ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හලාල් ද හරාම් ද?: පකිස්ථානයේ පළමු මව්කිරි බැංකුව පිහිටුවීමේ උත්සහය අසාර්ථක වෙයි
- Author, රියාස් සොහයිල්
- Role, බීබීසී උර්දු
පකිස්ථානයේ පළමු මව්කිරි බැංකුව ආරම්භ කිරීමේ අභිලාෂකාමී ව්‍යාපෘතියක් කරාචි නුවර ඉස්ලාමීය සෙමනේරියක විරෝධතා හේතුවෙන් අසාර්ථක විය.
මුස්ලිම් පූජකවරුන් විසින් මෙම ව්‍යාපෘතියට මුලදී කොන්දේසි සහිතව අනුමැතියක් ලබා දී තිබුණු නමුත් එය ආරම්භ කිරීමට දින කිහිපයකට පෙර එම අනුමැතිය ඉවත් කර ගැනිණි.
පකිස්ථානය යනු, ලොව පස්වන වැඩි ම ජනගහනයක් සහිත රට වේ. යුනිසෙෆ් සංවිධානයට අනුව, දකුණු ආසියාවේ ඉහළ ම ළදරු මරණ අනුපාතය ද ඇත්තේ එරට ය.
මව්කිරි බැංකුව වැනි පහසුකම් ජීවිතය ත් මරණය ත් අතර සටන් කරන ළදරුවන්ගේ ජීවිතවල වෙනසක් ඇති කළ හැකි ය. මන්ද, ඒවා තම මවගේ කිරි වෙත ප්‍රවේශ විය නොහැකි රෝගී සහ නොමේරූ ළදරුවන් සඳහා ඇති හොඳ ම විකල්පය ලෙස සැලකෙන බැවිනි.
ජීවිතය වෙනුවෙන් සටන් කිරීම
බෂීරාට උපතේදී ම ඇගේ පළමු පිරිමි දරුවා අහිමි වූයේ කරාචි වෙත යාමට පෙර ඔවුන් ජීවත් වූ ගම්මානයේදී ය.
බෂීරා සහ ඇගේ සැමියා රහීම් පසුගිය වසරේ කරාචි නුවරදී ඔවුන්ගේ දෙවන ගැහැනු දරුවා ලද අවස්ථාවේ ඇය ද අහිමි වේ යැයි බියෙන් ඔවුහු බියට පත් වූහ.
"මගේ දරුවා නියමිත කාලයට කලින් ඉපදුණේ. වෛද්‍යවරු අපට උපදෙස් දුන්නා ඇයට මව්කිරි දෙන්න කියලා," ඇය බීබීසීයට පැවසුවා ය.
"නමුත් මට ඇයට දෙන්න කිරි එරුණේ නැහැ."
ඔවුන්ට අසරණ බවක් දැනෙන්නට විය.
"මගේ දුව හිටියේ දැඩි සත්කාර වාට්ටුවේ ඉන්කියුබේටරයක. එයා ඉපදුණේ මාස 7න්. [බිරිඳට] කිරි එරුණෙත් නැහැ. කිරිපිටි දෙන්නත් බැහැ. මම කරන්න පුළුවන් හැමදේ ම කළ මගේ දුවගේ ජීවිතේ බේර ගන්න," බෂීරාගේ සැමියා වන රහීම් ෂා පවසයි.
වියෝ දුකින් පෙළෙන වෙනත් මවක් ඇයගේ දිවි ගලවා ගැනීමේ මග විවර කර දුන්නා ය.
"අපි ඉස්පිරිතාලෙන් ඉස්පිරිතාලෙට ගිහින් අවසානයේ හොයා ගත්තා ප්‍රසූතියෙන් පස්සේ දරුවෙකු අහිමි වුණු කාන්තාවක්. අපි ඇගෙන් ඉල්ලීමක් කළා මගේ දරුවාට කිරි දෙන්න කියලා, ඇය ඒ ඉල්ලීමට කාරුණිකව එකඟ වුණා," බෂීරා සිහිපත් කරයි.
එම පරිත්‍යාගශීලි කාන්තාවගේ උපකාරය නොමැතිව ඔවුන්ගේ දියණියගේ දිවිය නොරැකීමට ඉඩ තිබුණු බව රහීම් පවසයි.
"දරුවාට ප්‍රතිශක්තිය සඳහා මව්කිරි අවශ්‍ය ම වුණා," ඔහු තවදුරටත් පවසයි.
මව්කිරි බැංකුව
බෂීරාගේ සිද්ධියේදී පරිත්‍යාගශීලී කාන්තාව දරුවාට ශාරීරිකව මව්කිරි ලබා දුන්නා ය. නමුත් මව්කිරි බැංකුවේදී, පරිත්‍යාගශීලීන්ගේ කිරි, එනම්, මිනිස් සිරුරේ නිෂ්පාදනය වන ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක්, සායනික අරමුණු වෙනුවෙන් සකසා, පරීක්‍ෂා කර, පසුව අධිශීතකරණයක ගබඩා කර තබයි. පසුව ඒවා මව්කිරි අවශ්‍ය ළදරුවන්ට ලබා දෙයි.
