ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දැඩි සතුටකදී අපට ඇඬෙන්නේ ඇයි?
- Author, මිෂෙල් ස්පියර්
- Role, The Conversation
දුකෙහි හෝ වේදනාවේ සලකුණක් ලෙස කඳුළු හුවා දැක්වූව ද, විවාහ උත්සව, දරු උපත්, නැවත මුණ ගැසීම්, ක්‍රීඩා ජයග්‍රහණ හෝ අනපේක්ෂිත කාරුණිකබවක් වැනි අතිශයින් සතුටක් දැනෙන අවස්ථාවලදී පවා හැඬීම අසාමාන්‍ය දෙයක් නොවේ.
"සතුටු කඳුළු" යන යෙදුමෙහි වචන දෙකෙහි පරස්පර බවක් තිබුණ ද, එය මිනිස් මොළය තදබල හැඟීම් හසුරුවන ආකාරය පිළිබඳ ආකර්ෂණීය අවබෝධයක් ලබා දෙයි.
හැඬීම යනු දැඩි චිත්තවේගී සංකීර්ණ ජීව විද්‍යාත්මක ප්‍රතිචාරයක් වන අතර එය ධනාත්මක සහ ඍණාත්මක හැඟීම් අතර වෙනස හඳුනා නොගනි යි.
වේදනාව නිසා හෝ සතුට නිසා හෝ අපගේ මොළය මේ මොහොතේ හැසිරවිය හැකි ප්‍රමාණයට වඩා වැඩි යමක් කිරීමට උත්සහ කරන විට බොහෝ විට කඳුළු ඇති වේ.
මෙම පද්ධතිය තුළ, ඇමිග්ඩලා (ආමන්ඩ් හැඩැති න්‍යුරෝන පොකුරක්) චිත්තවේගීය අනතුරු ඇඟවීමක් ලෙස ක්‍රියා කරයි, එමගින් උද්දීපනය හඳුනාගෙන ශරීරයට ප්‍රතිචාර දැක්වීමට සංඥා යවයි.
දැඩි ලෙස උත්තේජනය වූ විට, හෘද ස්පන්ධන වේගය, හුස්ම ගැනීම සහ කඳුළු නිෂ්පාදනය ලෙස අනිච්ඡානුගව සිදු නොවන භෞතික ක්‍රියාකාරකම් පාලනය කරන හයිපොතලමස් වැනි මොළයේ අනෙකුත් ප්‍රදේශ ඇමිග්ඩලා හරහා සක්‍රීය කරයි.
තවත් ප්‍රධාන ව්‍යුහයක් වන්නේ, චිත්තාවේගයන් නියාමනය, තීරණ ගැනීම සහ සංවේදනය සඳහා කාර්ය භාරයක් ඉටු කරන ඉදිරිපස සින්ග්‍යුලේට් බාහිකය (මස්තිෂ්ක අර්ධගෝලයේ මධ්‍ය කොටසේ පිහිටා ඇති මොළයේ කොටසක්) යි.
එය සතුට සහ දුක එකවර අත්විඳීම වැනි චිත්තවේගීය ගැටුම්වලට මොළයේ ප්‍රතිචාරය සම්බන්ධීකරණය කිරීමට උපකාරී වේ.
මෙම එක මත එක යන මාර්ග, හදිසියේ ඇති වන දැඩි සතුටකට සාමාන්‍යයෙන් දුක හා සම්බන්ධ ප්‍රතික්‍රියාවක් ඇති කළ හැක්කේ මන්දැයි පැහැදිලි කරයි.
විද්‍යාඥයින් විශ්වාස කරන්නේ, දැඩි සතුට වෙනුවෙන් හැඬීම චිත්තවේගීය ප්‍රීතියෙන් පසු සමබරතාව නැවත ලබා ගැනීමේ ක්‍රමයක් වන චිත්තවේගීය සමස්ථිතියේ ආකාරයක් බව ය.
හැඬීම ප්‍රත්‍යනුවේගී ස්නායු පද්ධතිය සක්‍රීය කරන අතර, හෘද ස්පන්ධන වේගය මන්දගාමී කිරීමෙන් සහ දැඩි හැඟීම් නිසා ඇති වන ඇඩ්‍රිනලින් වැඩිවීමෙන් පසු, ආතතිය සමනය කිරීමෙන් ශරීරය සන්සුන් කිරීමට උපකාරී වේ. වෙනත් ආකාරයකින් කිවහොත් කඳුළු අපට සන්සුන් වීමට උපකාරී වේ.
"නැවත සකස්වීම" පිළිබඳ මෙම අදහස සතුටට පමණක් සීමා වූවක් නොවේ. ආතතියට හෝ කම්පනයට ප්‍රතිචාර වශයෙන් හැඬීම ද ඒ හා සමාන කාර්යයක් ඉටු කරයි.
