බන්ධනාගාර රෝහල : ප්‍රභූවරුන්ගේ වරප්‍රසාදයක් ද?

අධිකරණය විසින් දඬුවම් පමුණුවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූවරුන් බන්ධනාගාර රෝහලට ඇතුළත් වීම තවදුරටත් විමතියක් නොවන තරමට මෙරට සමාජයට හුරුව පවතී.

මෙවර එය නැවත අවධානට යොමුව ඇත්තේ ප්‍රශ්නගත ප්‍රතිදේහ මිලදී ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කිරීමත් සමගයි.

අධිකරණය විසින් ලබා දුන් නියෝගයෙන් පසුව කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ඇති බවට සමාජයේ බොහෝ දෙනා පෙර සිටම උපකල්පනය කරනු ලැබීය. එසේම එය නිවැරදි උපකල්පනයක් බවට පත්විය.

මන්ත්‍රීවරුන් බන්ධනාගාර රෝහලට යන්නේ ඇයි ?

අධිකරණය විසින් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මන්ත්‍රීවරුන් සැළකිය ප්‍රමාණයක් පසුගිය කාල සීමාවේදී බන්ධනාගාර රෝහලට මාරු කරනු ලැබු සිදුවීම් පිළිබඳ වන පුවත් මාධ්‍ය විසින් විටින් විට වාර්තා කරනු ලැබීය.

අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු දඬුවම් නියම වූ මන්ත්‍රීවරුන් හෝ ප්‍රභූවරුන් අතරින් කොපමණ පිරිසක් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත්දැයි බීබීසී සිංහල සේවය විසින් කළ විමසීමකදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණි .බී. දිසානායක කියා සිටියේ එවැනි සංඛ්‍යා ලේඛන පවත්වා ගෙන යාමක් සිය දෙපාර්තමේන්තුව විසින් සිදුනොකරන බවයි.

"අධිකරණයෙන් දඬුවම් ලබලා මෙතැනට ( බන්ධනාගාරයට) එන ඕනෑම කෙනෙක්ව අපි දකින්නේ සිරකරුවන් හෝ සැකකරුවන් විදිහට විතරයි. අපි ඒ එන කාට වුනත් විශේෂත්වයක් කරන්නේ නැහැ." ඔහු පැවසුවේය.

ආණ්ඩු විරෝධී මහජන විරෝධතා පැවති සමයේ ( 'අරගලය' අතරතුර) අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ පසුගියදා හදිසි අනතුරකින් මියගිය පා.ම සනත් නිශාන්ත හෝ පා.ම මිලාන් ජයතිලක වැනි යන අය බන්ධනාගාර රෝහලට ඇතුළත් නොකළ බවත් ඔවුන් සාමන්‍ය සැකකරුවන් ලෙස රිමාන්ඩ් භාරයේ සිටි බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්නේ කුමන අවස්ථාවකදී ද ?

බන්ධනාගාර ගත කෙරෙන සිරකරුවෙකු එහි පිහිටා තිබෙන රෝහලට ඇතුළත් කරනු ලබන්නේ එම සැකකරු හෝ රැඳවියා යම් රෝගයකින් පෙළෙනවා නම් පමණක් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

"අධිකරණය මගින් සිර දඬුවම් නියම කරන ඕනෑම සැකකරුවෙකු බන්ධනාගාරයට රැගෙන ආවට පස්සේ ඔහු හෝ ඇයව බන්ධනාගාරයට අනියුක්තව සිටින වෛද්‍යවරුන් විසින් පරික්ෂා කරනු ලබනවා."

"එහෙම පරික්ෂා කරන්නේ අධිකරණයේ ඉදලා ගේන රැඳවියාට යම් ආකාරයේ පහර දීමක් වගේ වෙලා ඇත් ද කියලා පරික්ෂා කිරීම වැදගත් නිසා."

"ඒ වගේම ගෙන එන සැකකරුවන් යම් විදිහකින් රෝගයකින් පෙළෙනවා නම් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා ඒ ගැන නිරීක්ෂණය කරලා අවශ්‍ය නම් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන්න නියම කරනවා."