මැලේසියාව සහ ඉරානය ඇතුළු ඇතැම් මුස්ලිම් වැසියන් බහුතරයක් සිටින රටවල ද මෙවැනි සමාන පහසුකම් තිබේ.
නමුත් ඇතැම් ආගමික විද්වතුන් තර්ක කරන්නේ, මෙම පිළිවෙත මව්කිරි දීම සම්බන්ධ ඉස්ලාමීය නීතියට පටහැනි බව ය.
ඉස්ලාමයේ, ජීව විද්‍යාත්මකව තමාට සම්බන්ධ නොවන දරුවෙකුට කාන්තාවක මව්කිරි ලබා දෙන්නේ නම්, ඇය සහ අදාළ දරුවා අතර "කිරි ඥාති සබඳතාවක්" ගොඩනැගෙන බවට විශ්වාස කරන අතර, එක ම මවගෙන් පෝෂණය වන දරුවන් සහෝදර සහෝදරියන් ලෙස සැලකේ.
අවසර හිමිවන හෝ ඉස්ලාමීය නීතියට අනුකූල සෑම දෙයක් ම 'හලාල්' ලෙස හඳුන්වන අතර ඊට අනුකූල නොවන දෑ 'හරාම්' ලෙස හඳුන්වයි.
පකිස්ථානයේ, ඇතැම් ආගමික විද්වත්තු මව්කිරි බැංකු පිහිටුවීමට මුලපිරීම හරාම්, නැතහොත් ඉස්ලාමීය නීතිය යටතේ තහනම් බව පැවසූහ.
එහෙත් බලධාරීන් "මව්කිරි බැංකුව ඉස්ලාමීය නීතියට අනුකූල කිරීමට" උත්සහ දරා ඇත.
පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය අස්රා පෙචූහෝ බීබීසීයට පැවසුවේ, ඉස්ලාමීය නීතිවලට අනුව, කාන්තාවන්ට දරුවන් සඳහා මව්කිරි දිය හැකි බවට සහතික කරමින් තමන් ඉස්ලාමීය දෘෂ්ටිවාදය පිළිබඳ කවුන්සිලයට ලිපියක් යොමු කර ඇති බව ය.
"කිරි පරිත්‍යාග කරන කාන්තාවන් කවුද කියලා සටහන් කර ගන්නවා, ඒක දරුවන්ගේ දෙමව්පියන්ටත් ලැබෙන්න සලස්වනවා. ඒකත් වෙනවා ද කියලා බලන්න පුළුවන් ක්‍රම තියෙනවා," ඉස්ලාමීය නීති රාමුව තුළ නීති විරෝධී වන මව්කිරි ලබන සහෝදර සහෝදරියන් අතර ඇති විය හැකි විවාහ පිළිබඳ කනස්සල්ල සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය අස්රා පෙචූහෝ පැවසීය.
පිරිමි දරුවන් ලද මව්වරුන්ට ළදරු පිරිමි දරුවන්ට පමණක් සහ ගැහැනු දරුවන් ලද මව්වරුන්ට ගැහැනු දරුවන්ට පමණක් කිරි ලබා දීමට ඉඩ සලසමින් එම ක්‍රියාවලිය නියාමනය කිරීමෙන් මෙම ගැටලුව සමතයකට පත් කිරීමට ඇය බලාපොරොත්තු වේ.
මෙය ද 2012දී තුර්කියේ ඉස්ලාමීය විද්වතුන් විසින් අනුගමනය කරන ලද ප්‍රවේශයකට සමාන ය.
ෆත්වා (ඉස්ලාමීය රටවල ආගමික නියෝගය)
කරාචි මව්කිරි බැංකුවට, අදාළ ඉස්ලාමීය ආයතනයෙන් කොන්දේසි සහිත අනුමැතියක් මුල් වරට හිමි වුණේ, 2023 දෙසැම්බර් 25 දින ය.
ඊට අදාළ කොන්දේසි ලැයිස්තුව අනුව, බලධාරීන් පරිත්‍යාගශීලීන්ගේ නම් ඒවා ලබන්නන් සමග බෙදා ගත යුතුයි යන්න නියම කෙරිණි.
මුස්ලිම් දරුවෙකුට දිය යුතු යුත්තේ, මුස්ලිම් මවකගේ කිරි පමණි.
කිසිදු මුදලක් අය නොකළ යුතු ය. ගැබ් ගෙන සති 34කට අඩු කාලයකදී උපත ලබන ළදරුවන්ට පමණක් කිරි ලබා දිය හැකි අතර ඒ, ඔවුන්ගේ මව්වරුන්ට ප්‍රමාණවත් කිරි නිපදවීමට නොහැකි නම් පමණි.
පකිස්ථානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, සෑම නීතියක් ම සහ රජයේ සියලු ම දෙපාර්තමේන්තු ෂරියා නීතියට හෝ ඉස්ලාමීය නීතියට අනුකූල විය යුතු ය.
බලධාරීන් මෙම කොන්දේසි සපුරාලීමට හැකි බවට විශ්වාස කළ ද කරාචි නුවර ඇති ප්‍රාදේශීය සෙමනේරියක් ඒ දෙස සැක සහිතව බැලීය.
