ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
Avatar: Fire and Ash නිකුත් වෙයි: වසර හතක් පුරා පිටු 1,907ක ලියැවුණු Avatar සංගීතයේ රහස්
- Author, මාක් සේවේජ්
- Role, සංගීත වාර්තාකරු
සිනමාකරණය, සජීවිකරණය සහ රංගන ශිල්පීන්ගේ චලනයන් පටිගත කිරීමේ තාක්ෂණයේ සීමාවන් ඉක්මවා යමින්, Avatar චිත්‍රපට ඒවායේ ප්‍රධාන තාක්ෂණික ජයග්‍රහණ සම්බන්ධයෙන් ඉතා ප්‍රසිද්ධ බව නොරහසකි.
නමුත් එහි සංගීතයට ද ඊට අදාළ වන බව ඔබ නොදන්නවා විය හැකි ය.
සංගීත රචක සයිමන් ෆ්‍රැන්ග්ලන් පවසන්නේ එහි තුන්වන කොටස වන "Avatar: Fire and Ash"හි වැඩ නිම කිරීමට වසර හතක් ගත වූ බව ය.
මේ කාලය තුළ ඔහු පිටු 1,907ක එහි සංගීත ප්‍රස්තාර ලියූ අතර, පිටසක්වල ග්‍රහලෝකයක් වන පැන්ඩෝරාහි ජීවත් වන්නන්ට වාදනය කිරීම සඳහා නව සංගීත උපකරණ පවා නිර්මාණය කළේ ය.
අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් අවසාන මොහොත දක්වා සංස්කරණය කිරීම දිගට ම කරගෙන ගිය අතර, මේ බ්‍රිතාන්‍ය සංගීතඥයා චිත්‍රපටය අවසන් කර බෙදා හැරීමට දින පහකට පෙර ඔහුගේ අවසාන සංගීත කොටස අවසන් කළේ ය.
සමස්තයක් වශයෙන්, ෆ්‍රැන්ග්ලන් පවසන්නේ Avatarහි සාමාන්‍ය හොලිවුඩ් චිත්‍රපටයකට වඩා හතර ගුණයක සංගීතයක් ඇති බවත්, එහි මිනිත්තු 195 ධාවන කාලය පුරා ම පාහේ සංගීතය අවශ්‍ය බවත් ය.
"නමුත් හොඳ හැසිරීම නිසා මට විනාඩි 10 ක නිවාඩුවක් ලැබුණා," ඔහු සිනාසෙයි.
වාර්තාගත ලෙස ඉදිරියට යන මෙම කතා මාලාවේ තුන්වන කොටස වන Fire and Ash, ස්වභාවික සම්පත් අත්පත් කර ගැනීමට උත්සාහ කරන මිනිස් ආක්‍රමණිකයන්ගෙන් තම ග්‍රහලෝකය ආරක්ෂා කර ගන්නා නිල් නා'වි ජනයාගේ කතාව අඛණ්ඩව ගෙන හැර දක්වයි.
දෙසැම්බර් 19 වන දින නිකුත් කරන ලද මෙම නව චිත්‍රපටය, ප්‍රේක්ෂකයින් විශ්මයජනක ලෙස පැන්ඩෝරාහි සජීවී භූ දර්ශන වෙත නැවත ගෙන එන අතර ම ඔවුන්ව අභ්‍යන්තර චිත්තවේගීය ගමනකට රැගෙන යයි.
චිත්‍රපටයේ ආරම්භයේදී, ප්‍රධාන චරිත දෙක වන ජේක් සලී (සෑම් වෝර්තින්ටන්) සහ නෙයිතිරි (සෝයි සැල්ඩානා) ඔවුන්ගේ මියගිය නව යොවුන් වියේ පුත්‍රයාගේ මරණය ගැන ශෝක වෙති.
දෙදෙනා අතර එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි නිසා, ශෝකය යුවළ වෙන් කිරීමට තර්ජනය කරයි.
ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වීමේ ගැඹුර පිළිබිඹු කළ හැකි ස්වර ලිපිය නිර්මාණය කිරීමේ කාර්යය ෆ්‍රැන්ග්ලන්ට පැවරුණි.
