'ප්‍රතිජීවක ප්‍රතිරෝධය' යනු කුමක් ද? එය අපට අනතුරුදායකවන්නේ කෙසේ ද?

    • Author, අමන්දා අබේසූරිය
    • Role, බීබීසී සිංහල

‘ප්‍රතිජීවක ප්‍රතිරෝධය’ යනු ඉඳහිට ඇසෙන, එනමුත් අප මුහුණ පාමින් සිටින දැවැන්තම සෞඛ්‍යමය අභියෝගයකි. 

බොහෝදෙනා මෙම යෙදුම එක් වරක් හෝ අසා ඇතිමුත්, ඒ පිළිබඳ දැනුවත්භාවය අඩු නිසා එහි භයානකබව පිළිබඳව දන්නා වගක් පෙනෙන්නට නැත. 

ඔබත් උණ හෙම්බිරිස්සාවට ප්‍රතිජීවක ඖෂධ ලබාගන්නෙකු නම්, නියම කළ පරිදි ප්‍රතිජීවක ඖෂධ භාවිතා නොකරන්නේ නම්, ප්‍රතිජීවක ඖෂධ නිවසේ තබාගෙන තමන්ට අවැසි විටෙක භාවිතා කරන්නෙකු නම්, භයානක ප්‍රතිජීවක ප්‍රතිරෝධය ඇතිවීමට ඔබත් නොදැනුවත්වම දායකවූවා විය නොහැකි ද? එහි ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට ඔබට ද සිදුවනු ඇති ද? මේ ලිපිය ඔබේ පැනයන්ට පිළිතුරු ගෙන එයි.

ප්‍රතිජීවක යනු මොනවා ද?

ප්‍රතිජීවක යනු බැක්ටීරියා ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ඖෂධ වේ. බැක්ටීරියා විනාශ කිරීමේ හෝ වර්ධනයවීම වැළැක්වීමේ හැකියාව මෙම ඖෂධ සතු ය.

ප්‍රතිජීවක කාණ්ඩ කිහිපයක් ඇති අතර, ඒවාට විශේෂිත එක් එක් බැක්ටීරියා කාණ්ඩවලට එරෙහිව ක්‍රියාකරයි. සියලු බැක්ටීරියාවලට එරෙහිව පොදුවේ සියලු ප්‍රතිජීවක භාවිතා කළ නොහැකි ය.

මෙම ඖෂධ වෛරසවලින් ඇතිකරන ආබාධයන්ට (සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අමාරුව වැනි) එරෙහිව ඵලදායී නොවේ.

ශ්‍රී ලංකාව තුළ ප්‍රතිජීවක නිර්දේශ කිරීමට අවසර ඇත්තේ වෛද්‍ය වෘත්තිකයන්ට පමණි. එනමුත්, බොහෝදෙනෙක් ඖෂධ වට්ටෝරුවක් රහිතව ඖෂධහල් හරහා ප්‍රතිජීවක ලබාගැනීමට හුරුව සිටිති. 

ප්‍රතිජීවක අවභාවිතා වන්නේ ඇයි?

"එක හේතුවක් තමයි, පොදු ජනතාව අඳුනන්නේ නැහැ ඇන්ටිබයොටික් කියන්නේ මොනවා ද කියලා," මහනුවර ජාතික රෝහලේ සායනික ක්ෂුද්‍රජීවී විශේෂඥ, වෛද්‍ය මධුමණී අබේවර්ධන අප හා කියා සිටියාය.

"දෙවැනි එක තමයි, ඇන්ටිබයොටික් ගැන දන්නා කට්ටිය අතරෙත් හරි දුර්මතයක් තියෙනවා හරි ඉක්මණින් ලෙඩේ සනීපකර ගන්න ඕනේ නම් ඇන්ටිබයොටික් ගන්න ඕනේ කියලා… සමහර ඩොක්ටර්ස්ලා වුණත් කියනවා [වෛරස ආසාදන සම්බන්ධයෙන්] 'ඒ වුණාට බැරි ද මේක බැක්ටීරියා ආසාදනයක් වෙන්නත්' කියලා. මොකද අපට වැඩිහරියක් ශ්වසන රෝග ඇතිවෙන්නේ වෛරස් ආසාදන වලින් නේ, දැනුත් ඉන්ෆ්ලුවෙන්සා තියෙනවා, කොවිඩ් තියෙනවා මේ දවස්වලත්. එතකොට ඒගොල්ලෝ හිතනවා, මේ ආසාදනයෙන් පස්සේ බැක්ටීරියා ආසාදනයක් එයි, ඒ නිසා අපි වේලාසනින් ඇන්ටිබයොටික් එකක් දුන්නොත් ඒක නවත්තගන්න පුළුවන් කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි අදහසක්."