2024 ජූනි 16 දින නිකුත් කරන ලද සංශෝධිත ෆත්වාවක සඳහන් කර තිබුණේ, ඉස්ලාමීය නීතිය යටතේ අවසර ලබා දෙන සියලු ම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම බැංකුවට ඉතා අපහසු වනු ඇති බව ය.
ඉස්ලාමීය සෙමනේරියක් වන දරුල් උලූම් කරාචි වෙතින් ලද ෆත්වාවෙන් පසු කිරි බැංකුව අත්හිටුවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සින්ද් ළමා සෞඛ්‍ය හා නවජ රෝග විද්‍යා ආයතනය (SICHN) පවසයි.
"ඉදිරියේදී, අපි මෙම ප්‍රශ්නය ගැන වැඩිදුර මගපෙන්වීමක් දරුල් උලූම් කරාචි සහ ඉස්ලාමීය දෘෂ්ටිවාදය පිළිබඳ කවුන්සිලයෙන් ලබා ගන්නෙමු," රෝහල පැවසීය.
"අපගේ සෞඛ්‍ය ආරක්ෂණ ව්‍යාපෘති විද්‍යාත්මකව පමණක් නොව ආගමික වශයෙන් ද අනුකූල බව සහතික කිරීමට අපි කැපවී සිටිමු," එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.
මව්කිරි
යුනිසෙෆ් සංවිධානයට අනුව, පකිස්ථානයේ අලුත උපන් දරුවන් 1000කින් 54 දෙනෙක් පමණ මිය යති. එය 2030 වන විට 12 දක්වා පහත හෙළීම එරට අරමුණ වේ.
මව්කිරි ප්‍රතිශක්තිය මෙන් ම වර්ධනයට අවශ්‍ය පෝෂක ද සපයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කරන්නේ, "මාස 0-23 අතර සියලු ම දරුවන්ට ප්‍රශස්ත ලෙස මව්කිරි ලබා දෙන්නේ නම්, වසර 5ට අඩු දරුවන් අතරින් සෑම වසරක ම දරුවන් 820,000කට වඩා වැඩි ගණනකගේ ජීවිත බේරා ගත හැකි යි," යනුවෙනි.
ව්‍යාපෘතියට සහය දුන් යුනිසෙෆ් සංවිධානය අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේ ය.
2018දී, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය නිර්දේශ කළේ, තම මවගේ ම කිරිවලින් පෝෂණය කළ නොහැකි ළදරුවන් වෙනත් මව්වරුන්ගේ කිරිවලින් පෝෂණය කළ යුතු බව ය. ඇමෙරිකානු සහ යුරෝපීය සෞඛ්‍ය ආයතන ද ළදරුවන් පෝෂණය කිරීමට පරිත්‍යාගශීලීන්ගේ කිරි නිර්දේශ කරයි.
ගෝලීය රෙගුලාසි නොමැත
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, මව්කිරි බැංකු රටවල් 60කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන බව ය. නමුත් ඊට එල්ල වන ආගමික විරෝධය ප්‍රබලය ය. 2019දී බංග්ලාදේශයේ පිහිටුවන ලද මව්කිරි බැංකුවක් ආගමික කණ්ඩායම්වල විරෝධතාවලින් පසු මාසයක් ඇතුළත වසා දැමිණි.
ඇමෙරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමියේ පර්යේෂණ පත්‍රිකාවකට අනුව, "බටහිර ලෝකයේ මුස්ලිම් පවුල් පරිත්‍යාගශීලීන්ගේ නිර්නාමිකභාවය හේතුවෙන් මව්කිරි බැංකුවලින් කිරි භාවිත කිරීමට මැලිකමක් දක්වති".
මව්කිරි බැංකුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත මාර්ගෝපදේශ හඳුන්වා දී නොමැත. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට මේ සඳහා අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කර ඇත.
පකිස්ථානයේ පළමු කිරි බැංකු වැඩසටහනට කුමක් සිදුවේ ද යන්න තවමත් අපැහැදිලි ය.
නමුත් ආපසු කරාචි දෙස හැරී බැලීමේදී, පරිත්‍යාගශීලියෙකු සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයූ රෝහලක අවිධිමත් වැඩපිළිවෙළකට ස්තුතිවන්ත වන්නට, බෂීරාගේ කුඩා දැරිය දැන් නිරෝගී කුඩා දරුවෙකි.
බෂීරා "ඇගේ වාරය" එනතුරු බලා සිටින්නේ, අනෙක් මව්වරුන්ට උපකාර කිරීමට ය.
"මම ඇය [මව්කිරි ලබා දුන් මවට] සදහට ම කෘතඥ වෙනවා, අනාගතයේදී මට ඒ වෙනුවෙන් දෙයක් කරන්න ලැබුණොත් සහ ජීවිතයක් බේරා ගන්න අවස්ථාවක් ලැබුණොත් මම ඕනෑ ම දරුවෙකු වෙනුවෙන් ඒ දේ ම කරනවා," ඇය පවසයි.