ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වෙනත් රටවල කෞතුක වස්තු ළඟ තබාගෙන සිටින රටවල් මොනවා ද?
යුරෝපීය රටවල් ලොව පුරා ඒවායේ අධිරාජ්‍යයන් ගොඩනැගීමත් සමග බොහෝ වටිනා වස්තූන් අත්පත් කර ගත් අතර ඒවා දැන් එම රටවල කෞතුකාගාරවල ප්‍රදර්ශනය කර තිබේ.
මෑතක දී, මතභේදයට තුඩු දුන් බෙනින් ලෝකඩ ප්‍රතිමා සහ ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව ඇතුළු ඇතැම් කෞතුක වස්තු ඒවායේ මුල් අයිතිකරුවන් වෙත ආපසු ලබා දී ඇත.
කෙසේ වෙතත්, ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය සතුව ඇති එල්ජින් කිරිගරුඬ ප්‍රතිමා (Elgin Marbles) තවදුරටත් එරට සතුව තබා ගැනීමට එක්සත් රාජධානියේ රජය පියවර ගෙන තිබේ.
ඇස්ටෙක් රජවරයෙකු වූ මොක්ටෙසුමාගේ ශීර්ෂ පළඳනාව වැනි තවත් සමහර භාණ්ඩ ආපසු ලබා දීමට නොහැකි තරම් බිඳෙනසුලු ය.
එල්ජින් කිරිගරුඬ ප්‍රතිමා යනු මොනවා ද?
එල්ජින් කිරිගරුඬ - නොඑසේ නම්, පාර්තනොන් මූර්ති - යනු, වසර 2,000කට වඩා පැරණි, ගණනින් 30කට අධික, බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තබා තිබෙන ග්‍රීසියට අයත් පැරණි ගල් මූර්ති වේ.
ඒවායෙන් බොහෝමයක්, ක්‍රි. පූ. පස්වන සියවසේ පුරාණ ග්‍රීකයන් විසින් ඉදිකරන ලද දේවාලයක් වන ඇතන්ස්හි පාර්තනොන් වෙතින් ලබාගත් ඒවා ය.
ඇතැම් මූර්ති ක්‍රි. පූ. 1300 සහ 1250 අතර කාලයේ ඉදිකරන ලද මයිසීනේහි ඒට්‍රියස් භාණ්ඩාගාරයෙන් ලබා ගන්නා ලද ඒවා ය. ඉන් අදහස් වන්නේ, එම මූර්ති වසර වසර 3,000කට වඩා පැරණි බව ය.
මෙම කිරිගරුඬ 19 වන සියවසේ මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන එල්ජින් සාමිවරයා විසින් එවකට ඇතන්ස් නුවර පාලනය කළ ඔටෝමන් අධිරාජ්‍යයාගේ අවසරය ඇතිව ගෙනගොස් තිබේ.
මෙම කිරිගරුඬ "නුදුරේ පැමිණෙන, නොවැළැක්විය හැකි තර්ජනයකට" මුහුණ පාමින් තිබුණු බව එල්ජින් ප්‍රකාශ කළේ ය.
1816 වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඒවා එය නීත්‍යනුකූලව අත්පත් කරගෙන ඇති බවට තීරණය කළ අතර, පසුව බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ඒවායේ හිමිකරු බවට පත් කරමින් නීතියක් සම්මත කළේ ය.
මෙම එල්ජින් කිරිගරුඬ පාර්තනොන්හි ඉතිරිව ඇති මූර්තිවලින් අඩක් පමණ වේ. ඉතිරිය ඇතන්ස්හි ඇත.
එක්සත් රාජධානිය ග්‍රීසියට මෙම කිරිගරුඬ ප්‍රතිමා ආපසු ලබා නොදෙන්නේ ඇයි?