"තවත් අවස්ථාවක් තමයි, අපි හිතමු, දැන් ඇත්තටම ඇන්ටිබයොටික් පාවිච්චි කරන්න අවශ්‍ය වෙලාවල් තියෙනවනේ. ඒ අවස්ථාවක දී සරල ඇන්ටිබයොටික් එකකින් නැතුව, අර බ්‍රෝඩ්-ස්පෙක්ට්‍රම් ඇන්ටිබයොටික් (පුළුල් පරාසයක බැක්ටීරියා විනාශ කරන ප්‍රතිජීවක) ලබාදෙනවා. හිතන්නකෝ, කූඹියෙක්ව තලන්න බුල්ඩෝසර් එකක් පාවිච්චි කරනවා වගේ [ඇන්ටිබයොටික්] අවභාවිතයක් සිද්ධවෙනවා," විශේෂඥ වෛද්‍යවරිය පැහැදිලි කළා ය.

පෙර දී වෛද්‍යවරයෙකු විසින් තම රෝගී තත්ත්වයකට යම් ප්‍රතිජීවකයක් නිර්දේශ කරන ලද හෙයින්, නැවත වරක් එම රෝගයම ඇතිවූකල රෝගියා වෛද්‍ය උපදෙස් ලබාගැනීමෙන් තොරව පෙර නිර්දේශිත ප්‍රතිජීවකය ලබාගන්නා අවස්ථා ද දක්නට ලැබෙනබව ඇය පවසන්නී ය.

2021 වසරේ ශ්‍රී ලංකාව තුළ ඖෂධශාලා සේවකයින් පිරිසක් හා සිදුකළ අධ්‍යයනයකින් සොයාගැනුනේ, ඔවුන්ගෙන් 30%ක් පමණම ඊට පෙර සතියේ දී උගුරේ ආසාදන, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස, පාචනය, ආසාදිත තුවාල සහ මුත්‍ර ආසාදන වැනි සාමාන්‍ය ආසාදන තත්ත්වයන් සඳහා බෙහෙත් තුණ්ඩුවකින් තොරවම ප්‍රතිජීවක සපයා ඇතිබව යි.

එසේම, රෝගයෙන් යම් සුවයක් ලැබෙද්දී, නියමකළ කාල පරාසය අවසන් වනතෙක් ප්‍රතිජීවක ලබාගැනීම රෝගියා විසින් නවතා දැමීම ද ප්‍රතිජීවක අවභාවිතාවීමට මෙන්ම, ප්‍රතිජීවක ප්‍රතිරෝධය ඇතිවීමට ද තවත් එක් හේතුවක්බව ඇය ප්‍රකාශ කරයි.

මොකද්ද මේ 'ප්‍රතිජීවක ප්‍රතිරෝධය'?

ප්‍රතිජීවක ප්‍රතිරෝධය ඇතිවන්නේ, කාලයත් සමග බැක්ටීරියා, වෛරස, දිලීර සහ පරපෝෂිතයින් වෙනස්වෙමින්, තවදුරටත් ඖෂධවලට ප්‍රතිචාර නොදක්වන විට ය.

මෙම ප්‍රතිරෝධයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිජීවක සහ අනෙකුත් ප්‍රතික්ෂුද්‍රජීවී ඖෂධ අකාර්යක්ෂම වන අතර, ආසාදනවලට ප්‍රතිකාර ලබාදීම එන්න එන්නම දුෂ්කර අතට හැරෙයි. මෙහි ප්‍රතිඵලය වන්නේ රෝග පැතිරීම, රෝගයන් දරුණුවීම සහ මරණීය අවදානම ඉහළයෑම යි.

බැක්ටීරියා දක්වන ප්‍රතිජීවක ප්‍රතිරෝධය හේතුවෙන් 2019 වසරේ දී මරණ මිලියන 1.27ක් සිදුව ඇතැ යි පර්යේෂකයින් ඇස්තමේන්තුගත කර ඇත.

ප්‍රතිජීවක ප්‍රතිරෝධය භයානකයැ යි කියන්නේ ඇයි?

වෛද්‍ය අබේවර්ධන මෙය උදාහරණයක් ආශ්‍රයෙන් පැහැදිලි කළා ය.

