ජනාධිපතිවරණයේදී රටේ ම අවධානයට ලක්වූ අරියනේත්තිරන්ට මොක ද වුණේ?

පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයින් සම්බන්ධයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාවේ දැඩි අවධානයක් යොමුව තිබේ.

එවැනි පසුබිමක් තුළ, ජනාධිපතිවරණයේදී දමිළ දේශපාලන පක්ෂ කිහිපයක හා සිවිල් සංවිධාන රැසක එකඟතාවයෙන් යුතුව පොදු අපේක්ෂකයෙකු ලෙසට ඉදිරිපත් කළ පාක්කියසෙල්වම් අරියනේත්තිරන් මහ මැතිවරණයට ඉදිරිපත් නොවීම විශේෂත්වයකි.

උතුරු-නැගෙනහිර ජනතා ගැටලු වෙනුවෙන් පෙනී සිටින බවට සඳහන් කළ අරියනේත්තිරන් මෙවර කිසිදු පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව නැත.

අරියනේත්තිරන් යනු කවුද?

පාක්‍කියසෙල්වම් අරියනේත්තිරන් යනු දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන ම හවුල්කාර පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි නියෝජනය කරමින් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට දෙවරක් තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.

1955 පෙබරවාරි 01 වන දා උපත ලද අරියනේත්තිරන් දේශපාලනයට පිවිසීමට පෙර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරිවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු, 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ද දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ නියෝජිතයෙකු ලෙසට පාර්ලිමේන්තුවට තේරී පත්විය.

2015 හා 2020 පාර්ලිමේන්තු මැතිවරණ වෙනුවෙන් ද ඔහු මඩකලපුව දිස්ත්‍රික්කයෙන් අරියනේත්තිරන් ඉදිරිපත් වුව ද, පාර්ලිමේන්තු වරම් හිමි කර ගැනීමට නොහැකි විණ.

ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම

පසුගිය ජනාධිපතිවරණයේදී උතුරු-නැගෙනහිර නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් විසින් උතුරු නැගෙනහිර නියෝජිතයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවට පොදු එකඟතාවකට එළඹ තිබිණි.

අදාළ එකඟතාව මත ප්ලොට් සංවිධානය, ටෙලෝ සංවිධානය, ඊ.පි.ආර්.එල්.එෆ්. පක්ෂය, පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගෙන් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදී විමුක්තිකාමී සටන්කාමී පක්ෂය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ 7ක හා සිවිල් සංවිධාන 7ක ඒකාබද්ධතාවයෙන් යුතුව ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙසට අරියනේත්තිරන් තෝරා ගැනිණි.

උතුරු-නැගෙනහිර පළාත් නියෝජනය කරන ප්‍රධාන ම දේශපාලන පක්ෂයක් වන ඉලංගෙයි තමිල් අරසු කච්චි එම තීරණයට විරුද්ධ මතයක සිටි අතර, ඔවුන් සඳහන් කළේ, සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහයෝගය පළ කරන බව ය.

පක්ෂයේ තීරණය පසෙක ලා අරියනේත්තිරන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි තීරණයට විරුද්ධ මතයක් දැරූ සන්ධානයේ තීරණයට කැමැත්ත පළ කළ අතර, එහිදී ඉලංගෙයි තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාව අරියනේත්තිරන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් සම්මත කළේ ය.

අරියනේත්තිරන් ඉලංගෙයි තමිල් අරසු කච්චි මඩකළපුව දිස්ත්‍රික් මධ්‍යම කාරක සභා නියෝජිතයෙකු ලෙස ද කටයුතු කළ අතර, පක්ෂයේ තීරණයට විරුද්ධ වීම හේතුවෙන් අරියනේත්තිරන්ගෙන් කරුණු විමසීමට ද පක්ෂය තීරණයක් ගෙන තිබිණ.

පක්ෂ තීරණයට විරුද්ධව කටයුතු කරමින් දෙමළ පක්ෂ කිහිපයක් ඉදිරිපත් කළ යෝජනාව මත අරියනේත්තිරන් පසුගිය ජනාධිපතිවරණයට පොදු අපේකෂකයෙකු ලෙසට හක්ගෙඩිය සලකුණ යටතේ ඉදිරිපත් වූ අතර, සමස්ත ජනාධිපතිවරණ ප්‍රතිඵල මත ඔහු ඡන්ද 226,343ක් හිමි කරගෙන ජනාධිපතිවරණ ප්‍රතිඵල ලේඛනයේ පස් වන තැනට පත්විය.

