ටික පවුලට ඇවිල්ල. එතකොට අපේ පවුල ඇතුලෙ තියෙන - ඒ කියන්නේ නෑයොත් එක්ක, අසල්වැසියොත් එක්ක තියෙන සම්බන්ධතා අපේ ගොඩක් සීමිත යි දැන්. අපි කොටුවෙලානේ ඉන්නෙ," විශේෂඥ වෛද්‍ය මාදුවගේ එය පැහැදිලි කරයි.
"එතකොට ගොඩක් වෙලාවට වයසට යනවත් එක්ක එන ලොකුම ප්‍රශ්නෙ තමයි 'තනිකම' කියන එක. ඒක ඇත්තටම මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් කියලත් ලෝකෙම අඳුනගෙන තියෙනවා. එතකොට අර 'ප්ලෑනින්' කියන එක අපේ තියෙනව නම්, මේවා අපට විසඳුම් යොදන්න පුළුවන් දේවල්."
වියපත් සමයේ ඇතිවන ඩිප්‍රෙෂන්, ඩිමෙන්ෂියා වැනි රෝග ක්ෂණයෙන් ඇතිවී නැතිවී යන රෝග නොව, කාලයත් සමග වර්ධනය වන රෝගයන් ය. එනිසා මේවායේ අවදානම් සාධක වේලාසනින් හඳුනාගෙන පිළියම් යෙදිය යුතු ය.
මේ සඳහා රජයෙන් ද, පුද්ගලික ආයතනවලින් ද විවිධ සේවාවන් සපයයි. නමුත් අපගේ නොදැනුවත්කම හා ආකල්ප නිසා අප මේ සේවාවන් ලබාගන්නේ නැතැ යි වෛද්‍යවරිය පැවසුවා ය.
'වැඩිහිටි දිවා මධ්‍යස්ථාන' යනු මෙවැනි එක් සේවාවකි. වැඩිහිටියන්ගේ තනිකමට විසඳුමක් ලෙස, මේවායින් ඔවුනට සමවයස් ආශ්‍රය ලබාගත හැකිවේ.
වැඩිහිටි දිවා මධ්‍යස්ථානවලින් සිදුකෙරෙන්නේ කුමක් ද?
"මේ ඩේ සෙන්ටර්ස්වල ගොඩක් වෙලාවට කරන්නේ උදේට [වැඩිහිටියො] එනවා, තමන්ගෙ කැමති ක්‍රියාකාරකම් එයාලට කැමති විදියට කරන්න පුළුවන්. ආගමික පැත්තෙන් කැමති දෙයක් කරන්න පුළුවන්. ඊට පස්සෙ ව්‍යායාමවලට යන්න පුළුවන්. සමහර ඩේ සෙන්ටර්ස්වල ඒගොල්ලොම එකතුවෙලා කෑම හදාගන්න ඒවා තියෙනවා, එහෙම නැත්නම් ඒගොල්ලො අරන් එන ඒවා. ඒගොල්ලන්ගෙ විනෝදාංශ, අත්වැඩ එකතුවෙලා කරන ඒවා තියෙනවා. කැරම් ගහන්න, පත්තර බලන්න, ඒ ෆැසිලිටීස් තියෙනවා. සමහර අය හරියට ගෙවතු වගා කරන තැන් තියෙනවා. දවස අවසානයේ ආපහු [ගෙදර] යනවා.
"දවස් හතම නොතිබුණත්, තෝරාගත් දවස්වල තියෙන [ඩේ සෙන්ටර්ස්වලට] තියෙනවා. ඒකට යන දවස එනකල් [වැඩිහිටියො] බලාගෙන ඉන්නවා අපි දකිනවා... සමහරු වේලාසන ඉඳලම ප්ලෑන් කරනවා ඊළඟ දවසෙ ගිහින් කරන දේවල්," විශේෂඥ ප්‍රජා වෛද්‍ය ශිරෝමි මාදුවගේ පැවසුවා ය.
ලංකාව තුළ මෙවැනි වැඩිහිටි දිවා මධ්‍යස්ථාන 150ක් පමණ තිබෙනවබව, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයයේ අධ්‍යක්ෂ කපිල ලැනරෝල් අප හා ප්‍රකාශ කළේ ය.