"දැන් හිතන්නකෝ මුත්‍රා ආසාදනයක්. ආසාදනයේ බරපතලකම අනුව සතියක් [ප්‍රතිජීවක] දෙන්නත් පුළුවන්, සති දෙකකට යන්නත් සිද්ධවෙන වෙලාවල් තියෙනවා. එතකොට වෙන්නේ, අර [ප්‍රතිජීවක] ගන්න මුල් කාලේදීම රෝග ලක්ෂණ අඩුවෙලා යනවා. හැබැයි එහෙම වුණා කියලා විෂබීජේ විනාශ වෙලාම යන්නේ නැහැ. එතකොට [ඇතැම් රෝගීන්] ඇඟට සනීපයක් දැනෙනකොට කරන්නේ 'මේවා නිකන් සැර බෙහෙත් මොනවට ද බොන්නේ, මෙච්චර කාලයක් ඕනේ නෑ, ඩොක්ටර් කිව්වට මට දැන් හොඳටම හොඳ යි, උණත් නෑ, මුත්‍රා දැවිල්ලත් සනීප යි, ඉතුරුටික වතුර ටිකක් බීලා ඉන්නවා' වගේ හිතලා, ඒගොල්ලෝ [ප්‍රතිජීවක ලබාගැනීම] අතරමඟ නතර කරනවා."

"එතකොට වෙන්නේ මොකද? මෙතන දී බැක්ටීරියා විනාශවීමක් නේ සිද්ධවෙන්නේ. එතකොට බැක්ටීරියා මරාගෙන මරාගෙන යනවා බෙහෙත්වලින්. නමුත් යම් ප්‍රමාණයක් ඉතිරිවෙනවා - අර රෝග ලක්ෂණ ඇති කරන්න තරම් ගොඩක් නැහැ, හැබැයි බැක්ටීරියාව ටිකක් ඉතිරිවෙලා ඉන්නවා. එතකොට බෙහෙත නතරකරපු ගමන ඒගොල්ලෝ වැඩෙන්න පටන්ගන්නවා. හරි සීඝ්‍රයෙන් වැඩෙන්න පටන්ගන්නවා." 

"එතකොට, සමහර වෙලාවට, අර කලින් භාවිතා කරපු ප්‍රතිජීවකයට ඔරොත්තු දෙන [බැක්ටීරියා] එක්කෙනෙක් දෙන්නෙක් හිටියොත්, ඒගොල්ලෝ වැඩිවෙලා වැඩිවෙලා, ඊළඟ ආසාදනය එනකොට අර කලින් දීපු ප්‍රතිජීවකයෙන් පාලනය කරන්න බැරි විදියේ ආසාදනයක් එන්නත් පුළුවන්."

මෙහිදී අප වෙත ඇති එකම විසඳුම වන්නේ නව ප්‍රතිජීවක සොයාගැනීම යි. නමුත් අප ප්‍රතිකාරයක් ලෙස සාර්ථක වන නව ප්‍රතිජීවක කාණ්ඩයක් අවසන් වරට හඳුන්වා දී ඇත්තේ 1987 දී ය.

"අලුත් ඇන්ටිබයොටික් හැදෙනවා හරි අඩු යි. ඒකටත් හේතු කීපයක් තියෙනවා. එකක් තමයි, ඇන්ටිබයොටික් කියන්නේ බැක්ටීරියා විනාශ කරන ක්‍රමයක්. එතකොට බැක්ටීරියාවේ ඇති ඉලක්කයකට තමයි ඇන්ටිබයොටික් එකක් පහරදෙන්නේ. අපි දැන් ඒ තෝරාගත් ඉලක්කවලට ඇන්ටිබයොටික්ස් හදලා ඉවරයි දැනටම. එතකොට අලුතෙන් හදන්න දෙයක් ඉතිරිවෙලා නැහැ." 

"අනිත් එක තමයි, කොච්චර [නව ප්‍රතිජීවක] හැදුවත්, අවුරුද්දකින් විතර ඒකට ප්‍රතිරෝධී වෙනවා - මේක මාස ගණනකින් වුණත් සිද්ධවෙන්න පුළුවන්. එතකොට ඖෂධ සමාගම්වලට ඇන්ටිබයොටික් හදන එක ලාභදායී නැහැ. මොකද ඒගොල්ලෝ මිලියන ගාණක් වියදම් කරලා ඇන්ටිබයොටික් හැදුවම, ඒක මාසෙකින් දෙකකින්, අවුරුද්දකින් ඒක මාකට් එකෙන් එළියට යනවා වැඩක් නැති නිසා. ඒ නිසා විශාල සමාගම් උනන්දුවක් දක්වන්නේ නැහැ අලුතින් ඇන්ටිබයොටික් හොයාගන්න," ඇය ප්‍රතිජීවක ප්‍රතිරෝධයේ භයානකබව පිළිබඳ එක් පැතිකඩක් අප වෙත විස්තර කළා ය. 