1983 වසරේ දී එල්ජින් කිරිගරුඬ ආපසු ලබා දෙන ලෙස ග්‍රීසිය ප්‍රථම වරට නිල වශයෙන් ඉල්ලා සිටි නමුත් බ්‍රිතාන්‍යය එය ප්‍රතික්ෂේප කළේ ය. 2009 වසරේ දී, ඇක්‍රොපොලිස් පාමුල කෞතුකාගාරයක් ඉදිකරන ලද්දේ අතුරුදන් වූ කෞතුක වස්තු සඳහා ද ඉඩක් වෙන් කරමිනි.
මෑතක දී එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් ග්‍රීක අගමැති වන කිරියාකොස් මිට්සොතාකිස් හමුවීම ප්‍රතික්ෂේප කළේ ය. ඒ, එල්ජින් කිරිගරුඬ "ඉඳුරා ම සොරකම් කර ඇති" බව මිට්සොතාකිස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් සහ ඒවා යළිත් ලබාදෙන ලෙස නැවත නැවතත් සිදු කළ ඉල්ලීම්වලින් පසුව ය.
බ්‍රිතාන්‍යය පවසන්නේ, කිරිගරුඬ නැවත ග්‍රීසියට ලබා දීමේ සූදානමක් නොමැති බව ය. ලොව පුරා මිලියන හතරක ජනතාවක් සෑම වසරක ම බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති මෙම කිරිගරුඬ ප්‍රතිමා නරඹන බවට ඔවුහු තර්ක කරති.
කෙසේ වෙතත්, ග්‍රීක කෞතුකාගාරවල ඇති අනෙකුත් පැරණි කෞතුක වස්තු හුවමාරු කර ගැනීම සඳහා, ඇතැම් මූර්ති තාවකාලිකව ඇතන්ස් වෙත ආපසු ලබා දීමට කෞතුකාගාරයේ භාරකරුවෝ සාකච්ඡා කරමින් සිටිති.
බෙනින් ලෝකඩ භාණ්ඩ ආපසු ලබා දෙන්නේ කුමන කෞතුකාගාර ද?
බෙනින් ලෝකඩ (Benin Bronzes) යනු, 15 වන සහ 19 වන සියවස් අතර නිර්මාණය කරන ලද ලෝහ ප්‍රතිමා, ඵලක සහ කැටයම් දහස් ගණනකි.
1897 වසරේ දී, නූතන නයිජීරියාවට අයත් බෙනින් නගරය කොල්ලකෑ අවස්ථාවේ දී බ්‍රිතාන්‍ය හමුදා විසින් ඒවා රැගෙන යන ලදී.
ඒවායින් බොහෝ ඒවා පසුව ලන්ඩනයේ දී වෙන්දේසි කරන ලද අතර ඇතැම් ඒවා ලොව පුරා කෞතුක වස්තු එකතුකරන්නන් විසින් මිල දී ගනු ලැබ තිබේ.
නයිජීරියාවේ කෞතුකාගාර සහ ස්මාරක සඳහා වන ජාතික කොමිෂන් සභාව විසින් මෙම ලෝකඩ ප්‍රතිමා නැවත එරටට ගෙන්වා ගැනීම සඳහා වන නිල ඉල්ලීම් ලොව පුරා කෞතුකාගාර වෙත නිකුත් කරනු ලැබ ඇත.
2022 නොවැම්බරයේ දී ලන්ඩනයේ හෝර්නිමන් කෞතුකාගාරය ඇතැම් බෙනින් ලෝකඩ ප්‍රතිමා ඇතුළු භාණ්ඩ 72ක් භාර දීමට එකඟ විය.
අධ්‍යක්ෂ නික් මෙරිමන් පැවසුවේ, "ඒවා කොල්ලකෑමට ලක් වූ බවට සැකයක් නැහැ - ඒ නිසා ඒවා නැවත ලබාදීම වෙනුවෙන් සදාචාරාත්මක තර්කයක් තිබුණා".
ඊට පසු එළඹි මාසයේ දී, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයය ලෝකඩ ප්‍රතිමා 116ක් ආපසු ලබා දීමට එකඟ වූ අතර ජර්මනිය එය සතුව තිබූ ලෝකඩ ප්‍රතිමා 22ක් ආපසු ලබා දුන්නේ ය.
