2025 වසරේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් පනත් මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Parliament of Sri Lanka
- Author, බීබීසී සිංහල
2025 වසර තුළ වත්මන් රජය පාර්ලිමේන්තුවේදී පනත් 26ක් සම්මත කර ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කරයි.
10 වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයට අදාළව 2025 ජනවාරි 1 වන දා සිට 2025 දෙසැම්බර් 31 දක්වා එම පනත් සම්මත වී ඇති බව එම නිවේදනයේ දැක්වේ.
2025 වසරේ සම්මත කර ගත් නව පනත්
අදාළ නිවේදනයට අනුව අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත මේ වසරේදී (2025) ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද නව පනත් වේ.
මෙරට පුරවැසියෙකු වත්කම් උපයා ගත් ආකාරය සැක සහිත නම් ඔහුගේ හෝ ඇයගේ නිර්දෝෂීභාවය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහාත්, එම ඉපැයීම අනීතිකව සිදුකර ඇත්නම් එම දේපළ රාජසන්තක කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත සම්මත කර ගන්නා ලදී.
2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතට අනුව අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය (Proceeds Of Crime Investigation Division - PCID) මේ වසරේ ඔක්තෝබර් මාසයේදී පිහිටුවනු ලැබී ය.
මේ අතර, 2025 වසරේ සැප්තැම්බර් මාසයේ සම්මත කර ගන්නා ලද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනතට අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පිහිටුවනු ලැබී ය.
නායයාම් සඳහා නැඹුරුතාවක් ඇති ප්‍රදේශවල හෝ භූ තාක්ෂණික අස්ථාවරත්වයක් පවතින ප්‍රදේශයක, ඒවායේ බලපෑම අවම කිරීමේ සහ තිරසර ආකාරයෙන් එම ප්‍රදේශ සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව, පර්යේෂණ සහ සමීක්‍ෂණ පැවැත්වීම සහ ප්‍රවර්ධනය කිරීම යන මූලික කරුණු වෙනුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පිහිටුවා ඇති බව එම පනතේ දැක්වේ.
ජන්ද විමසීම කැඳවනු ලැබ ඇති සහ කල් තබා ඇති පළාත් පාලන ආයතනවල අලුතින් නාම යෝජනා කැඳවා ජන්ද විමසීම පැවැත්වීම වෙනුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතට එක් කරන ලද විශේෂ විධිවිධාන මේ වසරේ පෙබරවාරී මාසයේදී සම්මත විය.
හිමිකම් අහිමි කෙරුණු පනත්
එමෙන් ම ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ විදේශීය ණය පනත සහ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් ද 2025 වසරේ සම්මත වූ පනත් අතර වේ.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්බන්ධව රට තුළ විශේෂ කතාබහක් ඇති වූ අතර ඒ හරහා හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ට හිමිව තිබූ ඇතැම් හිමිකම් අහිමි කෙරිණි.
ඒ අනුව නිල නිවස, ගෙවන ලද යම් මාසික දීමනා මෙන් ම ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන ඇතුළු සියලු පහසුකම්වලට අමතරව මාසික විශ්‍රාම වැටුප ද අහිමි කරන ලදී.
සංශෝධනය කරන ලද පනත්
2025 වසර තුළ විසර්ජන පනත් දෙකක් සම්මත වී ඇති අතර දැනට පවතින පනත් බොහෝමයක් සංශෝධනය කර ඇත.
දේශීය ආදායම් පනත, එකතු කළ අගය මත බදු පනත, අපරාධ නඩු විධාන සංග්‍රහ පනත, ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත, සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත, සමාගම් පනත, විනිමය පත්‍ර පනත, ශ්‍රී ලංකා විදුලි බල පනත සහ සමෘද්ධි පනත යන පනත් සංශෝධනය කර ඇත.
ඊට අමතරව, රබර් පාලන පනත, සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත, ජාතික විගණන පනත, ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත, පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත, සමාජ ආරක්‍ෂණ දායකත්ව බදු පනත මෙන් ම ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත ද මේ වසරේ සංශෝධනය කර සම්මත කරගෙන තිබේ.
එමෙන් ම සේවකයන්ගේ අයවැය සහන දීමනා පනත සංශෝධන දෙකක් සහිතව සම්මත කරගෙන ඇත්තේ ද 2025 වසරේ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ, වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂ, එම්. ජයලත් පෙරේරාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
2025 වසරේදී සම්මත කර ගත් පනත්වල සම්පූර්ණ ලැයිස්තුව පහත දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Parliament of Sri Lanka














