බ්‍රිතාන්‍යයන් සොරාගත් රත්‍රන් ආපසු දෙන්නැ යි රාජාභිෂේක චාරිකාව අතරතුර ඝානාවේ රජුගෙන් ඉල්ලීමක්

    • Author, කේටි රසල්
    • Role, සංස්කෘතික සහ මාධ්‍ය සංස්කාරක

ඝානාවේ අසන්තේ වැසියන්ගේ පාලකයා විසින් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති රන් භාණ්ඩ එකතුව තම රටට ආපසු ලබා දෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබ තිබේ.

අසන්තේහෙනේ [අසන්තේ රාජධානියේ අධ්‍යාත්මික ප්‍රධානියා] වන දෙවැනි ඔටුම්ෆුවෝ ඔසෙයි ටුටු මෑතක දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ආචාර්ය හාර්ට්විග් ෆිෂර් හමුවී තිබුණේ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ය.

1874 වසරේ බ්‍රිතාන්‍යයන් සමග ඇති වූ යුද්ධය අතරතුර දී කුමාසිහි පිහිටි අසන්තේ මාළිගයෙන් ගන්නා ලද නිර්මාණ කෞතුකාගාරයේ මෙම එකතුවට ඇතුළත් වේ.

බ්‍රිතාන්‍ය කෞතුකාගාරය බීබීසීයට පැවසුවේ, ඝානාවට "එම භාණ්ඩ තාවකාලිකව ලබාදීමේ හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින" බව ය.

මෙම ඝානා ජාතික පාලකයා පසුගිය සතියේ චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගිවීමෙන් පසු ආචාර්ය ෆිෂර් හමුවිය.

ඔවුන්ගේ එකතුවේ ඇති භාණ්ඩ ඒවා අයත් රටවලට ආපසු ලබාදෙන ලෙස කෙරෙන ඉල්ලීම් හමුවේ ඉහළ යන පීඩනයට මෑත වසරවල දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය නතු වී තිබේ.

බොහෝවිට 'එල්ජින් මාබල්ස්' (එල්ජින් කිරිගරුඬ) ලෙස හැඳින්වෙන පාර්තනොන් මූර්ති නැවත ලබා දෙන්නැයි ග්‍රීසිය විසින් කරන ලද ඉල්ලීම් ඊට හොඳ ම උදාහරණය යි.

19 වන සියවසේ දී ඒවා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෙකු හා සොල්දාදුවෙකු වූ එල්ජින් සාමිවරයා විසින් එරටින් ගෙන යන ලද අතර පසුව බ්‍රිතාන්‍ය රජය විසින් මිල දී ගෙන බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කරන ලදී.

යටත්විජිත ගැටුම් අත්විඳි රටවල ඔවුන් සතුව තිබුණු භාණ්ඩ නැවත ලබා ගැනීම සම්බන්ධ ගැටලු බහුලව පවතියි.

ඉතියෝපියාවට අවශ්‍ය වන්නේ, 1868 වසරේ දී බ්‍රිතාන්‍ය හමුදා මෙහෙයුම්වල දී එරට උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති මක්දාලා නගරයෙන් ගෙනගිය, උත්සවාකාර කුරුස, ආයුධ, ස්වර්ණාභරණ, පූජා භාණ්ඩ සහ අනෙකුත් භාණ්ඩ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන් ආපසු ලබා ගැනීමට ය.

බෙනින් ලෝකඩ මූර්ති 900 ද ආපසු ලබා දෙන්නැ යි නයිජීරියානු රජය ද කෞතුකාගාරයෙන් නිල වශයෙන් ඉල්ලා ඇත.

මෙම අලංකාර ලෝකඩ සහ පිත්තල මූර්ති, 16 වන සියවසේ සිට බෙනින් නගරයේ 'ඔබා' හෙවත් රජුගේ රාජ සභාවේ සේවය කළ විශේෂඥ ශිලිපීන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද්දකි.

1897 වසරේ දී බ්‍රිතාන්‍යයන් එම නගරය අල්ලාගත් විට ඉන් බොහොමයක් බලහත්කාරයෙන් ගෙනගොස් තිබිණි.

ඝානා රජය විසින් අසන්තේ මාළිගයෙන් ලබා ගත් භාණ්ඩ ආපසු ලබා ගැනීම පිළිබඳව සොයා බැලීමට ප්‍රතිස්ථාපන කමිටුවක් පිහිටුවා තිබේ. එම භාණ්ඩ මේ වන විට ලොව විවිධ ස්ථානවල පවතියි.

එම කමිටුවේ සාමාජිකා නානා ඔෆොරියාටා අයිම් බීබීසීයට මෙසේ පැවසීය: "මේ භාණ්ඩ බොහෝ දුරට පූජනීය භාණ්ඩ. ඒවා නැවත ලබා ගැනීම කියලා කියන්නේ ප්‍රතිස්ථාපනයට වඩා වැඩි දෙයක්. ඒක ඒවා ලබා ගත්ත තැන්වලට වගේ ම ඒවා ගත්ත අයට ත් සිද්ධවුණු වැරැදි හදාගන්න සහ ඒකෙන් ඇතිවුණු හානියට පිළියමක්."