නමුත්, දැන් මේ වැඩිහිටි දිවා මධ්‍යස්ථාන ඔවුනගේ තනිකම සංසිඳවීමෙන් ඔබ්බට ගොස් තිබේ.
"ගොඩක් වෙලාවට වැඩිහිටි වියට ආවම රැකියාවක් හොයාගන්න අමාරු යි," අධ්‍යක්ෂ ලැනරෝල් පැහැදිලි කරයි. "ගොඩක් වෙලාවට ස්වයං රැකියාවක් වගෙ දෙයක් කරගන්නත් අපහසු යි - එහෙම කරන අය ඉන්නවා නම් අපි ඒගොල්ලන්ට උදව් කරනවා - හැබැයි ඊට අමතරව, තනියෙන් කරගන්න අපහසු අයට අපි දිවා මධ්‍යස්ථානවල වැඩසටහනක් හදාගත්තා, මධ්‍යස්ථානය ඇතුළේ හවුලේ වැඩක් කරන්න," ඔහු පවසයි.
ඔවුනට ඒ සඳහා පුහුණුවීම් ද ආයතනය විසින් සැපයෙයි. එසේම, ඩිජිටල් තාක්ෂණය පිළිබඳ දැනුමක් හා පුහුණුවක් ද එම මධ්‍යස්ථාන විසින් ලබාදෙයි.
දිවා මධ්‍යස්ථාන හරහා, වැඩිහිටියන් වැඩිහිටි නිවාසගතවීම වැළැක්විය හැකි ය
මේ අතරම, වැඩිහිටියන් වැඩිහිටි දිවා මධ්‍යස්ථානවලට සහභාගී කරවීමේ තවත් වැදගත් පැත්තක් ද ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයයේ අධ්‍යක්ෂවරයා අපට පෙන්වා දුන්නේ ය.
"සාමාන්‍යයෙන් පරම්පරා අතරෙ යම් ආකාරයෙ අනවබෝධයක් තියෙනවනෙ... එතකොට අපේ වැඩිහිටියො තනියෙන් ගෙදරට වෙලා පවුලෙ අයත් එක්ක විතරක් ජීවත්වෙද්දී ලොකු ගැටුම් ඇතිකර ගන්නවා ඔය තියෙන අනවබෝධයත් එක්ක. එකක් ඉතින්, මේ අයගෙ මානසික මට්ටමත් අර ලොකුවට හිතලා බලලා කටයුතු කරනවා නෙවෙයිනෙ.
"ඒ නිසා අපි උත්සාහ කළේ, මේගොල්ලො දවස ඇතුළෙ ඒගොල්ලන්ව තේරුම්ගත හැකි, ඒගොල්ලන්ට තේරුම්ගත හැකි පරිසරයක තිබ්බොත්, මේ අය වැඩිහිටි නිවාසගතවීම නවත්වලා, ගෙදර ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් අපට නිර්මාණයකර ගන්න පුළුවන් වෙයි කියලා.
"ඒක ප්‍රායෝගිකවත් අපි ඇත්ත කියලා දකිනවා, මොකද මධ්‍යස්ථානයකට ගියාම ඒ අය හරිම සතුටින් තමයි එතන ඉන්නෙ. මොකද, ඉස්සර නම් ගම්වල ඒ අයට එහෙම තැන තිබ්බනේ. ගම්වල ළිඳ ගාවට කට්ටිය එකතුවෙනවා, කඩපිළට කට්ටිය එකතුවෙනවා, එහෙම තිබ්බනෙ. හැබැයි දැන් අද වෙනකොට ඒ තත්ත්වය ගිලිහිලා ගිහිල්ලා, මේ මිනිස්සු ගෙවල් ඇතුළෙ තනිවෙලා තියෙනවා. එතකොට ඒක තමයි අපි අයින්කර ගෙන, මේ අයට ආපහු අර සමවයස් කණ්ඩායමක් එක්කලා සතුටින් දවසෙ පොඩි කාලයක් හරි ගතකරන්න හදල දෙන්නේ," ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයයේ අධ්‍යක්ෂවරයා පැහැදිලි කළේ ය.
ආදරය දෙන්න - අනුකම්පාව හෝ අනවශ්‍ය ආරක්ෂාවක් නොදෙන්න
අප ළමා හිමිකම් ගැන සොයා බලන නමුත් වැඩිහිටි හිමිකම් ගැන සෙවීමට එතරම් උනන්දු නොවනබව අධ්‍යක්ෂවරයා දකියි.