"ඔවුන් අතර වැඩෙන දුරස්ථභාවය ඔබට දැනෙන බව මට සහතික කර ගැනීමට මට අවශ්‍ය වුණා," ඔහු පවසයි.
"ඉතින් මම කරන්නේ [සංගීතයේ] පේළි දෙකක් අරගෙන ඒවා ඈත් කරන්න, නැත්නම් ඒවා වැරදියට කරන්න, එතකොට ඔවුන්ට දැඩි, අසංවේදී සහ වෙන් වුණු බවක් දැනෙනවා."
"මේ වගේ චිත්‍රපටවල දුක ගැන කතා කරන්නේ නැහැ," ඔහු තවදුරටත් පවසයි. "නමුත් ඕනෑ ම පවුලකට, දරුවෙකු අහිමි වීම ඔබට අත්විඳිය හැකි නරකම දෙය."
"සංගීතමය වශයෙන්, ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ නිහඬ අවස්ථාවන්."
ගැලියනයේ නර්තනයක්
ඊට වෙනස්ව, ෆ්‍රැන්ග්ලන් ගුවන් යානාවලින් ගමන් කරන සංචාරක වෙළෙන්දන් වංශයක් වන වින්ඩ් ට්‍රේඩර්ස් [Wind Traders] සඳහා සංගීතය රචනා කළ විට, ඔහුට තම පරිකල්පනය නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ දීමට හැකි විය.
ඔවුන්ගේ මැරවර තේමාවන් 1930 සහ 1940 දශකවල ක්‍රියාදාම චිත්‍රපටවලින් ආභාෂය ලබා ඇති නමුත් ඒවාට පැන්ඩෝරාට අනන්‍ය වූ නවතම සංගීත උපකරණ ද ඇතුළත් වේ.
"අපි සුළං වෙළෙන්දන් මුණගැහෙනකොට [ඔවුන්] ඔවුන්ගේ දැවැන්ත ගැලියන් එකේ නර්තනයක් කරමින් ඉන්නවා," ෆ්‍රැන්ග්ලන් පවසයි.
"ප්‍රශ්නය වුණේ, පැන්ඩෝරාවේ සාදයක් පවත්වනවා නම්, එයාලා මොනවද වාදනය කරන්නේ? මට එයාලට ගිටාර්, බේස් සහ ඩ්‍රම්ස් දෙන්න බෑ. මට බැන්ජෝ එකක් දෙන්න බෑ."
"මීටර් තුනක් උස, ඇඟිලි හතරක් ඇති නිල් පැහැති පුද්ගලයින් සඳහා නිර්මාණය කරන ලද සැබෑ උපකරණයක් ඔයා සතුව තියෙන්නේ ඕනේ."
"Avatar කියන්නේ සජීවිකරණ [animation] චිත්‍රපටයක් නොවන නිසා, උපකරණ තිරය මත දිස්වන සෑම විට ම, ඒවාගේ ඇත්ත දේවල් ඔයා සතුව තියෙන්න ඕනේ," ඔහු පවසන්නේ, චිත්‍රපටයේ වැඩි කොටසක් පරිගණකයෙන් ජනනය කර ඇතත්, පෙන්වන සෑම දෙයක්ම යථාර්ථය මත පදනම් විය යුතු බවටවන කැමරන්ගේ රීතිය ගැන සඳහන් කරමින් ය.
"ඉතින් මම උපකරණ කිහිපයක් චිත්‍ර ඇඳලා, මේ ලස්සන නිර්මාණ කරපු කලා අංශයට දුන්නා."
ෆ්‍රැන්ග්ලන් විසින් තුර්කි සාස් එකකට සමාන දිගු ගෙල සහිත වීණාවක් නිර්මාණය කරන ලද අතර, එම තත්වලින් සුළං වෙළෙන්දන්ගේ නෞකාවේ ආම්පන්න නිරූපණය කරන ලදී.
නෞකාවේ රුවල් භාවිතා කළ ද්‍රව්‍යයෙන්ම බෙර හිස නිර්මාණය කර, බෙර වාදනයක් ද නිර්මාණය කරන ලදී.
