ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාවේ කැස්ස පැණි මරණවලින් දිගු කලකට පසුත් යුක්තිය වෙනුවෙන් බලාසිටින මාපියෝ
තෙහැවිරිදි අනිරුද් අවසන් වරට වීඩියෝවකට හසුවූ අවස්ථාවේ දී ඔහුගේ දෑතට වයර් සවිකර තිබූ අතර, රෝහල් ඇඳක් මත මළානිකව වැතිර සිටියේ ය.
සුවය ලැබූ පසු ඔහුට සෙල්ලම් කළ හැකි අයුරු ගැන කියමින් ඔහුගේ මව ඔහුට කෑම කැවීමට අසාර්ථක උත්සහයක නිරත වනු ද එහි දක්නට ලැබිණි.
ඉන් දින තුනකට පසු, 2020 ජනවාරි 10 වන දා, එම දරුවා රෝහලේ දී ජීවිතක්ෂයට පත් විය.
මරණයට සති දෙකකට පෙර ඔහු පාචනය සහ වමනයෙන් පීඩා විඳි අතර, මුත්‍රා කිරීමේ නොහැකියාවෙන් ද පෙළිණි. උතුරු ඉන්දියාවේ ඔවුන් වාසය කරන ජම්මු ප්‍රාන්තයට අයත් කුඩා නගරයක් වන රාම්නගර්හි ඖෂධ අලෙවිකරුවෙකුගෙන් දරුවාගේ උණ සහ ළය ආසාදනයක් සඳහා මිල දී ගත් කැස්ස සිරප් වර්ගයක් ලබාදීමෙන් පසු මෙම රෝග ලක්ෂණ ආරම්භ වූ බව ඔහුගේ දෙමාපියෝ පවසති.
රෝහලේ වෛද්‍යවරු, අනිරුද්ගේ වකුගඩුවලට හානි සිදුවී ඇතිබවත්, ඔහුගේ සිරුරේ 'ක්‍රියැටිනින්' ඉතා ඉහළ මට්ටමක පැවති බවත් පැවසූහ. ක්‍රියැටිනින් යනු, සාමාන්‍යයෙන් වකුගඩු මඟින් පෙරා දමන අපද්‍රව්‍යයකි.
ඔහුගේ මරණය කැස්ස පැණිය නිසා සිදුවූවක් බවට ඔහුගේ දෙමාපියෝ චෝදනා කරති. වකුගඩු අකර්මණ්‍යවීමට හා ශරීරගත වුවහොත් මරණයට හේතු විය හැකි ඩයිඑතිලීන් ග්ලයිකෝල් නම් විෂ සංයෝගයක් කැස්ස පැණියේ අඩංගු වී ඇතැ යි පරීක්ෂණවලින් පෙනී ගිය බව ප්‍රදේශයේ ඖෂධ පාලන නිලධාරීන් ද පැවසීය.
"දරුවා ගොඩක් දුක් වින්දා," ඔහුගේ මව වන වීණා කුමාරි බීබීසී පුවත් සේවයට පැවසුවා ය. "එයාට කෑම කන්න බැරි තත්ත්වයක් තිබුණා. ඇස් අරින්නවත් බැරි වුණා. ඒ වගේ ම, එයාගෙ මූණ යි ඇඟ යි ඉදිමුණා."
2019 වසරේ දෙසැම්බර් මාසයේ සිට 2020 වසරේ ජනවාරි මාසය අතර කාලය තුළ, රාම්නගර්හි වයස අවුරුදු පහට අඩු දරුවන් අවම වශයෙන් 12 දෙනෙකු මරණයට පත්ව තිබේ. ඒ, කැස්ස පැණියක් පානය කිරීමෙන් පසුව බවට සැක කෙරේ.
මරණ සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බව ක්‍රියාකාරීහු පවසති.
අදාළ කැස්ස පැණිය නිෂ්පාදනය කරන ලද ඩිජිටල් විෂන් (Digital Vision) නමැති සමාගමේ හිමිකරු පර්ෂෝත්තම් ගෝයාල් ඔහුගේ ඖෂධය එම මරණවලට වගකිව යුතු බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරයි.
"අපි මොකට ද කාගේහරි දරුවො මරන්නේ? අපටත් දරුවො ඉන්නවා. අපි නිෂ්පාදනය කරන්නේ බෙහෙත් මිසක් වස නෙවෙයි," ඔහු බීබීසී පුවත් සේවයට පැවසීය.
