ලක්ෂාන්ත අතුකෝරල: වසරේ සියලු කාව්‍ය සම්මාන දිනාගත් කාව්‍ය කෘතියේ හිමිකරු

ඡායාරූප මූලාශ්‍රය, Peter Jerome Thisarana Perera
'කියූ ලියූ වදන්වලින් දෙයක් වේ ද ඔබට දැනුණු
නොදුටුවේ ද ඒවා තුළ තිබුණු සියුම් කොඩි සලකුණු?
ඈත සිටන් පොළොව යටින් එළා තිබෙන
රැහැන් වැලක් සේ රහසින් විදුලිය දෙන
හැඟුම් නහර ගොමුවක් ඇත මා රිදවන
සෑරූ කිසිවෙකුට මෙතෙක් මුණ නොගැසුණ
අත හැර ආ භවාරාමයකින් විදෙන
ගුප්තාදර කිරණාවලියක් ද කුමන
නොදනිමි මට දිය නොහැකිය අතට රැගෙන
එය භූගත මල් යායකි ඔබම සරන
අදහන්නට බැරි ආදර නදියක් ඇත පසෙහි ගිලුණු
නොදුටුවෙහි ද එය අඟවා සැලෙන සියුම් කොඩි සලකුණු?'
ඉහත කාව්‍යය ලක්ෂාන්ත අතුකෝරල කවියාගේ සුවිශේෂී කාව්‍ය සංග්‍රහයක් වන 'හැඟුම් ගඟෙහි හැංගිලා' කාව්‍ය සමුච්චයේ පළමු කවිය යි.
මේ කවියෙන් ඇරඹෙන 'හැඟුම් ගඟෙහි හැංගිලා' කාව්‍ය සමුච්චය සුවිශේෂී කාව්‍ය කෘතියක් යනුවෙන් හැඳින්වූයේ, එම කාව්‍ය සංග්‍රහය 2023 වසරේ කාව්‍ය කෘති සඳහා සම්මාන පිරිනමන සාහිත්‍ය උලෙළවල් හතරේ දී ම විශිෂ්ටතම කාව්‍ය කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම හේතුවෙනි.
එම කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ, රජත පුස්තක සම්මානය, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළ යන සම්මාන උලෙළ හතරෙහි දී ම සම්මානයට පාත්‍ර විය.
ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළේ දී වසරේ හොඳ ම කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් සම සම්මානය ලක්ෂාන්ත අතුකෝරලගේ 'හැඟුම් ගඟෙහි හැංගිලා' කෘතියට හිමි විය. අනෙක් කෘතිය වූයේ, වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චිගේ 'මල් සුවඳැති හිසරදයක්' කාව්‍ය සංග්‍රහය යි.
'හැඟුම් ගඟෙහි හැංගිලා' කෘතියේ විශේෂතා
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ලක්ෂාන්ත අතුකෝරල යනු ඔහුගේ කාව්‍ය කෘති එකිනෙකට වෙනස් ප්‍රස්තුතයන් ඔස්සේ ඉදිරිපත් කරන කවියෙකි.
ඔහු භාවිත කරන ප්‍රස්තුතයන් යම් සමාන්තර මනෝභාවයක් සහිත රේඛාවක් ඔස්සේ දිවෙන කාව්‍ය නිර්මාණවලින් සමන්විත වෙයි.
'හැඟුම් ගඟෙහි හැංගිලා' කෘතියට පාදක වූ ප්‍රස්තුතය සිතිවිලි ලෝකයකි. සිතිවිලි ලෝකයක කිමිදෙන හැඟීම් සමුදායක් මෙම එක එක කවියෙහි අන්තර්ගත වේ.
"අපට ඇති වන විවිධාකාර හැඟීම් අතරේ අපට ම තේරුම් ගන්න බැරි විදිහේ හැඟීම්, උදාහරණයක් විදිහට ටෙලිපති වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අතීතකාමී අදහස් වෙන්න පුළුවන්, කිසි ම හේතුවක් නැතිව දොම්නසක් ඇති වන මනෝභාවයන් (melancholy) වෙන්න පුළුවන්, ඒ වගේ මතක ගොන්නක් අනුසාරයෙන් ලියපු කවි එකතුවක් තමයි 'හැඟුම් ගඟෙහි හැංගිලා' නමින් පොතක් විදිහට නිකුත් කළේ," ලක්ෂාන්ත අතුකෝරල බීබීසී සිංහල සේවය සමග ඔහුගේ අනුභූතීන් ගැන කතා කළේ එසේ ය.