පසුව කලා අංශයේ නිර්මාණ ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර භාවිතයෙන් උපකරණ තැනූ, උපකරණ භාර බ්‍රැඩ් එලියට් වෙත ආපසු ලබා දෙන ලද අතර නළු නිළියෝ ඒවා රූගත කිරීම් තුළ සැබෑ ලෙස වාදනය කළහ.
කෙසේ වෙතත්, දැනට මෙම නව නිපැයුම් වලට නිල නාමයක් නොමැත.
"ඒවා දැනට 'තත් තියෙන ඒවා සහ' සහ 'බෙර වගේ ඒවා' ලෙස හඳුන්වනවා," ෆ්‍රැන්ග්ලන් සිනාසෙයි.
"මට විශ්වාසයි මීට වඩා හොඳ නමක් තියෙනවා කියලා. කවුරුහරි කිව්වා කෙනෙක් අපිට තරගයක් තියමු කියලා."
ෆ්‍රැන්ග්ලන්ගේ සංගීත දිවිය ආරම්භ වූයේ ඔහුට යන්තම් වයස අවුරුදු 13 දී ය. ඔහු බීබීසී වෙත ලිපියක් ලියමින් සංගීත පටිගත කිරීමේ නිෂ්පාදකයෙකු වන්නේ කෙසේදැයි විමසා සිටියේ ය.
ඔහු ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදනය ගැන අසනවා යැයි වැරදියට සිතූ ආයතනය ඔහුට ඉලෙක්ට්‍රොනික විද්‍යාව හැදෑරීමට උපදෙස් දුන් අතර, එය 1980 දශකයේ මුල් භාගයේදී මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ පාඨමාලාවක් හැදෑරීමට ඔහුට මග පෑදී ය.
හසියෙන්ඩා සමාජ ශාලාව [මැන්චෙස්ටර්හි සමාජ ශාලාවක්] විවෘත කරන ලද කාලයේ ඔහු එහි පැමිණි අතර ("මම එහි 347 වෙනි සාමාජිකයා," ඔහු පවසයි), ඔහුගේ නිදහස් කාලය ගත කළේ විද්‍යාලයේ ප්‍රසංග ස්ථානය සංගීත කණ්ඩායම්වලට වෙන් කරනවා ගැනීම සඳහා ය.
"මට මතකයි Tears for Fears [1980 දශකයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක්] බුකින් එක, එකොළොස් දෙනෙක් ආවා," ඔහු පවසයි.
උපාධිය ලැබීමෙන් පසු, ඔහු ශබ්ද නිර්මාණකරුවෙකු [synth programmer] ලෙස බඳවා ගන්නා ලද අතර ඔහුට ට්‍රෙවර් හෝන් හමුවිය. ඔහු 1980 ගණන්වල Yes සහ Frankie Goes To Hollywood යන ප්‍රසිද්ධ ඇල්බමවල වැඩ කිරීමට ෆ්‍රැන්ග්ලන් හට ඉඩ සැලැස්වීය.
අවසානයේදී, ඔහු ඇමෙරිකාවේදී තම වාසනාව උරගා බැලීමට තීරණය කළේ ය. එහිදී "මාස හයක් කිසිවක් නොකර සිටීමෙන් පසු", ඔහු විවිධ ව්‍යාපෘති සඳහා සංගීත භාණ්ඩ වාදනය කිරීමට සහ සංගීතය නිර්මාණය කිරීමට හෝ වැඩසටහන් කිරීමට නිතර සේවය ලබා ගන්නා ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තිකයෙක් බවට පත්විය.
ඔහු ටෝනි බ්‍රැක්ස්ටන්ගේ Unbreak My Heart, All 4 One's I Swear සහ විට්නි හූස්ටන්ගේ I Have Nothing වැනි ජනප්‍රිය ගීත නිර්මාණයට සහභාගී වූ අතර පසුව මයිකල් ජැක්සන්ගේ HIStory ඇල්බමය සඳහා ඩ්‍රම් වාදන නිර්මාණය සඳහා ඔහු සම්බන්ධ විය.
