ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය : දෙමළ ජනතාව ඉල්ලන දේශපාලන විසඳුම 13 ද?
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඉන්දියාව මැදිහත්ව ගෙන එන ලද 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා දෙමළ ජනතාවගේ ගැටලුවලට පිළිතුරු නොලැබෙන බව උතුරු හා නැගෙනහිර සිවිල් ක්‍රියාකාරීකයෝ දිගින් දිගටම අවධාරණය කර සිටිති.
ඔවුන් පෙන්වා දෙන්නේ හමුදාකරණය, අතුරුදහන් වුවන්ට යුක්තිය ඉටු කිරීම සහ යුද අපරාධවලට දඬුවම් පැමිණිවීම පමණක් නොව යුද්ධයට හේතු වු කාරණවලට ද ඉන් කිසිදු විසඳුමක් නොලැබෙන බවය.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පුර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා පැවසීමත් සමගම බෞද්ධ භික්ෂු වහන්සේ සහ දකුණේ ඇතැම් පාර්ශව ඊට විරෝධය දක්වනු ලැබූහ.
එම ව්‍යවස්ථා සංශෝධනය හරහා රට දෙකඩ වන බව ඔවුන් කියා සිටිය ද ඊට පරස්පර අදහසක් දක්වමින් උතුරේ දෙමළ නියෝජිතයන් හා සිවිල් ක්‍රියාකාරින් පෙන්වා දෙන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය තම ගැටලුවලට පිළිතුරක් නොවන බවය.
"පණ නැති ඇටසැකිල්ලක්"
අතුරුදහන් වූවන්ට යුක්තිය ඉල්ලා දින දෙදහසකට වැඩි කාලයක් තිස්සේ මහා පාරේ විරෝධතාවයේ නිරත දෙමළ මවක් පෙන්වා දුන්නේ, 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළත් අතුරුදන්වුවන්ට ඉන් කිසිදු සහනයක් නොලැබෙන බවය.
"13 වැනි සංශෝධනය පණ නැති ඇටසැකිල්ලක් වගේ. මේ හරහා විසඳුමක් නැහැ. මීට පෙරත් අපි විරෝධතා රාශියක් කළා. අපට අවශ්‍ය දේ ගැන ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි. 13 වැනි සංශෝධනය ආවත් අපිට කිසිම විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඇමෙරිකාවේ සහ යුරෝපා සංගමයේ මැදිහත්වීමෙන් විසඳුමක් බලාපොරොත්තු වෙන්නේ. අපේ දරුවන්ට වෙච්ච දේ ගැන ඇත්ත දැනගත යුතුයි." වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ සංගමයේ සභාපති කාසිපිල්ලේ ජයවනිතා බීබීසී සිංහල සේවය වෙත පැවසුවාය.
"වසර 30ක යුද්ධයක් ඇති වුණා. අපේ අය 13 වැනි සංශෝධනය ඒකමතිකව පිළිගත්තේ නැහැ. ප්‍රතික්ෂේප කළා. ස්වයං නිර්ණය, ජාතිකත්වය සහ සාම්ප්‍රදායික නිජබිම් පිළිබඳව උතුරු-නැගෙනහිර ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි. බලතල සහිත ෆෙඩරල් ක්‍රමයක් මගින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම ආරම්භ කරන්න අවශ්‍යයි" යනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් විමෙන් පසුව පැවැති දිර්ඝතම විරෝධතා පා ගමනට නායකත්වය දුන් සිසු නායකයෙකු කියා සිටියේය.
අතුරුදහන් කරවීම්, ඉඩම් අත්පත් කරගැනීම සහ යුද්ධය හරහා වාර්ගික විනාශයක් කිරීම නිසාවෙන් දෙමළ ජනතාව පීඩනයකින් පෙලෙන බව පෙන්වා දෙන යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ නායක අලගරාසා විජයකුමාර් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් එවැනි ප්‍රශ්නවලට විසඳුමක් නොලැබෙන බව අවධාරණය කළේය.