ගැම්බියාවේ සහ උස්බෙකිස්ථානයේ සිදුවූ ළමා මරණ හා ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස පැණියක් අතර සම්බන්ධයක් ඇතැයි අනාවරණයවීමෙන් පසු රාම්නගර් ඛේදවාචකය ද නැවත අවධානයට ලක් වූ අතර, දෙමව්පියන්ට යුක්තිය ඉල්ලා සිටීමට අවස්ථාවක් ලැබුණි.
ඔවුන්ගේ දරුවන් මියයාමට පෙර, ගැම්බියාවේ සහ උස්බෙකිස්ථානයේ දරුවන් තුළ දක්නට ලැබුණු රෝග ලක්ෂණවලින් පීඩා විඳි බව බොහෝ දෙමව්පියන් පවසයි.
ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල ඖෂධ අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් සපුරන, ලොව විශාලතම වෙළඳ නාම රහිත ඖෂධ අපනයනකරු ඉන්දියාව යි. එහෙත්, ගැම්බියාවේ සහ උස්බෙකිස්ථානයේ සිදුවූ මරණ ඉන්දියාවේ ඖෂධ කර්මාන්තයේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න මතු කරමින් ජාත්‍යන්තර සිරස්තල මැවීය.
ඉන්දියාවේ, වර්ධනය වෙමින් පවතින ඖෂධ කර්මාන්තයේ අනාරක්ෂිත නිෂ්පාදන පිළිවෙත් සහ නියාමන අධීක්ෂණයන් නොමැතිකම පිළිබඳව අනතුරු ඇඟවීමට ඔවුන් දීර්ඝ කාලයක සිට උත්සහ කළ බව ඉන්දීය සෞඛ්‍ය ක්‍රියාකාරීන් පවසයි.
ඉන්දියාවේ ප්‍රථම වරට ඩයිඑතිලීන් ග්ලයිකෝල් විෂවීමක් වාර්තා වූයේ, 1972 වසරේ දී තමිල්නාඩු ප්‍රාන්තයේ ළමුන් 15 දෙනෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බව, සෞඛ්‍ය විශේෂඥ දිනේෂ් ඨාකූර් සහ නීතීඥ ප්‍රශාන්ත් රෙඩ්ඩි The Truth Pill නමැති ග්‍රන්ථයේ ලියා ඇත.
එතැන් සිට, ඉන්දීය ප්‍රාන්ත කිහිපයකම "සමූහ විෂවීම් සිද්ධි" සිදුවී ඇතැ යි ඔවුහු පවසන අතර, ඩයිඑතිලීන් ග්ලයිකෝල් විෂවීම්හි රෝග විනිශ්චය කිරීම දුෂ්කර බැවින් සත්‍ය මරණ සංඛ්‍යාව මීට වඩා බොහෝ සෙයින් වැඩි විය හැකිබව පවසති.
සමාගම් විසින් සාමාන්‍යයෙන් "[ඖෂධ තැනීමට] යොදාගන්නා අමුද්‍රව්‍ය හෝ වෙළෙඳපොළ වෙත බෙදා හැරීමට පෙර අවසාන නිෂ්පාදනය හෝ පරීක්ෂා නොකරන" බව ග්‍රන්ථයේ කතුවරු පවසති.
එනමුත්, රාම්නගර්හි මරණ හුදෙකලා සිදුවීමක් බව ඉන්දීය ඖෂධ නියාමකයින් පවසයි.
ඉන්දියාවේ ඖෂධ අපනයන ප්‍රවර්ධන කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් උදය භාස්කර්, "අනපේක්ෂිත සිද්ධියක් සහ කාණ්ඩ කිහිපයක් මත පදනම්ව, ඉන්දියාවේ සමස්ත ඖෂධ කර්මාන්තය හොඳින් ක්‍රියාත්මක නොවන බව පැවසීමට නොහැකි," බව කියා සිටියි.
ගැම්බියාවේ ළමා මරණවලට සම්බන්ධ කැස්ස සිරප් වර්ග හතර ඉන්දියාවේ දී පරීක්ෂා කළ විට පිරිවිතරයන්ට අනුකූල වූ බව ඉන්දීය ඖෂධ නියාමකයින් පවසයි. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය අභියෝගයට ලක්කර තිබේ. කෙසේ වෙතත්, ඉන්දියාවේ ඖෂධ අපනයන ප්‍රවර්ධන කවුන්සිලය උස්බෙකිස්ථානයේ මරණවලට තුඩු දුන් නිෂ්පාදන අයත් බව කියන සමාගමේ නිෂ්පාදන බලපත්‍රය අවලංගු කළේ ය.
එමෙන් ම, එය කැස්ස සිරප් නිෂ්පාදන අපනයනය කිරීමට පෙර නියැදි පරීක්ෂා කිරීම ද අදාළ සමාගම්වලට අනිවාර්ය කර තිබේ.