ප්‍රීතිය සඳහා හැඬීමෙන්, බිය සහනයක් බවට පත් කිරීම හෝ අරගලයක් ආඩම්බරයක් බවට පත් කිරීම වැනි දැඩි හැඟීම් සමතුලිත කිරීමෙන් ශරීරය චිත්තවේගීය ආතතිය මුදා හැරීමට උත්සහ කරන ආකාරය පෙන්නුම් කරයි.
සතුටු කඳුළු
සතුටු කඳුළු සම්බන්ධයෙන් එසේ වන්නේ කලාතුරකිනි. ඒවා සාමාන්‍යයෙන් ඇති වන්නේ මිශ්‍ර චිත්තවේගයන් නිසා ය.
නිදසුනක් වශයෙන්, තම දරුවා උපාධිය ලබා ගන්නා ආකාරය දකින මවකට හෝ පියෙකුට එකවර ආඩම්බරයක්, අතීතකාමී බවක් සහ තරමක ශෝකයක් දැනෙන්නට ඉඩ තිබේ.
දිගු කලක් බලා සිටි නැවත හමුවීමක්, [හමුවීමේ] ප්‍රීතිය සහ නොපැමිණීමේ වේදනාව යන දෙක ම අවදි කළ හැකි ය. ධනාත්මක සහ ඍණාත්මක අංග දෙක ම අඩංගු චිත්තවේගීය තත්ත්වයක් වන මෙය මනෝවිද්‍යාඥයෝ ද්විත්ව සංයුජතා ප්‍රතිචාරයක් ලෙස හඳුන්වති.
මෙම චිත්තවේගීය මිශ්‍රණයන්ට විශේෂයෙන් පෞද්ගලික ඉතිහාසය ආවර්ජණය කරන හිපොකැම්පස් ආදී මතක පද්ධති ද ඇතුළත් වේ.
ප්‍රීතිමත් මොහොතක අනපේක්ෂිත ලෙස උගුරේ යමක් සිරවූ බවක් හැඟෙන්නේ එය අප තුළ ගැඹුරින් ගබඩා වී ඇති අතීත වේදනාව, දුෂ්කරතා හෝ ආශාව පිළිබඳ චිත්තවේගීය මතකයන් සක්‍රීය කරන නිසාවෙනි.
සිත්ඇදගන්නාසුලු කරුණක් නම්, සංවේදී කාරණා අනුව කඳුළු සැලීමට දන්නා එක ම ජීවීන් වර්ගය මිනිසුන් ය.
බොහෝ ක්ෂීරපායින් ඇස තෙත් කිරීම සඳහා ඉබේ ඇති වන කඳුළු පිට කරන අතර, හැඟීම්වලට ප්‍රතිචාර වශයෙන් හඬන්නේ මිනිසුන් පමණි.
මෙය බොහෝ විට මුල් සමාජ කණ්ඩායම් තුළ, වාචික නොවන සන්නිවේදනයේ ආකාරයක් ලෙස පරිණාමය වී ඇති බව පෙනී යයි.
කඳුළු යනු අනාරක්ෂිත බව, අව්‍යාජභාවය සහ භාවාත්මක ගැඹුර පෙන්නුම් කරන්නකි. ප්‍රීතිමත් අවස්ථාවන්හිදී හැඬීම අන් අයට පෙන්වන්නේ ගැඹුරු අර්ථවත් දෙයක් සිදුව ඇති බව ය.
මේ ආකාරයට බැලූ විට, ප්‍රීතිය සඳහා හැඬීම සමාජ බැඳීම් ශක්තිමත් කිරීමට, සහකම්පනය වර්ධනය කිරීමට සහ අන්‍යෝන්‍ය සංවේදනයන් මුදාහැරීමට හේතු විය හැක.
කඳුළු සලන්නේ දුක නිසා ද? සතුට නිසා ද? යන්න නොසලකා, මිනිසුන් හඬන කෙනෙකුට සහය දීමට වැඩි ඉඩක් ඇති බව පර්යේෂණවලින් පවා පෙන්වා දී තිබේ.
එසේ නම් අපි සතුටින් සිටින විට හඬන්නේ ඇයි? ඒ සතුට යනු සරල හැඟීමක් නොවන නිසා ය.
එය බොහෝ විට මතකය, සහනය, පුදුමය සහ අර්ථාන්විතව දැවැන්ත බරක් සමග බැඳී පවතින්නකි.
කඳුළු යනු මෙම සංකීර්ණත්වය සැකසීමට, වැදගත් ප්‍රීතිමත් මොහොතක් පවා මතක තබා ගැනීමට මොළය භාවිත කරන ක්‍රමය යි.
පරස්පර විරෝධීබවක් වෙනුවට, සතුටු කඳුළු අපගේ භාවාත්මක ජීවිතය පිරුණු එකක් බව, සංකීර්ණ එකක් බව, සහ ඒ සියල්ලෙන් ම සමන්විත ගැඹුරු මානුෂීය එකක් බව සිහි ගන්වයි.