"පීඩනය එක විශිෂ්ට කළා" ඔහු පවසයි. "අපි 'ද පොකට්' [සංගීතයේ කාලය සහ හැඟීම සුමටව එකට එකතු වීම] ලෙස හඳුන්වන ඒ හැඟීම ඇති කර ගැනීමට."
"මගේ වෘත්තීය ජීවිතයේ විශාල කොටසක් තමයි මට හොඳ පොකට් එකක් තිබීම. දේවල් දැනෙන්න ඕන තැන සහ ඒවා කොහොම හැදෙන්න ඕන ද කියලා මට තේරුණා. ඒක මයිකල් ජැක්සන්ගේ රෙකොර්ඩ් එකක් හදනකොට වගේම චිත්‍රපට ගීත සඳහාත් වැදගත්."
ෆ්‍රැන්ග්ලන්ගේ චිත්‍රපට සංගීත නිර්මාණයේ පළමු අත්දැකීම ලැබුණේ [ජේම්ස්] බොන්ඩ්හි සංගීත නිර්මාණ ශිල්පී ජෝන් බැරී කෙවින් කොස්ට්නර්ගේ ඔස්කාර් සම්මානලාභී Dances With Wolves චිත්‍රපටයේ වැඩ කිරීමට ඔහුගේ සහය ඉල්ලා සිටි විට ය. පසුව ඩේවිඩ් ෆින්චර්ගේ Se7en චිත්‍රපටයේ "අඳුරු සහ දරුණු" සංගීතය රචනා කිරීමට ඔහුගේ සේවය ලබා ගන්නා ලදී.
"මගේ භූමිකාව වූයේ චිත්‍රපටයේ අඳුරු මනෝභාවයට ගැලපෙන පරිදි ස්වර ලිපිය සකස් කිරීම. මෙය සිදු කිරීම සඳහා, මම තිරිංග ශබ්ද වගේ රළු ශබ්ද පටිගත කර, ඒවා සංගීත සාම්පල බවට පත් කර, වයලීන වාදන කොටස් එක්ක ගත්තා."
"අත්හදා බැලීමේ දේවල් ගොඩක් තිබුණා, ඒක හරිම විනෝදජනකයි."
ෆ්‍රැන්ග්ලන් මුලින්ම Avatar අධ්‍යක්ෂ ජේම්ස් කැමරන්ව මුණගැසුණේ ජනප්‍රිය චිත්‍රපට සංගීත රචකයෙකු වන ජේම්ස් හෝනර් විසින් "ගෙවන්න සල්ලි තිබුණේ නැති චිත්‍රපටයක වැඩ කිරීමට" බඳවා ගැනීමෙන් පසුව ය.
මෙම චිත්‍රපටය ටයිටැනික් වූ අතර, බොහෝ අය එය අවදානම් සහ අනවශ්‍ය ව්‍යාපෘතියක් ලෙස සැලකූ එකක් මෙන් ම, එය සහ ෆොක්ස් සහ පැරමවුන්ට් චිත්‍රපට චිත්‍රාගාර බිඳවැටීමට හේතු වන බවට අනාවැකි පළ විය.
සංගීත රචකයා එවැනි සිරස්තල දැක තිබුණත්, කැමරන් ඔහුට ටයිටැනික් නෞකාව අඩකින් කැඩී ගිලෙන්නට පටන් ගත් දර්ශනය පෙන්වූ විට, මාධ්‍ය එය වැරදියට තේරුම් ගෙන ඇති බව ඔහුට වැටහිණි.
"ඔයා කලින් දැකලා තියෙන හැම එකට ම සාපේක්ෂව ඒක හරිම පුදුම සහගතයි. මම දැනගෙන හිටියා ඒක විශේෂයි කියලා."
එසේ වුව ද, සංගීතය සඳහා අයවැයක් ඉතිරිව නොතිබූ හෙයින්, ෆ්‍රැන්ග්ලන්ට නිෂ්පාදකයින්ගෙන් උපකරණ සහ සංගීත භාණ්ඩ ණයට ගැනීමට සිදු වූ අතර, බොහෝ ස්වර ලිපි පටිගත කරන ලද්දේ ඉලෙක්ටොනික සංගීත භාණ්ඩවලින්, කුලියට ගත් මහල් නිවාසයක ය.