මෙම කෘතියට මෙතරම් සතුටුදායක ප්‍රතිචාර ලැබෙනු ඇතැයි ලක්ෂාන්ත තුළ විශ්වාසයක් නොතිබූ බව ඔහු පැහැදිලි කළේය.
"මම හිතුවෙ නෑ අනිත් අයට මේ හැඟීම්වල තියෙන දේවල් අහුවෙයි කියලා. නමුත් ඒක අහුවෙලා තියෙනවා. ගොඩක් අය කැමතියි ඒකට. හිතුවට වැඩිය මං අදහස් කරපු දේ සන්නිවේදනය වෙලා තියෙනවා. මගේ අත්දැකීම් පෞද්ගලික මට්ටමින් එහාට ගිහිල්ලා වෙනත් අයටත් ඒ අත්දැකීම් තිබිලා තියෙනවා කියලා මට දැනෙනවා."
සිය කෘතිය වෙනුවෙන් වසරේ සම්මාන හතරම හිමිවීම සම්බන්ධයෙන් ඇති හැඟීම කෙබඳුදැ යි විමසූ විට ඔහු පළ කළේ මෙවන් අදහසකි:
"ඇත්තට ම ගොඩක් සතුටු යි. ඒක මගේ ඉදිරි නිර්මාණවලට ලොකු පෙළඹවීමක්. ඒත් මම කවි ලියන්නේ සම්මානයක් හිමිවිය යුතු යි කියන අපේක්ෂාවෙන් නම් නෙවෙයි. අඩු තරමින් මේ පොත පළ කරනකොට මට හිතුණෙ නෑ මම අදහස් කරපු දේ පාඨකයින් අතරට යයි කියලාවත්. ඒත් නොසිතූ විදිහට හොඳ ප්‍රතිචාර ලැබුණ එක ගැන ගොඩක් සතුටු යි."
"ඒ වගේ ම හොඳ නිර්මාණ කියවන පාඨක පිරිසක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඔවුන්ගේ රසිකත්වය යම් ඉහළ මට්ටමක පවතිනවා. ඒක හොඳ ප්‍රවණතාවක්," ලක්ෂාන්ත අතුකෝරල වැඩිදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Janaka Inimankada/Facebook
‘ලක්ෂාන්තගේ සියලු පොත් කියවන පාඨක පිරිසක් ඉන්නවා’ - ප්‍රකාශකයාගේ ප්‍රතිචාරය
'හැඟුම් ගඟෙහි හැංගිලා කාව්‍ය සංග්‍රහය මුද්‍රණයෙන් පළ කළ විදර්ශන ප්‍රකාශන සමාගමේ අධිපති ජනක ඉනිමංකඩ, ලක්ෂාන්ත අතුකෝරල ඇතුළු කවීන් කිහිප දෙනෙකුගේ කවි පොත් සියල්ල කියවිය යුතු ය යන මතය දරන පාඨක පිරිසක් බිහිවී ඇති බව පැවසුවේ ය.
"ලංකාවේ කවීන් කීප දෙනෙක් ඉන්නවා, කවි කියවන අය අනිවාර්යයෙන් ඒ ගොල්ලන්ගේ කෘති කියවනවා. ඒගොල්ලො තහවුරු වෙච්ච කවීන්. උදාහරණයක් විදිහට ලක්ෂාන්ත එවැනි කවියෙක්. ඒ වගේ ම ලංකාවේ කවි කියවන පිරිස් අතර, ලක්ෂාන්තගේ හැම පොතක් ම තමන් සතු වෙන්න ඕන කියන අදහසක් තියෙනවා. ලක්ෂාන්තගේ සම්මාන හතරක් හිමි වුණ කෘතිය මේ වෙනකොට මුද්‍රණ වාර තුනක් ගිහින් තියෙනවා. ඒ කියන්නේ පිටපත් 2000ක් විතර විකිණිලා තියෙනවා," ජනක ඉනිමංකඩ පැවසීය.
ලක්ෂාන්ත අතුකෝරල ගැන නොදත් කරුණු
1978 වසරේ උපන් ලක්ෂාන්ත අතුකෝරල ගම්පහ, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි ගම්පහ, බණ්ඩාරනායක විද්‍යාලයයේ ඉගෙනුම ලැබූවෙකි.