රාම්නගර් සිද්ධියේ දී, පැණිය අලෙවි කළ පුද්ගලයා සහ ඩිජිටල් විෂන් සමාගමේ නිලධාරීන් තිදෙනෙකු ද ඇතුළු පස් දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට පොලිසියට වසර දෙකක් ගතවිය. නඩුව දැනට ප්‍රාදේශීය අධිකරණයක විභාග වෙමින් පවතියි. මේ පිළිබඳව විමසීම සඳහා බීබීසී පුවත් සේවය කළ ඉල්ලීමට දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රතිචාර දැක්වූයේ නැත.
රාම්නගර්හි පිහිටි ඩිජිටල් විෂන් සමාගමේ නිෂ්පාදන ඒකකය 2020 වසරේ දී මාස හයක් වසා තිබූ නමුත් යළි මෙහෙයුම් ආරම්භ කිරීමට අධිකරණ අවසර ලැබීමෙන් පසු යළි විවෘත කෙරිණි.
දෙමාපියන් පවසන්නේ, ඔවුන්ගේ දරුවන්ගේ මරණවලට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බව ය.
"අපට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනෙ. ඝාතකයින්ට දඬුවම් දෙන්න ඕනෙ," පැණිය පානය කිරීමෙන් දින 10කට පසු මියගිය තෙහැවිරිදි ඉර්ෆාන්ගේ මව වන මුර්ෆා බීවී පවසයි.
"වින්දිතයෝ මැරුණේ කිසි හේතුවක් නැතුව. නිෂ්පාදකයෝ සහ ඖෂධ පාලන නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය හරියට කරන්න අසමත් වෙලා තියෙනවා," අරගලයේ නිරත දෙමාපියන්ට සහාය දෙන ජම්මු ප්‍රාන්තයේ ක්‍රියාකාරිකයෙකු වන සුකේෂ් ඛජුරියා චෝදනා කරයි.
රජයේ නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කළා නම් "ගැම්බියාවේ මරණ සිද්ධ නොවන," බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
නමුත් සාධාරණය ඉටු කිරීම සඳහා ඔවුහු වෙහෙසී වැඩ කළ බව ඖෂධ පාලන නිලධාරීහු අවධාරණය කරති.
රාම්නගර් වෙතින් ලබාගෙන චන්දිගර්හි පර්යේෂණාගාරයක පරීක්ෂණවලට යැවූ කැස්ස පැණි සාම්පල්වල "ඩයිඑතිලින් ග්ලයිකෝල් 34%කට වඩා තිබුණා," ජම්මු සහ කාශ්මීර් ඖෂධ පාලක ලෝතිකා ඛජුරියා බීබීසී වෙත පැවසීය. ඛජුරියා පවසන පරිදි, සාම්පල් සම්බන්ධ නිගමන කොල්කටාව පදනම්කර ගත් තවත් විද්‍යාගාරයක් විසින් තහවුරු කර තිබේ.
මෙම මරණ පිළිබඳව විමර්ශනය කළ ළමා රෝග විශේෂඥ භව්නීත් භාරතීගේ නායකත්වයෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් ද එම නිගමනයට එළඹිණි.
"ඒවායේ තිබුණ විෂ මූලිකවම ඔවුන්ගේ වකුගඩු අකර්මණ්‍ය කරලා තිබුණා. සමහරුන්ගේ මොළය, අක්මාව, පෙනහැලි ආදී ඉන්ද්‍රියන් කිහිපයකට බලපා තිබුණා. ඔවුන්ගෙන් ඇතැමෙක් වෙන්ටිලේටරයක තබන්න වුණා. සමහරු මියගියා. අනිත් ළමයි දැඩි ආබාධ තත්ත්වයන්ට ගොදුරු වුණා," භාරතී පැවසීය.
වයස මාස 15 දී කැස්ස පැණිය පානය කළ පවන් කුමාර් දිවි ගලවාගත් අය අතර වේ. ඔහු මාස තුනක කාලයක් රෝහල්ගත කර තිබූ අතර, තවමත් ප්‍රතිකාර ලබයි.
"එයාගෙ ඇස් පෙනීම දුර්වල වෙලා, කන් ඇහෙන එක ගොඩක් අඩු වෙලා. එයාට අධිරුධිර පීඩනය තියෙනවා," ඔහුගේ පියා වන ෂම්භූ රාම් පවසයි.
දරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා රජයෙන් මූල්‍ය සහයක් අවශ්‍ය බව එම පවුල්වල සාමාජිකයෝ පවසති.