‘ලසන්තගේ කතාවෙන් තරුණ මාධ්‍යවේදීන් පන්නරයක් ලබාවි’

ලසන්ත වික්‍රමතුංග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සිය කාර්යාලය බලා යමින් සිටිය දී 2009 ජනවාරි 08 වැනිදා මහ මඟදී ඝාතනය කෙරෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා සම්බන්ධ ආන්දෝලනාත්මක තොරතුරු වාර්තාකිරීමකින් දින කිහිපයකට පසුවය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර 14ක් ඉක්මවා ඇතත් ඊට යුක්තිය ඉටු නොවන පසුබිම තුළ, ඔහුගේ බිරිඳ වන මාධ්‍යවේදී රේන් වික්‍රමතුංග විසින් රචනා කළ චරිතාපදාන කෘතිය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මාර්තු 28 වැනිදා එළිදක්වනු ලැබීය.

වීඩියෝ ශීර්ෂ වැකිය, 'එදා ලසන්ත කවුද කියලා අහපු කෙනාට දැන් තමන්ගෙන්ම ඒ ප්‍රශ්නය අහගන්න පුළුවන් නම් හොඳයි'

ඔහුගේ ජීවිතය සහ ඔහු සිදු කළ කාර්යභාරය සම්බන්ධයෙන් වඩා ගැඹුරු කියවීමක් අඩංගු මෙම කෘතිය නම් කර තිබුණේ "Unbowed & Unafraid" යනුවෙනි. කෘතිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පල කර තිබේ.

කෘතිය එළිදැක්වීමේ උත්සවයේ දී පිළිගැනීමේ කතාව පවත්වන ලද ලසන්ත වික්‍රමතුංගගේ ඥාති දියණියක වන මාධ්‍යවේදී රයිසා වික්‍රමතුංග පැවසුවේ මෙම ග්‍රන්ථය එළිදක්වන අවස්ථාවේ දී, ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට තරම් අවධානයක් හිමි නොවූ නමුත් උතුරු නැගෙනහිර ඝාතනයට ලක් වන්නට හෝ අතුරුදහන් කළ - ඇතැම් විට නම් පවා වාර්තා වී නොමැති මාධ්‍යවේදීන් ව මෙම අවස්ථාවේ දී සිහිපත් කරන බවය.

මෙහි පළමු පිටපත 2010 වර්ෂයේ අතුරුදහන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩට පිළිගන්වන ලදි.

කෘතිය නම් කර තිබුණේ "Unbowed & Unafraid" යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කෘතිය නම් කර තිබුණේ "Unbowed & Unafraid" යනුවෙනි.

උත්සවයේ එක් ප්‍රධාන අදහස් දැක්වීමක් සිදු කළේ ලසන්ත වික්‍රමතුංගගේ කුඩා කළ පටන් මිතුරෙකු වන ව්‍යාපාරික පීටර් ඩී. අල්මේදා විසින් ය. ඔහු එහි දී මෙසේ පැවසුවේ ය. "ඔහුටත් අපට වගේ ම බය දැනෙන්නට ඇති. නමුත් ඔහු ධෛර්යයෙන් වැඩ කළා. ධෛර්යය කියන්නේ තෝරාගැනීමක්. ඔහු බය පසෙක දාලා ධෛර්යයෙන් වැඩ කරන්න තෝරාගන්න තීරණය කළා."

‘මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට යුක්තිය ඉටුකරන්න’

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගයාත්‍රි ප්‍රනාන්දු මෙහිදී පැවසුවේ "අපි මේ දක්වා පැමිණි මර්දනකාරී ගමන ගැන දැන ගැනීමට හැම පරම්පරාවක් ම මේ ග්‍රන්ථය කියවිය යුතුයි.”

කෘතිය රචනා කළ රේන් වික්‍රමතුංග ද මෙහිදී අදහස් දැක්වූවාය. "මෙය රචනා කිරීමේ අරමුණ ලෝකයට ලසන්තගේ කතාව තිළිණ කිරීමයි. එයින් මාධ්‍යවේදීන් සහ තරුණ මාධ්‍යවේදීන් පන්නරයක් ලබාවි. ලසන්තගේ අභිමානය රන්දාගෙන මෙහි පැමිණි හැම මාධ්‍යවේදියෙකුට ම ස්තූතියි." යැයි ඇය පැවසුවා ය. එමෙන් ම මාධ්‍යවේදීට එරෙහි අපරාධ වලට යුක්තිය ඉටු කරලීමේ අවශ්‍යතාවය ද ඇය පැහැදිලි කළා ය.

මීට අමතර ව ලසන්ත සන්ඩේ ලීඩර් පුවත්පතේ එවකට සේවය කළ කර්තෘ මණ්ඩලයේ සාමාජිකයන්ගේ අදහස් හා ඔහුගේ ඡායාරූප එකතුවකින් සකස් කරන ලද වීඩියෝ පට කිහිපයක් ද මෙම උත්සවයේ දී ප්‍රදර්ශනය කෙරුණි.