නවසීලන්තයේ කන්දකට නීත්‍යනුකූලව මිනිසෙකු සතු අයිතිවාසිකම් පිරිනැමේ

Taranaki

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තාරනාකි කන්ද පූජනීයත්වයෙන් සලකනු ලබන අතර එය දේශීය මෞරි ජනයාගේ මුතුන් මිත්තෙකු ලෙස සැලකේ.
    • Author, කැත්රින් ආම්ස්ට්‍රෝං
    • Role, බීබීසී

නවසීලන්ත කන්දකට පුද්ගලයෙකුට සමාන නීත්‍යනුකූල අයිතියක් ලබා දී ඇති ගිවිසුමක් වසර ගණනාවක සාකච්ඡාවලින් පසුව නීතියක් බවට පත්ව තිබේ.

ඉන් අදහස් වන්නේ, තාරනාකි මෞන්ගා හෙවත් තාරනාකි කන්දට අනන්‍යතාවක් හිමි වන බව ය. එය කළමනාකරණය කිරීම සඳහා දේශීය ගෝත්‍ර, ඉවි ගෝත්‍රිකයින් සහ රජය එක්ව කටයුතු කරනු ඇත.

යටත් විජිතකරණයේදී තාරනාකි කලාපයේ මෞරිවරුන්ට සිදුවූ අසාධාරණකම් සඳහා වන්දි ගෙවීම මෙම ගිවිසුමේ අරමුණ යි - පුළුල් ලෙස ඉඩම් රාජසන්තක කිරීම ද ඊට අයත් වේ.

"අතීත වැරදි නිසා ඇති වූ වේදනාව අප පිළිගත යුතුයි, එවිට අපට අනාගතය දෙස බලා ඉවි ගෝත්‍රික ජනතාවට ඔවුන්ගේ ම අභිලාෂයන් සහ අවස්ථාවන් සාක්ෂාත් කර ගැනීමට සහය විය හැකි යි," සාකච්ඡා සම්බන්ධීකාරක නවසීලන්ත රජයේ අමාත්‍ය පෝල් ගෝල්ඩ්ස්මිත් පැවසීය.

Mount Taranaki is seen surrounded by cloud and in front of a green field

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නවසීලන්ත පාර්ලිමේන්තුව විසින් බ්‍රහස්පතින්දා (ජන: 30) තාරනාකි මෞංගා සාමූහික වන්දි පනත් කෙටුම්පත නීතියක් ලෙස සම්මත කරන ලදී. ඒ, කන්දට නීත්‍යනුකූල නමක් ලබා දෙමින් සහ එහි අවට කඳු මුදුන් සහ භූමිය ආරක්ෂා කිරීම තහවුරු කරමිනි.

කඳු ඇතුළු ස්වාභාවික ලක්ෂණ මුතුන් මිත්තන් සහ ජීවීන් ලෙස සලකන මෞරි ලෝක දැක්මට ද එය අදාළ වේ.

"අද, තාරනාකි, අපේ මෞංගා [කන්ද], අපේ මෞංගා ටූපුනා [මුතුන් මිත්තන්ගේ කන්ද], අයුක්තියේ, නොදැනුවත්කමේ, වෛරයේ විලංගුවලින්, විලංගුවලින් නිදහස් වී තිබෙනවා," මෞරි දේශපාලන පක්ෂයේ සම නායක ඩෙබී නගරේවා-පැකර් පැවසීය.

නගරේවා-පැකර් යනු නවසීලන්තයේ බටහිර වෙරළ තීරයේ පිහිටි තාරනාකි ඉවි ගෝත්‍රිකයින් අට දෙනාගෙන් එක් අයෙකි. ඔවුන්ට මෙම කන්ද පූජනීය වස්තුවකි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීම නැරඹීම සඳහා බ්‍රහස්පතින්දා ප්‍රදේශයේ තවත් සිය ගණනක් මෞරිවරු නවසීලන්ත පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ.

18 වන සියවසේදී බ්‍රිතාන්‍ය ගවේෂක ජේම්ස් කුක් විසින් එයට ලබා දුන් එග්මොන්ට් යන නම තවදුරටත් නිල වශයෙන් හැඳින්වෙන්නේ නැත. ඒ වෙනුවට එය තාරනාකි මෞංගා ලෙස හඳුන්වනු ලබන අතර අවට ජාතික වනෝද්‍යානයට එහි මෞරි නාමය ද ලබා දෙනු ඇත.

තාරනාකි අයිවි ගෝත්‍රිකයෙකු වන අයිෂා කැම්බල් 1News වෙත පැවසුවේ, ඇයට මෙම උත්සවයට සහභාගි වීම වැදගත් බවත්, කන්ද "අපව සම්බන්ධ කරන අතර ජනතාවක් ලෙස අපව එකට බැඳ තබන්නේ එයයි" කියා ය.

නවසීලන්තය රටක් ලෙස ස්ථාපනය කර ආදිවාසීන්ට ඔවුන්ගේ ඉඩම් සහ සම්පත් සම්බන්ධයෙන් යම් යම් අයිතිවාසිකම් ලබා දුන් වයිටැංගි ගිවිසුම උල්ලංඝණය කිරීමට වන්දි ලබා දීමේ උත්සහයක් ලෙස, තාරනාකි මෞංගා ගිවිසුම මෞරි ප්‍රජාව සමග රජය ඇති කර ගත් නවතම ගිවිසුමයි.

1860 ගණන්වලදී තාරනාකි කන්ද සහ දේශීය මෞරි වැසියන්ගෙන් අක්කර මිලියනයකට අධික ඉඩම් රාජසන්තක කිරීම සම්බන්ධයෙන් රජයෙන් සමාව අයැදීමත් සමග මෙම එකඟතාව ඇති විය.

"ගිවිසුම උල්ලංඝණය කිරීම්වල අර්ථය වන්නේ, තාරනාකිහි වානෝ [පුළුල් පවුල], හපු [උප ගෝත්‍රය] සහ ඉවි ගෝත්‍රිකයින් වෙත අතිමහත් හා සංකීර්ණ හානියක් සිදු කර ඇති බවත්, දශක ගණනාවක් තිස්සේ අතිමහත් හානියක් සිදු කර ඇති බවත්," පෝල් ගෝල්ඩ්ස්මිත් පිළිගත්තේ ය.

කන්දට ප්‍රවේශ වීම වෙනස් නොවන බවට එකඟ වී ඇති බවත්, "සියලු ම නවසීලන්ත වැසියන්ට ඉදිරි පරම්පරාවන් සඳහා මෙම අතිවිශිෂ්ට ස්ථානය නැරඹීමට සහ භුක්ති විඳීමට හැකි වනු ඇති," බවත් ඔහු තවදුරටත් පැවසීය.

නවසීලන්තයේ ස්වභාවික පිහිටීම් අතරින් නීත්‍යනුකූල පුද්ගලභාවයක් ලබා දුන් පළමු කන්ද මෙය නොවේ.

2014දී, උරේවේරා ස්වදේශික වනාන්තරය එවැනි තත්වයක් ලබා ගත් පළමු අවස්ථාව බවට පත් වූ අතර, පසුව 2017 දී වැන්ගනුයි ගඟ ද එම තත්ත්වය ලබා ගත්තේ ය.