2026 සිට, යළි ලබා දෙන ලද මෙම ලෝකඩ ප්‍රතිමා බෙනින් නගරයේ එඩෝ බටහිර අප්‍රිකානු කලා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
නවසියයක පමණ වන විශාලතම තනි බෙනින් කෞතුක වස්තු එකතුව සතු බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ඇතුළු අනෙකුත් එක්සත් රාජධානි කෞතුකාගාරවලට අයත් සංරක්ෂණාගාරවල තවත් ලෝකඩ ප්‍රතිමා ඉතිරිව තිබේ.
1963 බ්‍රිතාන්‍ය කෞතුකාගාර පනත ඒවා නැවත ලබා දීම වළක්වන බව කෞතුකාගාරය පවසයි.
ලෙව්කේ දිසාවගේ කොල්ල කෑ කාලතුවක්කුව ආපසු ලබා දුන්නේ කවුද?
2023 ජූලි මාසයේ දී නෙදර්ලන්ත රජය විසින් නිවේදනය කරන ලදුව, එරට රයික්ස් කෞතුකාගාරය විසින් ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට ආපසු ලබා දෙනු ලැබුණි.
එය 1765 වසරේ දී ලන්දේසි පෙරදිග ඉන්දීය සමාගමේ භට පිරිස් විසින් තවත් භාණ්ඩ පහක් සමග කොල්ලකනු ලැබ තිබිණි.
මොක්ටෙසුමාගේ ශීර්ෂ පළඳනාව ආපසු මෙක්සිකෝවට ලබා දිය නොහැක්කේ ඇයි?
වසර ගණනාවක් තිස්සේ මෙක්සිකෝ රජය ඇස්ටෙක් රජෙකු වූ මොක්ටෙසුමාට අයත්යැ යි සැලකෙන ශීර්ෂ පළඳනාව ආපසු ලබා දෙන ලෙසට ඉල්ලීම කළේ ය.
අඩි තුනක් පමණ පළල එය දීප්තිමත් හරිත වර්ණ පිහාටු 450කට වැඩි ගණනකින් සාදා ඇති අතර, දැනට ඔස්ට්‍රියාවේ වියානා අගනුවර මානව වංශ විද්‍යා කෞතුකාගාරය සතුව පවතියි.
ඇතැමුන් විශ්වාස කරන්නේ, එය 16 වන සියවසේ ස්පාඤ්ඤ ආක්‍රමණිකයෙකු වූ හර්නාන් කෝර්ටෙස් වෙත මොක්ටෙසුමා ලබා දුන් ත්‍යාගයක් බව ය. තවත් සමහරුන් තර්ක කරන්නේ, එය එකල ඇස්ටෙක් පූජකයන් විසින් පළඳින ලද ශීර්ෂ පළඳනාවක් බව ය.
එය කවදා හෝ යළි මෙක්සිකෝවට ලැබුණහොත් සදාකාලිකව ම රට තුළ තිබිය යුතු බවට වන මෙක්සිකානු නීතිය හේතුවෙන් ඔස්ට්‍රියානු රජය එය යළි මෙක්සිකෝවට ලබා දීමට මැළිවිය.
2012 වසරේ දී මෙක්සිකෝව නීති වෙනස් කළ අතර ඔස්ට්‍රියාව එය තාවකාලිකව ආපසු ලබා දීමට එකඟ විය.
කෙසේ වෙතත්, කෞතුකාගාර විශේෂඥයින් පසුව නිගමනය කළේ, ශීර්ෂ පළඳනාව මෙක්සිකෝවට ප්‍රවාහනය කිරීමෙන් පිහාටු යළි සැකසිය නොහැකි ලෙස හානියට පත් වනු ඇති බව ය.
මීට අස්වැසීමක් ලෙස වියානාහි මානව වංශ විද්‍යා කෞතුකාගාරය ගත් පියවර වන්නේ, එය නැරඹීමට පැමිණෙන සියලු ම මෙක්සිකානු පුරවැසියන්ට කෞතුකාගාරය වෙත නොමිලේ ප්‍රවේශවීමට ඉඩ ලබා දීම ය.