"අපි හිතාගෙන ඉන්නෙ එයාලට කෑම ටිකක්, ඇඳුම් ටිකක් දුන්නම ඇති කියලා. එහෙම නෑනේ. ඒ අයටත් සාමාන්‍ය පුරවැසියො විදියට ජීවත්වෙන්න අයිතිවාසිකම තියෙනවා. ඒ අයට නිදහස තියෙන්න ඕන තමන් කැමති ජීවිතේ ගත කරන්න. අපි ගොඩක් වෙලාවට අපේ ගෙවල්වල තියෙන ප්‍රශ්න විසඳගන්න, එහෙම නැත්නම් සමහර වෙලාවට වැඩිපුර ආදරේ නිසා අපි අපේ අම්මල තාත්තලව හිරකර ගන්නවා... අපි කියන්නෙ, වැඩිහිටියො දරුවොත් එක්ක ඉන්න ඕන. හැබැයි ඒ දරුවොත් එක්ක ඉන්නවා කියන එක හිරේක නෙවෙයි. තමන්ගෙ ජීවිතේ ඒ අයට ගත කරන්න අපි නිදහස දෙන්න ඕන.
"ඒ නිසා මට දරුවන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ, වැඩිහිටියෝ හොඳට රැකබලා ගන්න, තමන් ළඟ තියාගන්න, ඒ අයට ආදරය දෙන්න, [නමුත්] ඒ අයට අනුකම්පාව හෝ ඕන නැති ආරක්ෂාවක් දෙන්න නෙවෙයි අවශ්‍යතාව තියෙන්නේ. ඒ අයත් සාමාන්‍ය පුරවැසියො, ඒ අයටත් අවශ්‍යතා තියෙනවා, හැඟීම් දැනෙනවා කියන එක තේරුම් අරගෙන කටයුතු කරන්න කියලා තමයි.
"මට වැඩිහිටියන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ ඉතින්, විශේෂයෙන් කාලයේ ලොකු වෙනසක් තියෙනවනේ. අපේ වැඩිහිටියො ජීවත් වෙච්ච කාලයත්, දැන් මේ දරුවො ජීවත් වෙන කාලයත් අතර ලොකු වෙනසක් තියෙනවා. එතකොට අවශ්‍යතා වෙනස්. හැසිරෙන ආකාර වෙනස්. සංස්කෘතිය වෙනස්. ඉතින් එතකොට මේවත් එක්කලා අපේ වැඩිහිටියො තේරුම්ගන්න ඕන 'සමහර වෙලාවට අපි ජීවත් වෙච්ච ජීවිතේම නෙවෙයි මේ දරුවො ගෙවන්නෙ' කියන එක.
"ඔය දෙගොල්ලො ඒ අවබෝධයෙන් කටයුතු කරන්න ගත්තොත් මම හිතන්නෙ ලංකාවෙ දෙමව්පියන් හා දරුවන් අතර තියෙන ගැටළු 99%කට අපිට උත්තර හොයාගන්න පුළුවන්," ඔහු ප්‍රකාශ කළේ ය.
එසේම, ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් වැඩිහිටි නිවාසගතවී සිටින්නේ 0.3%ක් පමණක්බව ද, බොහෝවිට ඉතිරි සියලුදෙනා ඔවුන්ගේ හෝ ඔවුන්ගේ දරුවන්ගේ නිවෙස්වල වසනබව ද ඔහු විශේෂයෙන් සඳහන් කළේ ය.
ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයය යනු, ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට, ඔවුන්ගේ සුබසාධනය සැලසීමට හා ඔවුනට අභිමානවත් ලෙස ජීවත්වීමේ අවස්ථාවක් සැලැස්වීම සඳහා පිහිටුවා ඇති ජාතික ආයතනයකි.
ආයතනයේ සේවාවන් ලබාගැනීම සඳහා +94 112 054 164 අංකය, [email protected] විද්‍යුත් තැපැල් ලිපිනය හා srilankaeldercare.gov.lk වෙබ් අඩවිය හරහා සම්බන්ධවිය හැකි ය.
ඊට අමතරව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරියා හරහා ද මෙම සේවාවන් ලබාගැනීමට යොමුවිය හැකි ය.