පාසල් සමයේ සිට කවි ලිවීමට යොමු වී සිටි ඔහු විසින් රචනා කරන ලද 'සෙනෙහස සහ සෙනෙහස' නමැති කවිය 1993 වසරේ දී මුල් වරට දිවයින පුවත් පතේ පළවිය.
ඔහු 1997 වසරේ පැවති උසස් පෙළ විභාගයෙන් සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයයේ නීති පීඨයට ඇතුළත් වී නීතිඥයෙකු බවට පත්විය.
ඒ අතරතුර කාව්‍ය රචනයෙහි නිරත වූ ඔහුට කවි පොතක් පළ කිරීමේ අදහසක් නොපැවතිය ද, ලාල් හෑගොඩගේ මඟපෙන්වීම මත 2006 වසරේ දී සරසවි පොත් ප්‍රකාශනයක් ලෙස 'අමාවකේ සඳක් සිඹිමි' කාව්‍ය සංග්‍රහය නිකුත් කෙරිණි.
ඔහු නීතිඥයෙකු ලෙස වසර 20ක් සේවය කළ අතර, කොළඹ මහාධිකරණය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු ක්ෂේත්‍ර රැසක සේවය කළේ ය.
මේ වන විට කෙටි කාලයක් සඳහා එංගලන්තයේ රැඳී සිටින ලක්ෂාන්ත අතුකෝරල, රැකියාවෙන් තාවකාලිකව ඈත්ව සිටින හෙයින් නව නිර්මාණ කිරීම සඳහා ඔහුට විවේකයක් ලැබෙන බව පවසයි.
ඔහුගේ කවි පන්තියක් පස්වැනි ශ්‍රේණිය සිංහල කියවීම් පොතට ද ඇතුළත් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Sinhala Text Book - Grade 5
ලක්ෂාන්තගේ කෘති සහ දිනූ සම්මාන
- අමාවකේ සඳක් සිඹිමි - ගොඩගේ සාහිත්‍ය සම්මානය - 2006
- යටි වියන - රාජ්‍ය සම්මාන සහ ගොඩගේ සම්මාන - 2007
- වැසි ඉසෙන ඉසව් - 2008
- හිත්තග්ගිස්සේ නෙතක් පොට්ටු - 2009
- සිරගත නොවූ සිතිවිලි (හෝ චි මිංගේ The Prison Diary කෘතියේ සිංහල පරිවර්තනය) - 2009
- ඊ - ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය සම්මාන - 2012
- සුප්‍රකට චරිත ගැන අප්‍රකට කතා (ඩේල් කානගීගේ Little Known Facts About Well known People කෘතියේ සිංහල පරිවර්තනය) - 2014
- සමහර කමටහන් - රජත පුස්තක, රාජ්‍ය සහ ගොඩගේ සම්මාන - 2016
- සිපුම් සීරුම් කෙනිත්තුම් (කමලා දාස්ගේ කාව්‍ය කෘතියේ සිංහල පරිවර්තනය) - රාජ්‍ය සම්මාන - 2016
- සුසුමකින් සුළි සුළඟ - 2016
- අනබිසෙස් අනබිනික්මන් - 2017
- ආදර කවි වැස්සක් සහ සුන්පැතුම් ගීතාවක් (පැබ්ලෝ නෙරූඩාගේ Twenty Love Poems and A Song Of Despair කෘතියේ සිංහල පරිවර්තනය) - රාජ්‍ය සම්මාන - 2020
- ලියසැව් ලිහී ගිය ගනසාමුඩුලු - ගොඩගේ සම්මාන - 2021
- වැස්සක් අසන්නෙකු සේ මා අසන්න (ඔක්ටාවියෝ පාස්ගේ කාව්‍ය පරිවර්තන) - 2022
- හැඟුම් ගඟෙහි හැංගිලා - රජත පුස්තක, රාජ්‍ය, විද්‍යෝදය සහ ගොඩගේ සම්මාන - 2022
- චතුරස්‍රය ඉස්සරහ - 2023
- ගැහැනු හිතක් ගැහෙන හදක් (මායා ඇන්ගිලෝගේ කාව්‍ය පරිවර්තන) - 2023