"සමහර වෙලාවට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කරන්න බැරිනම් ජාතික රෝහලට මාරුකරන්න අවශ්‍ය උපදෙස් නිකුත් කරනවා. හැබැයි සිරකරුවා හෝ රැඳවියා කොහේ ප්‍රතිකාර ගත්තත් ඔහු හෝ ඇය ඉන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ." මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

දුමින්ද සිල්වා ගැන තොරතුරක්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් ජනාධිපති සමාව ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයන්ට අනුව ඔහු ප්‍රතිකාර ලබමින් සිටි ජයවර්ධනපුර රෝහලේදී බන්ධනාගාර නිලධාරින් භාරයට ගත් බව ද හෙතෙම කියා සිටියේය.

"දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය අනුව ඔහු ප්‍රතිකාර අරන් හිටිය ජයවර්ධනපුර රෝහලේදී බන්ධනාගාර නිලධාරින් ගේ භාරයට ගත්තා."

"ඉන් පසුව ඔහුගේ ප්‍රතිකාර අවසන් වුවාට පසුව නැවත පසුගිය ජනවාරි මාසයේ 19 වනදා බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ලැබුවා" ඔහු පවසා සිටියේය.

'මහජන විශ්වාසය රැක ගත යුතුයි'

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න බීබීසී සිංහල සේවයට පැවසුවේ අධිකරණ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් මහජන විශ්වාසය රැක ගැනීම වැදගත් බවයි.

ඔහු මේ බව පැවසුවේ අධිකරණ නියෝග මත බන්ධනාගාර ගත කෙරෙන සැකකරුවන් අතරින් ප්‍රභූවරුන් සහ දේශපාලඥයින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සාමාජය තුළ පවතින මතය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

“වඩා වැදගත් වන්නේ අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහජන විශ්වාසය රැක ගැනීම."

"මොකද අපි අධිකරණ කටයුතු වගේම පාලකයින් කියන කණ්ඩායමත් තමන්ගේ කටයුතු සියල්ලම සිදුකරන්නේ මහජන විශ්වාසය කියන කාරණාව මත."

"පහුගිය කාලයේ දී අපි දැක්ක දෙයක් තමයි ප්‍රභූ යැයි කියන පුද්ගලයෙක් සම්බන්ධයෙන් අධිකරණ කටයුත්තකදී බන්ධනාගාර ගතවීමක් සිදුවුවහොත් ඒ පුද්ගලයා බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමේ යම් කිසි සම්ප්‍රදායක් පැන නැගෙමින් පවතිනවා කියන එක. "

"ඒක හොඳ දෙයක් නෙමෙයි. මොකද බන්ධනාගාර ගතවෙන හැම පුද්ගලයෙක්ටම එවැනි පහසුකමක් නොලැබෙන නිසා. "

"මේ කාරණයත් මම සඳහන් කරන්න ඕන. බන්ධනාගාර ගතවෙන කිසියම් හෝ පුද්ගලයෙකුට ප්‍රතිකාර ලැබිය යුතු රෝගයක් තිබේ යැයි බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා නිර්දේශ කළහොත් ඔහුට හෝ ඇයට ඊට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගත කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා."

"ප්‍රභූවරයෙක් යැයි කියන පුද්ගලයෙක් කොතරම් හොඳ සෞඛ්‍ය මට්ටමකින් පසුවෙනවා වුණත් බන්ධනාගාර ගත වූ ගමන් බන්ධනාගාර රෝහලට ඇතුළත් වනවා. ඒක මහජන විශ්වාසයට ඒතරම් හොඳ දෙයක් නෙමෙයි මම කලින් කිව්ව විදිහට."

"සෑම චුදිතයෙකුටම එක සමාන ලෙස සැළකිය යුතුයි කියා අපේ නීතියේ සඳහන් වෙනවා." නීතිඥ සංගමයේ සභාපතිවරයා පැවසුවේය.

මේ අතර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් වන නඩු කටයුත්ත නැවත අධිකරණය හමුවට කැඳවන අවස්ථාවේ දී ඒ සම්බන්ධව කරුණු ගෙනහැර දැක්වීමට තමන් බලාපොරොත්තුවන බව ද ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.