ජනාධිපතිවරණය සමයේ හා ජනාධිපතිවරණ ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව අරියනේත්තිරන් සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතු වූ අතර, ඔහු උතුරු-නැගෙනහිර දේශපාලනයේ නව නායකයෙකු ලෙස කැපී පෙනෙනු ඇතැයි මත පළ විය.

ජනාධිපතිවරණයෙන් පසුව සිදුවූයේ කුමක් ද?

ජනාධිපතිවරණයෙන් දින කිහිපයකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නව ජනාධිපතිවරයා කටයුතු කළේ ය.

ජනාධිපතිවරණයේදී දෙමළ පක්ෂ කිහිපයක හා සිවිල් සංවිධාන කිහිපයක ඒකාබද්ධව ගොඩනැගු සන්ධානයේ පොදු නායකයා වූ අරියනේත්තිරන් පාර්ලිමේන්තු මැතිවරණයේදී අදාළ සන්ධාන සමග එක්ව කටයුතු නොකරන බවක් පෙනෙන්නට තිබිණි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පොදු සන්ධානයෙන් හෝ සිය පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරසු කච්චි නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. අරියනේත්තිරන්ගෙන් බීබීසී සිංහල සේවය විමසීමක් කළේ ය.

"මම ඉලංගෙයි තමිල් අරසු කච්චි මඩකලපුව දිස්ත්‍රික් මධ්‍යම කාරක සභා නියෝජිතයෙක් ලෙස කටයුතු කරනවා. මම පක්ෂයට දැනුම් දුන්නා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්නේ නෑ කියලා. ඒත් මම ඉලංගෙයි තමිල් අරසු කච්චියේ අපේ මඩකලපුව දිස්ත්‍රික් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරනවා," ඔහු එහිදී පැවසීය.

එහිදී බීබීසී සිංහල ඔහුගෙන් විමසා සිටියේ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වු පොදු සන්ධානයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන්නේ මන්ද යන්නයි.

"ඒ සන්ධානයේ ලකුණ වූ හක්ගෙඩිය ලකුණ ජනනායක තමිල් තේසීය කූට්ටනි කියන පක්ෂය ලබා ගත්තා. ඒ හින්දා එතන පොදු සන්ධානයක් තිබුණත් ඒක තනි පක්ෂයක ලකුණක් බවට පත්වීම හින්දා මම එම සන්ධානයෙන් ඉවත් වුණා," පී. අරියනේත්තිරන් පැවසුවේ ය.

ඔහු ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජාතික ලැයිස්තුව සඳහා යෝජනා වී තිබේ දැයි විමසූ විට ඔහු පැවසුවේ එවැන්නක් සිදුව නොමැති බව ය.

"මම ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට කිව්වා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් වෙනුවෙන් මගේ නම නම් කරන්න එපා කියලා. පොදු සන්ධානයෙන් මම ඉවත්ව සිටින නිසා ඒ අය සම්බන්ධයෙන් මම දන්නේ නෑ. මම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ පක්ෂයට සහයෝගය දක්වලා නිහඬව ඉන්නවා."

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මතය කුමක් ද?

ජනාධිපතිවරණ සමයේදී අරියනේත්තිරන් පක්ෂ තීරණයට විරුද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ලේකම් වෛද්‍ය පී. සත්‍යලිංගම්ගෙන් අපි විමසීමක් කළෙමු.

"අරියනේත්තිරන් මහතා ජනාධිපතිවරණය අවස්ථාවේ පක්ෂයේ තීරණයට විරුද්ධව පොදු අපේක්ෂකයෙකු ලෙසට වෙන ම කණ්ඩායමක් සමග එක්ව කටයුතු කළා. ඒ සම්බන්ධයෙන් අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒ මහතාගෙන් විමසීමක් කරලා තිබෙනවා. දැන් පාර්ලිමේන්තු මැතිවරණය වෙලාවේ පක්ෂය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා නෑ," ඔහු පැවසුවේ ය.

මහ මැතිවරණයට ඉදිරිපත් නොවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරියනේත්තිරන්හට පොදු සන්ධානයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා දීම පිළිබඳ අවධානයක් යොමුකොට තිබේ දැයි ජනනායක තමිල් තේසීය කූට්ටනි සන්ධානයේ යාපනය දිස්ත්‍රික් අපේක්ෂක එම්. කේ. ශිවාජිලිංගම්ගෙන් විමසීමක් කළෙමු.

එහි දී ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

"අරියනේත්තිරන් මහත්තයා අපේ සන්ධානයේ දැන් නෑ. ඒ හින්දා එයාට අපේ සන්ධානයෙන් අවස්ථාවක් නෑ. එයා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ තමයි ඉන්නේ. ඒ ගැන එයාලගෙන් තමයි අහන්න ඕනේ."