ඇය පැවසුවේ, ඔවුන් "සූරාකෑම හෝ පීඩනය මත පදනම්ව නොව සාධාරණත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය මත" පදනම් වූ නව සම්බන්ධතාවක් ගැන අපේක්ෂාවෙන් සිටින බව ය.

පසුගිය බ්‍රහස්පතින්දා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දී පැවති සාකච්ඡාව, අසන්තේහෙනේ සහ කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ආචාර්ය ෆිෂර් අතර සිදු වූ පළමු හමුවීම ය.

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට අනුව, අසන්තේහෙනේ ඔහුගේ මුතුන්මිත්තන්ට අයත් රාජකීය භාණ්ඩ යම් කාල සීමාවකට හෝ ආපසු ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.

අසන්තේ රාජ්‍යය 19 වන සියවසේ දී යුරෝපීය යටත්විජිතවාදීන්ට බරපතළ ලෙස ප්‍රතිරෝධය පෑ අප්‍රිකානු රාජ්‍යයන් කිහිපයෙන් එකකි.

වසර දෙකකට පෙර අසන්තේ විසින් සිදු කරන ලද ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස බ්‍රිතාන්‍ය හමුදා බලකායක් කුමාසි වෙත ගමන් කිරීමත් සමග එහි නිදහස 1874 වසරේදී අවසන් විය.

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රකාශිකාවක් බීබීසීයට මෙසේ පැවසුවා ය: "තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් එක්සත් රාජධානියට පැමිණි අවස්ථාවේදී මහෝත්තම දෙවැනි ඔටුම්ෆුවෝ ඔසෙයි ටුටු රජුව (අසන්තේහෙනේ) අපගේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් කෞතුකාගාරය වෙත පිළිගත්තේ මහත් සතුටකින්."

ඇය පැවසුවේ, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය "තුන්වන ඇංග්ලෝ-අසන්තේ යුද්ධයේ 150 වන සංවත්සරය සනිටුහන් කිරීමට මෙන් ම ලබන වසරේ යෙදෙන අසන්තේහෙනේගේ රිදී ජුබිලියේ සැමරුම් සඳහා සහායවීමට කෞතුකාගාර එකතුවේ භාණ්ඩ තාවකාලිකව ලබාදීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව" ය.

කෙසේ වෙතත්, ඇතැම් ඝානා වැසියනට අනුව, කෙටි කාලයකට අදාළ භාණ්ඩ ලබා ගැනීම දිගුකාලීන විසඳුමක් නොවේ.

ඝානාවේ සංස්කෘතික අමාත්‍යවරයාගේ විශේෂ උපදේශකයෙකු වන ඔෆොරියාටා අයිම් මෙසේ පැවසීය: "වෙනස්වීම හෙමින් සිදුවන ආයතන සහ ව්‍යුහයන් තුළ සංවාදයක් ඇති කිරීමට ඒ භාණ්ඩ යම් කාල සීමාවකට හෝ ලබා ගැනීම පළමු පියවර වෙන්න පුළුවන්."

"දවස අවසානයේ දී, 1874 වසරේදී ලබා ගත්ත භාණ්ඩ වගේ දේවල් බිහිසුණු ප්‍රචණ්ඩකාරී තත්ත්ව යටතේ ලබා ගත්ත දේවල්... අවංකභාවය, වගවීම සහ ක්‍රියාත්මක වීම තිබිය යුතු යි".

ඇය පැවසුවේ, අනාගතයේදී බ්‍රිතාන්‍ය ආයතන වෙත නැවත ලබා දුන්න ද, මෙම භාණ්ඩවල සැබෑ අයිතිය ඇත්තේ කිසිදු සැකයකින් තොරව ඒවා ලබාගත් ස්ථානවලට බවය.

ලන්ඩනයේ හෝර්නිමන් කෞතුකාගාරය පසුගිය වසරේ එහි එකතුවේ තිබූ භාණ්ඩ 72ක් නයිජීරියානු හිමිකාරිත්වය වෙත ආපසු ලබා දුන්නේ ය.

හෝර්නිමන් කෞතුකාගාර අධ්‍යක්ෂ නික් මෙරිමන් බීබීසීයට පැවසුවේ, එම අවස්ථාවේ දී ඒවා ආපසු ලබා දීම සඳහා "සදාචාරාත්මක තර්කයක්" තිබුණු බව ය. ඔහු පැවසුවේ: "ප්‍රතිස්ථාපනය කිරීම සහ ආපසු ගෙන්වා ගැනීම වටා පමණක් නොවෙයි, ඔවුන්ගේ යටත්විජිත ඉතිහාසය පිළිගන්නා කෞතුකාගාරවලට සැලකිය යුතු වෙනසක් සිද්ධ වන ආකාරය අපි දකිනවා".

1963 බ්‍රිතාන්‍ය කෞතුකාගාර පනත මඟින් ඉතා විශේෂ අවස්ථාවල දී හැර කෞතුකාගාරයෙන් පිටතට "භාණ්ඩ බැහැර කිරීම" තහනම් කර ඇත.

භාණ්ඩවලට හානියක් සිදු නොවන්නේ යැයි විශ්වාස කළ හැකි නම්, යම් කාල සීමාවකට ඒවා පිටතට ලබා දීමට කෞතුකාගාරයට අවසර තිබේ.