"13 වැනි සංශෝධනය හරහා පොලිස් හෝ ඉඩම් බලතල ලැබෙන්නේ නැහැ. බලය තිබෙන්නේ ආණ්ඩුකාරවරයාට, ආණ්ඩුකාරවරයාගේ බලය දෙමළ ජනතාවගේ නායකයාට දිය යුතුයි. අපිට අපිව පාලනය කරන්න අයිතිය දෙන්න ඕනේ." ඔහු කියා සිටියේය.
උතුර හා නැගෙනහිර පළාත් වෙන්විය යුතු ද නොඑසේනම් එකට සිටිමින් වෙන් වෙන්ව පාලනය විය යුතු දැයි ජනමත විචාරණයක් හරහා තීන්දු කළ යුතු බවද අලගරාසා විජයකුමාර් යෝජනා කර සිටියේය.
ජාත්‍යන්තර ප්‍රජාව රවටා උදව් ලබාගැනීමේ උපක්‍රමික උත්සාහයක්
මඩකලපුව දිස්ත්‍රික් සිවිල් සමාජ සංසදයේ සභාපති සබාරත්නම් සිවයෝගනාදන් කියා සිටියේ ජනාධිපතිවරයා විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය පුර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව පැවසීම ජාත්‍යන්තර ප්‍රජාව රවටා උදව් ලබාගැනීමේ උපක්‍රමික උත්සාහයක් බවය.
"ජනාධිපතිතුමා හිතුවොත් පැය 24ක් ඇතුළත හමුදාව අල්ලන් ඉන්න දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කරන්න පුළුවන්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන අධිකාරිය දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් කොල්ලකෑමේ කටයුතුවල නිරත වෙනවා. මේක නවත්තන්නේ බැරිද? ඒ දෙවල් නවත්වන්නේ නැතුව ජාත්‍යන්තර ප්‍රජාව රවට්ටලා උදව් ගන්න උපක්‍රමයක් විදියට 13 දෙනවා කියලා ජනාධිපතිවරයා කිව්වාට ඒක දෙන්නෙත් නෑ."
දෙමළ ජනතාවගේ ගැටලුවලට 13 වැනි සංශෝධනය විසඳුමක් නොවන බව අවධාරණය කරන සබාරත්නම් සිවයෝගනාදන් ඒකීය පාලනයට එහා ගිය විසඳුමක් හරහා තම ජනතාවගේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දිය යුතු බව අවධාරණය කළේය.
එපා කියන එකවත් දෙන්න කැමති නෑ
"දෙමළ මිනිස්සු එපා කියන එකවත් දෙන්න කැමති නෑ වගේ තමයි හාමුදුරුවෝ 13 වෙනි සංශෝධනය ගිනි තියලා පෙන්නුවේ. අපි එපා කියන එකවත් දෙන්න එයාලා කැමති නෑ. එපා කියලා කියපුවාම, දෙන එකත් දෙන්නේ නෑ කියලා කිව්වාම ඊට පස්සේ ඒක ගෙනල්ලා මොනවාද කරන්න පුලුවන් කියලා විශ්වාසයක් තියෙනවාද?" යැයි මුලතිව් මාධ්‍ය සංගමයේ ප්‍රධානි ෂන්මුගම් තවසීලන් කියා සිටියේය.
හමුදාකරණය, අතුරුදහන් වුවන්ගේ ගැටලුව හෝ ඉඩම් අත්පත් කර ගැනිම වැනි දෙමළ ජනයාගේ ගැටලුවලට 13 වෙනි සංශෝධනය හරහා විසඳුම් නොලැබෙන බව සඳහන් කළ ඔහු පෙන්වා දුන්නේ මධ්‍යම රජයට අවශ්‍ය වු විටකදී එම සංශෝධනය හකුලා ගත හැකි බවය.
ෆෙඩරල් විසඳුමක් හරහා මධ්‍යම රජයේ අත පෙවීමකින් තොරව යුද්ධයෙන් පීඩා විදි දෙමළ ජනතාවගේ ගැටලු ඔවුන්ට නිරාකරණය කර ගත හැකි බව ඔහු අවධාරණය කළේය.
ඔහු විශ්වාසය පළ කර සිටියේ එවැනි විසඳුමකින් විදෙස්ගත දෙමළ ඩයස්පෝරාවේ ආයෝජන ලබා ගෙන ලංකාව දියුණු රාජ්‍යයක් බවට පත් කළ හැකි වනු ඇති බවටය.