"ටයිටැනික් එකේ ඒ විදිහට සවුන්ඩ්ස් කරන්න වුණේ, හැම තැනට ම වාද්‍ය වෘන්දයක් භාවිතා කිරීමට ප්‍රමාණවත් මුදලක් තිබුණේ නැතිකම," ඔහු පවසයි.
Avatarහි සිදු වූයේ එහි අනෙක් අන්තයයි.
"ජිම් (කැමරන්) තවම විශ්වාස කරන්නේ හොඳ දේවල්වලට කාලය ගත වෙනවා කියලා. සංගීත රචකයෙක් විදිහටත් විශේෂ දෙයක් නිර්මාණය කරන්න සහ, පිරිපහදු කරලා ගැනීමේ හැකියාව මේ කාලයේදී දුර්ලභ දෙයක්."
අධ්‍යක්ෂවරයා තම නවතම චිත්‍රපටය කෘතිම බුද්ධියෙන් තොර බව සහතික කිරීමට බොහෝ වෙහෙසක් දැරීය.
"ඔහු මගෙන් විශේෂයෙන් ම ඇහුවා, 'එහෙනම්, අපි මොකුත් AI පාවිච්චි කරලා නෑනේ? අපි කිසිම සැබෑ සංගීතඥයෙක් රැකියාවෙන් ඉවත් කරන්නේ නැහැ', කියලා," යැයි ඔහු සිහි කරයි.
"බොහෝ චිත්‍රපට නිෂ්පාදකයින්ට මුදල් ඉතිරි කර ගැනීමට මේ විකල්පය ලබා දුන්නොත්, ඔවුන් එම විකල්පය තෝරා ගනියි කියලා කියන එක සාධාරණයි."
"ජිම් ඉන්නේ කිසිම සම්මුතියක් ඇති කරගන්නේ නැති තත්ත්වයක, ඒක සංගීතය සම්බන්ධයෙන් වගේම නළු නිළියන්ගේ සජීවී රංගනයන් සම්බන්ධයෙන්ත් වැදගත්."
චිත්‍රපටය තිරගත වීමට සූදානම් වන වි මට, මිලී සයිරස් විසින් ගායනා කරන ලද "Dream As One" තේමා ගීතය සඳහා ෆ්‍රැන්ග්ලන් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන සඳහා යෝජනා වී තිබේ.
නමුත් ඔහු ඊළඟට කුමක් සිදුවේද යන්න ගැන ද සිතමින් සිටී. කැමරන් දැනටමත් Avata 5 සහ 5 සඳහා පිටපත් සම්පූර්ණ කර ඇත; ඒවා 2029 සහ 2031දී තිරගත වීමට නියමිත ය.
"හතර කියන්නේ... මම හිතන්නේ ඒක විශ්මයජනක යි," ෆ්‍රැන්ග්ලන් පවසයි. "ඒක සම්පූර්ණයෙන් ම අලුත් පැතිවලට යනවා, මම ඒකට කැමති යි."
මූලික දර්ශන දැනටමත් රූගත කර ඇත, නමුත් කැමරන් පවසන්නේ චිත්‍රපටය සම්පූර්ණ කිරීම Fire and Ash චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් කාර්ය සාධනය මත රඳා පවතින බව යි.
"අපිට ඒක කරන්න පුළුවන් වෙන විදිහට, අපි ලාභ ලබනවා කියලා මම ඇත්තටම බලාපොරොත්තු වෙනවා," ෆ්‍රැන්ග්ලන් පවසයි.
"මම හිතන්නේ Avatar Two චිත්‍රපටයෙන් පස්සේ ඔවුන් කිව්වා ලාභ පාඩු තීරණය කරන සීමාව ඩොලර් බිලියන 1.4ක් (පවුම් බිලියනයක්) කියලා."
"මට දැනගන්න විදිහක් නැහැ, නමුත් මම හිතන්නේ මේ අංකයටත් ඒක සමාන අංකයක් කියලා."
"ඉතින් ප්‍රේක්ෂකයින් අපට Avatar Four එකක් අවශ්‍ය බව පැවසුවහොත්, මම ඒක කරන්න ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නවා."