"අපේ රටේ තියෙන එකම ඇන්ටිබයොටික් එකකින්වත් විනාශ කරන්න බැරි බැක්ටීරියා නිසා මරණ සිද්ධවෙනවා. මොකද කරන්න දෙයක් නැහැ අපට.... මේක දැනට සිද්ධවෙමින් පවතින දෙයක්. එතකොට තව අවුරුදු ගාණකට පස්සේ මේක තවත් බරපතලවෙන්න පුළුවන්."

"මොකද 1940 ගණන්වල දී නේ ඇන්ටිබයොටික් පාවිච්චිය පටන්ගත්තේ. ඊට කලින් ඇන්ටිබයොටික් තිබුණේ නැහැ. එතකොට මිනිස්සු - යුද්ධෙට ගිය අය තුවාලවලින් මැරුණා. බබාලා හම්බවෙන්න ගිය අය ආසාදනයක් ආවොත් මැරුණා. දැන් මේ විදියට ගිහිල්ලා අපි ඒ තත්ත්වෙට ආයෙත් තල්ලු වෙනවා, මොකද තිබ්බට වැඩක් නැති ඇන්ටිබයොටික්ස් ටිකක් තමයි අපට ඉතිරිවෙන්න යන්නේ නුදුරු අනාගතයේ දී."

"එතකොට අපට ඔය තියෙන [ප්‍රතිජීවක] ටික ඔහේ තියාගෙන ඉන්න වෙන්නේ, මොකද ඒවායින් අපට අවශ්‍ය ආසාදනයට ප්‍රතිකාර කරන්න බැරිවෙන නිසා. ඒක සෑහෙන බරපතල ප්‍රශ්නයක්."

අපගේ වගකීම කුමක් ද?

අප රට තුළ ප්‍රතිජීවක ඖෂධ අවභාවිතාව ඉහළ ය. සාමාන්‍යයෙන් ඉබේම සුවවන සෙම්ප්‍රතිශ්‍යාවකට වුව ප්‍රතිජීවක ලබාගැනුමට ශ්‍රී ලාංකිකයින් හුරුව සිටියි.

ප්‍රතිජීවක ප්‍රතිරෝධය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශය මුහුණදෙන ප්‍රධාන අභියෝගයන්ගෙන් ද එකක් වෙයි.

ප්‍රතිජීවක ප්‍රතිරෝධයට එරෙහි කිසිදු පියවරක් නොගතහොත්, ඖෂධවලට ඔරොත්තු දෙන රෝගකාරකයන් මඟින් ඇතිකරන රෝගාබාධ නිසා 2050 වන විට සෑම වසරක දීම මරණයන් මිලියන 10ක් සිදුවනු ඇතැ යි ද, 2030 වන විට ප්‍රතිජීවක ප්‍රතිරෝධය හේතුවෙන් මිලියන 24ක් දක්වා ජනතාවක් අන්ත දරිද්‍රතාවට පත්කළ හැකියැ යි ද එක්සත් ජාතීන් අනතුරු අඟවා තිබේ.

එනිසා, ප්‍රතිජීවක ප්‍රතිරෝධය ගොඩනැගීමට වක්‍රව සහායදීමෙන් හැකිතාක් වැළකීමට අපට හැකි ය.

  • වෛද්‍ය නිර්දේශයකින් තොරව කිසි විටෙකත් ප්‍රතිජීවක ඖෂධ ලබා නොගන්න 
  • වෛද්‍යවරයෙකු සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අමාරුව ආදී වෛරස ආසාදනයන්ට ප්‍රතිජීවක නිර්දේශ කළහොත් ඒ ඇයිදැ යි වෛද්‍යවරයාගෙන් විමසන්න 
  • වෛද්‍යවරයා නිර්දේශ කරන ප්‍රතිජීවක සියල්ල නිසි මාත්‍රාවෙන්, නියමිත කාල පරාසය අවසන්වන තුරුම නොකඩවා ලබාගන්න 
  • ඔබට ලබාදුන් ප්‍රතිජීවක ඖෂධ වෙනත් අයවලුන්ට ලබාදීමෙන් වළකින්න 
  • ඔබේ ඥාතීන් හා මිතුරන් දැනුවත් කරන්න

විශේෂ ස්තුතිය වෛද්‍ය වේරංජා ලියනපතිරණට පිරිනැමේ.